“මෙම වැඩසටහන විමර්ශන ජනමාධ්‍යවේදය (investigative journalism) යොදා ගන්නා වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි අතර බොහෝ විට විමර්ශන ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආචාරධර්ම අතර නොවිසඳුනු අර්බුදයක් පවතී. එහෙත් එසේ කී පමණින්ම ඔවුනට ජනමාධ්‍යවේදයේ පිළිගත් ආචාර ධර්ම පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය නොහැක. අපරාධ කරන්නන්ගේ අයිතීන් කෙසේ වුවත්, අපරාධවලට ගොදුරු වන අහිංසකයන්ගේ අයිතිවාසිකම්වත් සුරැකීමට කටයුතු කිරීම සියලු ජනමාධ්‍ය අවල වගකීම විය යුතුය. සිද්ධියක් වාර්තා කිරීමේ දී එම සිද්ධිය සම්බන්ධ වන පුළුල් සන්දර්භයට අදාළ පර්යේෂණාත්මක දැනුම සම්බන්ධව කියවීමක් කිරීමත්, රටේ පවතින නීතිය හා මාධ්‍යයයේ සමාජ කාර්යභාරය සම්බන්ධ පුළුල් දැක්මක් තිබීමත් වැදගත් වේ.”


මාධ්‍ය විසින් විකුණා ගෙන කෑ ළමයාගේ ලිංගිකත්වය

පසුගිය අගෝස්තු 19 වන දින නෙත් fm ගුවන්විදුලි නාලිකාව විසින් විකාශය කළ බැලුම්ගල වැඩසටහන විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය පිළිබඳ හෙළිදරව්වක් යන මැයෙන් ගුවන් විදුලි වැඩසටහනක් සිදු කරන ලද අතර මෙලෙස විවාහ වූයේ පාසල් යන පිරිමි ළමයෙකු සහ මෙම ගුවන් විදුලි නාලිකාව විසින් යෙද වූ විමර්ශන ජනමාධ්‍යවේදියා (investigative journalist) ය. මෙම විවාහය සම්බන්ධ ඡායාරූප බ්ලොග් අඩවි සහ වෙබ් අඩවි ගණනාවක් වෙත නිකුත් කර තිබූ අතර ඒ සෑම ඡායාරූපයකම අදාළ මාධ්‍යවේදියාගේ මුහුණ කපා දමා තිබූ අතර පාසැල් ළමයාගේ මුහුණ පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

මෙම වාර්තා කිරීම හරහා කලක් තිස්සේ නීතියේ රැහැනින් ගැලවෙමින් සිටි ළමා අපයෝජකයකු හසු කර ගන්නට පොලීසියට හැකියාව ලැබුණු අතර, ඒ සඳහා අවශ්‍ය සාක්ෂි ද මෙම ගුවන් විදුලි නාලිකාව විසින් පොලීසිය වෙත පමණක් නොව පොදු මහජනතාව වෙත ද යොමු කරන ලදී. තමා මෙය එසේ සිදු කරන ලද්දේ ළමා පරපුර ආරක්ෂා කිරීමේ හුදු අවංක වුවමනාවෙන්ම බවත්, වැඩිහිටියන් අතර සිදු වන ලිංගික ක්‍රියා සම්බන්ධව තමන්ට ගැටළුවක් නොමැති බවත් මෙම වැඩසටහන ආරම්භයේ දී ම පුන පුනා සඳහන් කෙරිණ.

එහෙත් එහි ප්‍රතිඵලය ඊට වඩා දුක්ඛ දායක විය. වැඩසටහනෙන් එළිදරව් වූ ළමයාගේ පාසැල් ගමන එතැනින්ම නතර කෙරුණු අතර දෙමාපිය, වැඩිහිටියන් විසින් එම දරුවා බෞද්ධ සිද්ධස්ථානයක පැවිදි කරන ලදී. එහෙත් එසේ පැවිදි කිරීම ද ළමයාගේ පාර්ශ්වයෙන් කබලෙන් ලිපට වැටීමක් වූයේ අගෝස්තු 26 වන දින එම ගුවන් විදුලි නාලිකාව විසින්ම විකාශය කෙරුනු දෙවැනි වැඩසටහනින් එම ළමයා පැවිදි වීම අපරාධකාරයකු පැවිදි කිරීමක් ලෙස හඳුන්වමින් ”ඕනෑම කෙනෙකුට බුද්ධ ශාසනයේ පැවිදි විය හැකි ද?” මැයෙන් මෙම සිද්ධිය සම්බන්ධ විස්තර තවදුරටත් හෙළි දරව් කරන ලදී. පැවිද්දට පත් වූ මෙම භික්ෂුවගේ පැවිදි නාමය, පන්සලේ නම සහ පන්සලේ නායක හාමුදුරුවන්ගේ චරිතයේ ඇති හොඳ නැති බව මෙම සිද්ධියට අදාළව තවදුරටත් මහජනතාවට හෙළි කරන ලදී. සැබවින්ම මෙම භික්ෂුව අපරාධකරුවා නොව අපරාධයට ගොදුරු වූ අහිංසක ළමයකු බව අදාළ ජනමාධ්‍යවේදීන්ට අමතක වීම කණගාටුවට කරුණකි.

මෙම සිද්ධි දාමය සැලකු කළ දියෙහි ගිලුණු විට මිය යන බව ළමයින්ට කියා දෙන්නට ළමයෙකු දියට තල්ලු කර සජීවීව එය පටිගත කොට පෙන්වීමකට සමාන ක්‍රියාවක් වන බව මට සිතේ. එසේම මේ සිද්ධියත් සමග ලංකාවේ මාධ්‍ය සදාචාරය සහ ළමා අයිතිවාසිකම් සුරැකීමට මාධ්‍යයට සහ රජයයට පැවරී ඇති වගකීම නැවත ප්‍රශ්න කළ යුතු වේ. අපයෝජනයට ලක්ව ඇති ළමයාගේ පුද්ගලිකත්වය එළිදරව් වීම, ළමයා මානසික ලෙස අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් මෙම ගුවන් විදුලි නාලිකාව විසින් ළමා අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති අතර, එම අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීම නිසා රජය, මාධ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන ද සිදු කර ඇත්තේ තවදුරටත් එම අපයෝජනයට සහාය වීමක් පමණි. ළමයකුගේ ළමා අයිතිවාසිකම් නොසලකා හැරීම ද ළමා අපයෝජනයකි.

සිතාමතා මඟ හැරීම

මේ සිද්ධිය සම්බන්ධ කාරණාවන් හි දී, ළමා අයිතිවාසිකම් සහ සමලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන පාර්ශ්වයන් දෙකොටසම සිතා මතා මඟ හැරීමක් සිදු කර ඇති බවක් මට සිතේ. ළමා අයිතිවාසිකම් සම්බන්ධ ආයතන විසින් සිතා මතා නොසලකා හරින්නට ඇත්තේ සමලිංගික ලිංගික හැසිරීම ලංකාවේ නීතියට පටහැනි කාරණයක් වන නිසාය.

සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කරන ආයතන මෙම සිද්ධියට නොගෑවී සිටින්නේ තමන් ද ළමා අපයෝජකයන්ට සහාය දෙන කොටසක් ලෙස හංවඩු ගැසීමේ බිය හේතුවෙනි. හේතුව කුමක් වුව ද දැන් මෙම සිද්ධිය සිදුවහමාරය. සියල්ලෝම ඇහැ කන පියා ගත්තෝය. වැරැද්ද ළමයා මතම පැටවිණි.

මගේ හැඟීම වන්නේ සමලිංගික හැසිරීමක යෙදීම නිසා ළමයකුගේ ළමා අයිතිවාසිකම් අහිමි විය යුතු නැති බවයි. එසේම සමලිංගික ලිංගික අපචාරයක ගොදුරක් වීම නිසා ළමයෙකුගේ ළමා අයිතිවාසිකම් කොහෙත්ම අහිමි විය යුතු නැති බවයි. මෙම සිද්ධිය සම්බන්ධ පශ්චාත් විවරණයක් ලෙසය මෙම ලිපිය ලියැවෙන්නේ.

ජනමාධ්‍ය සදාචාරය

අප රටේ ජනමාධ්‍යවේදීන්ට සැබෑ මාධ්‍ය සදාචාරයක් වේ නම් අප වැනි සිවිල් සමාජයේ මිනිසුන්ට මෙවැනි දෑ ගැන ලිපි ලියන්නට වන්නේ නැත. ජනමාධ්‍යවේදියෙකු වෙත වෘත්තීය සදාචාරයක් තිබීම වෘත්තීයභාවයේ සහ වෘත්තීය අභිමානයේ කොටසක් වන අතර ඒ හරහා මාධ්‍ය පාඨකයන්ගේ අයිතිවාසිකම් ද, වාර්තා වෙන සිද්ධීන්ට අදාළ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කරනු ලබන අතර තවදුරටත් ඒ තුළින් වඩාත් ගුණාත්මක සහ හරයාත්මක ප්‍රවෘත්ති පාඨකයා වෙත ලබා දීමට හේතු වේ. මාධ්‍ය යනු සැබවින්ම මනුෂ්‍යත්වය මිනිසුන්ට ගෙන යන භාෂාව විය යුතුය.

මාධ්‍ය සදාචාරය සම්බන්ධ නීතිමය රාමුවක් ගෙන ඒමට පසු ගිය මාස කිහිපයකට පෙර රජය විසින් උත්සාහ කළ අතර එය බහුතරයක් ජනමාධ්‍යවේදීන් විසින්ම ප්‍රතික්ෂේප කෙරුනේ රජය විසින් තමනට ඕනෑ පරිදි මාධ්‍ය පාලනයට ගෙන එන ඊනියා මෙවලමක් ලෙස සඳහන් කරමිනි. එහි සැබැවින්ම සත්‍යතාවයක් ද විය.

මීට අමතරව මාධ්‍ය සදාචාර සම්බන්ධ මූලධර්ම පිළිබඳ එකඟතාවයන්, මාධ්‍ය ආයතන විසින්ම එක්ව ස්වයං-පාලන පද්ධතියක් ලෙස පවත්වා ගැනීමක් පුවත්පත් පැමිණිලි කොමිසම හරහා පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ සිදු කෙරිණි. එහෙත් එම එකඟතාවයන් ද ගුවන් විදුලි ජනමාධ්‍ය සඳහා නීතිමය වශයෙන් කිසිසේත්ම වලංගු නොවේ.

සැබවින්ම ලංකාවේ පවතින්නේ මාධ්‍ය සදාචාරය සම්බන්ධ පැහැදිලි එකඟතාවයක් නොමැති වාතාවරණයකි. එවැනි පසුබිමක් පැවතිය ද අඩුම ගණනේ ළමයින් සම්බන්ධවවත් සංවේදී ලෙස මාධ්‍ය ආයතන විසින් කටයුතු නොකරන්නේ මන්ද යන්න මට ඇතිවන ගැටළුවකි. අපි මේ තරමටම අසංවේදී මිනිසුන් බවට පත්ව සිටිමු ද?

ඒ කෙසේ වුවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුලු සංවිධාන කිහිපයක් විසින් සම්පාදනය කළ පුවත්පත් පැමිණිලි කොමිසම යොදා ගත් ආචාර ධර්ම පද්ධතියේ ද, මාධ්‍ය අමාත්‍යාංශය විසින් යෝජිත ජනමාධ්‍ය ආචාර ධර්ම පද්ධතියේ ද යන දෙකෙහිම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, ළමුන් අපකීර්තියට පත්වෙන සිද්ධිවල පෞද්ගලික කරුණු හෙළි නොකිරීම, ලිංගික අපරාධවලට ගොදුරු වූවන්ගේ නම් ගම් හෙළිදරව් නොකිරීම ආදී කරුණු පැහැදිලිව දක්වා ඇත. මෙවැනි කරුණු ජනමාධ්‍යවේදය තුළ පුළුල් ලෙස සාකච්ඡා වී ඇති අති මහත් වටිනාකමකින් යුතුව සලකන ආචාර ධර්ම වන අතර අදාළ ජනමාධ්‍යවේදීන්ට එබඳු ආචාර ධර්ම සම්බන්ධව අල්ප මාත්‍ර වූ දැනුමක් නොමැති බවත්, හුදෙක් ලාබය තකා මාධ්‍ය විකුණා ගෙන මාධ්‍ය මුදලාලි කෙනෙකුගේ දැක්මට එහා වූ දැක්මක් නොමැති බවත් මට සිතේ.

ලංකාවේ නීතිය සහ සමලිංගිකත්වය

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති යටතේ සමලිංගික හැසිරීම නීති විරෝධී කටයුත්තක් ලෙස සැලකේ. මෙම වගන්ති අනුව සමලිංගික හැසිරීමක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යෙදෙන වැඩිහිටියකුට වසර 10 දක්වා බරපතල සිර දඬුවම් පැමිණ විය හැකි අතර අපරාධයට ගොදුරු වූ තැනැත්තා අවුරුදු 16කට අඩු වන අවස්ථාවේ දී එවන් පුද්ගලයකුට අවුරුදු 10කට නොඅඩු සහ අවුරුදු 20කට නොවැඩිබරපතල සිර දඬුවම් පැමිණවිය යුතු වේ.

ඉහත මා සඳහන් කළ දණ්ඩ නීති සංග්‍රහය 365 වගන්තිය 1883 දී අප රටට හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයන් විසින් වන අතර මෙම නීතිය අධිරාජ්‍යවාදයේ ශේෂයක් ලෙස අපට අද ඉතුරුව ඇත. බ්‍රිතාන්‍යයන් විසින් 1967 දී එම නීතිය බ්‍රිතාන්‍යය නීතියෙන් ඉවත් කළ නමුත් අපි තවමත් ඒ නීතිය භාවිතා කරන්නෙමු. 1995 දී මෙම නීතිය ඉවත් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කමිටුවක් විසින් නිර්දේශ කරන ලද නමුදු ලංකාවේ පවතින ළමා අපයෝජනයන් ප්‍රමාණය සලකා මෙම නීතිය තවදුරටත් දැඩි කරන ලද්දේ කාන්තාවන් ද ඒ තුළට ඇතුළත් කරමිනි. එහෙත් එසේ කිරීම ළමා අපයෝජන අඩු කිරීමට කොයි ආකාරයෙන් දායක වූයේ ද යන්න නැවත අධ්‍යයනය කර බැලිය යුතු කාලය දැන් එළඹෙමින් තිබෙන අතර සමලිංගික, විෂමලිංගික හෝ වෙනත් ලිංගික දිශානතියන් හෝ චර්යාවන් මත නීති පද්ධතිය සීමා නොකරමින් ළමා අපයෝජනය සම්බන්ධ පොදු නීති පද්ධතියක අවශ්‍යතාව වර්තමානයේ මතු වෙමින් පවතීග පවතින නීති පද්ධතිය තුළ සිදුවෙන මෙවන් ළමා අයිතිවාසිකම් පිළිබඳ කඩවීම් එවන් අවශ්‍යතාවයක සෑබෑ වුවමනාව ප්‍රායෝගිකව මතු කරයි.

ඉහත ගුවන් විදුලි නාලිකාව හෙළි දරව් කරන පරිදි අදාළ ළමයාගේ වයස අවුරුදු 17ක් වන අතර උසස් පෙළ ශිෂ්‍යයෙකි. එබැවින් නීතියට අනුව මෙය ළමා අපයෝජනයක් නොවන්නට පුළුවන. එහෙත් මේ ළමයා අවුරුදු කිහිපයක් තිස්සේ රොහාන් නමැති පුද්ගලයා විසින් ලිංගික වෙළෙඳාමේ යොදා ගෙන ඇති හෙයින්, මෙය ළමා අපයෝජනයක් ලෙස සලකා නීතිය විසින් කටයුතු කිරීමට ද ඉඩකඩ ඇත.

නීතිය පැත්තෙන් ගත් කළ මෙම ගුවන් විදුලි මාධ්‍්‍ය වාර්තා කරන විවාහ මංගල්‍යය පවතින සංස්කෘතියට විරුද්ධ වන නමුදු, නීති විරෝධී කටයුත්තක් නොවේ. පවතින නීතියට අනුව නීති විරෝධී වන්නේ සමලිංගික ලිංගික කටයුත්ත වන අතර විවාහ මංගල්‍යය නොවේ (එවන් වූ නීතියක් වූයේ නම් ළඟ දී බල්ලන් පෝරුවට නැග්ග වූ පොලිස් නිලධාරීන්ට ද මෙම නීතිය බල පානු ඇත).

ජනමාධ්‍යවේදියා යම් හෙයකින් අදාළ ළමයා සමග ලිංගිකව හැසිරී ඇත්නම් ඔහු ද මෙම අපයෝජනයේ කොටස්කරුවෙකු ලෙස දඬුවම් ලැබිය යුතුය. එවැන්නක් යම් හෙයකින් සිදු වී ඇත්නම් එය මෙම ගැටළුව තවදුරටත් අර්බුදයට හෙළනු ඇත.

මෙම ගුවන් විදුලි නාලිකාව විසින් විකාශනය කරන ලද වැඩසටහනේ අන්තර්ගතය ගැන අවධානය යොමු කළහොත් පැහැදිලිව පසක් වෙන කාරණයක් වන්නේ ඔවුන් වැඩි අවධානය යොමු කර ඇත්තේ මෙම බොරු විවාහ මංගල්‍යය වෙත බවත්, අනික් අතින් එය සංවිධානය කිරීමට මුදල් සපයා ඇත්තේ මෙම ගුවන් විදුලි නාලිකාව හෝ අදාළ ජනමාධ්‍යවේදියා විසින්ම බවත් පැහැදිලිව පෙනේ. ඔවුන්ගේ සැබෑ වුවමනාව වූයේ ළමා පරපුර ආරක්ෂා කිරීම නම් ඔවුන්ගේ වැඩි අවධානය යොමු විය යුතුව තිබුණේ අපයෝජකයා විසින් සිදු කරන ලද අපයෝජන එළි දරව් කිරීම සම්බන්ධව විය යුතුය.

එසේම අදාළ ළමයාට අවශ්‍ය රැකවරණය සැපයීමටත්, ඔහුගේ පෞද්ගලිකත්වය සුරැකීමටත්, මෙම ළමා අපයෝජන ජාලයේ සිටින තවත් වරදකරුවන් හසු කරන්නට කාලය යොමු කරනු වෙනුවට පොලීසිය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සිදු කර ඇති එකම කාර්යය වන්නේ අදාළ මාධ්‍ය ආයතනයට මෙම සිද්ධිය විකුණා ගෙන කන්නට ඉඩ දී සිතා මතා ඇහැ කන පියා ගෙන සිටීමයි.

නීතිය කටයුතු කළ යුත්තේ ළමා අපයෝජකයා හසු කර ගැනීමට මිස අපයෝජනයට ලක් වූ දරුවන්ගේ විස්තර මාධ්‍යය වෙතින් ප්‍රචාරය කරමින් එම දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට සහාය වීමෙන් නොවේ. මාධ්‍යයක් විසින් එවැනි කටයුත්තක් සිදු කරන්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ වෙනත් නීතිය භාර ආයතන විසින් ඒ සම්බන්ධ නිසි පියවරක් නොගත්තේ මන්ද යන ගැටළුව ද මට නැගේ.

මීට වසරකට පමණ පෙර ද පොලීසිය විසින් පාසැල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු අතර පැවැති සමලිංගික සම්බන්ධයක තොරතුරු ඔවුන්ගේ තොරතුරු, ඡායාරූප ද සමග ප්‍රසිද්ධ පුවත්පතකට ලබා දෙන ලදී. එය ඒ ළමුන්ගේ අනාගතය, පෞද්ගලිකත්වය සම්බන්ධව ඇති අයිතිය ප්‍රසිද්ධියේ විකුණා ගෙන කෑමක් වූ අතර, එය බරපතල ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ද විය. එහෙත් කිසිම ආයතනයක් ඒ සම්බන්ධව කතා කළේ නැත.

සමලිංගිකත්වය සහ ළමා පරපුර

විද්‍යාවේ දියුණුවත් සමග වර්තමානයේ සමලිංගිකත්වය ගැන පර්යේෂණ සහ අධ්‍යයන ගණනාවක් සිදු කර ඇති අතර එම අධ්‍යයනවල ප්‍රතිඵලයක් ලෙස සමලිංගිකත්වය සම්බන්ධ විද්‍යාත්මක අවබෝධයක් අද ලෝකය පුරා ඇති වී ඇත.

සමලිංගිකත්වය යනු විෂමලිංගිකත්වය මෙන්ම ස්වාභාවික ලිංගික නැඹුරුතාවයක් වන අතර, ජානමය, හොමෝනමය, සාමාජීය සහ මනෝවිද්යායත්මක කාරණා මත ස්වභාවයෙන්ම කෙනෙකුගේ ලිංගික ආකර්ෂණය ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ එම දෙපාර්ශවය වෙතට ම ඇති විය හැකිය. එම ලිංගික නැඹුරුතාවය වෙනස් කිරීම අපහසු දෙයක් වන අතර, එසේ වෙනස් කිරීමට උත්සාහ දැරීම නිසා සහ එවන් පුද්ගලයන් මානසික පීඩනයට ලක් වී සිය දිවි නසා ගැනීමට තැත් කළ අවස්ථා එමටය.

ලිංගිකත්වය යනු ළමා කාලයේ සිටම වර්ධනය වන්නක් වන බැවින් ළමුන් අතර තමන්ගේ ලිංගයේම අයට ලිංගිකව සහ මානසික ලෙස ආකර්ෂණය වූ ළමුන් සිටිය හැකිය. එහෙත් එවැනි ළමුන්ට තමන්ගේ හැඟීම් තවත් කෙනෙකු සමග හුවමාරු කර ගන්නට අවස්ථාවක් බොහෝ විට ඇත්තේ නැත. රටේ පවතින සමාජ විරෝධය සහ නොපිළිගැනීම නිසා එවැනි ළමුන් පහසුවෙන් ළමා අපයෝජකයන්ගේ ගොදුරු බවට පත් විය හැකිය. සමලිංගික ලිංගික දිශානතියක් ඇති ළමයෙකුට වෙනත් ළමයෙකුටත් වඩා දෙමාපියන්ගේ ආරක්ෂාව අවධානය සහ තේරුම් ගැනීම ලැබිය යුත්තේ එහෙයිනි.

මෙම සිද්ධිය සලකන කල්හිල ළමයා මෙලෙස අපයෝජනයට ලක් වූ පසුව දෙමාපියන් සිදු කර ඇත්තේ කුමක් ද? සිය දරුවා පන්සලක මහණ කර පවුලේ සාමාජිකයන් වෙත එල්ල වෙන සමාජ විරෝධයෙන් ගැලවීමයි. මෙවැනි මොහොතක දෙමාපියන් ලෙස දරුවාට සිදු වූ සැබෑ සංසිද්ධිය විමසීමෙන් හා සංවේදීභාවයකින් යුතුව සොයා බලා ඔහුගේ මානසික තත්ත්වය නගා සිටුවීමට කටයුතු කර නැවත අධ්‍යාපනයේ යොදවන්නට කටයුතු කළේ නම් කොතරම් අගනේ ද? ඔහු ඔහුගේ සමලිංගිකත්වය නිසා අධ්‍යාපනය කඩා කප්පල් කර ගැනීම මොන තරම් කාළකණ්ණිකමක් ද?

ලිංගික අපයෝජනයන්ට ලක් වූ දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වීම මෙම දරුවාට පමණක් පොදු කාරණයක් නොවේ. රජය විසින් ආරක්ෂාව පතා ළමුන් යොමු කරන සහතික කළ පාසැල් හා නිවාස තුළ පවා අධ්‍යාපනය කඩා කප්පල් වී කබලෙන් ලිපට වැටුණු ළමයි අනන්තය, අප්‍රමාණය.


මෙම පැවිදි කිරීම කොයිතාක් දුරට වලංගු ද?

ලිංගික ආශාවන් පාලනය කර ගත නොහැකි පුද්ගලයන් සහ නොසංසිදෙන ලිංගික ආශාවන් ඇති අය (පණ්ඩක) පැවිදි නොකළ යුතු බව බෞද්ධ විනය නීති සංග්‍රහයේ තවදුරටත් සඳහන් වේ. සමලිංගිකත්වය නිසා පුද්ගලයන් පණ්ඩක නම් කොට්ඨාශයට යොදා වර්ග කිරීම වැරැදිය. සමලිංගික මෙන්ම විෂමලිංගිකපණ්ඩකයන් ද පැවැතිය හැකිය.

අගෝස්තු විසි හය වැනි දින එනම් පළමු විකාශනයෙන් හරියටම සතියකට පසු අදාළ විවාහයට සම්බන්ධ ළමයා පැවිදි වී ඇති බවත්, මෙවැනි අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු පැවිදි කරන්නේ කෙසේද යන ගැටළුවත් නගමින් මෙම ගුවන් විදුලි නාලිකාව මේ සම්බන්ධ දෙවැනි වැඩසටහනක් විකාශනය කරන ලදී.

මෙම වැඩසටහනේ දී මෙම පැවිදි කිරීමේ වූ වගකීම් විරහිතභාවය පිළිබඳ කරුණු තවදුරටත් හෙළි කරමින් අදාළ ළමයා පැවිදි කළ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය නරක බව ද ප්‍රකාශ කරමින් ළමයා ගේ පැවිදි නාමය නායක භික්ෂුවගේ නම සහ පන්සලේ නම එළිදරව් කරන ලදී.

මා දකින ආකාරයට මේ පැවිදි කිරීමේ කිසියම් වැරැද්දක් තිබේ නම් ඒ පැවිදි වීම සම්බන්ධයෙන් ළමයාට අවංක වුවමනාවක් සහ ඒ පිළිබඳ තේරුම් ගැනීමක් වී ද යන්න පමණි. පැවිදි වීම යන්න කෙනෙකුට කිසියම් සමාජ විරෝධාකල්පයකින් පලා ඒම සඳහා මෙවලමක් විය යුත්තේ නැත. එහෙත් කිසියම් සමාජ විරෝධාකල්පයකට මුහුණ දුන් කෙනෙකු ශාසනයේ පැවිදි වීම කිසිසේත්ම නතර කළ යුත්තක් නොවන බව ද බුදුන් වහන්සේ විසින් ම එවන් අය පැවිදි කළ අවස්ථාවන් ඇති බව ද බෞද්ධ ශාසන ඉතිහාසය කියවන්නෙකුට රහසක් නොවේ.

මෙම දෙවැනි වැඩසටහනේ මුඛ්‍ය අරමුණ වූයේ සමලිංගික පුද්ගලයෙකු බුද්ධ ශාසනයේ පැවිදි කිරීම කොයි තාක් දුරට බුද්ධ ශාසනයේ සම්මතයන් සමග ගැලපෙන්නේ ද යන්න විමසා බැලීමයි. එම ළමයා අපරාධකරුවා යන නමින් හැඳින්වීමට බල පෑ එකම කාරණය ඔහුගේ ලිංගික දිශානතිය යි. බෞද්ධ භික්ෂූන් යනු සමලිංගිකත්වයෙන් පමණක් නොව සියලුම ආකාරයේ ලිංගික හැසිරීම්වලින් වෙන්ව සිටීමේ විනය නීතින්ට එකඟ වන කොටසකි. එබැවින් කෙනෙකුගේ ගිහි ජීවිතයේ පැවැති ලිංගික දිශානතිය කොයිතාක් දුරට පැවිදි ජීවිතය වෙත බලපාන්නේ ද යන්න අප විචක්ෂණ බුද්ධියක් ඇති බෞද්ධයන් ලෙස සිතා බැලිය යුතුය.

ඇත්තටම ළමයින් පැවිදි කිරීම සම්බන්ධ කාරණා නිවැරැදි බෞද්ධයන් ලෙස අප නැවත සිතා බැලිය යුතුය. පැවිදි වීම සම්බන්ධ අවබෝධයක් නැති කුඩා ළමුන් පැවිදි කිරීමත්, වයස අවුරුදු 7-8 වයසේ දී පැවිදි වෙන ළමයෙකු තමන් මුළු ජීවිතය පුරාවටම ලිංගික හැසිරීම්වලින් වැළකෙන බවට ගන්නා තීරණය කොයි තාක් දුරට වලංගු විය යුතු ද වැනි කාරණා අප අතර සාකච්ඡාවට බඳුන් විය යුතුය. එසේම කුඩා ළමුන් බෞද්ධ පන්සල් තුළ දී ලිංගික හා වෙනත් අපයෝජනයන්ට ලක් වූ අවස්ථා එමට ය. අදාළ නාලිකාවට ළමා පරපුර හා බුද්ධ ශාසනය සම්බන්ධ සාකච්ඡාවකට යෑමට අවශ්‍ය නම් එවැනි විෂය ක්ෂේත්‍රයක් තෝරා ගැනීම ළමා අපයෝජනයකට ගොදුරු වූ ළමයෙකු පැවිදි කිරීමට එරෙහි වීමට වඩා වටනේය.


මාධ්‍යවේදී මහත්වරුනි, මේ අහන්න

මෙම වැඩසටහන විමර්ශන ජනමාධ්‍යවේදය (investigative journalism) යොදා ගන්නා වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි අතර බොහෝ විට විමර්ශන ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආචාරධර්ම අතර නොවිසඳුනු අර්බුදයක් පවතී. එහෙත් එසේ කී පමණින්ම ඔවුනට ජනමාධ්‍යවේදයේ පිළිගත් ආචාර ධර්ම පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය නොහැක.

අපරාධ කරන්නන්ගේ අයිතීන් කෙසේ වුවත්, අපරාධවලට ගොදුරු වන අහිංසකයන්ගේ අයිතිවාසිකම්වත් සුරැකීමට කටයුතු කිරීම සියලු ජනමාධ්‍ය අවල වගකීම විය යුතුය. සිද්ධියක් වාර්තා කිරීමේ දී එම සිද්ධිය සම්බන්ධ වන පුළුල් සන්දර්භයට අදාළ පර්යේෂණාත්මක දැනුම සම්බන්ධව කියවීමක් කිරීමත්, රටේ පවතින නීතිය හා මාධ්‍යයයේ සමාජ කාර්යභාරය සම්බන්ධ පුළුල් දැක්මක් තිබීමත් වැදගත් වේ.

තවදුරටත් කිව යුත්තේ විමර්ශන ජනමාධ්‍යවේදය හරහා අප රටේ සිදු වන දූෂණ, මිනිමැරුම්, සහ දේශපාලනඥයන් ගේ මගඩි ඉදිරිපත් කරන්නේ නම් රටට මීට වඩා සේවයක් වනු ඇති බවයි. නිසි පදනමකින් යුතුව එවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම අප රටේ ප්‍රගමනයට නිසැකවම දායකත්වයක් සපයනු ඇත.

Damith Chandimal දමිත් චන්දිමාල් | Damith Chandimal

*NOTE

– නෙත් FM මාධ්‍ය ආයතනය (2013 අගෝස්තු 19) Balumgala2013-08-19 Homo Sexual Marriage වීඩියෝ හඬපටය. ප්‍රවේශ වූ දිනය: 2013.9.12

– නෙත් FM මාධ්‍ය ආයතනය (2013 අගෝස්තු 26)Balumgala 2013-08-26 Can anyone be a Buddhist Monk? වීඩියෝ හඬපටය. ප්‍රවේශ වූයේ : 2013.9.12

– ශ්‍රී ලංකා කතෘ සංසදය. වෘත්තීය ප්‍රතිපත්ති මාලාව. http://www.pccsl.lk/sites/default/files/Code%20in%20Sinhala.pdf ප්‍රවේශ වූ දිනය:2013.9.12

– ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය, 2013. ජනමාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහය| කෙටුම්පත. ප්‍රවේශ වූයේ ප්‍රවේශ වූ දිනය : 2013.9.1

[සැලකිය යුතුයි – මෙම ලිපියෙහි අදහස්වල වගකීම කතුවරයා සතුය]

Image Credit: http://michelephoenix.com