බ්‍රික්සිට් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු යුරෝපය පුරා දක්ෂිනාශික ජනතාවාදී පක්ෂ ජයග්‍රහණය කරනු ඇතැයි යනුවෙන් වූ අනාවැකි පරදිවමින් අද, එනම් දෙසැම්බර් 04වන ඉරිදා පැවැති ජනාධිපතිවරණයෙන් මධ්‍යස්ථ මතධාරී ෆන් ඩෙර් බෙලන් ජයග්‍රහණය කළේ ය.

නට්සි සම්භවයකින් යුතු අන්ත දක්ෂිනාංශික ඔස්ට්‍රියානු නිදහස් පක්ෂයේ අපේක්ෂක නෝර්බට් හොපර් සමඟ ඔස්ට්‍රියානු හරිත පක්ෂයේ සහාය ඇතිව තරඟ වැදුණු 72 හැවිරිදි ෆන් ඩෙර් බෙලන් හිටපු මහාචාර්යවරයෙකි. ඔහු හොපර්ට වැඩි ජන්ද සියයට 07ක් ලබා ඇතැයි ඉරිදා සැන්දෑවේදී වාර්තා විය. ඔහු ඔස්ට්‍රියානු හරිත පක්ෂයේ හිටපු නායකයා වන මුත් තරඟ වැදුණේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.

නිදිහස් පකෂයේ හොපර් සටන් වැදුණේ සරණගත විරෝධී සහ යුරෝපා සංගම් විරෝධී සටන් පාඨ ඇතිවය. ඔහුගේ නියෝජිත පිරිසක් නොවැම්බර් අග භාගයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිමට පවා ගොස් තිබුණි.

සිය පාරජය පිළිගෙන සිය විරුද්ධවාදී ජයග්‍රාහකයාට සුභ පැතුමක් සිය මුහුණූ පොතහි පළ කළ හොපර් ‘ සියලු ඔස්ට්‍රියානුවන් දැන් එක්ව කටයුතු කරනු ඇතැයි’ තමන්ගේ අදහස බව කියා සිටියේ ය.

ෆන් ඩෙර් බෙලන් සටන් වැදුණේ සියලු දෙනාටම නිදහස සහ සමානාත්මතාවය ද , සහයෝගිතාවය සහ සමාජ සාධාරණත්වය ද යන සටන් පාඨ පෙරදැරි කරගෙනය‍. ඔහු ශක්තිමත් යුරොපා සංගමයක් වෙනුවෙන් මුල සිටම පෙනී සිටියේ ය.

ඔස්ට්‍රියාව සමාජ සුභසාධන පිළිවෙත් මුලික කරගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රමයක් ඇති රටකි.

හොපර් ජයගනු ඇතැයි දේශපාලන අනාවැකි කී පිරිස් අපේක්ෂා කළේ යුරෝපයෙහි ට්‍රම්ප්වාදී ජාතිකවාදී ජනප්‍රිය දේශපාලන ප්‍රවණතාවකට ඉන් මුල පිරෙනු ඇතැයි කියා ය. ඔහු හිට්ලර්ගෙන් පසු රාජ්‍ය නායකත්වයක් කරා මෙතරම් ළඟා වූ ප්‍රථම යුරොපා දේශපාලනඥයා ය‍.

ජර්මන් බස කතා කරන ඕස්ට්‍රියාව දෙවැනි ලෝක යුද්ධයේ දී හිට්ලර් සහ මුසෝලනී සමඟ මුල සිටම එක්ව සිටියේ ය. හොපර් නියෝජනය කරන නිදහස් පක්ෂය ආරම්භ කරන ලද්දේ එම යුද්ධයෙහි හිට්ලර්වාදි ජෙනරල්වරයකු වූ ඇන්ටන් රෙයින්තෙලර් විසිනි. පසුව එය කළක් ආචාර්ය රජීව් විජේසිංහ නායකත්වය දුන් මෙරට ලිබරල් පක්ෂය සම්බන්ධ ලිබරල් අන්තර් ජාතිකයේ සාමාජික පක්ෂයක් ලෙස පිළිගන්නා ලදී.

නොර්බට් හොපර්ගේ දේශපාලනය ප්‍රංශයේ මරි ලා පෙන් සහ නෙදර්ලන්තයේ ග්‍රීට් විලඩර්ස් වැනි අන්ත දක්ෂානාංශික නායක නායිකාවන් සමඟ සම්පාත වේ. ඔවුන් සියලු දෙනාගේම ඇති පොදු ලක්ෂනය නම් එම රටවල ජීවත්වන සුලුතර ප්‍රජාවනට සිමා පැණවීම සහ සුදු ජාතිකවාදය ඉහළ නැංවිමය.

sd-90සුනන්ද දේශප්‍රිය