‘සිංහල-දෙමළ අලුත් අවරුද්දට මුලු රටම මගුල් ගෙයක් වගෙයි‘ අද(13) උදෑසන රේඩියෝ නාලිකාවක හිනාවෙවී නිවේදකයෙක් කියනු ඇසිනි. දකුණේ ගම්, නගර දෙස බැලූ විට එය එසේ යැයි ඔනෑම කෙනෙකුට කියන්නට හැකිය. නමුත් මේ ලංකාවේම තවත් තැනක, වව්නියාවේ, මුල්ලිකුලම්, කිලිනොච්චි, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි උතුරු නැගෙණහිර ප්‍රදේශවල මිනිසුන් දින ගණනාවක් සිය දරුවන් සොයා දෙන ලෙස ඉල්ලමින් මහපාරේ දුක්විදින බව දකුණේ බොහෝ මාධ්‍ය තුළ සාකච්ඡා වන්නේ නැත. ඔවුන් මේ සිංහල-දෙමළ අවුරුදු සමයේත් සිය ‘යුක්තිසහගත ඉල්ලීම‘ සිදුකරන්නේ දකුණ සමරණ අලුත් අවුරුද්දට එරෙහිව නොවේ. සිය දරුවන් අතුරුදන් කල රටක්, සිය ගේ දොර, ඉඩකඩම් හමුදාබලහත්කාරයෙන් යටපත් කල රටක ඔවුන්ට සතුටින් සැමරීමට අලුත් අවුරුද්දක් තිබේද?

ඔවුන් අසන්නේ එයයි.

අතුරුදන්කල සිය දරුවන් ඉල්ලා වව්නියාවේ අම්මාවරුන් දින 49ක් පුරාම සත්‍යග්‍රහයක නිරත වන්නේ ‘අපේම දරුවන් නැතිව අපි කොහොමද අලුත් අවුරුද්ද සමරන්නේ? යන පැනය හදවතක් ඇති මිනිසුන්ගෙන් විමසමිනි.

මේ වව්නියාවේ සිය දියණිය සොයා දෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ යෙදෙන විනීතා අම්මාගේ අවුරුදු පණිවිඩයයි.

හෙට සිංහල-දෙමළ අලුත් අවුරුද්ද ලබනවා. සාමාන්‍යයෙන් අපි දෙගොල්ලෝම අලුත් අවුරුද්ද සතුටින් සැමරීම කරනවා, ඒත් ඒ අලුත් අවුරුද්ද අද දවසේ සමරන්න වෙලා තියෙන්නේ කලු දිනයක් හැටියටයි. ඒ ඇයි? තාමත් අපේ දරුවන්ට සාධාරණයක් ඉටු වෙලා නැහැ. අවුරුදු ගණනාවක් පුරාම අපි අපේ දරුවන්ව හොයනවා.

සාක්ෂි තිබිලත් තාමත් අපේ දරුවන්ව හොයාගන්න බැරුව තියනවා. යුද්ධය පැවති කාලයේදීත් සමරන්න අපිට අවුරුද්දක් තිබුණේ නැහැ. දැන් යුද්දය අවසන් වෙලා අවුරුදු 8ක් ඉවරයි. ඒත් අපේ දරුවන් නැති ව කොහොමද අපි අලුත් අවුරුද්ද සමරන්නේ? අපේ දරුවන් කවදා හෝ ගෙදර එන දවසට තමයි, අලුත් අවුරුද්දක්, අලුත් බලාපොරොත්තුවක් තිබෙන්නේ!

එදාට තමයි අපිට සතුටින් සමරන්න පුලුවන් අලුත් අවුරුද්ද ලබන්නේ..

තාමත් අපේ දරුවන් අපේ ගෙවල් වලට ආවේ නැහැ. අපේ දරුවන් ජීවතුන් අතර ඉන්නවා, කියලා අපි දන්නවා, ඒ නිසා අපි තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නේ .

මේ අලුත් අවුරුද්දට මාස 3කට ඉස්සෙල්ලායි අපි මෙහෙම පාරට ආවේ.

අපි, මේ අවුරුද්දෙ මෙතන ඉන්නෙත් කදුලු එක්ක. අපි මේ අවුරුද්ද සමරන්නේ නැහැ. අපි අපේ දරුවන් හොයමින් පාරේ රෑ දවල් නැතිව ඉන්න මොහොතේ අපි සිංහල ජනතාවගෙන් අහන්නේ, එකම රටක අපි හැඩූ කදුලින් අපේ දරුවන් හොයමින් ඉන්න වෙලාවේ, ඔබ විතරක් කොහොමද මේ අලුත් අවුරුද්ද සමරන්නේ! ඒකේ කිසිදු වැදගත්කමක් හෝ යහපතක් නැහැ. සිංහල අම්මලාටත් දරු දුක තේරෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා අපේ දරුවන් අතුරුදන් කිරීම ගැන සිංහල ඔබටත් දැනේන ඕන. මේ අලුත් අවුරුද්දේ දී වත්…,

මම නැවතත් ඉල්ලන්නේ සිංහල ඔබ හරි උත්සහ කරලා, අපේ දරුවන්ව ආයෙත් අපේ ගෙවල්වලට එවන්න උදව් කරන්න. සිංහල, දෙමළ කියලා අපිට කිසිදු බේදයක් නැහැ. අපිට ඕන එකමුතුව ජීවත් වෙන්නයි.
අපි හෙට අපේ අරගලයේ 50වන දිනය සමරන්නේ කිසිදු විසදුමක් නැතිවයි. හෙට අපිට අලුත් අවුරුදු දිනයක් නෙමෙයි, ශෝක දිනයක්!

සියලු දෙනා හෙට අලුත් අවුරුද්ද සමරන්න පාටපාට ඇදුම් අදිනවා. නමුත් අපි ට හෙට අදින්න වෙලා තියෙන්නේ කලු පාට විතරමයි!