මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට පසුගිය 2015 ඔක්තෝබර් 19 ට වසර 15ක් ගතවිය. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය පුවත්පතට විශේෂයෙන් උතුරේ සිදුකරන ව්‍යසනයන් වාර්තා කරමින් සිටිය හ. 2000 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය සිය පාලනය ගෙන ගිය සමයේ, අනුරුද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිධූරය දැරෑ කාලයේ නිමලරාජන් මාධ්‍යවේදීයා ඝාතනය කරනු ලබන්නේ ඇදිරිනීතිය පනවා තිබූ රැයක, අධිආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබූ ප්‍රදේශයක, සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් ඔහුගේ නිවස තුළදීම ය. ඔහුව ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ දිගින් දිගටම නිමලරාජන් මාධ්‍යවේදියා විසින් යාපනයේ සිදුවන සිදුවීම්, සිය මාධ්‍ය ක්‍රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි. එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ, එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත්, එම ඝාතනය පිටුපස තිබුණු බවට අදටත් රහසක් නොවේ.

පසුව නිමළරාජන්ගේ දේහය තැන්පත් කෙරුනේ යාපනය වෙරලාසන්න පොදු සුසාන භුමියකය. එහි නිමළරාජන්ගේ මාධ්‍ය භාවිතාව සිහිවිමට පෑනක් සහිත සමරු ඵලකයක් සොහොන් ගැබ මතුපිට ඉදිකර තිබිණි.

සුවිශේෂී කරුණ වන්නේ 2012 අගෝස්තුවේ දී එම සොහොනේ ‘පෑනට‘ කිසියම් පිරිසක් යම් පමණක අලාභානි කර තිබුණත්, ඉන් වසර 4කට පසු එනම් 2016 පෙබරවාරි 20වන දින අප එය නිරීක්ෂණය කිරීමේ දී දක්නට ලැබුනේ, එහි තිබූ ‘පෑන‘ කිසියම් පිරිසක් විසින් සහමුලින්ම ගලවා ගෙන ගොස් ඇති බවය.(පහත ඡායාරෑප සංසන්දනය බලන්න)

බලන්න පහත ඡායාරෑප ගැලපීම, මෙයින් කියාපාන්නේ නිමළරාජන් ඝාතකය කල ඝාතකයන් තවමත් නිමළරාජන්ගේ සොහොනටත් ඉව අල්ලන බව ද?

තත්ත්වය තවමත් එසේ වුවත් නිමළරාජන්ගේ ඝාතනය සම්බන්ධ අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුව මේ වන විට ‘බහා තිබෙන‘ තත්ත්වයකට පත් ව ඇත. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් පිළිබද සොයා බලා ඔවුන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම ප්‍රධාන පොරොන්දුවක් ලෙස දී බලයට පැමිණි ‘යහපාලන‘ ආණ්ඩුව ප්‍රගීත් සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාමාර්ගය යම් පමණකට සෑහීමකට පත් විය හැකි ලෙස සිදු කරගෙන ගියත් නිමළරාජන්, සිවරාම්, ලසන්ත සම්බන්ධයෙන් එැවන්නක් සැලකිය යුතු මට්ටමක සිදු වන්නේ නැති සේයකි.

නමුත් ‘යහපාලන‘ ආණ්ඩුවට ඒ පිළිබද වගකීමක් ඇති බවට අදද අපි නැවතත් මතක් කර සිටින අතර නිමළරාජන්ගේ සොහොනට අදද අලාභානි කිරීමට කිසිවෙක් උත්සහ කරන්නේ නම් ඔහු හෝ කණ්ඩායම පිළිබද සොයා බැලීමද වත්මන් ආණ්ඩුවේ වගකීමකි. එය යුක්තිය ලබා ගැනීමට යන මාවතේ වැදගත් සළකුනු සහිත පියවරක් වීමට පුළුවන් බැවිනි.

Nimalarajan-2104
සබැදි සටහන් – මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?