Image BY:Getty Images

හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පසුගියදා ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය සහ සංක්‍රමණීය යුක්තිය හෙළා දකිමින් දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෙම ප්‍රකාශයෙහි කරුණූ හරිවැරදි බැලීමට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ හවුල්කාර රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් තවම පියවර ගෙන නැත. 15වන බදාදා රාජපක්ෂගේ ප්‍රකාශයට විදේශ ඇමැති මංගල සමරවිර පිළිතුරක් දුන්නේය. ඔහු එම ප්‍රකාශයෙන් රාජපක්ෂ ව්‍යාජ තර්කයන්හි පදනමට පහර දි තිබීම සතුටට කරුණකි.

රාජපක්ෂගේ ප්‍රකාශයෙහි ඇති බොහෝ චෝදනා පදනම් වන්නේ අගමැතිවරයාගේ සංහිඳියාව හා සංක්‍රාන්ති යුක්‌තිය පිළිබඳ කාර්ය සාධක බළකායේ වාර්තාව සම්බන්ධයෙනි. එම බලකායේ නායකත්වය දැරූ කිසිවකු මේතාක් රාජපක්ෂගේ ප්‍රකාශයට පිළිතුරක් නොදීම ද කණගාටුවට කරුණකි.

බලය බෙදීමට සහ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවළියට විරුද්ධව රාජපක්ෂ විසින් එල්ල කරන චෝදනා අප විසින් පරාජය කළ යුත්තේ එන්න එන්නම දූෂිත වෙමින් ඇති සිරිසේන -රනිල් ආණ්ඩුව ආරක්ෂා කිරීමට නොවේ. එම ක්‍රියාදාමය මගින් මෙරට දෙමළ ජනයා අපේක්ෂා කරන යුක්තිය ලබා දෙනු පිණිසය. රාජපක්ෂගේ දේශපාලනයෙහි ඇති ප්‍රධාන තේමාව වන බලය බෙදීමට සහ සංක්‍රමණීය යුක්තියට විරුද්ධ වීම හෙළා දැකීම අපේ ප්‍රචාරක මතවාදී ව්‍යාපාරයන්හි තේමාවක් විය යුතු ය‍.

රාජපක්ෂගේ ප්‍රකාශයෙන් පෙන්වන ප්‍රධාන අවුල නම් ඔහුට තවමත් 2015 ජනාධිපතිවරණයෙන් මෙරට ජනයා ඔහු පරාජය කළ බව පිළිගැනීමට බැරි කමයි. ඔහු මෙසේ කියයි: ‘‘දේශීය හා විදේශීය ඊළාම්වාදී පිරිස්‌ ඇතැම් විදෙස්‌ බලවතුන්ද සමග එකතුවී 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය විකෘති කරනු ලැබුවේ දශක හතරක ත්‍රස්‌තවාදයෙන් ලබා ගැනීමට බැරි වූ දේ ඒ අයට ලබා දීමට සූදානම් ආණ්‌ඩුවක්‌ බලයට ගෙන ඒමටය.’’

මෙරට ජනයා රාජපක්ෂ බලයෙන් පහ කරන ලද්දේ ඔහුගේ දූෂිත සහ භීෂිත දේශපාලනය අතුගා දැමීමටය. ඒ බව පිළිනොගැනීමෙන් රාපක්ෂ පෙන්වන්නේ ඔහු තවමත් ගමන් කරන්නේ එම භයානක මාවතෙහිම බවයි.

ඇමෙරිකානු ජනයාගේ අයිතීන් එකින් එක කප්පාදු කරමින් නිරුවත් ජාතිවාදී ධනවාදයකට ඉඩ හරිමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් වන්දනා කරන රාජපක්ෂ ට්‍රම්ප් මෙන්ම බොරු කීමෙන් ජනප්‍රිය වීම සිය උපාය කරගෙන තිබේ. ඔහු මෙසේ කියයි:

‘මේ ලියවිලි සියල්ලේම පදනම වන්නේ 2015 ඔක්‌තෝබර් මාසයේදී ලංකාවේ යහපාලන ආණ්‌ඩුවේ උදව් සහ සම අනුග්‍රාහකත්වයද සහිතව ඔබාමා පාලනය සහ යුරෝපීය බලවතුන් විසින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවයි.’

ලංකාවට එරෙහිව යෝජනාව සම්මත වූයේ රාජපක්ෂ බලයේ සිටි 2014 මාර්තු මාසයේදීය. 2015 ඔක්තෝම්බර් යෝජනාව ශ්‍රී ලංකාවට වාසි දායක එකකි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 1992 සිට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ඉල්ලීමකි. ඒ කොතෙක්ද යත් රාජපක්ෂ පවා 2005 සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට එය ඇතුලත් කළේය. බලය බෙදීමේ අවශ්‍යතාවය 1959 බණ්ඩරනායකගේ සිට 13 වන සංසෝධනයට වඩා බලය බෙදීමක් ලබා දෙන බවට තෙවරක් අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි පොරොන්දු වූ රාජපක්ෂ දක්වා පිළිගත් දේශපාලන අවශ්‍යතාවයකි. සංක්‍රමණීය යුක්තිය රාජපක්ෂ විසින්ම පත් කරන ලද එල්. එල්. ආර්. සී. කොමිසමේ සහ පරණගම කොමිසමේ ද පොදු අරමුණ විය. තමා යළි ජනාධිපතිවුවහොත් යුද සමයෙහි වූ මානව හිමිකම් කෙළෙසීම් සොයා බැලීමට නව යාන්ත්‍රණයක් පත් කරන බවට රාජපක්ෂම පොරොන්දුවක් දුන්නේය.

ඉදින් වත්මන් ව්‍යවස්ථා ප්‍රතිස්ස්කරණ සහ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය හුදෙක් මානව හිමිකම් මණ්ඩලයේ 30/1 දරණ යෝජනාවට සම්බන්ධ කිරීම කොතරම් බොරුවක්ද? රාජපක්ෂට ඇති අසනීපයක් නම් තමාගේම ඉතිහාසය අමතකවීමයි.

රාජපක්ෂ මෙසේද කියයි:

‘අද වන විට මහා දේශපාලන පෙරළියක්‌ සිදුවී ඔබාමා පාලනය අතුගෑවී ගොස්‌ තිබුණද, ඇමරිකාවේ අලුත් ආණ්‌ඩුවට කතා කොට, මේ භයානක ලියවිල්ලේ වගන්ති වෙනස්‌ කරගැනීමට ලංකාවේ ආණ්‌ඩුව කිසිදු උත්සාහයක්‌ දරා නැති බව මෙහිදී ජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි.’

ඔබාමා පාලනය අතුගැවී ගොස් ඇතැයි කියන රාජපක්ෂ සිය පරාජය හදුන්වන්නේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙසය!

ට්‍රම්ප්ගෙන් සහායක් ලබා ගත හැකිව තිබුණේ ය යන්න තවත් බොරුවකි. රාජපක්ෂ කියන පරිදි සිරිසේන ඩොනල්ඩ් ට්‍රම්ප්ට එවැනි ආයාචනයක් කරන ලද නමුත් ඊට සාධනීය පිළිතුරක් ලැබුනේ නැත. එපමණක් නොව පසුගිය 07 දා මානව හිමිකම් මණ්ඩලයේ පැවැති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ගැන සාකච්ජාවෙහිදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරියක වන එරින් එම්. බාක්ලේ කියා සිටියේ 2015 වසරෙහි සම්මත කරන ලද 30/1 දරණ යෝජනාව වෙනස් කිරීමට කිසිදු ඉඩක් නොමැති බවයි. ට්‍රම්ප් පාලනය යටතේ ද ශ්‍රී ලංකාවට කියා සිටින්නේ 2015 වසරෙහිදී සම්මත කරන ලද එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බවයි.

එනයින් රාජපක්ෂ ට්‍රම්ප් පාලනයෙන් වාසි ලබා ගැනීම ගැන කියන්නේ ද බොරුවකි.

තමා බලයට පක් වුව හොත් ගෙන යන මානව විරෝධි පාලනය පෙන්වා දෙමින් රාපක්ෂමෙසේ කියයි.

‘ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත වෙනුවට ගෙන ඒමට යන අලුත් නීතියට අනුව අදාළ ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථානාධිපති, මානව හිමිකම් කොමිසම හා එම පළාතේ මහේස්‌ත්‍රාත්වරයා අත්අඩංගුවට ගන්නා ත්‍රස්‌තවාදී සැකකරුවන්ගේ සුරක්‌ෂිතභාවය තහවුරු කළ යුතු වේ. රඳවා ගැනීම් නියෝගයක්‌ යටතේ සැකකරුවන් රඳවා ගැනීම මාස 03 සිට දවස්‌ 30 දක්‌වා අඩු වේ. රඳවා ගෙන සිටිය හැකි උපරිම කාලය මාස 18 සිට මාස 06 දක්‌වා අඩු වේ. සැකකරුට එරෙහිව අවුරුද්දක්‌ ඇතුළත නඩු ගොනු නොකළොත්, නැතිනම් නඩුවේ කාලය අවුරුදු දෙකකට වඩා දික්‌ ගැස්‌සුනහොත්, සැකකරු ඇප මත නිදහස්‌ කළ යුතු වේ. ත්‍රස්‌තවාදී සැකකරුවන්ට උපරිම අවකාශය සලසන අතර රාජ්‍ය හමුදාවලට උපරිම ලෙස බාධා වෙන ආකාරයට මේ යෝජනා කෙටුම්පත් කර තිබේ.’


මෙන්න නියම රාජපක්ෂ.
ඔහු කියා සිටින්නේ මෙම නීති අදාළ වන්නේ ත්‍රස්තවාදී සැකකරුවන්ට පමණක් බවයි. ඉන් ඔහු අදහස් කරන්නේ දෙමළ ජාතික පිරිස්ය. නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දකුණේ මානව හිමිකම් ක්‍රියාධරයිනට එරෙහිව පමණක් නොව අත්අඩංගුවට ගැනුනු සොල්ලදාදුවන්ට එරෙහිව ද යොදා ගත් බව ඔහු වසන් කරයි. මෙම නව සංසෝධන මගින් ඉතා පැහැදිළිව පෙනෙනනේ මෙය සැකකරුවන්ගේ අයිතීන් සුරැකීමට කැරෙන වැදගත් ප්‍රජාතනත්‍රවාදී ප්‍රසංස්කරණයක් බවයි. රාජපක්ෂට අවශ්‍ය වන්නේ මර්ධනකාරී පාලනයක් ගෙන යෑමට බවට මීට වඩා සාක්ෂි අවශ්‍ය ද? අහෝ යළි මෙරට බලයට ඒමට වළිකන රාජපක්ෂ ‘අත්අඩංගුවට ගන්නා ත්‍රස්තවාදී සැකකරුවන්ගේ සුරක්‌ෂිතභාවය තහවුරු කළ යුතු වේ’ යන වගන්තියට ද විරුද්ධය. (මෙහි ඇති ත්‍රස්තවාදී යන වචනය රාජපක්ෂට විරුද්ධ වන සින්නතම්බිලාට, මොහොමඩ්ලාට මෙන්ම සුමනාවතීලාටද අදාළ බව අප අමතක නොකළ යුතුය.) රාපපක්ෂ තවමත් සිතා ගෙන ඉන්නේ බලයට පත් වූ දිනෙක අත්අඩංඟුවට ගන්නා විරුද්ධවාදීන් පරලොව යැවීමට බව මෙයින් නොපෙනේද?

රාජපක්ෂ සිය ප්‍රකාශයෙහි සහමුලින්ම මඟ හරින කරුණක් නම් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට සත්‍ය සෙවීමේ කොමිසමක් ද ඇතුළත් වන බවයි. එවැනි කොමිසමක මූලික අරමුණ වන්නේ යුද සමයෙහි සිදු කරන ලද දරුණු මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ සත්‍ය හෙදරව් කරගැනීමත් ඉන් පසු ඒ සදහා සමාව දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමත්ය. රාජපක්ෂගේ ප්‍රකාශය යුද හමුදා පිරිස් බිය ගැන්වීමට උත්සාහ කරන්නේ එලටීටීඊ පිරිස්වලට සමාව දෙන අතර යුද හමුදා පිරිස් වලට දඩුවම් කරනු ඇති යන අභූත තර්කය මතය. එවැනි කරුණක් කාර්‍ය සාධක බලකයේ හෝ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවන්හි නැත.

රාජපක්ෂ මෙසේ ද කියයි:

‘’ඒ වෙනුවට කොටි සංවිධානයෙන් ඉවත් වී ආණ්‌ඩුව සමග එකතු වී කටයුතු කළ හිටපු කොටි නායකයන්ට එරෙහිව යුද අපරාධ විමර්ශන පැවැත්විය යුතු බවට අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිබඳ කාර්ය සාධක බලකාය කියයි.’’

ඔහු මේ කියන්නේ කරුණා අම්මාන්, පිල්ලයොන් සහ කේපී නොහොත් කුමරන් පත්මනාදන් ගැනය. මෙම තිදෙනාම පසු කාලයෙහි රාජපක්ෂගේ මර්ධනකාරී දේශපාලන ව්‍යාපෘතියෙහි කොටස්කරුවන්ව සිටියහ. ඒ කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධයෙන් පමණක් වෙනස් පිළිවෙතක් අනුගමනය කරනු ලබන්නේ නම් එය වරදකි. එවැනි යෝජනාවක් කොතැනක හෝ කෙරී නැත. දැනට හෙළිදරව් වී ඇති කරුණු අනුව කරුනා පාර්ශවයේ සහ පිල්ලයොන් පාර්ශවයේ සන්නද්ධ පිරිස් රාජපක්ෂ පාලනයෙහි මර්ධනකාරී හස්ත ලෙස ක්‍රියාත්මක වී තිබේ. එසේ නම් ඔවුන්ට නඩු නොපැවරිය යුතුද? රාජපක්ෂගේ (සහ දැන් සිරිසේනෙගේ ද) තර්කව අනුව ලසන්ත ඝාතනය, ප්‍රගීත් පැහැරගැනීම, කීත් නොයර් පැහැර ගෙන වධ හිංසා පැමිණවීම් යනාදිය සම්බන්ධයෙන් යුද හමුදා පිරිස්වලට නඩු නොපැවරිය යුතුය. රාජපක්ෂ ඒ ගොඩට කරුනා අම්මාන්ගේ සහ පිල්ලේයාන්ගේ කුලි භටයන්ද එකතු කරයි.

දැන් පිල්ලෙයාන්ට නඩු පැවරෙන්නට යන්නේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු නායක පාර්ලිමේන්තු මංත්‍රී ජොසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙනි. රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියට සම්බන්ධ වූ නිසා පිල්ලෙයාන්ට ජෝශප් පරරාජසිංහම් ඝාතනය කිරීමට බලයක් ලැබූනේද? කරුනා අම්මාන්ගේ නායකත්වය යටතේ පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කිරීම පරීක්ෂා නොකළ යුතුද?

මෙසේ වැදිබණ දෙසන රාජපක්ෂට දැන් අමතක වි ඇත්තේ ඔහු යුද සමයේ සිටි සේනාධිනායක ෆොන්සේකා කුද ලා ගෙන ගොස් අවනඩුවක් පවරා සිර ගත කර ජම්පර් ඇන්දවූ බවයි.

මතු සම්බන්දයි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya