Photo: AP Photo/Sujeewa Kumar via The Guardian

2015 ජනවාරි 8 දා පැවති ජනාධිපතිවරණයේ නාටකාකාර ප‍්‍රතිඵලය විස්තර කිරීම සඳහා ‘රෙජීම් චේන්ජ්’ යන වැකි කඩ බොහෝ විට යොදා ගනු ලැබේ. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස වෙනස් කිරීම යන අර්ථයෙන් මෙන් ම ශ‍්‍රී ලාංකික රාජ්‍යය පිළිබඳ තරගකාරී සංකල්ප දෙකක් අතරින් එකක් තෝරා ගැනීමට ඉඩ ලද විට ඡන්ද දායකයා පළ කළ අදහස ඊට වඩා ගැඹුරින් විස්තර කිරීම සඳහා ද එම වැකි කඩ යොදා ගැනේ. රට රාජපක්ෂගේ මොඩලය ප‍්‍රතික්ෂේප කොට ශ‍්‍රී ලංකාව පිළිබඳ මුළුමනින් ම වෙනස් දැක්මක් උදෙසා පොදු විපක්ෂය දුන් ප‍්‍රතිඥාවට අනුමැතිය පළ කළේ ය. සිදු කරන බවට පොදු විපක්ෂය පොරොන්දු වූ ප‍්‍රතිසංස්කරණවලින් අපේ‍්‍රල් මාසයේ දී දහනව වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ස්වරූපයෙන් බලාත්මක කරන ලද ප‍්‍රධාන කොටස නිසා ඇතිව තිබෙන වෙනස්කම් සහ තවත් ප‍්‍රතිසංස්කරණයන් කරන බවට දී තිබෙන ප‍්‍රතිඥාව අනුමත කරන ලෙස හෝ ප‍්‍රතික්ෂේප කරන ලෙස සතියකින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද දායකයාගෙන් ඉල්ලා සිටිනු ඇත.

මෙය එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ පශ්චාත් රාජපක්ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) අතර තරගයක් යැයි අපේක්ෂා කෙරෙන්නට ඇති නමුත් හිටපු ජනාධිපතිවරයා විනීතාචාර සම්පන්න ලෙස දේශපාලනිකව විශ‍්‍රාම ගැනීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් අදහස් වන්නේ මෙම වසර තුළ දෙවන වතාවටත් මහජනතාව ශ‍්‍රී ලාංකික රාජ්‍යය කවරාකාර විය යුතු ද යන්න සහ අනාගතයේ දී එය අඛණ්ඩව ගමන් කළ යුත්තේ කවර දිසාවකට ද යන්න සම්බන්ධයෙන් ජනවාරියේ දී වැනි ම තෝරා ගැනීමකට මුහුණ දෙන බව යි. එම නිසා මෙය ඡන්ද දායකයා වැඩි කැමැත්තක් දක්වන්නේ කවර පක්ෂයට ද කවර සෞඛ්‍ය, අධ්‍යාපන, සංවර්ධන හා ආර්ථික ප‍්‍රතිපත්තිවලට ද යනාදී වශයෙන් මහ මැතිවරණයක දී සාමාන්‍යයෙන් මතු වන ප‍්‍රශ්නයට වෙනස් වේ. එය අනාගත අගමැතිවරයා ලෙස වැඩි ජනප‍්‍රියත්වයක් තිබෙන්නේ රනිල් වික‍්‍රමසිංහට ද මහින්ද රාජපක්ෂට ද යන ප‍්‍රශ්නයට වඩා නිශ්චිතව ම බරපතළ ය.

ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර විශිෂ්ට සමාජමය සංවාදයක් සිදු වූ අතර මෙවර ද නො වැළැක්විය හැකි පක්ෂ භජනයට හා උණුසුම් තරගකාරිත්වයට යටින් රටේ අනාගතය පිළිබඳව සිදු වන මහජන කතිකාව නිසැක බැරෑරුම් පදනම් මත කෙරෙන්නක් බවට සාක්ෂි පවතී. ශ‍්‍රී ලාංකිකයෝ මෙය රාජ්‍යයේ ස්වභාවය ම ද පෙරදැකිය හැකි අනාගතයේ දී එය ගමන් ගන්නා දේශපාලනික හා ආර්ථික සංවර්ධන මග ද තීරණය වන්නා වූ මැතිවරණයක් බව අවබෝධ කර ගනිමින් සිටිති. එබැවින් ඉදිරිපත් කෙරෙමින් තිබෙන ප‍්‍රධාන තරගකාරී දැක්මවල් දෙකේ ස්වභාවය නිශ්චිත වශයෙන් පැහැදිලි කර ගැනීම වැදගත් වේ. සැබවින් ම දැක්මවල් දෙකකට වඩා පවතින බව කිව යුතු නො වේ. දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඉදිරිපත් කරන ෆෙඩරල් දැක්ම ඒ අතරින් වඩාත් ම වැදගත් ය. මෙම සුළුතරවාදී ව්‍යවස්ථාමය ඉදිරි දැක්මවල් සන්නද්ධ බෙදුම්වාදය කිසි කලෙක නොකළ තරමට රාජ්‍යය සම්බන්ධ වඩා අතිමූලික ප‍්‍රශ්න මතු කරන හෙයින් එය වෙනත් දිනෙක වෙන ම සලකා බැලිය යුතු ප‍්‍රශ්න කට්ටලයක් වේ.

මා සිතන්නේ එජාපයේ සහ එහි හවුල්කරුවන්ගේ ප‍්‍රවිෂ්ටයන් එක් අතකිනුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) ප‍්‍රවිෂ්ටය අනෙක් අතිනුත් ගත් විට න්‍යායික මොඩලයන් දෙකක් පදනම් කර ගෙන විස්තර කළ හැකි බව යි: පළමු ප‍්‍රවිෂ්ටය ශ‍්‍රී ලාංකික රාජ්‍යත්වය සමූහාණ්ඩුවාදී (රිපබ්ලිකානු) ක‍්‍රමයට යළි සකස් කිරීමක් යෝජනා කරයි; දෙවැන්න බහුතර ප‍්‍රජාවේ සංස්කෘතික හා දේශපාලනික ප‍්‍රධානත්වය යළි තහවුරු කරන ජනවර්ග තන්ත‍්‍රීය රාජ්‍යයක් ලෙස නම් කළ හැකි යමක් ඉදිරිපත් කරයි. වෙනත් වචනවලින් කිව හොත් ඉදිරිපත්ව තිබෙන රාජ්‍ය මොඩලයන් අතරින් එකක් තෝරා ගැනීම යනු සමූහාණ්ඩුව හා ජනවාර්ගික තන්ත‍්‍රය යන දෙකෙන් එකක් තෝරා ගැනීම වේ. දැන් මා කරන්නේ අගෝස්තු 17 දා අප කරන තේරීම් ගැන අප කල්පනා කරන ආකාරය කෙරෙහි යම් ආලෝකයක් විහිදුවීමේ අපේක්ෂාව ඇතිව මෙම මොඩලයන් දෙකෙන් මට හැෙඟන දෙය විදහා පෑම යි.

මහින්ද චින්තනය ජනවාර්ගික තන්ත‍්‍රයක් ලෙස

මීට පෙර රාජපක්ෂ රෙජීමය යටතේ පිරිනැමුණු දෙයට කවරාකාරයකින් හෝ වෙනස් යමක් ඉදිරිපත් කරන බවට කිසි ඉඟියක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ හෝ එහි දේශපාලන නායකයන් හා එහි ප‍්‍රතිපත්ති අර්ථ නිරූපණය කරන බුද්ධිමතුන් පළ කරන අදහස් තුළ නැත. සැබවින් ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමස්ත මැතිවරණ ව්‍යාපාරය ම පදනම් කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ඉඟුරු කල්ලි සගයන් යළි බලයට ගෙනැවිත් එමගින් ඒකාධිපතිවාදී රාජ්‍යය හා එම පාලන තන්ත‍්‍රයේ එදිරිවාදී ජාතිකවාදී දේශපාලන කතිකාව යළි තහවුරු කිරීම මත ය. තවත් ගැඹුරින් සලකා බැලූව හොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙනී සිටින්නේ ශ‍්‍රී ලාංකික ඡන්ද දායකයා විසින් ආක‍්‍රමණකාරී ලෙස බලයෙන් පහ කෙරෙන විට තමන් පදනම් වෙමින් සිටි ජනවාර්ගික තන්ත‍්‍රය යළි ඇති කිරීම වෙනුවෙනි.

ජනවාර්ගික තන්ත‍්‍රයක් යනු බහුතරවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ භාවිතය දේශපාලනය ජනවාර්ගික කිරීමත් සමග සම්බන්ධ කරන රාජ්‍ය මාදිලියකි. එය පැන නගින්නේ බහුවිධ දේශපාලන සමාජයන් තුළ දී ය. එනම් දේශපාලන සමාජයේ ඓතිහාසික හා භෞමික අවකාශය තුළ ප‍්‍රධානත්වය තහවුරු කර ගන්නා (සහ ඒ අනුව රාජ්‍යයේ අයිතියට උරුමකම් කියන) එක් ආධිපත්‍යධාරී ජනවාර්ගික කණ්ඩායමක් ව්‍යවස්ථාමය පටිපාටියේ පදනම ලෙස ජනවාර්ගික සම්බන්ධතා පදනම් කර ගත් ධුරාවලියක් තහවුරු කිරීමට උත්සාහ කරන්නා වූ තත්ත්වයන් තුළ දී ය. ජනවර්ග තන්ත‍්‍රීය පාලනයෝ රාජ්‍යය අත්පත් කර ගෙන එහි සම්පත් ආධිපත්‍යධාරී කණ්ඩායමේ අභිවෘද්ධිය පිණිස යොදා ගනිති. මෙහි දී අනිවාර්යයෙන් ම සුළුතර කණ්ඩායම් තමන්ට යටත් සේ සැලකෙන අතර සමහර විට ප‍්‍රචණ්ඩ ලෙස මර්දනය කෙරෙති. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පැන නගින සුළුතරයේ ප‍්‍රතිරෝධය ද නොනිසි ලෙස ජනවර්ග තන්ත‍්‍රීය ස්වරූපයක් ගත හැකි ය (එල්ටීටීඊය මීට මනා උදාහරණයකි). ජනවාර්ගික තන්ත‍්‍රයක් තුළ දී ජනවාර්ගිකත්වයට ආවේණික සංස්කෘතික සම්පත්වලින් සම්පාදනය වන්නේ ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිර්ආගමික සාරධර්ම නො ව ඇවිස්සෙනසුලූ දේශපාලනික සාරධර්මයන් ය. සුළුතරයන් පීඩාවට පත් කරන තරම අනුව එම සාරධර්මවල ස්වරූපය විවිධ විය හැකි නමුත් සාමාන්‍යයෙන් ඒවා නිසා සුළුතරයන්ට යම් ආකාරයක දේශපාලනික නියෝජනයක් හා අයිතිවාසිකම් අත් කර ගැනීමට ඉඩ සැලසෙන අතර සුළුතරයන් ඉදිරිපත් කරන අයිතිවාසිකම් පිළිබඳ ඉල්ලීම් අතර තිබෙන අතිමූලික ම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප වේ. ජනවර්ග තන්ත‍්‍රීය රාජ්‍ය යනු ඡන්දයෙන් තේරී පත් නොවූ ආඥාදායකත්වයන් නොවන නමුත් ඒවා ජනවර්ග-සංස්කෘතික ජනතාවාදය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බහුතරවාදය යොදා ගෙන බහුවිධ දේශපාලන සමාජය මත තමන් පවත්වා ගෙන යන ඒකාධිපතිවාදී පාලනය යුක්ති සහගත කරයි. ව්‍යවස්ථාමය පටිපාටියේ පදනමෙහි ම පවත්නා මෙම අතිමූලික අසාධාරණය නිසා එක දිගට ම අසාර්ථක වී හා ගැටුම් ගහණ වී ජනවාර්ගික තන්ත‍්‍රයෝ පාලනය සම්බන්ධ සිය අභිමතාර්ථයන් වසන් කර එලා තිබූ රෙදි කඩවල් ඉවත් කරති.

රාජපක්ෂ රෙජීමය ජනවාර්ගික තන්ත‍්‍රයක් සතු මෙකී සියලූ ගුණාංග විදහා පෑවේ ය. දේශපාලනිකව සජීවීකරණය කිරීමේ දී හා රෙජීමය යුක්ති සහගත කිරීමේ දී එය ප‍්‍රධාන වශයෙන් පදනම් වූයේ සිංහල-බෞද්ධ ජාතිකවාදය ඇසුරෙහි ගොඩ නැගි උග‍්‍ර ජාතිවාදයක් මත ය. බහුතර ජාතියේ දේශපාලනික, සංස්කෘතික හා ඓතිහාසික ඉල්ලීම් විසින් සියල්ලන් ඇතුළත් කර ගන්නා ශ‍්‍රී ලාංකික ජාතියක් පිළිබඳ ප‍්‍රජා සංකල්පය විස්ථාපනය කෙරිණ. රාජ්‍ය බලය සංවිධානය කිරීමේ දී හා පවත්වා ගෙන යාමේ දී දේශපාලන බලයේ රාජාණ්ඩුවාදී සම්ප‍්‍රදායන් ද ඇතුළු ජනවාර්ගික දෙශපාලනය විසින් නිර්ආගමික නීතිය වැඩි වැඩියෙන් විස්ථාපනය කෙරිණ. මේ ආකාරයෙන් නිර්වචනය කෙරුණු ජාතික රාජ්‍යය ගොඩ නගන ලද්දේ සමානාත්මතාව හා ස්වාධිපත්‍යය සඳහා සුළුතරයන් කළ ඉල්ලීම්වලට පැහැදිලි ලෙස ම එරෙහිව ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස පැන නැගි ආතතියට සහ ගැටුම් ඇති වීමේ ඉඩකඩට විසඳුම් සොයන ලද්දේ පාලනය හා මිලිටරීකරණය එන්න එන්න ම වැඩි කිරීම මගිනි. සිංහල-බෞද්ධ දේශජවාදයේ මිථ්‍යාමය-ඓතිහාසික ලෝක දෘෂ්ටියෙන් උපත ලද දේශපාලනික ව්‍යවස්ථාවක් විසින් ව්‍යවස්ථාපිත නීතියේ පාඨ තුළ පිළිබිඹු වූ නූතන නීතියේ නො නැසී ඉතිරි වුණු කැබලි එක දිගට ම විස්ථාපනය කෙරිණ. ජනාධිපති බලයේ ස්වභාවයත් අභිමතාර්ථයත් යළි ප‍්‍රකාශයට පත් කිරීම සඳහා සිංහල-බෞද්ධ ඉතිහාසවේදයේ එන ප‍්‍රමුඛ රාජාණ්ඩුමය තේමාවෝ පුළුල් ලෙස යොදා ගන්නා ලදහ.

උදුරා ගැනීම සඳහා වූ ඉමහත් රුචිය සන්තර්පණය කර ගැනීමේ දී රෙජීමය ජාතිකවාදයටත් එහා ගියේ ය. නීතියේ පාලනය බිඳ වැටීමෙන් සහ පවුල් පාලනයේ අත්තනෝමතිකත්වයෙන් රුකුල් ලැබ අනුග‍්‍රහ දැක්වීම හා දූෂණය ඉහවහා ගියේ ය. කෙටියෙන් කිව හොත් වඩාත් ම වැදගත් දෙය වන සුළුතර ඉල්ලීම් ඉටු කිරීම සඳහා පැවති ආවේණික නොහැකියාව ඇතුළු බොහෝ සීමාසහිතකම් තිබිය දීත් ශ‍්‍රී ලාංකික රාජ්‍යය රැක ගෙන සිටි එහි නිල ව්‍යවස්ථාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීමය ස්වභාවය පාලක පවුලේ සහ එහි පුළුල් අනුග‍්‍රාහක ජාලයේ ආර්ථික අවශ්‍යතාවල අභිවෘද්ධිය පිණිස විස්මය දනවන අයුරින් සංවිධිත කූට දේශපාලනික සන්ධානයක් හෙවත් කාටලයක් බවට පරිවර්තනය කරන ලදී. රාජ්‍ය පාලනය එහි ජනවර්ග තන්ත‍්‍රීය පැතිකඩ නිසා ජනතාවාදී සුජාත භාවයක් අත් කර ගත්ත ද ප‍්‍රධාන ඡන්ද දායක පිරිස අතරින් පවා ඊට පැවති මැතිවරණ සහාය ඛාදනය වී ගියේ ඉහත කී පරිවර්තනය හේතුවෙනි.

2010 දී අවසන් වරට තේරී පත් වී වසර හතරක් තුළ ජාතිකවාදී හා ජනතාවාදී ජනාධිපතිවරයෙකු මිලියන දෙකකට ආසන්න විශාල ඡන්ද ප‍්‍රමාණයක් නාස්ති කර ගත් ආකාරය පැහැදිලි කිරීමට උපකාර වන ප‍්‍රධාන ම සාධකය නම් දූෂණය හා දුරාචාරය යි.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ජනාධිපතිවරයාගේ බලතල සීමා වී තිබිය හැකි නමුත් රාජපක්ෂ යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි පැමිණිය හොත් එම සංශෝධනයන් නිසා සිදු වනු ඇත්තේ සුළු වෙනසකි. මන්ද යත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා ඔහුගෙන් නියෝජනය වන දේශපාලන ශෛලියේ දී සහ රාජ්‍ය බලය පිළිබඳ සංකල්පයේ දී නීත්‍යනුකූල භාවයට හා ව්‍යවස්ථානුකූල භාවයට ඉටු කළ හැකි වන්නේ සුළු කාර්ය භාරයක් බැවිනි. ඒකාධිපතිවාදී සහජ බුද්ධීන්ගෙන් සහ බහුතරවාදී ජාතිකවාදයෙන් උපත ලබන දේශපාලනික ව්‍යවස්ථාවට නීතිමය ව්‍යවස්ථාව හැම විට ම යටත් කෙරෙනු ඇත. එවිට ප‍්‍රජාතාන්ත‍්‍රීකරණය උදෙසා දහනව වන සංශෝධනයෙන් හඳුන්වා දෙන ලද නීතිමය වෙනස්කම් තිබිය දී පවා ශ‍්‍රී ලාංකික රාජ්‍යය රාජපක්ෂ රෙජීමය යටතේ පැවති තත්ත්වය කරා ආපසු යැවෙනු ඇත.

පසු ගිය ජනාධිපතිවරණයේ දී රාජපක්ෂගේ ප‍්‍රධාන ඡන්ද දායක පිරිසෙන් සැලකිය යුතු කොටසක් ඔහු හැර යන තරමට පොදු දේශපාලන සහ ප‍්‍රජා විපක්ෂ වැඩ සටහන ආකර්ෂණීය විය. මින් පෙන්නුම් කෙරෙන්නේ ජනතාව සජීවීකරණය කිරීමේ ක‍්‍රමෝපායක් හා මතවාදයක් ලෙස ගත් විට ජනතාවාදය හා ජාතිකවාදය තුළ පවතින සීමාසහිතකම් වුවත් ශ‍්‍රී ලාංකික දේශපාලන සමාජය තුළ ගැඹුරින් ම මුල් බැස ගත් සමූහාණ්ඩුමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරමාදර්ශ අතරින් යමක් ඒ තුළ තිබෙන බව ද ඉන් පැහැදිලි වේ. රාජපක්ෂ ශෛලියේ මැර නායකයන් සිය උත්කර්ෂවත් මොහොතවල් භුක්ති විඳින්නට ඇති නමුත් ගෝලීය දකුණේ අනෙක් කොටස්වලට වෙනස් ලෙස අපගේ දේශපාලන සමාජය ද මෙම සමූහාණ්ඩුමය මොඩලය මුල් බැස ගැනීමට තරම් දේශපාලනිකව වර්ධනය වී ඇත. විශේෂයෙන් ම ඒකාධිපතිවාදී රාජ්‍යයක දී පවා රෙජීමයේ ස්ථාවරත්වය හා අඛණ්ඩතාව බලාත්කාරයේ හා සමගි සම්මුතියේ නුවණැති මුසුවක් මත රඳා පවතින බව අවබෝධ කර ගැනීමට ප‍්‍රශ්නයට බඳුන්ව සිටින මැර නායකයාට හැකියාව නැති විට දී මෙය සිදු වී ඇත.

පොදු විපක්ෂය රට උදෙසා පිරිනැමූ විකල්ප දැක්ම ජනවාරියේ දී වර්තමානය දිනූ අතර ළඟ එන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ එහි දේශපාලනික හා සිවිල් සමාජීය හවුල්කරුවෝ පසු ගිය ජනාධිපතිවරණයෙන් මෙපිට දී තමන් හඳුන්වා දී තිබෙන වෙනස්කම් තහවුරු කිරීම හා පදනම් කර ගැනීම සඳහා වරමක් ලබා ගැනීමට උත්සාහ කරති. ඔවුන් මේ සම්බන්ධ සිය දැක්ම හුවමාරු කර ගෙන නැතත් සන්ධානගතව සිටින මෙම බලවේග විසින් පිරිනමන මොඩලයෙන් නියෝජනය වන්නේ දැඩි ලෙස සමූහාණ්ඩුමය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය මොඩලයක් යැයි මම තර්ක කරමි.

යහපාලනය සමූහාණ්ඩුවාදයක් ලෙස

සමූහාණ්ඩුවාදය යනු පොදු යහපත ගැන සැලකිලිමත් වන්නා වූත් දේශපාලනික ක‍්‍රෑර භාවයට හා දූෂණයට විරුද්ධ වූත් මැනවින් පාලිත දේශපාලන සමාජයක තීරණාත්මක ලක්ෂණයක් ලෙස සලකා සුචරිතවත් ප‍්‍රජාව පිළිබඳ සංකල්පය කෙරෙහි ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නා වූත් අදහස් හා පරිචයන් කට්ටලයකි. පරමාදර්ශී සමූහාණ්ඩුවාදී රාජ්‍යය ප‍්‍රධාන අංග තුනකින් සමන්විත ය. ඒවා වූ කලි: රාජාණ්ඩුවාද විරෝධය හා ජනතා පරමාධිපත්‍යය ද ‘ආධිපත්‍යයෙන් තොර වීම’ නිදහසේ පදනම ලෙස සැලකීම ද වග වීම හා ඒ ආශ‍්‍රිත ආයතනික සැලැස්ම සතු වටිනාකම ද වේ. මේ ආකාරයෙන් අවබෝධ කර ගත් විට වැදගත් දෙය වන්නේ රාජ්‍යය පිළිබඳව රාජ්‍යය ම නිල වශයෙන් කරන ව්‍යවස්ථාමය විස්තර කිරීම නො ව සැබෑ ලෝකයේ දී එහි ස්වාධීන දේශපාලන ආයතන ක‍්‍රියාත්මක වන ආකාරය යි. එම නිසා උදාහරණයක් ලෙස ආසියාවේ, අප‍්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ රාජාණ්ඩුවාදී ජනාධිපති රාජ්‍යයන් ඒවා නිල වශයෙන් සමූහාණ්ඩු වන්නේ ය යන කරුණ පාරට්ටු කරන්නට ඉඩ තිබෙන නමුත් සැබෑ තත්ත්වය නම් ප‍්‍රමිතිය අනුව ගත් කල ඒවා සමූහාණ්ඩුවාදී වන්නේ එක්සත් රාජධානිය වැනි නිල ව්‍යවස්ථාමය රාජාණ්ඩුවලට වඩා අඩුවෙන් බව යි.

සැබවින් ම සමූහාණ්ඩුවක් යනු රාජ්‍ය මාදිලියක් ලෙස ගත් කල රාජාණ්ඩුවකට දෙයාකාරයකින් ප‍්‍රතිවිරුද්ධ දෙයකි. එහෙත් ප‍්‍රමිතියට වඩාත් අනුකූලව ගත් කල සමූහාණ්ඩුවාදයෙන් නියෝජනය වන්නේ දේශපාලන සමාජයක් පාලනය කිරීමේ පරම බලය හා අධිකාරය – හෙවත් පරමාධිපත්‍යය – උපදින්නේ ජනතාවගෙන් ය (එම නිසා ‘ජනතා’ පරමාධිපත්‍යයෙන් ය), එය නිර්මාණය කෙරෙන්නේ, පාවිච්චි කෙරෙන්නේ හා ප‍්‍රතිනිෂ්පාදනය කෙරෙන්නේ ජනතාව සහ ඔවුන්ගේ පාලන ආයතන අතර ක‍්‍රියාත්මක දේශපාලන සම්බන්ධතාවක් තුළ දී ය යන අදහස යි. පරමාධිපත්‍යය පිහිටා තිබෙන්නේ පාරම්පරික තනතුරක් තුළ ය, නැත හොත් එය උපත ලබන්නේ යම් පාරභෞතික මූලාශ‍්‍රයකින් ය යන අදහස එය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.

දෙවැන්න නම් ආධිපත්‍යයෙන් තොර වීම පිළිබඳ අදහස සංකීර්ණ හා පැතිකඩ ගණනාවක් සහිත සංකල්පයක් වුවත් මෙහි ලා ඉන් අදහස් වන්නේ සියලූ අත්තනෝමතික ආණ්ඩු ස්වරූප ප‍්‍රතික්ෂේප කිරීම යි. ඉන් ගලා එන නිගමනය නම් ආණ්ඩුව ජනතාවට වග වන බව සහතික කිරීම යි. ආණ්ඩු බලයේ ප‍්‍රමාණය සීමා කරන බව සහතික කිරීම සඳහා ප‍්‍රබල යන්ත‍්‍රණයන් සම්පාදනය කෙරෙන බැවින් – එනම් පාවිච්චි කිරීම සීමා කරන හා ව්‍යූහගත කරන ක‍්‍රියා පටිපාටි සහ වඩාත් ම වැදගත් දෙය වන ආණ්ඩු ක‍්‍රියාවලියේ දී අඛණ්ඩව තම මතය ප‍්‍රකාශ කිරීම සඳහා පුරවැසියන්ට අවශ්‍ය අවකාශය සම්පාදනය කෙරෙන බැවින් – සමූහාණ්ඩුවක් තුළ දී අත්තනෝමතිකත්වයට තිබෙන ඉඩකඩ අඩු වේ.

මේ අනුව ගත් විට ආධිපත්‍යයෙන් තොර වීම පිළිබඳ මූලධර්මය ප‍්‍රතිඵල තුනක් දරා සිටී: (අ) ආණ්ඩුවේ විවෘත භාවය හා තොරතුරු දැන ගැනීමේ නිදහස නිසා ආණ්ඩුව පොදු යහපත උදෙසා ක‍්‍රියා කරන බව සහතික වීමට ඉඩකඩක් පැවතීම, (ආ) සුචරිතවත් ප‍්‍රජාව නොහොත් පුරවැසියා පොදු යහපත සහතික කිරීම පිළිබඳව සැලකිලිමත් වීම හා එය ළඟා කර ගැනීම උදෙසා පෞද්ගලිකව යම් වගකීමකට උර දීම සහ (ඈ) සමානාත්මතාව (තවත් සංකීර්ණ සංකල්පයකි) නොහොත් මෙහි ලා අවබෝධ කර ගැනෙන පරිදි නම් සමූහාණ්ඩුවාදය පිළිබඳ පරමාදර්ශය විසින් තමන්ගෙන් අපේක්ෂා කෙරෙන කාර්ය භාරය ඉටු කිරීමට පුරවැසියන්ට හැකි වන පරිදි මූලික නීතිමය, දේශපාලනික හා සමාජ-ආර්ථික තත්ත්වයන් සහතික කිරීම යි. අවසන් වශයෙන් කිව යුත්තේ ප‍්‍රමිතීන් ලෙස සැලකෙන මෙම සාරධර්ම සහ අභිප‍්‍රායන් යහපත උදෙසා අභිමත බව ප‍්‍රකාශයට පත් කෙරෙන නමුත් ඒවා සැබෑ කළ හැකි ක‍්‍රම නොපවතින්නේ නම් ඒවායේ ඇත්තේ සුළු වැදගත්කමක් බව යි. එම නිසා සමූහාණ්ඩුවාදය ආණ්ඩුව වග වන බව සහතික වන පරිදි ආයතන සැලසුම් කිරීම කෙරෙහි බරපතළ අවධානයක් යොමු කරයි.

පැහැදිලිව ප‍්‍රකාශ කර නැතත් ජනාධිපතිවරණය සඳහා පොදු විපක්ෂය ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පොදුවේ ගත් කල සමූහාණ්ඩුවාදී පරමාදර්ශය පිළිබඳ මෙම සංකල්පගත කිරීමේ අවශ්‍යතාවන්ට අනුකූල යැයි තර්ක කළ හැකි ය. දින සියයේ වැඩ සටහන මුළුමනින් ම අවධානය යොමු කළේ ඉහත සංක්ෂිප්තව දැක්වූ සමූහාණ්ඩුවාදී ප‍්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීම ඉලක්ක කර ගත් ආයතනික ප‍්‍රතිසංස්කරණ කෙරෙහි සහ ඒ සමානව වැදගත් කරුණක් වන නායකත්වයේ ශෛලිය දැනුවත්ව වෙනස් කිරීම කෙරෙහි ය. හිටපු ජනාධිපතිවරයාගේ පුරාජේරු හා සාටෝප කතාවලට මුළුමනින් ම වෙනස් ලෙස ජනාධිපති තනතුරේ රාජ්‍ය සේවා පැතිකඩ විදහා පෑමට නව ජනාධිපතිවරයා ඉමහත් පරිශ‍්‍රමයක් දරා ඇත. බොහෝ දුරට ම රාජපක්ෂගේ පාර්ලිමේන්තු බහුතරයේ නොනැමෙන ගතිය නිසා දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පොදු විපක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ ගැබ් වූ අහෝසි කිරීමේ හැකියාව පූර්ණ ලෙස සාක්ෂාත් කර ගත නොහැකි වූ නමුත් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ප‍්‍රධාන අදහස වූයේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති තනතුර ආශ‍්‍රිතව පැවතියා වූත් රාජපක්ෂගේ දහඅට වන ව්‍යවස්ථා සංශෝධනයෙන් උග‍්‍ර කෙරුණා වූත් රාජාණ්ඩුවාදය ප‍්‍රතික්ෂේප කිරීම යි. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය විධායකයට සම්බන්ධිතව ජනාධිපතිවාදය මුළුමනින් ම පාහේ අහෝසි කිරීමට සමාන වැඩි දුර ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරන බවට ප‍්‍රතිඥා දෙන අතර අනෙක් පාලන ප‍්‍රතිසංස්කරණ සමග එකට ගත් විට මෙම වෙනස්කම් කරණ කොට ගෙන ශ‍්‍රී ලංකාව සමූහාණ්ඩුමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරමාදර්ශයන් දෙසට වඩා සමීප වනු ඇත.

වැදගත් කරුණ වන්නේ ජනාධිපතිවාදය කප්පාදු කිරීම යන ක‍්‍රියාව තුළ වඩා යහපත් හරි වැරදි බැලීම් හා තුලනය කිරීම් ද අත්තනෝමතිකත්වය අඩු කිරීම ද සහභාගිත්වය හා අදහස් ලබා ගැනීම සඳහා වැඩි ඉඩකඩක් සම්පාදනය කිරීම ද හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීම යන ක‍්‍රියාව ඇතුළත්ව තිබීම යි. විධායකය ප‍්‍රතිනිර්මාණය කිරීම පමණක් නො ව කමිටු පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීම හරහා සුපරීක්ෂාමය හැකියාව වැඩි දියුණු කිරීම මගින් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම ද කළ යුතු ය. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරයා සතුව තිබූ පූර්ණ නීතිමය මුක්තිය ඉවත් කිරීමෙන් සහ විධායකය පාර්ලිමේන්තුවට වගකියන්නක් බවට පත් කිරීමෙන් දේශපාලනික සහ නීතිමය යන දෙයාකාරයේ ම වග වීම ඇති කිරීම ඉලක්ක කර ගත්තේ ය. එය දැනට මත් තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික ව්‍යවස්ථානුකූල අයිතියක් බවට පත් කර තිබෙන අතර තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ නීති පද්ධතිය බලාත්මක කිරීමෙන් අනාගතයේ දී එම නිදහස වැඩි දියුණු වනු ඇත.

සිරිසේන-වික‍්‍රමසිංහ පරිපාලනය සිය ආර්ථික ප‍්‍රතිපත්තියේ දී සමානාත්මතාව කෙරෙහි වැදගත් සංකේතාත්මක කැප වීමක් ප‍්‍රදර්ශනය කළේ ය. ජනවාරියේ දී ඉදිරිපත් කෙරුණු අතුරු අයවැයෙන් සහ ඉන් පිරිනැමුණු ජීවන වියදම් සහනවලින් මෙය පිළිබිඹු විය. එම අයවැයෙන් හඳුන්වා දෙන ලද – රාජපක්ෂගේ මූල්‍ය පරිත්‍යාගශීලිත්වයේ පැහැදිලි ප‍්‍රතිලාභීන් බවට පත්ව සිටි සමහර ව්‍යාපාර වර්ග මත එක් වරක් පමණක් පැනවෙන බද්දක් පැනවීම හෝ එම කණ්ඩායම ම ඉලක්ක කර ගෙන ‘මන්දිර බද්ද’ නම් බද්දක් පැනවීම වැනි – සමහර රාජ්‍ය මූල්‍ය පියවරයන් මතභේදයට ලක්ව ඇති නමුත් සමූහාණ්ඩුවාදී සමානාත්මතාවේ පදනම් මත එම පියවරයන් අඩු ගණනේ මූලධර්මාත්මකව වත් ආරක්ෂා කළ යුතුව තිබිණැයි හැෙඟ්. එක්සත් ජාතික පක්ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පදනම් වන ප‍්‍රධාන වැදගත් අදහස නම් සමාජ වෙළඳ පොළ ආර්ථිකය පිළිබඳ සංකල්පය යි. සමාජයේ සහ වෙළඳ පොළේ ආර්ථික අවශ්‍යතා සමබර බව සහතික කිරීමට හෝ වෙනත් වචනවලින් කිව හොත් වෙළඳ පොළ ධනවාදයේ ධන නිර්මාණය ද යම් ආකාරයක සමාජ සාධාරණත්වයක් ඇති කිරීම සඳහා කරන ජනසමූහාත්මක යැයි පෙනී යන සමූහාණ්ඩුවාදී කැප වීම් යළි තහවුරු කිරීම ද යන දෙක ම එක වර වැළඳ ගැනීමට උත්සාහ කිරීමේ දී ආර්ථිකය සංවිධානය කිරීමේ මෙම මොඩලයට පදනම් වන මූලධර්මය මූලික වශයෙන් ගත් කල සමූහාණ්ඩුවාදී වේ. මෙය ඇති කිරීමට අසීරු සමබරතාවක් යැයි භාවිතයේ දී ප‍්‍රත්‍යක්ෂ විය හැකි නමුත් අඩු ගණනේ එය න්‍යායාත්මකව වත් සනාථ කළ හැකි ය.

ජනවාරියේ දී තෝරා පත් කරන ලද ආණ්ඩුව ද යම් ආකාරයක දේශපාලනික සමානාත්මතාවක් සඳහා කළ කැප වීමක් මත පදනම් විය. මෙය දෙයාකාරයකින් වැදගත් වේ. පළමුව ව්‍යවස්ථාව ප‍්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව ඇති දේශපාලන ප‍්‍රජාවකට සිය මතය ඉදිරිපත් කරන ලෙසත් ඒකාධිපතිවාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදීව නිල වශයෙන් අනුමත කිරීම තමන් විසින් ම නිවැරදි කර ගන්නා ලෙසත් ආයාචනා කිරීමේ දී ය. දෙවනුව ජනවර්ග තන්ත‍්‍රීය මොඩලයෙන් විස්තර වන ජනවාර්ගික ධුරාවලිය වළක්වාලීමේ දී සහ බහුත්වවාදී හා සමානාත්මතාවාදී පදනමක් මත පශ්චාත් යුද රට යළි ගොඩ නැගීමේ පොදු අභිමතාර්ථයට එක් වන ලෙස සුළුතරයන්ට ආයාචනා කිරීමේ දී ය. බහුත්වවාදය හා සමානාත්මතාව පිළිබඳ පැතිකඩ දෙමළ ජනතාව විසින් ප‍්‍රකාශයට පත් කෙරෙන උපරාජ්‍ය ජාතිකත්වයක් පිළිබඳ ඉල්ලීමට දක්වන ප‍්‍රතිපත්තිමය ප‍්‍රතිචාරයකින් තෘප්තිමත් නොවනු ඇති අතර – සැබවින් ම එය කිසි සේත් ම ප‍්‍රමාණවත් නො වේ – දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එම පැතිකඩ ප‍්‍රයෝගිකව ප‍්‍රකාශයට පත් වන ආයතනික ස්වරූපය ලෙස අප ඉදිරියේ තබන්නේ එක්සත් ශ‍්‍රී ලාංකික රාජ්‍යයක් තුළ ෆෙඩරල් ස්වාධීනත්වය යි. එහෙත් එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පශ්චාත් රාජපක්ෂ රාජ්‍යය අඩු ගණනේ අවම වශයෙන් වත් සුළුතරයන්ගේ ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දක්වන බව සහ මතභේදාත්මක ගැටලූ ප‍්‍රතික්ෂේප කිරීම හා මර්දනය කිරීම වෙනුවට සාකච්ඡාව හා සංවාදය හරහා විසඳා ගත හැකි බව අඩු ගණනේ සංකේතාත්මකව වත් අඟවා ඇත. ශ‍්‍රී ලාංකික දේශපාලන සමාජයේ බහුවිධ ස්වභාවය හඳුනා ගන්නා නව දේශපාලන ක‍්‍රමය වාසස්ථානය සඳහා සුළුතරයන් කරන ඉල්ලීම්වල වලංගු භාවය හා යුක්ති සහගත භාවය පිළිගනියි. එය මතු බලාපොරොත්තු සහිත ආරම්භයක් වන අතර රාජපක්ෂගේ ජනවාර්ගික තන්ත‍්‍රය තීරණාත්මක ලෙස ප‍්‍රතික්ෂේප කිරීමකි.

එක්සත් ජාතික පක්ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දී ‘ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය පැවරීම’ ගැන කෙරෙන සඳහන අවබෝධ කර ගත යුත්තේ මෙම තත්ත්වය තුළ වන අතර විශේෂයෙන් ම වාසස්ථානය සඳහා දෙමළ ජනතාව කරන ඉල්ලීම්වල දෘෂ්ටි කෝණයෙන් බලන විට අවාසනාවන්ත වුවත් අප එය අවබෝධ කර ගත යුත්තේ අනතුරුදායක අංශයක් පිළිබඳව රාජපක්ෂ කළ තර්ජනයට එරෙහි මූලෝපායාත්මක ප‍්‍රාකාරයක් ලෙස ය. බලය පැවරීමට හා බලය බෙදාහදා ගැනීමට ඒකීය රාජ්‍යය පිළිබඳ මූලධර්මවාදී සංකල්පයකින් පමණ ඉක්මවා බාධා එල්ල නොවනු ඇතැයි ද සියලූ පක්ෂ – උපයෝගිතාවාදීව හා කල්පනාන්විතව – සංකේත හා පාරිභාෂික වචන මාලා කෙරෙහි වෙනුවට ස්වයං පාලනය හා බෙදාහදා ගත් පාලනය පිළිබඳ වැදගත් කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙමි.

මේ අයුරින් ගත් විට අදාළ ජනාධිපති අපේක්ෂකයන් විසින් පිරිනැමුණු මොඩලයන් දෙක අතරින් එකක් තෝරා ගැනීම කොතරම් තියුණු වෙන් කොට ගැනීමක් වූයේ ද යන්න අපට තේරුම් ගත හැකි ය. 2015 ජනවාරියේ දී ඡන්ද දායකයා සමූහාණ්ඩුවාදී මොඩලයෙන් ඇඟවෙන පුරවැසි භාවයේ අභිමානය හා ස්වයං සම්මානනය නැවත ලබා ගැනීමට තීරණය කිරීමත් ඒකාධිපතිවාදී ආධිපත්‍යය, වග වීමක් නොමැතිකම සහ රාජපක්ෂ රෙජීමය විසින් නියෝජනය කෙරෙන බහුවිධ සමාජයක දී ජනවාර්ගික තන්ත‍්‍රයකින් සිදු විය හැකි දේශපාලනික අසාධාරණය ප‍්‍රතික්ෂේප කිරීමත් ඓතිහාසික වැදගත්කමක් සහිත කාරණා වන්නේ ඒ නිසයි.

දැනට මත් සඳහන් කර තිබෙන හේතු නිසා අගෝස්තු 17 දා අපට යළිත් එම තෝරා ගැනීම ම කිරීමට සිදු වේ. මෙම රචනය තුළ ඉදිරිපත් කළ හේතු අනුව ඒ බව ඉතා පහසුවෙන් වටහා ගත හැකි ය.

ආචාර්ය අසංග වැලිකල | Dr. Asanga Welikala

*Groundviews වෙබ් අඩවියේ THE VISION THING: WHAT KIND OF COUNTRY ARE WE VOTING FOR? නමින් පළ වූ ලිපියේ පරිවර්ථනයකි.