Image by: Maithreepala Sirisena/FB

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අනුව වත්මන් ආණ්ඩුව යටතේ, රටේ අධිකරණය ක්‍රියාත්මක වන්නේ අධිකරණ මනසකින් නොවේ. කදිම විහිළුවකි. ඔහුට අනුව ඔහුගේම විග්‍රහයක් රටක අධිකරණය සම්බන්ධයෙන් තිබෙන බව ඔහු වසර දහයක් තිස්සේ ප්‍රායෝගිකව ඔප්පු කරනු ලැබුවේය. රටක අධිකරණයක සතුවිය යුතු අධිකරණ මනස ව්‍යාකූල කිරීම සම්බන්ධයෙන් වෙන කිසිවෙකුටත් වඩා හිටපු ජනාධිපතිවරයා වගකිව යුතු බව රටේ සියලුම ජනතාව මෙන්ම ඔහු ද දන්නේය. රාජ්‍යය ආයතන මෙන්ම අමාත්‍යාංශ තමන්ගේ ආවතේවකරුවන්ගේ බූදලයක් ලෙස පත් කොට රටට කළ වින්නැහිය සුළුපටු නොවේ. එහි ප්‍රතිඵලය වූයේ, මවා පෙන්නනු ලැබූ සුවිශාල ජනතා සහභාගීත්වයට වඩා දේශපාලන බලය තුනී බව අමාරුවෙන් හෝ තේරුම් ගැනීමට අවශ්‍යය මාර්ගය නිර්මාණය කර ගැනීමෙනි.

ඊට නිවැරදි සහ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙක් ඉදිරිපත් නොකර, විකුණනවා … විකුණනවා… පාවා දෙනවා … පාවා දෙනවා …යැයි ගෙරිය පුම්බාගෙන ගෝෂා කිරීමෙන් පලක් නැත. මන්ද එහිදී සඳහන් කරන බොහෝ ගනුදෙනු වල මුල් නිර්මාතෘන් කවුරුන්ද යන්න වෙන් කාටත් වඩා රාජපක්ෂ දන්නේය.

මෙවර මැයි රැළිය හෙවත් මැයි දිනය තුළ පවත්වනු ලැබූ දේශපාලන රැළි දෙස බැලීමෙදී දක්නට ලැබෙන මූලික කාරණා කිහිපයක් ගැන අවදානය යොමු කිරීම වැදගත් යැයි සිතේ. ප්‍රචාරණයට අවශ්‍යය මූලික රූප රාමු ලබා ගැනීම අතින් වඩාත් ආකර්ෂණීය ස්ථානය තෝරාගෙන තිබුනේ ඒකාබද්ධ විපක්‍ෂය බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම ස්ථානය තෝරාගැනීම මෙන්ම අවහිරයකින් තොරව පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය වත්මන් ආණ්ඩුවට තුති පිදිය යුතු වේ. මන්ද රාජපක්ෂ පරිපාලනය යටතේ මෙවැනි දෙයක් සිහිනයකිඳු බලාපොරොත්තු විය නොහැකි බැවිනි.

රාජපක්ෂගේ රැළියට වැඩිම ජනගහනයක් පැමිණි බවට විවාදයක් නැත. එසේම එය පැවැත් වූ ස්ථානය අනුව රූප රාමු ගැනීමේ පහසුව මෙන්ම විනිවිදව දැකීමේ පහසුව තිබුණි. සන්නිවේදනයේ ඇති වඩාත් වැදගත් ක්‍රමෝපාය මෙයයි. වඩාත් උසින් ගන්නා ලද රූප රාමු වලින් තැනින් තැන් ඇති හිස් තැන් නොපෙනේ. ඊට වැඩිම පිරිසක් සහභාගී වූ බව දැන ගැනීමට බුද්ධි අංශ වාර්තා අවශ්‍යය නොවේ. මන්ද, දකින ඕනෑම අයෙකුට පහසුවෙන් දැක ගත හැකි කාරණයකි. නමුත්, රැළිය අතර වාරයේදී සිදු වූ මරණ වලට සංවිධායකවරුන් සෘජුව වගකිව යුතුය. එය දුර්වල සංවිධානයේ ඉහවහා ගිය නොසැලකිල්ල විදහා දක්වන බරපතළ කාරණයකි.

ඒකාබද්ධ විපක්ෂයේ රැළිය

ඒකාබද්ධ විපක්‍ෂය වත්මන් ආණ්ඩුවට නාමික වශයෙන් මෙන්ම පාර්ලිමේන්තුවේ සංයුතිය කළමනාකරණය කිරීම අතින් වැදගත් බලවේගය බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත්, ජාතික මැතිවරණයක් ඔස්සේ රටේ බලය යළි ලබා ගැනීමට හෝ වීරවංශ වැනි අයවලුන් සඳහන් කරන ආකාරයෙන් ආණ්ඩුව බලෙන් එළවීම ප්‍රායෝගිකව සිදු කිරීමට හැකි වටපිටාවක් තිබේද යන්න එතරම් පැහැදිලි නැති කාරණයකි. රාජපක්ෂ මහතා කෙරෙහි යන්තමින් හෝ පවතින ජනප්‍රසාදය ඔහු වටා සිටින වෙනත් කිසිවෙකු කෙරෙහි නැතුවා සේම අලුතින් නිර්මාණය වන්නේද නැත. රටේ දේශපාලන වටපිටාව දෙස බැලීමේදී දක්නට ලැබෙන මූලික කාරණය එයයි.

කෙසේ වෙතත්, දේශපාලනික වශයෙන් ඒකාබද්ධ විපක්ෂය පැවැත් වූ රැළියේදී දැක ගත හැකි වූයේ, ඝෝෂාකාරී වෛරී දේශපාලන අදහස් දැක්වීමක් මිස වෙනත් කිසිඳු ප්‍රතිපත්තිමය වශයෙන් රාජ්‍යය වැඩපිළිවෙලක් ගැන අවධානය යොමු කිරීම නොවේ. විනයක් නොමැති ඝෝෂාවට කළ හැක්කේ කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වීම මිස තම පරිපාලනය තුළ සිදු වූ වැරදි නිවැරදි කරගෙන සාධනීය පරිපාලනමය වැඩපිළිවෙලකට තල්ලු වීම නොවේ.

කෙසේ වෙතත්, එළඹෙන සැප්තැම්බර් මාසය වන විට තමන් ආණ්ඩුව පෙරලා දමන බව මහින්ද රාජපක්ෂ මීට සති කිහිපයකට පෙර සඳහන් කළ කාරණයකි. ඔහුට කුමන හෝ සැලසුමක් තිබෙන බව නොරහසකි. ඕනෑම සැලසුමක් සාර්ථක වනුයේ තම ප්‍රතිවාදී පිලේ පවතින දුර්වලතා හඳුනා ගැනීම සහ ඒවාට පහරදීම මත මිස තමන්ගේ පුරසාරම් මත නොවේය යන්න, විපක්ෂයේ සිටින දේශපාලන බලවේග බොහෝ අවස්ථා වලදී අමතක කරන කාරණයකි.

ආණ්ඩුව විසින් සිදුකරන සියලුම කටයුතු වලට පහරදීම සහ ආණ්ඩුවේ දුර්වල තැන් සොයා ඊට අවශ්‍යය ආකාරයෙන් ආමන්ත්‍රණය කිරීම අතර විශාල වෙනසක් තිබේ. රාජපක්‍ෂ පරිපාලනය පරාජය කිරීම සඳහා මාදුළුවාවේ සෝභිත හිමි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණඩාරනායක මහත්මිය කටයුතු කරනු ලැබුවේ එම මූලික කොන්දේසී වලට යටත්වය. ඔවුහු රට තුළ විශාල දේශපාලන වෙනසක් කිරීමට සමත් වූයේ ඒ අනුවය. එහි වාසිය ඊට සම්බන්ධ නැති වෙනත් අලුගුත්තෙරුවන් විසින් ලබන ආකාරය වෙනම ගැටලුවකි.

නමුත් රාජපක්ෂ මහතා විසින් බලමුළු ගන්වා ඇති දේශපාලනයේ මතුපිට දෙස බැලීමේදී පෙනී යන මූලික කාරණය වන්නේ, ඊට ක්‍රමෝපායික සැලසුමක් නැති බව සහ රාජපක්ෂ මහතා විසින් දෙවන පෙළ නායකත්වයක් නිර්මාණය කිරීම හිතාමතාම මඟ හැර ඇති බවයි. මෙම කාරණය ඉතාම උපායශීලී භාවිතයකි. මෙම තනි පුද්ගලයෙකු වටා සහ ඔහුගේ වුවමනා එපා කම් වලට යටත්ව පක්ෂයේ පැවැත්ම තීරණය කිරීම රටේ මුල් කාලයේ සිටම දක්නට ලැබෙන මූලික කාරණයකි. වික්‍රමසිංහ, සම්බන්දන් මෙන්ම රාජපක්ෂ නියෝජනය කරන දේශපාලන මතවාදයේ වත්මන් ප්‍රයෝගික භාවිතය මෙයයි.

රාජපක්ෂ දෙස බැලීමේදී, දෙවැනි පෙළ නායකත්වය ලෙස ඔහු වටා සිටින වීරවංශ, ගම්මන්පිල, අබේගුණවර්ධන, අලුත්ගමගේ, ඇතුළු කිසිවෙකුට ස්වාධීන ජනප්‍රසාදයක් නොමැත. මොවුන්ගෙන් ඇතැමුන්ට ඇති බරපතළ දූෂණ චෝදනා වලට එරෙහිව කටයුතු කිරීමේ කශේරුකාවක් ආණ්ඩුවට තිබේනම්, ආණ්ඩුව සම්බන්ධයෙන් නිර්මාණය කොට ඇති දේශපාලන වටපිටාව වෙනස් වනු ඇත. නමුත් එය වත්මන් ආණ්ඩුවේ “එකමුතු දේශපාලනය” හමුවේ කෙතරම් දුරට සාර්ථක වන්නේද යන්න ගැටලු සහගතය. මෙය සැබෑ එකමුතුවක් නොවන බව මුළු රටම දන්නේය.

වංචාවට සහ දූෂණයට එරෙහිව ස්වාධීන ක්‍රමවේදයක් ශක්තිමත්ව නිර්මාණය කිරීමට රටේ දේශපාලන බලවේගයක් කටයුතු නොකරන තාක් දුරට කිසිඳු යහපත් වෙනසක් රටේ ඇතිවන්නේ නැත. එසේම, වත්මන් ආණ්ඩුව බලයට පත් වී ඉතාම කෙටි කාලයක් ඇතුළත ජනතාව අතර ගැඹුරට විහිදී ගිය අප්‍රසාදයක් පවතින බව සැබෑය. නමුත්, ඊට ප්‍රතිලෝමව රාජපක්ෂ නියෝජනය කරන දේශපාලන බලවේගයට ප්‍රසාදයක් පවතින බව කියවෙන්නේ නැත. ජනතාවගේ අවශ්‍යතාවයන් වලට අනුකූලව කටයුතු කළ හැකි දේශපාලන බලවේගයකට අවශ්‍යය රික්තය විශාල වෙමින් තිබේ.

වත්මන් නායකත්වය සහ ඔහු යටතේ මෙහෙයවිය යුතු ආණ්ඩුව ප්‍රායෝගිකව පැටලී සිටින මූලික කාරණා කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න, කැබිනට් සංශෝධනයකට වුවමනාව තිබුණද අවශ්‍යය බලය මෙන්ම ප්‍රයෝගික පරිසරය වත්මන් නායකත්වයට නොමැති වීමය. දෙවැන්න, වත්මන් ආණ්ඩුව තුළ සිදුවන බරපතළ වංචා මැඩපැවැත්වීම සඳහා සැබෑ ක්‍රමවේදයක් නොමැති වීමය. තෙවැන්න රාජ්‍යය පරිපාලන සේවය “අන්ද මන්ද” වී ඇති තත්වයකට තල්ලු වී තිබීමය.

මෙවැනි තත්වයක් යටතේ, විකල්පයක් නොමැති තැන, රටේ ජනතාව සම්ප්‍රදායිකව ලැබුණු නායකත්වය එනම් විශාල කඳක් සහ බඩක් මෙන්ම වාචාල කටක් ඇති අයෙකු කෙරෙහි වූ “නායකත්වීය ප්‍රතිරූපය” වර්ධනය වේ. ප්‍රධාන දේශපාලන පක්ෂ එකතුවෙන් නිර්මාණය කරන ආණ්ඩුවකට පැවරී ඇති මූලිකම අභියෝගය වන්නේ මෙම මූලික කාරණයට ප්‍රතිචාර දැක්වීමය. නමුත් එය සිදුවෙමින් පවතින්නේ ඉතාම අඩුවෙනි.

මේ නිසා වෙඩි නොවදින නොව හෙණ නොවදින කාර් වත්මන් ආණ්ඩුව රැගෙන ආ යුතු යැයි කියන රාජපක්ෂගේ අනෙකාට සාප කරන ප්‍රචණ්ඩ දේශපාලනයට ලැබෙන සිංහල බෞද්ධ ආකර්ෂණය ඉහළ යෑම සිදු වේ.

එජාප මැයි රැළිය

නමුත් අමතක නොකළ යුතු කාරණය වන්නේ, මෙරට දේශපාලනයේ ආණ්ඩු වෙනස් වීම සිදු වූයේ විපක්ෂ දේශපාලන පක්‍ෂ වල දක්ෂකමට වඩා පැවති ආණ්ඩුවල අදක්‍ෂකම් හේතුවෙන් බවයි. ජනතාවගෙන් බහුතරය තම කැමැත්ත ලබාදෙනු ලැබුවේ, ඔවුහු පත්කිරීමට යන නව බලවේගය කෙරෙහි තිබූ විශ්වාසයට වඩා ඔවුහු පාලනය කරමින් සිටි බලවේගයට තිබූ විකර්ශනය හෙවත් ප්‍රතික්ෂේපය නිසාය. මේ නිසා කුමන පුරසාරම දෙඩුවද, ඕනෑම අයෙකු මුහුණදෙන සැබෑ අභියෝගයක් තිබේ. මෙය වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවබෝධ නොකරගෙන සිටින්නේ යැයි කිව නොහැකිය.

මේ අනුව බලන කළ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ රැළියේදී ඉදිරිපත් කළ අදහස් සැලකීමේදී පෙනී යන්නේ, මමත්වයේ සහ අධිතක්සේරුවේ ප්‍රකාශනයක් ලෙසය. එසේම එය නියෝජනය කළ රවී කරුණානායක වැනි දේශපානඥයෙකු ඉදිරිපත් කළ අදහස් අතිශය නොගැඹුරු සහ අඥාන දෑ ලෙස දකින ඕනෑම අයෙකුට අවබෝධ වේ.

මුදල් ඇමති රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය සැමරීම අමතමින් වත්මන් දේශපාලන සනදර්භය තුළ දැකිය හැකි මෙන්ම ඇසිය හැකි ඉතාම දුර්වල සහ අඥාන කථාවක් ඉදිරිපත් කළේය. ඔහු කියන්නේ මොනවාද කියා ඔහුවත් නොදන්නා සැටියෙකි. රටක මුදල් ඇමතිවරයෙක් යනු රටකට ඉතාම වැදගත් පුද්ගලයෙකු වුවද මෙම මුදල් ඇමතිවරයා තම කකුල කටේ දමාගෙන ජනතවාගේ ගැටලු ගැන කතා කිරීම රටේ ජනතාව ලැබූ අතිශය අවාසනාවන්ත කාරණයකි.

කරුණානායකට 2020 හෝ ඊට පසු රටේ ජනාධිපති වීමට හෝ එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමට සිහින තිබෙනවා විය හැකිය. සිහින වූ කලී පෞද්ගලික සිහින වුවද ඇතැමුන්ගේ සිහින සාක්ෂාත් කර ගැනීමට යෑමේදී රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට කරන විනාශය කිසිවෙකුට සාධාරනීකරනය කළ නොහැකිය.

කරුණානායක තම කතාවේදී ලෝකයේ නායකයින් තිදෙදෙනෙකු ගැන ඔහුගේ මතය ඉදිරිපත් කළේය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදී (කරුණානායකට අනුව ඉන්දියාවේ අගමැති මෝඩි වේ.) සහ චීනයේ ජනාධිපති ලී චේ ය. චීනයේ එවැනි ජනාධිපතිවරයෙක් සිටියේ ද හෝ සිටින්නේ ද යන්න කිසිඳු වර්තාවක නැත. නමුත් මෙරට යහපාලනයේ මුදල් ඇමතිවරයා රට සහ ලෝකය හමුවේ ඔප්පුකර ඇත්තේ ඔහුට සාමන්‍යය දැනුමවත් නොමැති පුද්ගලයෙකු බවය. රටේ ආර්ථිකය මෙහෙයවෙන්නේ මෙවැනි අඥාන චරිතයකින් නම් රටේ අනාගතය ගැන කිව හැක්කේ කුමක්ද?

ඔහුගේ කතාව ඔහු මුදල් ඇමති ධූරයට නුසුදුසුම පුද්ගලයා ලෙස අර්ථ ගන්වන්නකි. වත්මන් ආණ්ඩුවට ගමන් කිරීමට සිදුවන්නේ මෙවැනි පුද්ගලයින් සමඟ නම් එහි වැටීම අනපේක්ෂිත ආකාරයෙන් සිදුවනු නියතය.

ඊට අමතවර එක්සත් ජාතික පක්ෂයේ “චොකා බයිලා” දේශපාලනය රැළිය පුරාම දැකගත හැකි වූ කාරණයකි. රටේ කම්කරුවන්ගේ අයිතිය ගැන කතා කිරීමට ඇති මූලික දේශපාලන රැළියක් හාස්‍යයයේ හෝ ආස්වාදයේ ප්‍රකාශනයක් බවට පත් කරමින් ඒ අතර යම් බරපතළ දේශපාලන කාරණා ගැන කතා කිරීමට හැකි යැයි සිතීම සැබවින්ම පුදුම සහගතය.

මැතිවරණ පැවැත්වීමට තමන් සූදානම් යැයි වික්‍රමසිංහ සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභල බෙදීම ගැන මනා අවබෝධයෙන් මිස එ.ජා.ප. යේ දේශපාලන ශක්තිය මූලික කරගෙන නොවේ.

සංධානයේ අත

කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සංධානයේ මැයි රැළිය සංවිධානය අතින් සාර්ථක එකක් ලෙස සැලකිය හැකිය. එසේම වර්ණ ගැලපීම සහ අනෙකුත් බාහිර හැඩගැන්වීම් බොහෝමයක් ආකර්ෂණීය ලෙස සිදු වී තිබුණි. නමුත්, එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බරපතළ බෙදීම ප්‍රකාශනය කරන රැළියකි.

රැළියේදී ඉදිරිපත් වූ අදහස් ආකර්ශනීය වන්නා සේම වේදනාවේ ප්‍රකාශනයක් ලෙස හැඳින්විය හැකිය. එහිදී අගය කළ යුතු තවත් කාරණයක් වන්නේ හුදු මඩ ගැසීමෙන්සහ අවලාද කිරීමෙන් ඔබ්බට ගොස් විනයානුකූලව තම බස හැසිරවීමට බොහෝ කථිකයින් සමත් වීමය.

කෙසේ වෙතත්, දක්නට ලැබෙන මූලික කාරණය වන්නේ, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී බරපතළ අර්බුදවලට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිස එක්සත් ජාතික පක්ෂය නොවේය යන්නය. මෙහිදී මූලික වගකීම හිටපු ජනාධිපති රාජපක්ෂ බාරගත යුතු අතර ඔහු පක්ෂයට සිදුකරමින් සිටින හානිය සුළුපටු නොවේ. රාජපක්ෂ මහතා පක්‍ෂයේ නායකත්වයට පත් වූ අවස්ථාවේදී ඔහු විසින් පන්නා දමනු ලැබූ චන්ද්‍රිකා මහත්මිය, මෙකළ රාජපක්‍ෂ මෙන් එකළ හැසිරුනේ නම් මුහුණ දීමට සිදු විය හැකි තත්වය කෙබඳුද? තමන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නම් කළ යුත්තේ කඩාකප්පල් කාරී වෛරී දේශපාලනය නොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයයි.

එවිට, හිතා මතාම මැතිවරණ කල් දමමින් සිටින ආණ්ඩුවකින් “ප්‍රජාතන්ත්‍රවාදය” අපේක්ෂා කළ හැකිද යන්න ඒකාබද්ධ මෙන්ම රාජපක්ෂ අසනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය වූ කලී මැතිවරණ පැවැත් වීම යන මිත්‍යාවේ ලගුම්ලාගෙන සිටින තාක් දුරට අවදානය යොමුවන මූලික ගැටලුව මෙන්ම පිළිතුර මැතිවරණයයි. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය යනු ඊට වඩා ගැඹුරට විහිදී ගිය දේශපාලන භාවිතයකි. එය අවස්ථා බලෙන් ලබාගන්නේ නැති නමුත් අවස්ථා ලැබුණු පසු නිවැරදිව භාවිතා කිරීම සිදුකරයි.

තමන්ට බලයේ සිටීමට වසර දෙකක් තිබියදී රාජපක්ෂ තම බලය යළිත් දීර්ඝ කර ගැනීමට තීරණය කිරීමෙන් පසු මුහුණ දීමට සිදු වූ ඉරණම මීට කදිම නිදසුනකි. එය ලංකා ඉතිහාසයේ නායකයෙකු විසින් ගත් අඥානම දේශපාලන තීරණය වේ. ඊට වෛර කිරීමෙන් හෝ ජයග්‍රාහකයාට අවලාද නැගීමෙන් පලක් වන්නේ නැත. මන්ද මෛත්‍රී යනු එම සංසිද්ධිය තුළ නිර්මාණය කරනු ලැබූ චරිතයක් සේම මෛත්‍රී වෙනුවට වෙනත් අයෙකු පැමිණිද මැතිවරණය ජයග්‍රහණය කරනු ඇත. එබැවින් රාජපක්ෂ විසින් “සිරිසේනට” සිදුකරන අවලාද නැගීමට කිසිඳු දේශපාලන හරයක් නොමැත. ඇත්තේ පෞද්ගලික එදිරිවාදිකමකි. තමන්ගේ වැරදි තේරුම් නොගෙන, තමන් යටතේ සිටියෙකු ජනාධිපති වී තමන් පාලනය කිරීමේ වියෝවෙන්, රාජපක්ෂ පෙලෙන සැටියෙකි. ඔහුගේ මැයි දින කතාව සම්පූර්ණයෙන්ම පාහේ පිරී තිබුනේ එම මූලික කාර්නයෙනි.

රාජපක්‍ෂ මෙහිදී හිතා මතාම අමතක කරමින් සිටින්නේ පක්ෂය බෙදීමෙන් තමන් නියෝජනය කරන දේශපාලනය තුළ සිදුවිය හැකි දිගුකාලීන විනාශයන්ය. එහි එක්තරා වැදගත් උදාහරණයක් ලෙස ආර්.ප්‍රේමදාස මහතාට එරෙහිව ලලිත් සහ ගාමිණි විසින් සිදුකළ විනාශයෙන් පසු එ.ජා.ප.යට මුහුණ දීමට සිදු වූ ඛේදවාචකය හැඳින්විය හැකිය.

අවසන් විග්‍රහයේදී අරුත්ගන්වන්නේ කුමක්ද? මැයි දිනය තුළ පැවැත් වූ දේශපාලන රැළි වලින් රටට ලබාදෙන ආදර්ශය කුමක්ද යන්නයි. වත්මන් ආණ්ඩුව රට තුළ මෙන්ම ආණ්ඩුව තුළ සිදුකළ යුතු මූලික කටයුතු හිතා මතාම මඟහැරීම ඔස්සේ දේශපාලන උනන්දුව ඇති සිංහල කඳවුර තුළ මෝදු වෙමින් පවතින බරපතළ බෙදීම මෙහිදී නිරූපණය වේ. මෙහි විපාකය සිතනාවට වඩා බරපතළය. එය හුදු පක්ෂ මූලික කරගත් දේශපාලන බෙදීමක් පමණක් නොවේ. එය රටේ අනාගතය පිළිබඳ කාරණයකි.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa