‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට’(OMP) අදාල කෙටුම්පත, පාර්ලිමේන්තුවේ යම් කලබලකාරී තත්වයක් යටතේ වුවත් සම්මත වීම, සහජීවන ක‍්‍රියාවලියේ ඉදිරි මාර්ගයට වැදගත් අත්වැලකි. ආණ්ඩුව විසින් ප‍්‍රතිඥා දී ඇති සංක‍්‍රාන්ති යුක්ති යාන්ත‍්‍රණ හතරෙන් එකක් සඳහා ගෙන එන ලද මේ නව නීතිය, ‘ජාතික සාම මණ්ඩලය’ සාදරයෙන් පිළිගනී. ඒකාබද්ධ විපක්ෂය ඊට අදාළ පාර්ලිමේන්තු ක‍්‍රියාවලිය තුළ සහයෝගයෙන් කටයුතු කිරීම ප‍්‍රතික්ෂේප කිරීම සහ පාර්ලිමේන්තුවේ එකඟත්වයට පැමිණි පරිපාටියට අනුකූලව එකී නීතිය පිළිබඳ විවාද කිරීම ඒකාබද්ධ විපක්ෂය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම ගැන අපි කණගාටු වෙමු. 1980 සහ 1990 දශකවලදී මානව හිමිකම් ජගතුන් වශයෙන් පෙනී සිටි ඇතැමුන් මෙකී නීතියට වචනයෙන් සහ කි‍්‍රයාවෙන්ද මෙවර විරෝධය පෑම අවාසනාවන්ත ය.

‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක්’ පිහිටුවීම පසුබිමේ පවතින තර්කණය වන්නේ, ස්වකීය ප‍්‍රියයන්ට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට කෙනෙකු තුළ ඇති අභිලාෂය සාධනය කර ගැනීම හරහා ඔවුන් ගැන කෙරෙන අනන්තවත් සොයා බැලීම් අහවර කර ගැනීමට කෙනෙකුට අවස්ථාව සලසා දීමයි. සමාජ දේහය තුළ පවතින මහා තුවාලයක් එයින් අවසානයක් කරගත හැකි වන්නේය.

මෙම කාර්යාලයේ ඉලක්කය වන්නේ, දශක ගණනක් තිස්සේ අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීමත්, ලෙයින් මර්දනය කළ දකුණේ නැගිටීම් පිළිබඳ කරුණු සොයා බැලීමත් ය. අතුරුදහන් වූවන් ජීවතුන් අතර සිටී නම් ඔවුන් සිටින්නේ කොහේදැයි සොයා බැලීමත්, ජීවතුන් අතර නොසිටී නම්, ඇත්තෙන්ම ඔවුන්ට සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමත් සඳහා වන උපරිම හැකියාව මේ නීතිය හරහා ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයට පැවරේ. සාමාන්‍ය අධිකරණයක් ඉදිරියේ පිළිනොගැනෙන සාක්ෂියක් මේ කාර්යාලයීය පරීක්ෂණ තුළදී පිළිගැනෙන්නේ එබැවිනි. එසේම, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ යටතේ පවා හෙළිදරව් නොකෙරෙන යම් කරුණක් මේ පරීක්ෂණ ඉදිරියේ පිළිගැනෙන්නේ එබැවිනි.

මෙරටේ සංක‍්‍රාන්ති යුක්තිය පිළිබඳ ක‍්‍රියාවලිය සහ ඊට අදාළව ආණ්ඩුව විසින් සනිටුහන් කොට ඇති ආයතන පද්ධතිය සහ පියවරයන් පිළිබඳ කාර්ය භාරය තුළ, ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ ඉතා වැදගත් අංගයක් වන බව කිව යුතුය. එහෙත් එය, සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාදාමයේ එක් කොටසක් පමණක් බව අමතක නොකළ යුතුය. මේ පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාර්ථක අන්දමින් සම්මත කර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ ආණ්ඩුවේ ප‍්‍රකාශකයෝ, ‘සත්‍ය කොමිසමක්’ මෙන්ම, වගවීම (දඬුවම් පැමිණවීම) අරභයා වන අධිකරණ යාන්ත‍්‍රණයක් සහ හානිපූරණය සඳහා වන කාර්යාලයක්ද පිහිටුවන බව කියා සිටියහ. ආණ්ඩුව විසින් ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත මේ කියන අතිරේක යාන්ත‍්‍රණයන් හරහා, සත්‍ය දැන ගැනීම සඳහාත්, වගවීමට බැඳ ගැනීම සඳහා වන නව මාර්ග විවෘත වනු ඇතැයි අපි විශ්වාස කරමු. සත්‍යය, යුක්තිය සහ සංහිඳියාව ඉෂ්ට සිද්ධ කෙරෙනුයේ මෙකී යාන්ත‍්‍රණයන්ගේ සංයෝග කාර්යභාරය ඔස්සේ මිස, හුදෙක් ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ ඔස්සේ පමණක් නොවේ. එසේ හෙයින්, සාධාරණ, සාමකාමී සහ සංවර්ධිත සමාජයක් කරා යන ගමනේදී ශ‍්‍රී ලංකාවේ අතීතය අපේ අනාගතයට අවහිරයක් නොවනු වස්, ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ ක‍්‍රියාත්මක කිරීම සේම, සෙසු සංක‍්‍රාන්ති යුක්ති යාන්ත‍්‍රණයන් ස්ථාපිත කිරීමත් උදෙසා සහයෝගය දක්වන්නැයි, ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් මෙන්ම, පොදුවේ සමස්ත සමාජයෙනුත් අපි උදක්ම ඉල්ලා සිටිමු.

*2016 අගෝස්තු 13 වැනි දා ‘ජාතික සාම මණ්ඩලය’ මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි