2016, සිංහල සහ දෙමළ අලුත් අවුරුදු පණිවිඩය මගින්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා, ශ්‍රී ලංකාව තුල, ප්‍රජාතන්ත්‍රවාය සහ නිදහස ප්‍රතිෂ්ටාපනය, දුෂණය සහ ප්‍රචණ්ඩත්වය අවසන්කිරීම, සංහිදියාව ස්ථාපනය සහ අන්තර්ජාතික ප්‍රජාවගේ හොද හිත දිනා ගැනීම ඉටුකර ගත හැකි සුබ නව වසරක් වෙත ආසිරි ගෙනඑන ලදී. ජනාධිපතිවරයාගේ එක් පැතුමක් යම් දුරකට පසුගිය මේෂ රාශි මාරුවෙන් ඉටු කරගෙන ඇත. එනම්, අන්තර්ජාතික ප්‍රජාවගේ හොද හිත දිනා ගැනීමය. ඔහුට මගහැරී තිබෙන්නේ, මෙරට ජනතාවගේ හොදහිත දිනා, ශ්‍රී ලංකාව තුල, ප්‍රචන්ඩත්වය සහ දුෂණය අවසන්කර, සංහිදියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගොඩනැගීමය. ඒ කරුණු දකුණට එතරම් දැඩිව අදාල නොවේ. මක්නිසාද යත්, විකල්ප ප්‍රතිපති කේන්ද්‍රයේ සම්ක්ෂණයට අනුව, දකුණේ බහුතරයේ දැවෙන ප්‍රශ්නය, බඩුමිල ඉහළයාම වන හෙයිනි. රජයක් අවශ්‍ය බඩුමිල පාලනය සදහා පමණක් නොවේ. ජාතික රුපවාහිනියේ තරු සමග අවුරුදු හෝ tv දෙරණ හි, දියවන්නාවේ අවුරුදු තුලින් , ආණ්ඩුවේ ක්‍රියාකලාපය කියවන දකුණට, අවම රාජ්‍ය සුබ සාධනය මහා පොදු සාධකයක් වුවද, උතුරේ ජනයාට, ආණ්ඩුවේ ක්‍රියාවන් සම්බන්ධ කියවීම වෙනස්ය. ඒ , ඔවුන් දෙමළ හෝ මුස්ලිම් නිසා නොව, ඔවුන් බඩ වියත රැකගැනීමට එහා ගිය දෛනික – යහපත් ජිවිතයක් වෙනුවෙන් අරගල කරණ හෙයිනි.

මාගේ , දකුණේ බොහෝ මිතුරු මිතුරියන්ට අනුව, යුද්ධය අවසානය. ඒ පිළිබද කතා අනවශ්‍යය. මා සමග බත්පත බෙදා ගන්නා සහසේවිකාවගේ වචනයෙන් කියන්නේනම්, ‘හිතේ බරක් නොමැතිව, අද අපි අවුරුදු සමරන්නේ, අහිංසක, දේශප්‍රේමි හමුදා සොහොයුරන් හේතුවෙනි. කොටි ත්‍රස්තවාදීන් නැතිව දෙමළ මිනිස්සුන්ටත් නිදහසේ අවුරුදු සැමරිය හැකිය’. මාගේ ගැටළුව වුයේ, දෙමළ මිනිස්සුන්ගේ දරුවෝ අතුරුදහන් වී ඇතිවිට, හිතේ බරක් නැතිව ඔවුන් , නිදහසේ අවුරුදු සමරන්නේ කෙසේද? අතුරුදහන් වු හමුදා ශ්‍රමිකයන් නැතිව, දකුණේ පවුල් හි සාමාජිකයන්, නැකතට කිරිබත්කන්නේ කෙසේද? දකුණේ බහුතරයක් විසින් යුද්ධය හඳුනාගනු ලබුවේ, ලාංකික භූමියේ අවජාතක වු දෙමළාට එරෙහිව, සුජාතක සිංහලයා විසින්, මවුබිම රැකගැනීම සදහා කළ සාධාරණ ක්‍රියාවක් ලෙසය. එකී අමානුෂීය ක්‍රියාව සාධාරණයකිරීම සදහා, පිරිමින්ගේ කතාවෙන් සැදී ඉතිහාසයේ වන, දුෂ්ටගාමිණි කළ ජනසංහාරය ගෙනහැරපාන ලදී. මේ නයින්, 2009, මැයි 17, අවිහිංසාව මුඛ්‍යතේමාව වු , ධර්මශාලාහි, ආමනුෂික ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් කිරිබත්පිස කෑ සිංහල- බුද්ධාගම හිසින් ගත් ජනතාවක් බිහිවිණි. එතැන්සිට මෙකී ජනයාට, තම කුස ගින්න හැර තමාගේ දුක හෝ අනෙකාගේ දුක වටහාගැනීමේ විඥානය අහිමිවිය. සාමය පිලිබද කතිකාවත ඇරඹිය යුත්තේ අහිමිවී ගිය එකී විඥානය නැවත උපයාගැනීමේ ක්‍රියාවලියක් තුලිනි. එහිදී මුලින්ම විමසා සිටියුතු කරුණ නම්, අවුරුදු 30ක් ඉක්මවූ යුද්ධයක් මෙරට ඇතිවුයේ ඇයි?

මෙම ගැටළුව මනහර ලෙස විස්තරවන සාහිත්‍යක් වේ. එකී සාහිත්‍යට අනුව, මුලිකවම, වාර්ගික -අසමානතාවය මත ගොඩනැගී දේශපාලන ව්‍යුහය, සම්පත් බෙදීයාමේ විෂමතාවය සහ විවිධත්ව අනන්‍යතා නොපිළිගැනීමේ අර්බුධය විසින් යුද්ධය නිර්මාණයකරණ ලදී. යුද්ධය පැවති සියලුම අවස්ථාවන්හිදී, උතුර සහ දකුණ හැසිරුනේ, ජය- පැරදුම න්‍යාය මත පදනම්වය. සාකච්ඡා මගින්, විසදුම සෙවීම, උතුරේ සහ දකුණේ ජනයාහට වැදගත් වුවද, දෙපාර්ශවයේ තීරණගැනීමේ ප්‍රභූන් සාමය පිළබද අවිශ්වාසයෙන්, නැවත නැවත යුද්ධය වෙතම ඇදුනි. එහෙත් යුද්ධයේදී මියගිය, තුවාල ලද සහ අතුරුදහන් වුවන් අයත්වුයේ උතුරේ සහ දකුණේ නිර්- ප්‍රභූන් කුලකය වෙතය. උතුරේ නිර්- ප්‍රභූන් යුධකලේ, තමා වෙත දකුණේ ආණ්ඩුව බලහත්කාරයෙන් පටවනලද පිඩනයට එදිරිවය. එකී පිඩනයන් ගේ එක්, අවස්තාවක් වුයේ, සිංහල රාජ්‍ය භාෂා පනතය. මෙකී පනත හේතුවෙන්, තමා මුහුණදුන් පරිපාලන ගැටළු 1963- 1966 යාපන දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ නෙවිල් ජයවීර විසින් ඔහුගේ, Jaffana- Exorcising the Past and holding the vision:- An Autobiographical reflection on the Ethnic Conflict (2014) හි සවිස්තරව පෙන්වා දෙයි. ජයවීර පවසන ආකාරයට, සිංහල රාජ්‍ය භාෂා පනත ක්‍රියාත්මක කිරීමේදී, යාපනය සදහා ලිපිකරුවන් 50ක් අනුයුක්ත කර තිබුණු නමුත් 48 දෙනෙකුම වෛද්‍ය හේතු මත හෝ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරු මගින් යාපනය වෙත වන තම මාරුකිරීම් අවලංගු කරගෙන තිබුණි. ජයවිර සමග අයිවන් සමරවික්‍රම සහ තවත් සිංහල දත් ලිපිකරුවන් දෙදෙනෙකු පමණක් මේ අවධියේදී යාපන පරිපාලන කාර්යාලයේ වු බව හෙතම තවදුරටත් පෙන්වාදේ. මෙකී මිනිස් සම්පත් නොමැති දුෂ්කරතා මැද වුද ද, හෙතම තම කාර්යන් ඉටුකිරීමට උත්සුක වුද ද හෘද සාක්ෂියේ ගැටළුවය හෙතෙම මුහුණ දුනි. එනම්, සිංහල භාෂාව පිළිබද කිසිදු අවබෝධයක් නොමැති, පුද්ගලයන් වෙත ආණ්ඩුවේ ලියවිලි එකී භාෂාවෙන් නිකුත්කිරීම කොතරම් සාහසිකද යන්නය.

“සර්, ඔබ කැමතිද ඔබේ දරුවන්ගේ විවහා සහතිකය දෙමළෙන් නිකුත් කරනවාට? ඔබේ මුනුබුරු- මිනිබිරියන්ගේ උප්පැන්න සහතිකය දෙමළෙන් ලබාදෙනවාට? නැතිනම් මරණ සහතිකය ඔබේ ඥාතින් වෙත දෙමලෙන් ලියා දෙනවාට?”(පිටුව 96) . යැයි ජයවිර සිංහල භාෂා පනත යාපනේදී ක්‍රියාත්මක කිරීමට බලකරන ලද දෙමළ නොදත් කොළඹ දේශපාලන නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කරන්නේ, එකී හෘද සාක්ෂියේ අවධිවිම හේතුවෙනි. ජයවීර ගේ ප්‍රශ්න කිරීම අදටත් වලංගුවේ. සිංහල සහ දෙමළ පරිපාලන භාෂා ලෙස අද වනවිට ක්‍රියාත්මක වුව ද, උතුරේ බහුතරයක් වන පොලිස් නිලධාරීන් හට දෙමළ භාෂාව පිලිබද නිසි අවබෝධයක් නොවේ. එහෙයින් , නිතිය සහ ආරක්ෂාව කඩවීම් උදෙසා පොලිසිය වෙතින් කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට උතුරේ ජනයාට අදටත් අපහසුවී ඇත. මේ වර්තමානයට ද වලංගු පීඩනය ඉවත්කිරීමට වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යුහය අසමත්වී ඇත. එහෙත් අප පසුවන්නේ සාමය සහ සංහිදියාව ගොඩ නැගීම වෙනුවෙන් කැපවූ අවධියකය.

1980 දශකයේදී දකුණේ ඇතිවූ කලබල හේතුවෙන් දකුණේ වු දෙමළ ජනයා වෙත උන්හිටි තැන් අහිමිවිය. ඔවුන් අභ්‍යන්තර අවතැන් වු වන් ලෙස සලකා, උතුරේ පදිංචිකරණ ලදී. යුද්ධය විසින් මෙකී ජනයා, තැනින් තැන්නට යන අහිකුණ්ඨක ජිවිතයක් තුලට තල්ලුකරන ලදී. එහෙත් යුද්ධය නැවතුනු සැම තත්පරයක් තුලම ජීවිතය ගොඩ නාගා ගැනීමට ඔවුන් වෙහෙසුණි. වෙල්ලමුල්ලිවයික්කාල්හිදී , සැබවින්ම අනාථව සිටියේ, කෑගල්ල, කුරුනෑගල හෝ දකුණේ වෙනත් ප්‍රදේශයක වු තේ හෝ රබර් වත්තක ඉපදී දෙමළ වීම හේතුවෙන් සිංහලයාගේ පිඩාවට ලක්ව උතුර වෙත පන්නාදැමු ජනතාවය. මොවුන් වෙත භූමියට වු හිමිකම අහිමි කළ දකුණේ රාජ්‍ය, සම්පත් බෙදියාමේදී ද විෂමතා දක්වන ලදී. යුද්ධය අවසන් මේ මොහොතේදී, මෙකී ජනයා නැවත තම ඉඩම් කරා පැමිණෙන විට, ඔවුන් ගේ ඉඩම් අයිතිය අභියෝගයට ලක්කරමින්, හමුදා කාණ්ඩ බලෙන් රදාවා තිබේ. එසේම බලපත්‍ර මත යැපුණු මෙකී යම් ජනයාවෙත වන ඉඩම් බලපත්‍ර අහිමිකරමින්, ඔවුන් මුලින් ගෙනවිත් පදිංචි කරණ ලද ඉඩම් , ආණ්ඩුවේ ඉඩම් ලෙස අර්ථනිරූපණ කර ඇත. ආණ්ඩුවේ දේශපාලකයන්ගේ අනුදැනුමෙන්, ඇති කරණලද භීෂණයකින් උතුරට පලවා හැරී දෙමලාට අද භුමිය අහිමිකරමින් දකුණ සමාදානයට සහ සන්හිදියාවට මාධ්‍යය සංදර්ශන පවත්වයි. මේ ලෙස ඉතිහාසයේ වු තුවක්කු- හිංසන භිෂණය මැඩිම සදහා උතුරේ ජනයා අවි අතට ගැනීම පිටුදකින දකුණ එකී භිෂණය සහ හිංසනය අද , රාජ්‍ය චක්‍රලේක මගින් නැවත උතුර වෙත මුදාහැරීමට සහයෝගය ලබා දේ.

උතුරේ ජනයා, තමා වෙත එල්ල කරණ ලද පිඩාව නැසීමට අවි ගත්තද, දකුණේ පිඩිතයන් අවි ගෙන තමන් හා සමාන පිඩිතයන්ට එරෙහිව උතුර වෙත ඇදීමේ කතාව ආරම්භවන්නේ බඩගින්නේ වේදනාවෙනි. දකුණේ නිර්- ප්‍රභුන් යුධ පෙරමුණට ගියේ රට රැකිම උතුම් වගකීමක් ලෙස සලකන හෙයින්ම නොවේ. බහුතර හමුදා ශ්‍රමිකයන් අඳ හෝ සුළු පරිමාන ගොවීන්ගේ දරුවන්ය. ඔවුන් විසින් ගොවිකම වෙනුවට හමුදා ශ්‍රමිකත්වය තෝරාගන්නා ලදී. හමුදා ශ්‍රමිකයකු වීමේ ඔවුන්ගේ මුලික පෙළබුම ස්ථිර රැකියා සදහාවන සිහිනයයි. එකී සිහිනය විසින් දකුණේ ආණ්ඩුව තමා හමුදා ශ්‍රමිකයකු කර, යුද්ධයට යවන ආකාරය පිලිබද නියම චිත්‍රය ඔවුන්ගෙන් සගවා ඇත. සුට් ඇද, පාට විදුරු පළදින හමුදා අය්යාට නංගිලාගේ ප්‍රේම ෆැන්ටසිය වෙත ක්ෂණික පිවිසුමක් ලබාදේවි යන හේතුවෙන්ද ඔවුන් උතුරේ පිඩිතයාට විරුද්ධ යුද්ධය වෙත තම ශ්‍රමය යොදවන ලදී. නමුත්උතුරේ පිඩිතයා මෙන්ම ඔවුන්ද තවත් පිඩිත කන්ඩායමක් පමණි.

රාශිය තවම මාරු වී නොමැත. අදටත්, අවි ගැටුම හමාර වුදද, රාශිය මාරුවී, හිතේ බරක් නොමැතිව අප කිසිවෙකුට අවුරුදු සැමරිය නොහැකිය. අතුරුදහන් වුවන්ට යුක්තිය ඉටු වී නොමැත. හමුදාව අවභාවිත කරණ මුදවා හැරීමට රජය මන්දගාමීව කටයූතු කරයි. එවැනි උතුරක් අබිමුව, බඩගින්න ප්‍රධාන ගැටළුව කරගත් දකුණක් සහිතව අපි එකම රාශියේ රැදෙමින්, ව්‍යාජ රාශි මාරුවක් වෙනුවෙන් සැමරීම් කරමු.

අරුණි සමරකෝන් | Aruni Samarakoon