2012 වසරේ නොවැම්බර් 9-10 දිනවල වැළිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙක් ඝාතනය කිරීම ඇසින් දුටු ප්‍රධානම සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් සිල්වා ගේ, මොරටුව, පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 11ට පමණ කිසියම් පිරිසක් වෙඩි තබා පලා ගොස් තිබේ.

රාජපක්ෂ සමයේ සිදුකල එම සංහාරයේදී සිරකරුවන් 27දෙනෙක් ඝාතනය කරමින් විශාල පිරිසකට තුවාල සිදුකරමින් තෙවෙනි වරටත් ‘වැලිකඩ ඝාතනය‘ ඉතිහාසයට එක් වුවත්, එදත් අදත් බොහෝ දේශපාලන පක්ෂත්, සිවිල් සමාජයේ වැඩිපිරිසක් සේම පොදු සමාජයත් පොදුවේ දක්වන්නේ ඉතාමත් නිද්‍රාශීලි මෙන්ම (අ)දේශපාලනික පිළිවෙතකි.

නම් ලැයිස්තුවක් රැගෙන පැමිණි ආරක්ෂක නිළධාරීන් පිරිසක් විසින් එම ලැයිස්තුවට අනුව තෝරාගත් රැදවියන් ගේ හිසට වෙඩි තබා ඝාතනය කළ බව, පසුව ඒ පිළිබද පරීක්ෂණ කළ නීතිඥයින්ට සහ ඒ පිළිබද සෙවීමට පත්කළ කමිටුවලට ඇසින්දුටු පිරිස් සාක්ෂි ලබා දී තිබේ. එම සාක්ෂි ලබා දුන් පිරිස අතර ප්‍රධානම සාක්ෂිකරුවෙක් වන්නේ සුදේශ් නන්දිමාල් සිල්වා ය.

එපමණක් නොවේ සුදේශ් පසුගිය කාලය පුරාම ඒ පිළිබද මාධ්‍යවලින් මෙන්ම පොදු විරෝධතාවලින්ද තමන් අත්දුටු ඒ අපරාධය පිළිබද සහ අපරාධය මෙහෙයවනු ලැබූ නිළධාරීන් ගේ නම් සහ ඔවුන් කිව් දේවල් පිළිබදව හෙළිදරව් කරමින් සිටි අයෙකි.

[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]
(පහත සටහන පසුගිය වසරේ ඉදිරිපත්කළ සටහනක් වන අතර එහි සුදේශ් නන්දිමාල් පවසන සුවිශේෂ හෙළිදරව්වක් අතුලත්ය)

වැළිකඩ ඝාතනයට වසර 4යි

එසේම සුදේශ් නන්දිමාල් විසින් වැලිකඩ සංහාරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ‘රිට් පෙත්සම‘ එළබෙන සැප්තැබ්බර් 12 දින විභාගය ගැනීමට නියමිතය. එසේම ඔහු ඝාතනය කිරීමේ උත්සාහය පිළිබද ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට‘ යොමු කර තිබූ පැමිණිල්ල පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුන් ආරක්ෂා කිරීමේ ඒකකයේ දී පැවැත්වුණු අතර එහි දී සාක්ෂි දී පැමිණි සුදේශ් නන්දිමාල් නිවසේ නිදා ගෙන සිටිය දී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

එසේම මේ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ

‘‘වසර 5 කට ආසන්න කාලයක් රජය වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නැත. එමෙන්ම, මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දැනට පොලිස් සේවයේ නිරත නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් හෝ පවත්වා නොමැති බවත් වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් සාක්කිරුවන්රුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය දිගින් දිගටම ඉල්ලීම් කර ඇති නමුත් වත්මන් රජය වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධානීන් රැකීමට කටයුතු කරන බව අවධාරණය කරයි.‘‘

යහපාලනය සහ වැළිකඩ

යහපාලනය පැමිණියේ මෙම වැළිකඩ සංහාරය පිළිබද විදිමත් පරීක්ෂණයක් සිදුකර යුක්තිය ඉටු කරන බව පවසමිනි. එවකට ඒ සම්බන්ධයෙන් පැවති විරෝධතාවලදී දැන් අමාත්‍යවරයෙක් ව සිටින් මනෝ ගණේෂන් ද නිරන්තරයෙන් දැකගත හැකි විය.

නමුත් යහපාලන ආණ්ඩුව පැමිණ දැන වසර 2කක් ගෙවී යයි. සිදුවෙමින් අත්තේ වැලිකඩ සංහාරයේ සාක්ෂිකරුවන් ට තර්ජන එල්ලවීමයි. බිය වැද්දීමයි. වෙඩි තැබීමයි. එපමණය.

රාජපක්ෂ පාලනය සමයේ සිදුකළ මේ සංහාරය ගැන රාජපක්ෂ ආණ්ඩුවද, නීතියද කිසිවක් කලේ නැත. ඔවුන් සිදුකලේ අපරාධකරුවන් වසන් කිරීම පමණය. නීතිය ක්‍රියාත්මක කළේ නැත.

යහපාලනයත් ගමන් කරන්නේ එම මාර්ගයේමද? මේ වෙඩි තැබීමෙන් සනාථ වන්නේ එයමද?

කෙසේ නමුත් ලෝකය ඉදිරියේ දිගහැරුනු ඒ ම්ලේච්ඡ ක්‍රියාවට අණදුන් සහ ඒ අපරාධයට හවුල් වූ අපරාධකරුවන් සැගවීම සදහා මෙවැනි ලෙස ‘අපරාධ‘ සිදු කිරීමට උත්සහයන් ගන්නේ තව තවත් නිරුවත් වන්නේ ඒ උත්සහයන් ගන්නා පිරිස්ම ය.
අනෙක් පසින් ‘සංක්‍රාන්ති යුක්තිය‘ පිළිබද සාකච්ඡා සිදු කරන මේ මොහොතේ සාක්ෂිකරුවන් හට මෙවැනි තත්ත්වයන්ට මුහුණ පෑමට ලක්වීම යුද සමයේ සිදුකළ අපරාධ, මානව හිමිකම් උල්ලංඝනයන් සදහා ‘යුක්තිය‘ ලබා ගැනීමේ දී ඇතිවිය හැකි තත්ත්වය තේරුම් ගත හැකිය. එය ඉතාමත් නරක සහ අයහපත් තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එබැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිදුකල යුතු වන්නේ සංකීර්ණ ප්‍රශ්ණයක් ආ සැනින්න NGO NGO කියා බෙරිහන් දෙනවාට වඩා සාධාරණ සහ විශ්වාසනීය පරීක්ෂණයන් පවත්වා යුක්තිය ඉෂ්ඨ කිරීමත් සුදේශ් නන්දිමාල් සිල්වා වැනි ඉතා වැදගත් සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට පියවර ගැනීමත්ය.

තේරුම්ගත යුතු අනෙක් කරුණ වන්නේ වත්මන් ලෝකය තුළ අපරාධයන් හෙළිදරව් කරන සාක්ෂිකරුවන් බියවද්දා, තර්ජනය කර, ඝාතනය කර ඒ අපරාධය සැගවීමට මෙන්ම අපරාධකරුවන් සැගවීමට උත්සහ ගන්නේ නම් එය කළ නොහැකි කර්යයක් බවය. එසේ කිරීමට යම් පිරිසක්, සමාජයක් උත්සහා ගන්නේ නම් සිදුවන්නේ ඉතා වේගයෙන් අපරාධකරුවන් ලෝකයා ඉදිරියේ හෙළිදරව් වන බවය. එසේම ඒ සමාජය හෝ පාලකයන් ශිෂ්ඨ ලෝකය හමුවේ ගෝත්‍රිකයන් පිරිසක් බව යළිත් තහවරු වන බවය. එය පපුවට ගසා ගෙන හෝ කුමක් හෝ දෙයකට තඩිබා නවතා දැමිය නොහැකිය.