හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ පරීක්ෂණවලට ඔහු බඳුන් කොට, ඔහුට කිසිදු රෝගයක් නොමැති බව සඳහන් කර තිබුණු අතර, තවත් වෛද්‍යවරයකු ඔහු දන්නා බොහෝ ඖෂධ මේ රෝගියා සඳහා අත්හදා බැලීමෙන් අනතුරුව, ‛ඔබට රෝගයක් නැතැයි’ පවසා ඇත. මේ රෝගියා තම රෝග ඉතිහාසය ගැන කතා කරන අතර පැවසූ සමහර දෑ මෙසේය.

“මට ලෙඩක් නැත්නම් ඒ දොස්තර මහත්තයා මට ඒ තරම් බෙහෙත් දුන්නේ මොන එහෙකටද වෙදමහත්තයෝ?’

“එක මහත්තයෙක් කියනවා මට කිසිම ලෙඩක් නැහැ කියලා. ගෙදර ගිහින් හොඳට කාලා බීලා හොඳින් නිදාගන්නලු. ඒ වුණාට මහත්තයෝ මට ඔය දෙකම කරන්න තියෙන අමාරුව දන්නේ මං විතරයි.”

අවසානයේ ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුට මනෝකායික රෝගයක් ඇතැයි අනුමාන කොට මනෝවෛද්‍යවරයෙකුට යොමු කරන ලදුව, එතැනින් ද ලෙඩක් නැතැයි කියා ආපසු හරවා යවා තිබේ. මා වෙත පැමිණි මේ රෝගියා ගේ සංකීර්ණ තත්ත්වය සළකා බලා, එවකට ප්‍රකටව සිටි ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත ඔහුව යොමු කළෙමි. මෙම ශල්‍ය වෛද්‍යවරයා ඔහු ගේ රෝගය සාමාන්‍ය පරීක්ෂාවන්ගෙන් හඳුනා ගැනීමට අපොහොසත් වූ හෙයින්, ඔහුගේ උදර කුහරය විවෘත කර බැලීමට තීරණය කරන ලදි. විවෘත කළ උදරයේ දැකිය හැකි වූයේ නැවත ආපසු හරවා යවන්නට නොහැකි තරමට අඬු දඬු පතුරා වැඩුණු පිළිකාවකි. එයින් මාස කිහිපයකට පසු මේ රෝගියා ජීවිතක්ෂයට පත් විය.

මට මේ රෝගියා නැවත සිහිවූයේ පසුගියදා අප මිතුරන් පිරිසක් අතර වූ සංවාදයක් මගේ අවධානයට යොමු වූ විටය.

“අපට නැති දෙමළුන්ට ඇති ගැටලු තිබේද?”

මේ ප්‍රශ්නය මැදිකරගෙන පැවති සංවාදයේ දී මගේ මිතුරෝ එය අවුරුදු දහස් ගණනක් පැරණි ඉතිහාසයේ සිට මෑත ඉතිහාසය දක්වා ඇදගෙන ගියහ. වරෙක ජාත්‍යන්තර උදාහරණ ද සහිතව ලෝකයේ ඇති බොහෝ දේශපාලන තත්ත්වයන් හා මතවාදයන් ගැන කෙරෙන පුළුල් සාකච්ඡාවක් බවට පත් කළහ.

මට මේ සංවාදයන්ට මැදිවන දෙමළා වෙනුවට වරින්වර මැවී නොපෙනී යන්නේ, ඉහත මා දැක්වූ පිළිකාවෙන් මිය ගිය රෝගියාය.

දෙමළ මිනිසුන්ට අනෙක් මිනිසුන්ට මෙන්ම නොයෙකුත් ගැටලු තිබේ. සමහර ගැටලු ඔවුන්ටම ආවේණික ඒවා වන්නට පුළුවන. එහෙත් එම ගැටලු ඇතිවන්නේ කුමන හේතු සාදක පදනම් කරගෙනදැයි තීරණය කරන්නේ, ඒවාට මුහුණ දෙන සාමාන්‍ය දෙමළ ජනතාව නොවේ. ඒ තීරණ ගන්නා දේශපාලනඥයෝ ජනතාවගේ ඉහට ඉහළින් සිටිති. හරියට ලෙඩුන් ගැන තීරණ ගන්නා වෛද්‍යවරුන් මෙනි. සාමාන්‍ය මිනිසුන් කරන්නේ තමන්ගේ සංස්කෘතියට වඩා කිට්ටු මතවාදය දරණ දේශපාලනඥයින් ගේ මතය තම කරපිටට ගැනීමයි. සමහර විට මේ මතය කරපිටට ගන්නා ජනතාව දේශපාලකයා අදහස් කරන දෙයින් ඔබ්බට ද යන්නේය.

මා හිතන අන්දමට දෙමළ දේශපාලනඥයින් වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ සංකල්පය ගෙන ආවේ, සැබෑවටම එවැන්නක් අවශ්‍ය නිසා නොවේ. තමන් නියෝජනය කරන දෙමළ ජනතාව පෙළෙන ගැටලු විසඳීමේ උවමනාවක් මධ්‍යම රජයට නොමැති යයි පෙනුණු කල, තමන්ට ඒවා හා කෙලින්ම සම්බන්ධ විය හැකි ප්‍රාදේශීය පාලන ව්‍යුහයක අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ. ඒ ගැන මධ්‍යම රජය උනන්දු නොවන විට, එහෙනම් අපට වෙන්නේ වෙනම රටක් ඉල්ලන්නැයි කියා ‛නිකමට’ කියන්නට පටන් ගත් මතය, දෙමළ තරුණයින් විසින් සැබෑවට ගත්තා විය හැකිය. ඉහත කී සංවාදයේ දී මගේ එක් මිතුරෙක්, ‛දෙමළ ජනතාවට ඇති ගැටලුව ඔවුන්ට වෙනම රටක් නැති වීමයි’ කියා පැවසූ විට, මවිසින් මගේ අදහස මෙසේ පළ කළෙමි.


‛දෙමළුන්ට අවශ්‍ය වෙනම රටක් නම්, උන් ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි, කැනඩාවෙන් ඔන්ටාරියෝවල ස්කාබරෝ පැත්තෙන්. ඒත් මොවුන්ට කැනඩාවේදී වෙනම රටක අවශ්‍යතාවක් දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ ලංකාවේදී. ඒ ඇයි?’ එක් කාලයෙක දෙමළුන් පනහට පනහ ඉල්ලන්නේ යැයි කියූ කතාවකට අපේ සිංහල ඇත්තන් පිළිතුරු දුන්නේ, සියයට විස්සකටත් අඩු දෙමළුන්ට පනහට පනහ ඉල්ලන්න ඇති අයිතිය මොකක්ද? කියායි. පනහට පනහ යන්නෙන් අදහස් වූයේ සම අයිතිවාසිකම් ලැබිය යුතුය යන්නයි. මගේ අදහස නම් සියයට එකකට අඩු සංඛ්‍යාවක් වූ ජනවර්ගයට වුව ‛නොලැබෙන්නේ නම්’ රට වැසියෙකුගේ සම අයිතිවාසිකම් ඉල්ලීමේ අයිතියක් තිබේ. ඕනෑම ජනවර්ගයක මිනිහෙක් තමන්ට තවත් මිනිසෙකු ලෙස සලකන සමාජයක ජීවත් වීමට ලැදියාවක් දක්වයි. එය එසේ නොවන කළ හෝ එය එසේ නොවේයැයි හැඟේ නම් එයට විරුද්ධව තම ප්‍රතිචාරය දක්වයි. එය වෙනස් කිරීමට දත කයි. නැතිනම් එතැනින් ඉවත් වේ. ඒ සමාජයෙන් වෙන් වීමට උත්සාහ දරයි.’

ඉහත කී දෙමළ මිනිසුන්ගේ ගැටලුවට විසඳුම් සොයන ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ ක්‍රියා කලාපය හා මා පළමුව කී මගේ මිතුරන්ගේ සංවාදයේ එතරම් වෙනසක් මට පෙනෙන්නේ නැත.

සමහරු අර පෙර කී ලෙඩාට, ලෙඩක් නැහැ කියන්නා සේ, දෙමළුන්ට එවැනි ගැටලුවක් නැතැයි කියති. අනෙකෙක් ගැටලු නැත්තේ කාටදැයි අසති. තමත් සමහරු ගැටලුවක් ඇති බවත් ඒ ගැටලුවට හැම කෙනෙකුටම එකඟ විය හැකි විසඳුම් සෙවීමට සර්වපාක්ෂික සම්මේලන ආදිය යෝජනා කරති. අවසානයේ මේ ලෙඩේට අවශ්‍ය වන කෝඳුරු තෙල් හත් පට්ටයත් තවත් ටිකත් ඉබේ හිඳෙන තුරු බලා සිටිති.

මේ දේශද්‍රෝහියා හැම විටම හිතුවේ, අදත් සිතන්නේ මෙය සංස්කෘතික ප්‍රශ්නයක් මිස දේශපාලනික ප්‍රශ්නයක් නොවන බවයි. ජනවර්ගයක් එකිනෙකාට ගෞරව කරමින් ජීවත් වන සංස්කෘතියක් ඇතුළත මෙවැනි ගැටලු ඇති වීමට ඇති ඉඩ කඩ ඉතා අඩුය. මා උපන් රටේ මෙවැනි දියුණු වූ සංස්කෘතික පසුබිමක් තවමත් බිහි වී නැත. අපේ නිර්මල සංස්කෘතිය කියා ගෞරවයෙන් බදාගෙන ඉන්නේ, ඉතිහාසය විසින් අපේ කර මත පැටවූ ගෝත්‍රවාදී සංස්කෘතියම බව අප තවමත් තේරුම් ගෙන නැත.

සචින් අරුණෝද් ජයනෙත්ති

  • Nirmal

    //පනහට පනහ යන්නෙන් අදහස් වූයේ සම අයිතිවාසිකම් ලැබිය යුතුය යන්නයි//
    මම කියවලා තියන විදිහට නම් මේ පනහට පනහ ඉල්ලීමේ කතාව සම අයිතිවාසිකම් සම්බන්දයෙන් නෙවෙයි.
    ව්‍යවස්ථාදායකයේ සිංහල/දෙමළ නියෝජන අනුපාතය ගැනයි.

    //දෙමළුන්ට අවශ්‍ය වෙනම රටක් නම්, උන් ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි, කැනඩාවෙන් ඔන්ටාරියෝවල ස්කාබරෝ පැත්තෙන්//

    මේක ගැන මට නම් හිතෙන්නේ ගන්න පුළුවන් තැන්වලින් තමයි ඉල්ලන්නේ කියන එක.
    ස්කාබරෝ වලින් විතරක් නෙවෙයි, කෝටි 8ක් විතර ද්‍රවිඩයින් ඉන්න තමිල්නාඩුවෙන් වත් වෙනම රටක් ඉල්ලන්නේ නැත්තේ ඉල්ලුවොත් වෙනම රටක් කෙසේ වෙතත් හම්බවෙන සබ්බුව නොතේරෙන්න තරම් එයාල බබ්බු නොවන නිසා.