Image Credit: www.flickr.com

සමලිංගික පුද්ගලයන් එසේත් නැතිනම් සමලිංගිත්වය යන වචනය ඇසුණු සැණෙන් අපේ හිතට නැගෙන්නේ පිළිකුල් හැගීමක්. සදාචාර විරෝධී, සංස්කෘතියට පටහැනි චර්යාවන් ඇති පුද්ගලයන් පිරිසක් ලෙසටයි.

බොහෝ විට සම ලිංගික පුද්ගලයන් පිළිබද පළ වන ලිපි වල ඔවුන් එච්.අයි.වී සහ අනෙකුත් රෝග බෝ කරන පිරිසක් ලෙස හදුන්වනවා. එය සත්‍යයක් නොවේ.

අප තවමත් එච්.අයි.වී පිළිබද ඇති ආකල්ප අතින් 1980 දශකයේ ජීවත්වන බව සමාජයේ පවතින ආකල්ප දෙස බැලූ විට පෙනී යයි. එච්.අයි.වී යනු සමලිංගික රෝගයක් බව ඒ පිළිබද පවතින ප්‍රධාන මිත්‍යා අදසක් ය. 1980 දශකයේ ප්‍රථම වරට එච්.අයි.වී හදුනා ගැණුනේ සමලිංගික කණ්ඩායම් අතර වීම එයට එක් හේතුවක් වන අතර අනෙක් මූලික හේතුව වන්නේ එච්.අයි.වී අවදානමක් සහිත ප්‍රධාන කණ්ඩායම් (Key populations ) වලින් එකක් ලෙස පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් හදුනා ගැනෙන නිසයි. කෙසේ නමුත් රජයේ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ 80% එච්.අයි.වී සම්ප්‍රේෂණය සිදු වන්නේ විෂම ලිංගික එනම්, ගැහැණු සහ පිරිමි අතර සිදු වන ලිංගික ක්‍රියා මගින් වන අතර සමලිංගික හැසිරීම් සහ ද්වී ලිංගික හැසිරීම් වලින් එච්.අයි.වී සම්ප්‍රේෂණය වීම 14.5%කි. මේ දත්ත ලබා ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියෙන් වන අතර එහි ලිපිනය නොම්බර 29, ඩි සේරම් පෙදෙස, කොළඹ 10 වන අතර දුරකතන අංකය 0112667163 වේ. http://www.aidscontrol.gov.lk නමින් ඇති එහි වෙබ් අඩවියෙන්ද එච්.අයි.වී පිළිබද ශ්‍රී ලංකාවට අදාල දත්ත සියළුම ලබා ගත හැකිය.

සමලිංගිකත්වය බුදුදහමට පටහැනි ක්‍රියාවක් බව පොදුවේ පවතින මතයකි. එනමුත් මා සිතන ආකාරයට බුදු දහමේ සමලිංගික හැසිරීම වැරදි ක්‍රියා බව පෙන්වා දී නැත. කොටින්ම කියතොත් බුදු දහම යනු ගිහියන්ට නීති පැනවූ ආගමක් නොවේ. තවද ලිංගිකත්වය පිළිබද පටු ආකල්පයක් අපට ලැබෙන්නේ යම් යම් ලිංගික හැසිරීම්, උදාහරණ වශයෙන් සමලිංගික හැසිරීම්, ලිංගික වෘත්තිය වැනි ක්‍රියා නීතියෙන් තහනම් කිරීමෙන් අනතුරුව බව මේ දෙස හොදින් බලන ඕනෑම අයෙකුට වැටහේ.

අතීතයේදී ශ්‍රී ලංකාව වෙනත් ජාතීන් සමග පැවැත්වූ සම්බන්ධතා සහ සෙසු ඓතිහාසික සිදුවීම් වල ප්‍රතිඵලයක් වශයෙන්, අද අප හමුවේ ක්‍රියාත්මක වන නීතිය විවිධ නීති සම්ප්‍රදායන්වල සංයෝගයක් වශයෙන් ගොඩනැගී ඇත. ඉංග්‍රීසි නීතිය, රෝමානු නීතිය, කන්ද උඩරට නීතිය, තේසවලාමෙයි නීතිය සහ මුස්ලිම් නීතිය මෙම නීති සම්ප්‍රදායන් වේ. අප මත ක්‍රියාත්මක වන සිවිල් නීතිය මූලික වශයෙන් රෝමානු නීතියෙන් පෝෂණය වී ඇති අතර අපරාධ නීතිය පෝෂණය වන්නේ ඉංග්‍රීසි නීතියෙනි. අපරාධ නීතිය ලියවී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ පටිපාටි සංග්‍රහය සහ සාක්ෂි ආඥා පනත යන ලේඛන තුනෙහි වන අතර එය ඉංග්‍රීසි නීතියේ පූර්ණ බලපෑමට ලක් වී ඇත. තවද ඉංග්‍රීසි පාලනය විසින් 1883දී හදුන්වා දෙනු ලැබූ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන දණ්ඩ නීති සංග්‍රහය සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ එවකට බ්‍රිතාන්‍යයේ පැවති අපරාධ නීතිය මතයි. එවකට පැවති ලිඛිත සහ අලිඛිත නීතිය එලෙසින්ම පවත්වාගෙන යාම බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිපත්තියක් වූ අතර, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන වගන්තිය මගින්ද එය ප්‍රතිපත්තිය ආරක්ෂා කෙරේ.

මෙයින් පැහැදිළි වන ප්‍රධාන කරුණක් වන්නේ බටහිර ජාතීන් ලංකාවට පැමිණෙන්නට පෙර ශ්‍රී ලංකාවේ පැවති නීතිය එනම්, කන්ද උඩරට නීතිය, තේසවලාමෙයි නීතිය සහ මුස්ලිම් නීතිය මගින් සමලිංගික හැසිරීම් තහනම් කොට හෝ ඒ පිළිබද සදහන් කොට නොතිබීමයි. බටහිර ජාතීන් පැමිණෙන්නට පෙර අප ලිංගිකත්වය පොදු අවකාශයට ඇද දමා නීති පැනවූ සංස්කෘතියක් අපට තිබුණාද? එසේනම් මතුවන ප්‍රශ්නය වන්නේ අප අද කතා කරන සදාචාරය ආරම්භ වන්නේ කොතැනින්ද යන්නයි. අප කතා කරන්නේ බුදු දහම සමග එන සදාචාරයක් පිළිබදව නම් ඒ ගැන සදහනක් අතීත නීති පොත් වන නැත්තේ ඇයි? සමලිංගිකත්වය අපරාධයක්ය සහ එය සදාචාරයට පටහැනිය යන අදහස අපට ලැබෙන්නේ කොහෙන්ද?

සම ලිංගික වැරදි සහ ලිංගික වෘත්තිය පිළිබද නීතිය සංශෝධනය කිරීම සදහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් 1964 දී කමිටුවක් පිහිටුවනු ලැබුවා. මෙහි වාර්තාව 1967දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ අතර අපට අපරාධ නීතිය ලබා දුන් බ්‍රිතාන්‍යයන් අද වන විට සම ලිංගිකත්ය පිළිබද සිතන ආකාරය දැන ගැනීම සදහා එය වාර්ථාවේ නිර්දේශය කියවා බැලීම වැදගත්.

‘’වැඩිහිටියන් අතර ස්ව කැමෙත්තෙන් සිදු වන ලිංගික ක්‍රියා තව දුරටත් අපරාධ වරදක් නොවිය යුතුය. සම ලිංගිකත්වය රෝගයක් ලෙස සැළකිය නොහැකිය. මන්ද, බොහෝ විට මොවුන් පෙන්වන එකම රෝග ලක්ෂණය සමලිංගිකත්වය වන අතර ඔවුන් මානසික අතින් පූර්ණ සෞඛ්‍යමත්භාවයක් හොබවන නිසාය… අපගේ අදහස අනුව පුරවැසියන්ගේ පෞද්ගලික ජීවිතයට බලපෑම් කිරීම හෝ කිසිදු නිශ්චිත චර්යා රටාවක් පුරවැසියන් ලවා බලෙන් කරවීම නීතියේ කාර්යභාරය නොවේ. ’’

මෙම වාර්තාවේ නිර්දේශයන්ට අනුව, 1967දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් වයස අවුරුදු 21කට වැඩි පුද්ගලයන් දෙදෙනෙකු අතර පෞද්ගලික අවකාශයේ සිදු වන සමලිංගික ක්‍රියා සාපරාධී බවින් තොර කරනු ලැබීය.

ඒ සම ලිංගිකත්වය සාපරාධී ක්‍රියාවක් ලෙස අපට හදුන්වා දුන් බ්‍රිතාන්‍ය නීතියේ වර්තමාන තත්ත්වයයි. බ්‍රිතාන්‍යයට අයත් සෙසු පළාත් සහ විජියන් 2001 වන විට සමලිංගික හිතකාමී නීති සකස් කර තිබුණි.

සම ලිංගිකත්වය යනු ලෝකයේ පිළිගත් ලිංගික දිශානතියකි. ලිංගික දිශානතිය යනු යම් පුද්ගලයෙක් ලිංගිකව ආකර්ශනය වන්නේ කාටද යන්නයි. අප අතර පිළිගත් ලිංගික දිශානතීන් 3ක් ඇත. එනම්, විෂම ලිංගික (තමාගේ ලිංගික අවයව වලට විරුද්ධ ලිංගික අවයව සහිත පුද්ගලයන්ට ආකර්ශණය වීම), සම ලිංගික (තමගේ ලිංගික අවයව වලට සමාන ලිංගික අවයව සහිත පුද්ගලයන්ට ආකර්ශණය වීම) සහ ද්වී ලිංගික (සමාන සහ විරුද්ධ ලිංගික අවයව ඇති දෙපිරිසටම ආකර්ශනය වන පුද්ගලයන්) යන කොටස් තුනයි.

2011 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සමලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබද එහි ප්‍රථම යෝජනාව සම්මත කර ගනු ලැබීය. තවමත් ලෝකයේ රටවල් 80ක් පමණ සමලිංගික ක්‍රියා නීතියෙන් තහනම් කර ඇති අතර ශ්‍රී ලංකාවද ඉන් එකකි. කෙසේ වුවත් ශ්‍රී ලංකාව හැදින්වෙන්නේ සමලිංගික ක්‍රියාවන් පිළිබද අපරාධ නීතිය බලාත්මක නොකරන රටක් වශයෙනි. එහි අදහස වන්නේ ශ්‍රී ලංකාවේ නීතියෙන් සම ලිංගික ක්‍රියා අපරාධයක් ලෙස හදුන්වා තිබුණද එම නීතිය පුරවැසියන් මත ක්‍රියාත්මක නොවන බවයි. In a box if possible
ශ්‍රී ලංකාවේ නෛතික පරිසරය දෙස බලන විට හොදින්ම වැටහෙන කරුණ වන්නේ සමලිංගික ක්‍රියා හෝ සම ලිංගික පුද්ගලයන් පිළිබදව අප සතුව ඇති පසුගාමී ආකල්පය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය නීතිය සමග බවයි. එසේ නම් බෞද්ධාගම සමග පටලවා එය සදාචාර විරෝධී බව කීමේ ඵලය කුමක්ද? අපේ සදාචාරය ලෙස අප දැන සලකන වටිනාකම් පද්ධතිය බටහිරින් ලැබුණක් මිස අනුරාධපුර යුගයේ හෝ මහනුවර යුගයේ පැවති එකක් නොවේ. බටහිර ජාතීන් පැමිණෙන්නට පෙර ලිංගික ක්‍රියා පිළිබද නීති අපට තිබුණා නම් එය කන්ද උඩරට නීතියේ ඇතුළත් නොවන්නේ මන්ද? සමලිංගිකත්වය පිළිබද මුඛ්‍ය ධාරාවේ සාදාචාරාත්මක විග්‍රහය ප්‍රශ්ණ කිරීමට ඉහත දැක්වූ කරුණු ප්‍රමාණවත් බව සිතමි.

මේ දින වල පුවත් පත් වල පල වන මේ සමලිංගික සංගම් යනු කවුද? ඔවුන්ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? ඔවුන් කරන්නේ මොනවාද? මේ පුවත්පත් ලිපිවලින් හෙලිදරවු කරන සමලිංගික වැඩමුළු මොනවාද?

ඒඩ්ස්, මැලේරියා සහ ක්ෂයරෝගය වැළක්වීම සදහා වන ගෝලීය අරමුදල නැමති අරමුදල් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ රජය සහ සිවිල් සමාජ සංවිධාන විසින් එක්ව සකස් කළ වැඩසටහන් යෝජනාවට එහි 9වන ආධාර වටය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 12කට ඉහල මුදලක් ලබා දුනි. මෙම මුදල් රජය වෙනුවෙන් සෞඛ්‍යය ආමාත්‍යංශය සහ සිවිල් සංවිධාන වෙනුවෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයද මෙම අරමුදල් පාලනය කරයි. පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින් එච්.අයි.වී පිළිබද වැඩි අවධානමක් සහිත කණ්ඩායමක් ලෙස ගෝලීය වශයෙන් හදුනා ගැනෙන නිසා සමලිංගික ප්‍රජාවන් ඇතුළත් බිම් මට්ටමේ සංවිධාන වලට මෙම මුදල් ලබා ගත හැකිය. එය සිදු වන්නේ හොර රහසේ නොව සෞඛ්‍යය අමාත්‍යංශය සහ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතිය හරහාය. එය අමුතුවෙන් කළ යුතු හෙළිදරව්වක් නොවේ.
ගෝලීය අරමුදල යටතේ ලැබෙන මුදල් වලින් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ මෙම අවදානම් කණ්ඩායම් වලට සෞඛ්‍යය සේවා සදහා ඇති ප්‍රවේශය පුළුල් කිරීමයි. මෙම කණ්ඩායම් වලට සෞඛ්‍ය සේවා ප්‍රවේශය ලබා දිය යුතු බව තීරණ කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මිස වෙනත් කෙනෙක් නොවේ. මේ වැඩසටහන් පිටුපස ඇත්තේ පොදු සෞඛ්‍ය පිළිබද ප්‍රවේශයක් මිස සමලිංගිකත්වය ප්‍රචාරය කිරීමේ අරමුණක් නොවේ.

මේ අතර ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් මේ දින වන සම ලිංගික පුදගලයන් කුඩා දරුවන් ලිංගික හැසිරීම් වලට පොළඹවා ගන්නා පිරිසක් ලෙස හදුන්වන්නට උත්සහ දරනවා. මෙවැනි වැඩසටහන් වල මූලික උපකල්පනය වන්නේ සමාජයේ ඇති සියළුම වැරදි ක්‍රියා සිදු කරන්නේ සමලිංගික පුද්ගලයන් බවයි. ඇත්තටම එය සමලිංගික ප්‍රජාව පිළිබදව පවතින මුඛ්‍යධාරවේ අදහස් නැවත ස්ථාපිත කිරීමකි.

මෙම ‍ ගුවන් විදුලි වැඩසටහනෙන් ආමන්ත්‍රණය කිරීමට උත්සහ දරන ගැටළුව පිළිබද මාගේ අකමැත්තක් නැත. බාල වයස් කරුවන් එනම් අවුරුදු 16ට අඩු වයසේ පුද්ගලයන් සමග ලිංගිකව හැසිරීම හෝ ළමා අපයෝජන අප හමුවේ ඇති ප්‍රධාන ගැටළුවකි. එසේනම් මෙවැනි වඩසටහන් වලින් ආමන්ත්‍රණය කළ යුත්තේ එයයි. එනම් Pedophilia හෙවත් ළමා සහ මුල් යෞවන වියේ පසු වන පුද්ගලයන් (අවුරුදු 16ට අඩු) සමග ලිංගික හැසිරීමට ආශාවක් දක්වන පුද්ගලයන්ය. මේ තත්ත්වය මානසික ආබාධයක් ලෙස නූතන වෛද්‍ය විද්‍යාවේ දී හදුනා ගැනේ. සිංහලෙන් මෙය හදුන්වන්නේ කෞමාර කාමය නමිනි. ළමා අපයෝජන වල යෙදෙන පුද්ගලයන් අතර විදුහල්පතිවරු, දේශපාලනඥයින්, ආරක්ෂක සේවයේ නිලධාරීන් මෙන්ම භික්ෂූන් වහන්සේලා ද සිටින බව පසුගිය කාලයේ ප්‍රවෘත්ති දෙස බැලුවහොත් අපට පැහැදළිව දැක ගත හැකිය. මා මෙහි කතා කරන ‍ ගුවන් විදුලි වැඩසටහනෙන් මේ කිසිවක් කතා කරන්නේ නැත. ඔවුන් පහර දෙන්නේ සමලිංගික පුද්ගලයන්ට මිස ළමා අපයෝජන සිදු කරන්නන්ට නොවේ. නමුත් මේ ජනමාධ්‍යකරුවන් ‍අවබෝධකර ගත යුතු ප්‍රධාන කරුණ වන්නේ කෞමාර කාමය (Pedophilia) සහ සමලිංගිකත්වය (Homosexuality) යනු සම්පූර්ණයෙන්ම වෙන් කොට සාකච්ඡා කළ යුතු මාතෘකා දෙකක් බවය.

නැවතත් ශ්‍රී ලංකාවේ නෛතික පරිසරය දෙස බලමු. නීතියෙන් තහනම කර ඇත්තේ සමාන ලිංගයන් සහත පුද්ගලයන් දෙදෙනෙක් ලිංගිකව හැසිරීම පමණි. සාද පැවැත්වීම, එකට ජීවත් වීම හෝ විනෝද වීම නීතියෙන් තහනම් නැත. පිරිමින්ට ගැහැණු ඇදුම් ඇදීම හෝ ගැහැණුන්ට පිරිමි ඇදුම් ඇදීම හෝ තහනම් නැත. ලිංගය මාරු කර ගැනීමටද නීතියෙන් අවකාශ ඇත. එවැනි පුද්ගලයෝ ඕනෑතරම් අප අතර සිටිති.

මෙම සිදුවීම වලින් පෙනෙන්නේ තමන්ට වඩා වෙනස් කෙනෙකු පිළිගැනීමට අප තුළ පවතින අකමැත්ත නොවේද? මෙය බහුතරය සහ සුළුතරය අතර ඇගි නෙනවතින බල අරගලයේම කොටසකි. වෙනස් ආකාරයේ අදහස් ඇති පුද්ගලයන්ව අප දකින්නේ අපේ පැවැත්මට එල්ල වන තර්ජනයක් ලෙසයි. එම නිසා අප හැම විටම උත්සහ දරන්නේ අපට වඩා වෙනත් අදහස් හෝ සිතුම් පැතුම් ඇති පුද්ගලයන්ව විනාශ කර දැමීමටයි.

මෙවැනි ජුගුප්සාගලන හැගීම් අවුස්සන ලිපි හෝ ‍ ගුවන් විදුලි වැඩසටහන් වලින් සිදු වන්නේ යහපතක් නොවේ. ස්ව කැමැත්න් ප්‍රේම සම්බන්ධතා පවත්වන සම ලිංගික පුද්ගලයන් පිලිබදව සමාජයේ පවතින වැරදි ආකල්ප තව තවත් වර්ධන කිරීමයි. නීති විරෝධී නොවන දෙයක් නීති විරෝධී ලෙසට හංවඩු ගසා තව තවත් මේ පුද්ගලයන්ව සමාජයෙන් කොන් කිරීමයි. අපි මෙතරම් වගකීම් රහිත වන්නේ ඇයි? තර්කානුකූලව මේ දෙස බැලීමට කාලය එළඹ ඇතැයි මම සිතන්නේ වෙනස් කම් පිළිගැනීමෙන් මිස ප්‍රතික්ෂේප කිරීමෙන් රටක් වශයෙන් අපට ඉදිරියට යා නොහැකි බව පසුගිය වසර 30 පුරාවටම අත් දැක ඇති නිසාය.

Paba 100පබා දේශප්‍රිය | Paba Deshapriya