ගෝලීය වෙළඳපොළ මිහිතලය මත බිහි විය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නොමැත. නමුත් අත්විඳින්නට සිදුව තිබෙන අහේතුව නිෂ්පාදකයාත් වෙළෙන්දාත් පාරිබෝගිකයාත් ප්‍රතිවිරෝධී ශක්තීන් වශයෙන් වෙන්ව පැවැතීමය. පාරිබෝගිකයාගේ මිළ දී ගැනීමේ ශක්තිය දුර්වල කරවන ධනවාදී මූල්‍ය කළමණාකරනය මානව සංහතියේ අපේක්ෂා භංග කරමින් සිටී.

පාරිබෝගිකයෙක් සහ වෙළඳ පොළක් නැති ඉතිහාසයක තිබුණේ ප්‍රාථමික පරිභෝජනයක් පමණි. වෙළඳාම සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් අනිවාර්යක්වූ විට අංකුර පාරිබෝගිකයෙක් බිහි කරමින් ක්‍රමයෙන් හට ගත් ප්‍රාථමික වෙළඳ පොළක් පූර්ව ධනවාදී යුගයන්හීදීද අපට දැක ගතහැක. ‍තෝරාගත් වෙළඳ බෝග සහ අප්‍රධාන භාණ්ඩ කිහිපයක ප්‍රවර්ධනය හැරුණ කොට සාපේක්ෂ වෙළඳ පොළ ආකෘතියක් ලෝකයට හඳුන්වාදීම යටත් විජිත යුගයේදීද මග හැරී ගියේය. අම්මා පාවිච්චි කළ මහන මැෂිම දියණියටත් දියණියගේ දියණියටත් වශයෙන් පරිබෝජන වටිනාකම පරම්පරා ගනනාවක් පුරා එක තැන නතර වී තිබුනේය. තවත් මහන මැෂිමක් එකතු කෙරුනේ නැත. තාත්තා පරිහරණය කළ උපකරණය හෝ භාණ්ඩය පුතාගේද ජීවිත මෙවලම බවට යටත් කළ ප්‍රාථමික කුල ක්‍රමයත් ජාතිකවාදයත් ආගමිකවාදයත් කාර්මික විප්ලවයෙන් සියවස් කීපයකට පසුද ලොව පුරා සමහර තැනවල තවමත් පවතියි. යම් දවසක අන්තර්ජාතික වෙළඳ පොළ මහ පාරට පැමිණියේ නම් ඒ පැමිණියේ නාස්තිකාර ජාවාරමක් ලෙස හෝ වෙළඳ පොළසූරා කෑමේ යෝධ යාන්ත්‍රණයක් හැටියටය.

ධනවාදී ප්‍රාග්ධනයේ ආරම්භක යුගය වෙළඳපළ හැදී වැඩී පෝෂණය වන්නට නිරෝගී ගර්භාෂයක් මෙන් විය. නමුත් පසුව එළැඹුන එහි හොඳම කාලයේදී ධනවාදය ක්‍රමයෙන් කොල්ලකාරී වෙමින් වඩ වඩාත් ම්ලේච්ච වෙමින් ප්‍රාග්ධනය හිංසන අවියක් කරගත්තේ මිහිමත බිහිවන්නට විළිරුදා දුන් නිවහල් වෙළද පොළ වහාම ගබ්සා කොට දමමිනි . ගෝලීය වෙළඳ පොළ යනු ධනවාදී ප්‍රාග්ධනයට අනුව අධිරාජ්‍යවාදී මූල්‍ය යාන්ත්‍රනයමය. ඒ සඳහා අවශ්‍ය තරමට වැඩියෙන් උදාහරන ලෝකයා ඉදිරි පිට ඇත. ඛනිජ තෙල් සහ දියමන්ති අපනයනයකරුවෙකි නයිජීරියාව. නමුත් ඒ සඳහා වන අන්තර් ජාතික වෙළඳපළේ පංගුව දියමන්ති සහ ඛනිජ තෙල් උදුරා ගෙන යන ධනවාදී ප්‍රාග්ධන හිමිකාරීත්වයටය. ඝානා, මාලි, බුකීනා කැෆේ අන්ත දුගී රටවල්ය. ආර්ජන්ටිනාවද සරු රටක් නොවේ. නමුත් නිපදවන්නේ රත්තරංය. ගොඩ ඒමක් මේ රටවලට නැත්තට නැති කරමින් මේ ධන සම්පත පොදි ගහ ගනිමින් සිටින්නේ ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මගිනි. ඉරාකය සහ ලිබියාව සුනු විසුනු කළේ ඛනිජ තෙල් සම්පත උදුරා ගන්නටය. ඒ ඛනිජ තෙල් වෙළඳපළම සිරියාව මරණයේ අඩවියක් කරමින් තිබේ..

වෙළඳපළ ප්‍රාණ ඇපයට ගැනීම ධනවාදී ප්‍රාග්ධනය විසින් කිසිදා අත් නොහරින්නකි. යටත් විජිත රටවලට ඊනියා දේශපාලන නිදහස දුන්නාය කියන්නේ ආර්ථික වශයෙන් නව යටත් විජිතවාදයක් බිහි කර ගනිමින් බව දැන් හොඳටම පැහැදිළිය. අම්මා මුත්තා කාලෙවත් රට මෙච්චර ණය වී නැතැයි කියන්නට අපට සිදුවී ඇත්තේ එබැවිනි. ඖෂධ සහ කෘෂි රසායන මා‍ෆියාව ලෝකයම ලෙඩ කරමින්ද යුධ අවි ජාවාරම්කරුවන් ලෝකයම තනි සොහොන් යායක් කරමින්ද අන්තර්ජාතික වෙළඳ පොලේ වැඩිම පංගුකාරීත්වය හිමිකරගෙන සිටී. තුවක්කුවක් පොලිස් නිළධාරියා අතට දුන්නද තුවක්කුවක් නිපදවීමේ මුක්තිය ඒ පොලිස් නිළධාරියා අයත් රටට නැත. ඇත්ත තත්වය නම් කාර්මික රටක් ලෙස අන්තර් ජාතික වෙළඳ පොළේ පංගුවක් අත් පත් කර ගැනීම අපට අවුරා ඇත. කාර්මික විප්ලවයේ ජයග්‍රහණය මිහිතලය පුරා පැතිර යාම වලකාලමින් ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් හරහා ධනවාදී ප්‍රාග්ධනය ප්‍රතිවිප්ලවය සිදු කළේය.

ලෝකයම වේදනාකාරී ඉරණමකට යටත් කළ අපකීර්තිමත් ජාත්‍යන්තර වෙළඳ පොළ ගැන අඩුම බරින් කථා කළොත් එසේය. නොපවතින – යෝජිත හෝ කතිකාමය ගෝලීය වෙළඳ පොළ මේ අනුව මට නම් විෂුවලයකි. රටවල් යටත් කොට කීකරු කොට තබා ගැනීමට භාණ්ඩ වෙළඳ පොළ සහ මූල්‍ය වෙළඳ පොළක් ධනවාදී ප්‍රාග්ධනය සඳහා දැනටමත් පවතී. GSP + දීමත් උදුරා ගැනීමත් නැවත දීමට කේවල් කිරීමත් වඩ වඩාත් වටහා යුත්තකි. අපගේ අකීකරුකම කුමක් වුවත් යුරෝපීය රටවල් අපගේ මාලු මිළදී ගැනීම අතහැර දැමුවේ දඬුවමක් වශයෙනි. ජාත්‍යන්තර වෙළඳ පොළ කිට්‍ටු වූ යම් දුර්වල රටක් නම් සම්බාධක ගැන බියක් නිතර සිහි තබා ගත යුතුය. දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන කීකරුකමට සිටිය යුතුය. රුසියාව බිය නැත. ඉරානය බිය නැත. බෙහෙවින් ශක්තිමත් ඔවුනගේ යැපීම් මාර්ග බිඳ දැමිය හැකි නොවේ. දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු ආර්ථික සම්බාධක පැවැතියද දරා ගැනීමේ හැකියාව කියුබාවට තිබිණ. ගෝලීය වෙළඳ පොළ පිළිබඳ විෂුවලයෙහි දිග පළල වටහා ගත යුත්තේ පවතින මෙවැනි තත්වයන් සැල්කිල්ලට ගනිමිනි.

ඉක්මනින් ගොඩ ගිය හැකි ගෝලීය වෙළඳ පොළක් යනුවෙන් අප අදහස් කරන්නේ සංචාරක කර්මාන්තය හෝ එබඳු සේවා ඔස්සේ උපයන විනිමයද. බහුජාතික සමාගම්වල ඒජන්තවරභාවය ලබා ගැනීම ඔස්සේ විනිමය ඇද ගැනීමද. ඒ ඕනෑ එකක් වේවා මේ ලිපිය මගින් අදහස් කරන්නේ ස්වීය ආර්ථිකයක් ධනවාදී ප්‍රාග්ධනයට යටත් ලෝකයක ප්‍රවේශම් සහගත මෙහෙයුමක් බව අඬ ගා කීමටය. වෙළඳපළ වගවීම මේතාක් හඳුනා නොගත් නිසාම ලොවින් තුරන් වන්නට නියමිත ධනවාදී කළමනාකාරීත්වය ඉතා බිහිසුනු හැසිරීමක් ලෝකය තුළ ප්‍රකට කරමින් සිටින බව රහසක් නොවේ. සිය ඒකාධිපතීත්වය පර්යන්තයේ රටවල් මත තබා යැපීම රුසියාව චීනය අභිබවා යමින් කෙසේ හෝ පවත්වා ගැනීම ඔවුනගේ ඉලක්කයයි. පැහැදිලිවම ලෝක බලතුලනය දෙබෑවෙමින් තිබේ. ගෝලීය වෙළඳ පොළ විෂුවලයක් අපට දෙන්නේ ඔවුන් මුහුන දී තිබෙන මෙන්න මේ අසීරු අවස්ථාවේ අග්ගිස්සේදීය.

නමුත් මා මුලින් පටන් ගත් තැනට නැවත නොපැමිණ මා ලිපිය අවසන් කිරීම නොකළ යුත්තකි. ගෝලීය වෙළඳ පොළ බිහිවිය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නැත. එහෙත් ඒ උත්කෘෂ්ඨ ගෝලීය වෙළඳ පොළ යනු නික්ම යන්නට නියමිතව සිටින ධනවාදී මූල්‍ය කළමනාකරණය එල්ලී ගනිමින් තව කලක් ‍රැඳී සිටින්නට මවා පෙන්වනු ලබන විෂුවලය නම් නොවේ.

ලිව්වේ නැදිමාලේ miniහෙක්