iMage by: The Forward

[පසුගිය අප්‍රේල් 10වන දින විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු සංවිධාන කිහිපයක් විසින් ෆේස්බුක් සමාගම වෙත ඉදරිපත් කරනලද ලිපියේ සිංහල පරිවර්තනය අප මෙසේ පාඨකයන් වෙත ඉදිරිපත් කරන අතර, මෙම ලිපියට අදාලව ෆේස්බුක් සමාගම විසින් එවා ඇති ඔවුන්ගේ ප්‍රතිචාරයේ සිංහල පරිවර්තනය ද ඉතා ඉක්මනින් මෙහි පළ කරමු.]

2018 අපේ‍්‍රල් 10, කොළඹ, ශ‍්‍රී ලංකාව: විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය(CPA) ෆේස්බුක් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි මාක් සකර්බර්ග් වෙත විවෘත ලිපියක් යොමු කරන්නේ ඔහු අපේ‍්‍රල් 10 දින කොන්ග‍්‍රසය ඉදිරියේ සාක්ෂි දීමට සූදානම් වෙමින් සිටින මොහොතක ය. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සිවිල් සමාජයේ අනෙක් සාමාජිකයන් සමග එක්ව මෙම ලිපිය මගින් ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා සිටින්නේ සිය වේදිකාව හරහා ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වය සහ වෛරී කථනය ඇතුළු අන්තර්ගතයන් ප‍්‍රවර්ධනය කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ය.

දිගන, අම්පාර හා අවට ප‍්‍රදේශවල හට ගත් ප‍්‍රචණ්ඩත්වයෙන් පසුව ඉතා ම මෑතක දී හමුදා කෝපරල්වරුන් දෙදෙනෙකු ද ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති නමුත් ප‍්‍රචණ්ඩ පණිවුඩ ප‍්‍රවර්ධනය කිරීමේ දී ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වේදිකා විසින් ඉටු කරන ලද කාර්ය භාරය ප‍්‍රමාණවත් අයුරින් විභාග කර නැත. ෆේස්බුක් නියෝජිත කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවේ රජය හමු වී ඔවුන් සමග එක්ව වෛරී කථනයට එරෙහිව පියවර ගැනීමට කැප විය. කෙසේ වුව ද, එම සාකච්ඡාවේ අන්තර්ගතය ප‍්‍රසිද්ධ කර නැත. ෆේස්බුක් අන්තර්ගතය එම අඩවියේ ප‍්‍රජා ප‍්‍රමිතීන් උල්ලංඝනය කළ අවස්ථා සිවිල් සමාජ නියෝජිතයන් වසර ගණනාවක් තිස්සේ ම පෙන්වා දී ඇති අතර ෆේස්බුක් සමාගම ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට කොතෙක් දුරට සූදානම් දැයි පැහැදිලි නැත.

සමාජ මාධ්‍යය වෛරී කථනය පතුරවන්නක් බව සහ සුළුතරයන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය උසි ගන්වන්නක් බව ශ‍්‍රී ලංකාවේ පූර්ව අත්දැකීම් ඇසුරින් ද ඒ හා සමාන කනස්සල්ලක් දනවන ආකාරයෙන් මියැන්මාරයේ සිදුවීම් ඇසුරින් ද සොයා ගත්තේ දිගු කලකට පෙර ය. පැමිණිලි කරන ලද සමහර පණිවුඩ වෛරී කථනයෙන් යුක්ත විය, සමහර පණිවුඩ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රවර්ධනය කළේ ය, සමහර පණිවුඩ LGBTIQ ප‍්‍රජාවට එරෙහි හිංසනයෙන් යුක්ත විය. එහෙත් අවධානය යොමු කරවීමෙන් පසුව පවා මින් බොහොමයක් ඔන්ලයින් ක්ෂේත‍්‍රය තුළ දිගින් දිගට ම පැවතී ගෙන යයි.

උනන්දුවක් දක්වන පරිශීලකයන් විසින් එක දිගට ම පැමිණිලි කරනු ලැබුණ ද ඔන්ලයින් ක්ෂේත‍්‍රය තුළ දී මෙම තේමාවන් පදනම් කර ගෙන ෆේස්බුක් පිටුවලට නිරන්තරයෙන් තව තවත් අපවාදාත්මක අන්තර්ගතයන් පෝස්ට් කිරීමට ඉඩ සලසන එක් ප‍්‍රධාන සාධකයක් වන්නේ අගතියෙන් තොරව සිංහල භාෂාව මධ්‍යස්ථ කිිරීමක් සිදු නොවීම බව නිරන්තරයෙන් පෙන්වා දෙනු ලැබේ.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ශ‍්‍රී ලංකාව තුළ සිදු වන වෛරී කථනය විග‍්‍රහ කරමින් වසර ගණනාවක් තිස්සේ ම වාර්තා ප‍්‍රකාශයට පත් කර ඇත. මහාචාර්ය සුසාන් බෙනිෂ් විසින් නිර්මාණය කරන ලද අන්තරායකර කථන රාමුව යොදා ගනිමින් දකුණු ආසියාව තුළ පළමු වතාවට ෆේස්බුක් වෛරී කථනය විග‍්‍රහ කරමින් නිකුත් කළ වාර්තාව ද ඒ අතර වේ. මෙම වාර්තා සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කරන ලදුව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂකයන් විසින් අවස්ථා කිහිපයක දී ම ෆේස්බුක් සමාගම වෙත ඉදිරිපත් කෙරුණු නමුත් ඒවාට කිසිි ම ප‍්‍රතිචාරයක් දක්වා නැත.

මෙම ලිපියෙන් මතු කෙරෙන ගැටලූ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා සිවිල් සමාජය සමග වඩාත් ක‍්‍රියාකාරීව සම්බන්ධ වන ලෙස අපි ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා සිටිමු.

##
2018 අපේ‍්‍රල් 10
කොළඹ,
ශ‍්‍රී ලංකාව.

හිතවත් මාක් වෙත,

දේශීය භාෂා හා වාතාවරණයන් සම්බන්ධයෙන් ෆේස්බුක් ප‍්‍රජා ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කෙරෙන බව සහතික කිරීම සඳහා හදිසි, අර්ථාන්විත හා අඛණ්ඩ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ඔබට ලිවිය යුතු යැයි මෑතක දී මියැන්මාරයේ ප‍්‍රමුඛ පෙළේ සිවිල් සමාජ සංවිධාන අත්සන් තබා ඔබ වෙත ඉදිරිපත් කළ ලිපියට එකඟතාව හා සහාය පළ කරන පහත අත්සන් කරන අපට ද දැඩිව හැෙඟ්. ප‍්‍රචණ්ඩත්වයේ හෝ යුද්ධයේ කල් පවත්නා බලපෑම් අත්විඳින සහ ප‍්‍රජාගණවාදී, ආගමික, ජනවාර්ගික, දේශපාලනික හා ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයීය වෙනස්කම් එවැනි තත්ත්වයන්ට මග පාදා ඇති රටවල දී හා වාතාවරණයන්හි දී එම ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කෙරෙන බව සහතික කිරීම විශේෂයෙන් ම වැදගත් වේ.

ෆේස්බුක් පණිවුඩ සහ ෆේස්බුක් පිටු ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වයේ හා LGBTIQ ප‍්‍රජාවට එරෙහි ප‍්‍රචණ්ඩත්වයේ සිට වෛරී කථනය දක්වා වූ හැම දෙය ම චිරස්ථායී කරන්නේ යැයි පැමිණිලි කළ විට ඒ සම්බන්ධයෙන් ඔබගේ වේදිකාව සුළු සහායක් පළ කිරීම හෝ කිසි ම සහායක් පළ නොකිරීම ගැන අපි බෙහෙවින් ම කනස්සල්ලට පත්ව සිටිමු. ශ‍්‍රී ලංකාවේ ජාතික භාෂාවන්ගෙන් එකක් වන, මාසිකව රට තුළ ක‍්‍රියාකාරී පරිශීලකයන් මිලියන හයකට ආසන්න සංඛ්‍යාවක් ෆේස්බුක් අඩවිය තුළ බහුලව යොදා ගන්නා සිංහල භාෂාවෙන් පළ කෙරෙන අන්තර්ගතයට මෙය විශේෂයෙන් ම අදාළ වේ.

අපි 2017 සැප්තැම්බර් 7 වන දා සිංහල කවියක් ඇතුළත් ඡායාරූපයක් පිළිබඳව පැමිණිලි කළෙමු. කාන්තාවක කියන ආකාරයෙන් රචනා කරන ලද ඒ කවිය කාන්තාවන් ලජ්ජාව නිසා ”නැහැ” යි කියන බොහෝ විට ඉන් අදහස් වන්නේ ”ඔව්” යන්න යැයි අඟවයි. පොලිස් සංඛ්‍යා ලේඛන අනුව 2017 වසරේ දී පමණක් නීති ප‍්‍රකාර ස්ත‍්‍රී දූෂණයන් 2,438ක් ද ස්ත‍්‍රී දූෂණ 294ක් ද වාර්තා වී තිබෙන හෙයින් මෙම කරුණ ඉතා ම වැදගත් ය. මේ එක ද සිදුවීමක් සම්බන්ධයෙන් වත් එම වසර තුළ දී කිසිවෙකු වරදකරු කෙරුණේ නැත. ප‍්‍රතිචාර දැක්වීමට දින දෙකක් ගත් ඔබ එම ඡායාරූපය ඔබගේ ප‍්‍රජා ප‍්‍රමිතීන් උල්ලංඝනය නොකරන්නේ යැයි කියා සිටියේ ඔබගේ ප‍්‍රජා ප‍්‍රමිතීන් ලිංගික ප‍්‍රචණ්ඩත්වය හෝ සූරා කෑම ප‍්‍රවර්ධනය කරන අන්තර්ගතයන් ඉවත් කරන බවට ප‍්‍රතිඥා දී තිබිය දී ය.

2017 Lanka Comic Con උලෙළ අතරතුර දී ෆේස්බුක් පිටු කිහිපයක පරිපාලකයන් උලෙළේ දී විලාසිතා වෙස් පාමින් භූමිකා නිරූපණයෙහි යෙදුණු බොහෝ කාන්තාවන්ගේ ශරීර ස්වභාවය සරදමට ලක් කරමින් පණිවුඩ පළ කළ අතර ඉන් බොහොමයක් ලියා තිබුණේ සිංහල භාෂාවෙනි. මෙම පිටු සහ අදාළ ඡායාරූප පිළිබඳව පැමිණිලි කිරීම සඳහා පරිශීලකයන් විශාල සංඛ්‍යාවක් එක්ව ක‍්‍රියා කළ ද 2018 මාර්තු මාසයේ දී ද මෙම පණිවුඩවලින් බොහොමයක් ඔන්ලයින් ක්ෂේත‍්‍රය තුළ දැක ගත හැකි විය. එහෙත් තමන්ගේ ප‍්‍රකාශන හිමිකම් උල්ලංඝනය කර ඇත යන පදනම මත ඡායාරූප ශිල්පියෙකු තමන් ගත් ඡායාරූපයක් සම්බන්ධයෙන් පැමිණිලි කළ විට එම ඡායාරූපය නම් ඉවත් කරනු ලැබිණ. පරිශීලකයෙකුගේ පෞද්ගලික සුරක්ෂිතතාවට සහ ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ඔන්ලයින් ප‍්‍රචණ්ඩත්වයට වඩා බුද්ධිමය දේපළට ප‍්‍රමුඛත්වය දෙමින් ෆේස්බුක් සමාගම විසින් දක්වන ලද මෙම ප‍්‍රතිචාරය ගොදුරු වූවන් කිහිප දෙනෙකු විසින් අතිශයින් ම අපේක්ෂා භංග කරනසුලූ පියවරක් ලෙස හඳුන්වන ලදි. මෙය සිදු වන්නේ තනි පුද්ගලයන්ට අවමන් කිරීම සඳහා යොදා ගැනෙන විකෘත කරන ලද ඡායාරූප ඉවත් කෙරෙන බව සඳහන් සුවිශේෂ ෙඡ්දයක් ඔබගේ ප‍්‍රජා ප‍්‍රමිතීන් අතර තිබිය දී ය.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, Hashtag Generation සහ Ghosha යන සංවිධාන කාන්තාවන්ට එරෙහි තාක්ෂණය පදනම් කර ගත් ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව මේ වන විට කරමින් සිටින පර්යේෂණයකින් අනාවරණය වන්නේ ඔබගේ අඩවිය හරහා කාන්තාවන්ට හිංසා කරමින් හෝ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රවර්ධනය කරමින් පෞද්ගලික හා අතිශය පෞද්ගලික ඡායාරූප හා පණිවුඩ නැවත නැවත ද පොදු එකඟතාවකින් තොරව ද ප‍්‍රචලිත කෙරෙන බව යි. එහෙත් අවධානය යොමු කරවීමෙන් පසුව පවා මෙම පණිවුඩවලින් බොහොමයක් ඔන්ලයින් ක්ෂේත‍්‍රය තුළ අඛණ්ඩව පැවතී ගෙන යයි. එපමණක් නොවේ. කාන්තා හිංසනය ප‍්‍රවර්ධනය කරන පණිවුඩ දෙමළ භාෂාවෙන් ද දිගින් දිගට ම පළ කෙරෙන්නේ සිංහල භාෂාව ශ‍්‍රී ලංකාව තුළ පමණක් භාවිත වුව ද දෙමළ භාෂාව ඉන්දියාව තුළ සහ ලෝකයේ වෙනත් ප‍්‍රදේශවල පුළුල්ව පැතිර පවතින හෙයින් මධ්‍යස්ථ කිරීමට වැඩි සහායක් ලබා ගත හැකිව තිබිය දී ය.

සිංහල භාෂාවෙන් පළ කෙරෙන පණිවුඩ මධ්‍යස්ථ කරන්නන්ගේ අනන්‍යතාව හෝ වඩාත් වැදගත් කරුණ වන ඔවුන්ගේ ස්ත‍්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් කිසි ම විනිවිද භාවයක් නැති බව අපි මහත් ඕනෑකමින් අවධාරණය කර සිටිමු. පැමිණිලි කරන ලද අන්තර්ගතයන් සමාලෝචනයට ලක් කෙරෙන්නේ මතු කර තිබෙන ගැටලූ සහ එම ගැටලූ මතු කෙරෙන වාතාවරණය මුළුමනින් ම ග‍්‍රහණය කර ගත හැකි – සහ අවබෝධ කර ගත හැකි – අයෙකු විසින් දැයි පරිශීලකයන් දැන ගත යුතු ය. සුළුතර ලිංගික නැඹුරුතාවන් හා ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයීය අනන්‍යතාවන් සම්බන්ධ සිදුවීම්වල දී මෙම කාරණය දෙගුණයක් වැදගත් වේ. ආගමික සුළුතරයන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය උසි ගැන්වීම සඳහා ද ඔබගේ වේදිකාව දිගින් දිගට ම යොදා ගෙන ඇත.

සමාගම යටත් පිරිසෙයින් සිංහල අන්තර්ගතය පිළිබඳව පරිශීලකයන් කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කර ඇති මධ්‍යස්ථ කරන්නන් සංඛ්‍යාව සහ ඔවුන් සේවය කරන ෆේස්බුක් කාර්යාලය හෝ කාල කලාපය සහ ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව පැහැදිලි කළ යුතු ය. ප‍්‍රචණ්ඩත්වය වැඩි වන සහ වැඩි වැඩියෙන් අවම කළ යුතු සුවිශේෂ කාල පරිච්ෙඡ්දයන්හි දී පරිශීලකයන් විසින් ඉදිරිපත් කෙරෙන පැමිණිලි විමසා බැලීම හා විසඳීම සඳහා ද පැහැදිලි කැප වීමක් තිබිය යුතු ය.

අප උනන්දුව දක්වන්නේ මෑත මාසවල ශ‍්‍රී ලංකාවේ ගිංතොට, අම්පාර හා මහනුවර ප‍්‍රදේශ අලළා ගත් ප‍්‍රචණ්ඩත්වය අතරතුර දී එළිපිට ම ජන සංහාරය උසි ගැන්වූ සහ වෛරය උසි ගන්වමින් වෙනත් කරුණු ඉදිරිපත් කළ අන්තර්ගතයන් ඉවත් කිරීමට ඔබගේ වේදිකාව අසමත් වීම සහ සූදානම් නොවීම ගැන ය. උදාහරණයක් ලෙස 2018 මාර්තු මාසයේ දී මධ්‍යම පළාතේ මහනුවර ප‍්‍රදේශයේ හට ගත් කැරලි කෝලාහල අතරතුර දී පළ වූ එක් පණිවුඩයක් පළමු වරට ඒ පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසු දින හයක් තිස්සේ ෆේස්බුක් අඩවියේ දක්නට ලැබිණ. ‘නීචයන් බැවින් දරුවෙකු වුව අත් නොහැර සියලූ මුසල්මානුවන් ඝාතනය කළ යුතු යැ”යි එම පණිවුඩය ඉල්ලා සිටියේ ය.

මෙහි දී විනීත ආකාරයෙන් ඉදිරිපත් කෙරුණ ද සැබෑ පණිවුඩය තුළ මෙම ඉල්ලීම කර තිබුණේ මීට වඩා දරුණු වචන යොදා ගනිමිනි. ෆේස්බුක් සමාගම එම පණිවුඩය කිසි ම මාර්ගෝපදේශයක් උල්ලංඝනය නොකරන්නේ යැයි පවසමින් ඒ පිළිබඳව පැමිණිලි කළ පරිශීලකයාට ප‍්‍රතිචාර දැක්වීම මවිතයට කරුණකි. සිංහල අන්තර්ගතය සමාලෝචනයට ලක් කරන මධ්‍යස්ථ කරන්නන්ගේ අනන්‍යතාව පිළිබඳ ප‍්‍රශ්නය මෙහි දී නැවතත් මතු වේ. එක්කෝ ඔවුන් ඔබගේ වේදිකාව වෛරී කථනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රමිතීන් ගැන නොදන්නවා විය යුතු ය, නැත් නම් – වඩාත් භයානක කරුණ මෙය යි – ඔවුන් එවැනි පණිවුඩවලින් ප‍්‍රකාශයට පත් කෙරෙන හැඟීම්වලට තමන්ගේ පක්ෂපාතිත්වය පළ කරනවා විය යුතු ය!

ජනවාර්ගික ජාතිකවාදය හා ඔන්ලයින් ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රචණ්ඩත්වය උසි ගැන්වීම සහ ඒවාට වගකිව යුත්තන් දඬුවම් නොලැබීම ශ‍්‍රී ලංකාවට පමණක් සීමා වූ කාරණා නොවේ. අවමන් කිරීමේ මෙම රටා මියැන්මාරයේ තත්ත්වයට ඍජුව ම පාහේ සමාන වන අතර මියැන්මාරය තුළ වෛරී කථනය පැතිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම වගකිව යුතු යැයි එක්සත් ජාතීන් පැහැදිලි ලෙස ම කියා සිටියේ ය. සමාජ මාධ්‍ය වේදිකා තුළ සිදු වන වෛරී කථනයට විසඳුම් නොසෙවුව හොත් මෙම ගැටලූ තව තවත් උග‍්‍ර විය හැකි බැවින් ක‍්‍රියාකාරීහු ද මාධ්‍යවේදීහු ද – මොවුන්ගෙන් බොහෝ දෙනෙක් සගයන්, මිතුරන් සහ සමක‍්‍රියාකාරීහු වෙති – බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටිති.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය වෛරී කථනය ප‍්‍රචණ්ඩත්වය උසි ගැන්වීම සමග සම්බන්ධ කරන මහාචාර්ය සුසාන් බෙනිෂ් විසින් නිර්මාණය කෙරුණු අන්තරායකර කථන රාමුව යොදා ගනිමින් ශ‍්‍රී ලංකාවේ වෛරී කථනය පිළිබඳව පසු ගිය වසර හතර තිස්සේ ම වාර්තා ප‍්‍රකාශයට පත් කර ඇති බව ඔබට මතක් කර දීමට අප කැමති ය.

අලූත්ගම මුස්ලිම් විරෝධී කැරලි කෝලාහලවලින් පසුව ‘ප‍්‍රචණ්ඩත්වයට කැමැත්ත පළ කිරීම’ නමින් නිකුත් කෙරුණු වාර්තාව ශ‍්‍රී ලාංකික සමාජ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ සුළුතරයන්ට එරෙහි වෛරී කථනය පැතිර පවතින තරම කෙරෙහි අවධානය යොමු කරවීමට ප‍්‍රයත්න දැරී ය. මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රචණ්ඩ කතිකාව යනු කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව චෝදනා එල්ල කරන කටකතාවල ද එම ප‍්‍රජාවට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සඳහා කෙරෙන කැඳවුම්වල ද මිශ‍්‍රණයකි. එය දකුණු ආසියාව තුළ එවැනි වාර්තාවක් ඉදිරිපත් කෙරුණු පළමු වතාව වන අතර ප‍්‍රචණ්ඩත්වය හා වෛරය උසි ගන්වන අන්තර්ගතය නිෂ්පාදනය කිරීමේ දී, පැතිරවීමේ දී සහ ඒ සමග සම්බන්ධ වීමේ දී ෆේස්බුක් අඩවිය ප‍්‍රධාන වාහකයක් ලෙස ඉටු කරන කාර්ය භාරය සහ අදාළ කර ගැනෙන ආකාරය කෙරෙහි 2014 වසර තරම් ඈතක දී ම අවධානය යොමු කරවූයේ ය. ‘සුනිල් බේරා ගැනීම’ නමින් නිකුත් කෙරුණු වාර්තාව යම් කාරණයකට සම්බන්ධිතව නිර්මාණය කෙරෙන පිටුවක් ඉක්මනින් ම වෛරී කථනය සඳහා වාහකයක් බවට පත් වන ආකාරය විමසා බලයි. ‘ශ‍්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ව්‍යූහය තුළ දිගින් දිගට ම එවැනි කණ්ඩායම් ඤසිය ගණනක්’ බිහි වන බවට සැකයක් නැතැ” යි ද වෛරී කථනය පතුරවන්නන් දඬුවම් නොලබන්නේ නම් සහ ඔන්ලයින් ක්ෂේත‍්‍රයට පෝස්ට් කරන පණිවුඩ සම්බන්ධයෙන් ඔවුන් ලවා වග වීමට කටයුතු නොකෙරෙන්නේ නම් මෙම තත්ත්වය උග‍්‍ර විය හැකි යැයි ද වාර්තාව සඳහන් කරයි. ‘වෛරයෙන් ඡන්දය දීම’ නමින් නිකුත් කෙරුණු වාර්තාව දේශපාලන කතිකාව පවත්වා ගෙන යාම සඳහා නිර්මාණය කෙරුණු ෆේස්බුක් කණ්ඩායම් අනන්‍යතාව, ආගම හෝ ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කර ගෙන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් දේශපාලන කථනයේ ව්‍යාජයෙන් වෛරී කථනය ප‍්‍රවර්ධනය කිරීමට ඉඩ තිබෙන බව සඳහන් කරයි. මෙම වාර්තා සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කොට ඇති අතර වසර කිහිපයක් තිස්සේ අවස්ථා කිහිපයක දී ම ප‍්‍රධාන කර්තෘ හා ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුව විසින් ෆේස්බුක් සමාගමේ විවිධ නියෝජිතයන් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.

එපමණක් නොවේ. 2017 දෙසැම්බරයේ පැවති Global Voice සමුළුවේ දීත් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ දී ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවල දීත් ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංවර්ධනය හා නීතියේ පාලනය පිළිබඳ මධ්‍යස්ථානය සමග එක්ව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනය විසින් සංවිධානය කරන ලදුව 2017 ජූනි මස පැවති සාවද්‍ය ඩිජිටල් තොරතුරු සංසදයේ දීත් ෆේස්බුක් නියෝජිතයන් හමුවේ මෙම ගැටලූ ඍජුව හා විවෘතව මතු කරනු ලැබිණ.

මෙම එක ද ඉදිරිපත් කිරීමකට වත් සාක්ෂි හා දත්තවලින් අනාවරණය වන ගැටලූ විමසා බලමින් අර්ථාන්විිත ප‍්‍රතිචාරයක් දක්වා නැත.

ෆේස්බුක් සමාගම ප‍්‍රතිචාර දැක්වීමට තීරණය කළේ මහනුවර ප‍්‍රදේශයේ මෑතක හට ගත් කැරලි කෝලාහල අතරතුර දී facebook අඩවිය බ්ලොක් කෙරුණු පසුව පමණක් වන අතර එහි දී ද ප‍්‍රධාන වශයෙන් ප‍්‍රතිචාර දැක්වූයේ රජයේ නියෝජිතයන්ට පමණකි. මෙය සැලකිය යුතු කරුණකි. ඔබගේ අඩවිය තුළ සිදු වන අවමන් කිරීම් පිළිබඳව වසර ගණනාවක් තිස්සේ ම පැමිණිලි කර ඇති සිවිල් සමාජ ක‍්‍රියාකාරයන් සමග අර්ථාන්විත සම්බන්ධයක් ඇති කර ගැනීමට ෆේස්බුක් සමාගම ඉන් පසුව වත් තීරණය නොකළේ ය. සමාගම තම වේදිකාව තුළ සිදු වන වෛරී කථනය සීමා කිරීම සඳහා රජය සමග එක්ව කටයුතු කිරීමට කැප වූයේ මාර්තු මාසයේ දී ෆේස්බුක් සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් ශ‍්‍රී ලංකාව බලා චාරිකා කිරීමෙන් පසුව ය. ශ‍්‍රී ලංකාව සහ සිංහල අන්තර්ගතය සම්බන්ධයෙන් කල් පසු වී වුව ද දක්වන ලද මෙම උනන්දුව අගය කරන නමුත් එක ද සිවිල් සමාජ නියෝජිතයෙකු වත් නොමැතිව සහ දැනුවත් නොකර රහසිගතව පවත්වන ලද මෙම සාකච්ඡා පිළිබඳව අපි බෙහෙවින් සැලකිලිමත්ව සිටිමු. එපමණක් නොවේ. නැවත නැවතත් ඉල්ලීම් කරන ලද නමුත් සාකච්ඡා කළේ කුමක් ද යන්න සහ එකඟ වූයේ කුමකට ද යන්න සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කිසි ම නිල ප‍්‍රකාශයක් නිකුත් කර නැත. ආණ්ඩුව වෛරී කථනය වැළැක්වීම සඳහා යථා යෝග්‍ය, පටු පියවරයන් ගනු වෙනුවට පෞද්ගලිකත්වය හා අදහස් පළ කිරීමේ නිදහස අවදානමට ලක් කරමින් දැඩි පියවරක් ගෙන ඇති සහ එය දිගින් දිගට ම පවත්වා ගෙන යමින් සිටින තත්ත්වය තුළ ෆේස්බුක් සමාගම විරුද්ධ දේශපාලනික මත මැඩ පැවැත්වීම සඳහා නිල වශයෙන් දණ්ඩන පියවරයන් ගනු ඇතැයි අපි තැති ගෙන සිටිමු. උපදෙස් විමසීමේ ක‍්‍රියාවලියක් නැති තත්ත්වය තුළ ඔබගේ විශිෂ්ට අභිප‍්‍රායන් ඉතා ම නරක ප‍්‍රතිඵලවලට තුඩු දිය හැකි ය.

මේවා අස්ථාන භීතීහු නොවෙත්. ෆේස්බුක් සමාගම මිතුරන් හා පවුල සමග වඩාත් අර්ථාන්විත අන්තර් ක‍්‍රියාවකට ඉඩ සැලසීම සඳහා කෙරෙන පරීක්ෂණයක් ලෙස හඳුන්වන ලද “Explore Feed” අංගය අත්හදා බැලීම සඳහා තෝරා ගත් රටවල් කිහිපය අතරට ශ‍්‍රී ලංකාව ද එක් කිරීමට තීරණය කළේ ය. මෙම අංගය එය ක‍්‍රියාත්මක කෙරුණු බොහෝ රටවල දී ව්‍යාපාරවලට හා ප‍්‍රවෘත්ති ආයතනවලට අහිතකර ලෙස බලපෑ අතර තව මත් මුළුමනින් පැහැදිලි නොකෙරුණු හේතු නිසා අවසානයේ අසාර්ථක විය. අප රට තෝරා ගත්තේ මක් නිසා ද යන්නත් සාර්ථකත්වය මැනීම සඳහා යොදා ගත්තේ කවර මිනුම් දණ්ඩක් ද යන්නත් අත්හදා බැලීම මගින් ෆේස්බුක් සමාගම උගත්තේ මොනවා ද යන්නත් එය අපගේ news feeds බල ගන්වන ඇල්ගොරිතමවලට කිසි යම් කල් පවත්නා බලපෑමක් කළේ ද යන්නත් අපි නොදනිමු.

ෆේස්බුක් සමාගමේ මෙම රහස්‍ය භාවය පරිශීලකයන් බලහීන තත්ත්වයට ද හුදු වෙළඳ භාණ්ඩ බවට ද පත් කරන්නකි. ඉහත දක්වන ලද ඒවාට අමතරව පවතින තවත් ගැටලූවක් වන්නේ ඔබගේ වේදිකාවෙන් රැස් කර ගත් දත්ත යොදා ගනිමින් Cambridge Analytica සම්බන්ධයෙන් මෑතක දී කරන ලද හෙළිදරව් කිරීම් තමන්ට බලපා ඇත්තේ කොතෙක් දුරට දැයි ශ‍්‍රී ලංකාව තුළ මාසයකට ක‍්‍රියාකාරී වන මිලියන හයක් වූ පරිශීලකයන් නොදැන සිටීම යි. ඔබගේ වේදිකාව සන්නද්ධ කෙරී ඇති ඉන්දියාවේ දී පරිශීලකයන් මිලියන භාගයකට සහ පිලිපීනයේ දී පරිශීලකයන් මිලියනයකට මඳක් වැඩි සංඛ්‍යාවකට හෙළිදරව් කිරීම් නිසා සිදු වී ඇති බලපෑම සැලකිල්ලට ගන්නා විට අපගේ කනස්සල්ල වැඩි වේ.

මෙම සතියේ එක්සත් ජනපද කොන්ග‍්‍රසයට ඉදිරිපත් කළ ලිඛිත සාක්ෂියේ දී ඔබ ෆේස්බුක් වේදිකා බරපතළ ලෙස අපයෝජනයට ලක් වීම පිළිබඳව ඔබ තුළ පවත්නා පසුතැවිල්ල නිල වශයෙන් වාර්තාගත කරනවා පමණක් නොවේ. සමාගම ප‍්‍රමුඛත්වය දෙන්නේ ”අපගේ ප‍්‍රජාව ආරක්ෂා කිරීම” සඳහා බවත් එය ”අපගේ ලාභ උපරිම කර ගන්නවාට වඩා වැදගත්” බවත් ඔබ එහි දී සඳහන් කළේ ය. අපි මෙම අදහස් සාදරයෙන් පිළිගනිමු. එහෙත් මෙම වචන සැබෑ ප‍්‍රායෝගික පියවරයන් බවට පරිවර්තනය කළ යුතු ය.

දීර්ඝ කාලයක් තිස්සේ අපට අසන්නට ලැබී ඇත්තේ පෞද්ගලික කැප වීම්, පොරොන්දු දීම් හෝ සමාව ගැනීම් ගැන පමණකි. ඔබගේ සමාගම අප මෙහි දී මතු කර ඇති සහ වසර ගණනාවක් තිස්සේ අවධානය යොමු කරවා ඇති ගැටලූ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා සිවිල් සමාජය සමග එක්ව කටයුතු කිරීමට බැරෑරුම්ව ද වහ වහා ද අර්ථාන්විතව ද කැප වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මෙම ලිපිය සලකා බැලීම සම්බන්ධයෙන් ඔබට ස්තුතිවන්ත වෙමි.
අත්සන් කළේ, Signed,

Bakamoono, http://www.bakamoono.lk
Centre for Equality and Justice
Centre for Policy Alternatives, http://www.cpalanka.org
Equal Ground, http://www.equal-ground.org
Ghosha, https://ghoshawomen.wordpress.com
Grassrooted Trust, https://grassrooted.net
Hashtag Generation, https://www.facebook.com/hashtaggenerationsl
INFORM Human Rights Documentation Centre, https://ihrdc.wordpress.com
South Asians for Human Rights (SAHR), http://www.southasianrights.org
Viluthu, http://www.viluthu.org
Women and Media Collective, http://womenandmedia.org
Women’s Action Network
Youth Advocacy Network Sri Lanka, https://www.facebook.com/YANSriLanka
#

Download the statement here and the signed letter here.

For clarifications and more information around this statement, contact Sanjana Hattotuwa ([email protected]) Raisa Wickrematunge ([email protected]) or Amalini De Sayrah ([email protected])