රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නොකඩවා දශක ගණනාවක් තම දේශපාලන විරුද්ධවාදීන් විනාශ කිරීම සදහා ඉතාමත් කුරිරු ලෙස යොදා ගැනීම මගින් ලංකාව වාර්තාවක් පිහිටුවා ඇත.එහෙව් රටක එම ප්‍රචණ්ඩත්වය නීත්‍යනුකුල කොට තවත් මර්දනකාරී වගන්ති අලුතින් නීති පොතට ඇතුළත්කොට පවත්වා ගැනීම සදහා යහපාලන ආණ්ඩුව තීරණය කොට ඇත. නීති උපදෙස් නොමැතිව සැක කරුවෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නීති ප්‍රතිපාදනය ක් නව ‘ත්‍රසථ පණතට‘ ඇතුලත් කිරීමට ද තීරණය කොට ඇතැයි පැවසේ. එම අයිතිවාසිකම ද ලැබෙනු ඇත්තේ ඔවුන් සැකකරුවා පරලොව යැවීමට තීරණය නොකළහොත් පමණි. දැනට ඇති අතුරුදහන් කල ලැයිස්තුවල නම් දහස් ගණනකින් යුක්තය. සකකරුවාට නීති උපදෙස් ගැනීමේ අයිතිවාසිකම අහෝසි නොකළ යුත්තේ එමනිසාය. එය ඔවුන්ගේ ජීවිතය බේරීමට උපකාරී වනු ඇත. මෙය සම්මත කළහොත් අපේ දේශපාලන අශිත්වයේ සංකේතයක් ලෙස එය පවතිනු ඇත.

මෙහිදී මතුකලයුතු දෙවැනි කරණය වන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීමට පවතින හොදම අවිය දේශපාලන වශයෙන් මර්දනකාරී අණපනත් ගෙන ඒම නොවේ. ත්‍රස්තවාදය පැනනැගීමට හේතුවන සමාජමය සහ දේශපාලන සාධක ඉවත් කිරීමය. ජනවාර්ගික සමානතාවය මෙන්ම ඇති නැති පරතය නැතිකිරීම සදහා ආණ්ඩුව පියවර ගන්නේනම් මෙවැනි මර්ධනකාරී පණත් අවශ්‍ය වන්නේ නැත. ලංකාවේ දකුණේ ඇතිවූ සිංහල කැරලි කරුවන්ගේ සන්නද්ධ නැගිටීම මෙන්ම උතුරේ ද්‍රවිඩ කැරලිකරුවන්ගේ සාන්නද්ධ නැගිටීම ට හේතු වුයේ මෙම දේශපාලන සහ සමාජීයය සාධකයන්ය.

තෙවනුව ත්‍රස්තවාදය පැනනගින්නේ මෙවැනි අණ පනත්වලින් ඇතිකරන අධික වූ මර්ධනයට ප්‍රතික්‍රියාවක් වශයෙනි. ඒවායින් කරන්නේ දේශපාලන සහ මුලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සීමා කිරීමයි. නැත්නම් අහෝසි කිරීමයි. මෙසේ ‘රාජ්‍ය ත්‍රස්තවාදය‘ ශක්තිමත් කිරීම මගින් එම රාජ්‍යයේ පැවැත්මට ම දීර්ඝ කාලීන තර්ජනයන් එල්ල කරයි.

මිනිස් නිදහස සහ මනුෂ්‍යත්වය, රාජ්‍ය සමග ගනුදෙනු කිරීමේදී ඉතාම අවම සහ නිගරු තත්වයකට වැටි ඇති දේශපාලන සංස්කෘතියක් ඇති රටක මේ අණපනතවලින් සිදුවන්නේ රාජ්‍යය චිරස්ථිතිය සදහා පාර කැපීමයි.

මේ අණපනත් වලින් රජ්‍යෙය් දේශපාලනික දුර්වලකම මිස ශක්තිය පිළිබිඹු කරන්නක් නොවේ. එසේම, ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්න පිලිබදව දේශපාලන උත්තර නැතිවීමේ ප්‍රතිපලයක් මිස ජනතාවට යහපාලනය ප්‍රදානය කිරීමක් ද නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ නාමයෙන් ‘ත්‍රස්තවාදය වැළකීමේ පණත‘ නීති පොතින් ඉවත් කල යුතුය. හදිසි නීති රෙගුලාසි තිබියදී ඒවා අවශ්‍ය විට බල ගැන්වීමට පාර්ලිමේන්තුවක් තිබියදී ත්‍රස්තවාදය වැළක්වීමේ පණතේ අවශ්‍යතාවයක් නැත.

රහස් ඔත්තු බැලීමේ චෝදනාවන් පිළිබදව ද මේ පණතට අලුතින් එකතු කිරීමට තීරණය කොට ඇත. මෙය මර්දනකාරී ක්‍රියාමාර්ගයන් තීව්ර කිරීම සදහා කිහිප ආකාරයකින් බලපානු ලබයි. විශේෂයෙන්ම රජයේ ආරක්ෂාවට තීරණාත්මක ලෙස වැදගත්යැයි නිලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් සලකනු ලබන නමුත් එයටත් වඩා තීරණාත්මක ලෙස ජනතාවගේ මානව අයිතිවාසිකම් සහ පොදු ආරක්ෂාවට බලපාන කරුණු සොයාබලා වාර්තා කිරීමට මෙමගින් තහංචි පනවනු ඇත. විශේෂයෙන්ම මර්ධනකාරී කාල පරිචේදයන් තුළ වධකාගාර පිලිබදව සහ ඒවායේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව සොයා බලා වාර්තා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත. මේ යටතේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳව සොයා බලන ඕනෑම කෙනෙක් අත්අඩංගුවට ගෙන දඩුවම් පැනවීම, මේ හැකියාව මේ නව වගන්තියෙන් මුදුන් පමුණුවා ගැනීමට හැකියාව ලබා ගනියි. මෙය ජනතාවට වැදගත්වන්නා වූ තොරතුරු ඔවුන් අතට පත්කිරීම ට එරෙහිව ලිවීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බල පානු ඇත.

ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ නීතිවේදීන්ගේ සංගමය මේ පණතේ ඇති භයානක වගන්ති පිලිබදව විශේෂයෙන්ම සැකකරුවන්ට ප්‍රකාශයක් දීමට පෙරාතුව නීති උපදෙස් පැතීමට දැනට ඇති අයිතිය අහෝසි කිරීමට විරුද්ධව රජයට කරුණු ඉදිරිපත් කිරීම නොපමාව කලයුතු වෙයි. එමෙන්ම සිවිල් සංවිධාන විසින් මේ පිළබදව මහජන මතයක් ඇති කිරීමත් ඉතාමත් අත්‍යවශ්‍ය ය. එසේම ආණ්ඩුව මෙවැනි ක්‍රියාමාර්ගය නවතා දැමීමට අපොහොසත් වන්නේ නම් අපට නිදහස්කාමී දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට සහ ශිෂ්ට වූ දේශපාලන අනාගතයකට හිමිකම් කීම දුෂ්කර දෙයක් වනු ඇත.

dayapala-thiranagamaදයාපාල තිරාණගම | Dayapala Thiranagama