‘මගේ දුව 2009.03.04 වෙනිදා මුල්ලිවයික්කාල් වලදී අතුරුදහන් වුනා. 2015.01.07 වෙනිදා මගේ දුව මෛත්‍රීපාල ජනාධිපති තුමාත් එක්ක ඉන්න පිංතූරයක් දැකලා මට පුදුම හිතුණා. ඇයි කියලා ඇහුවොත් මගේ දුව ජීවතුන් අතර ඉන්නවාද? නැද්ද? කියලා තැවි තැවී හිටපු මොහොතක ජනාධිපති ප‍්‍රචාරක දැන්වීම් පති‍්‍රකාවක ඉන්නවා දැක්කාම.

අතුරුදන් කරන වයස අවුරුදු 17ක් වූ සිය දියණිය ඉල්ලා වව්නියාවේ සත්‍යග්‍රහයක යෙදෙන විනීතා අම්මා කදුලු සලමින් කියන්නේ පුපුරු ගසන වේදනාවෙන් බව ඇගේ ඇස්වල සටහන් වී තිබේ. අතුරුදන්කරන ලද සිය දියණිය සිය රටේ ජනාධිපතිවරයා සමග ඡායාරූපයක සිටින ‘ඡායාරූපයක්‘ තුරුළුකරන් දින 80ක් වව්නියාවේ මහපාරේ සිටින්නේ බලාපොරොත්තු දල්වාගෙනය. සිය දියණිය සිටින්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් සමග නොවේ. මේ රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා සමගය. දැන් තවත් සාක්ෂි කුමකටද? අවම වශයෙන් ඒ පිළිබද සොයා බැලීමට වත්මන් ‘යහපාලන‘ ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඇතුලු බළදාරීන්ට සදාචාරමය යුතුකමක් තිබේ. ඒ, මේ ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ ජීවිතය බැවිනි. විනිතා අම්මා ඉල්ලා සිටින්නේ වෙන කිසිවක් නොවේ. ජනාධිපතිවරයා සමග ඡායාරූපයේ සිටින සිය දියණිය යි. සිය දියණිය පිළිබද කිසිදු හෝ තොරතුරක් ඇය ඉල්ලනීය. නමුත් ඒ මහපාරේ ඉල්ලීමට දැන් 80කි. එයට කියන්නේ ‘යහපාලන‘ ය ද?

‘මගේ අනිත් දරුවෝ හා නැදෑයෝ ලොකු කම්පනයකට පත් වුණා. මගේ දුව ජීවතුන් අතර නැහැ කියලා තමා වැඩි වශයෙන් හිතාගෙන හිටියේ. මගේ දුව ජිවතුන් අතර සිටින නිසානේ මේ වගේ දැන්වීමක ට එයාගේ පිංතූරය ඇවිත් තියෙන්නේ කියන එක හිතද්දී එක් පැත්තකින් සංතෝශයක් ද, අනිත් පැත්තෙන් ලොකු වේදනාවක් ද ඇති වුණා. අතුරුදහන් වුන මගේ දුව ජීවතුන් අතර ඉන්නවානේ කියන එක කම්පනයක් සහ බලාපොරොත්තුවක් ඇති කරලා තියෙනවා. මගේ දුව දැන් හමුදාව යටතේ ඉන්නවා, කියන එක විශාල කම්පනයක්.

මට හිතලාවත් බලන්න බැරි කම්පනයක්, මගේ අනිත් ළමයි සියල්ල එක් පැත්තකින් සතුටු වුණා. අක්කා ජීවතුන් අතර ඉන්නවානේ කියලා. මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපති තුමා හැටියට අපේ අක්කලාව නිදහස් කරයි. එයා බේරලා දෙයි කියන විශ්වාසයෙන් හිටියා.’

මෛත්‍රීපාල සිරිසේන සමග විනීතා අම්මාගේ දියණිය(1992 මැයි 28 ඉපදුනු) සිටින පත්‍රිකාව මෙන්න..

විනීතා අම්මා පමණක් නොවේ දෙමාපියන් විශාල පිරිසක් වව්නියාවේ සත්‍යග්‍රහයට එක්ව සිටින්නේ බලාපොරොත්තු දැල්වුනු දෑසින් යුතුවය. ඔවුන් 2015 ජනවාරි මාසයේ ‘යහපාලන‘ ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා නොපැකිලිව සිය ඡන්දය භාවිතා කල මිනිසුන්ය. ඒ අන් කිසිවක් නිසා නොවේ. අතුරුදන් කල ඔවුන්ගේ දරුවන් ඇතුලු සමීපතමයින් ගැන අවම වශයෙන් තොරතුරක් හෝ ලබා දෙනු ඇතැයි යන විශ්වාසයෙනි. දැන් ඔවුන් දින 80ක් මහපාරේ ය. ‘යහපාලනයට‘ උතුර අයිති නැතුවාක් මෙන් ඔවුන්ව නොපෙනෙන බවත්, අවුරුදු දෙකක් ගෙවිල්ත් කිසිවක් ම නොවු බව ඒ අම්මාවරුන් සහ පියවරුන් පවසයි.

‘අපි සියළු දෙනා ජන්දය දුන්නා. ඒත් ඔහු ඇවිත් අවුරුදු 02 ක් ගත වෙලාත් මේ වන තුරුත් අපේ දරුවන්ව අපට පෙන්නුවේ නැහැ. ඒ අයට යුක්තිය ඉෂ්ඨ කෙරුවේ නැහැ. ඒ ගැන හිතන කොට අපගේ හදවත්වලට වාවන්න බැරි දුකක් වේදනාවක් ඇති වෙනවා. ඒක දැන ගන්න බැරුව තමා අවසාන වශයෙන් මේ උපවාසය වව්නියාවේ දී ආරම්භ කෙරුවේ. මෙකෙදිත් රාජ්‍ය දේශපාලනය විසින් අපව සම්පුර්ණයෙන්ම රැවැට්ටුවා. ඒ රැවටීමෙනුත් අපි බේරුනා. අපි බේරිලා තාවකාලිකව අප විසින් නවත්වපු අරගලය මුලින් අපි සිදුකෙරුවේ වව්නියා ප‍්‍රදේශයේ පමණයි. දැන් අපිත් සමඟ ප‍්‍රදේශ හයක්, හතක් කාන්තාවන් එකතුවෙලා ඉන්නවා. මොවුන් සියළුම දෙනා සමඟ තමයි අපි පාරට බැහැලා තියෙන්නේ. අපි මහ පාරට බැහැලා විවිධ ප‍්‍රශ්ණවලට මුහුණ දෙමින් සිටිනවා. අව්ව, වැස්ස, වාහන වල දුම, දූවිල්ල සියල්ල ඉවසා දරාගෙන මෙම අරගලය ඉතාම ධෛර්යය සම්පන්නව සිදු කරමින්, සියළුම මව්වරුන් සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙම අරගලය පවත්වාගෙන යනවා.

සමහර අය හිතාගෙන සිටියා ජීනිවා සාකච්ඡාව අවසාන වෙද්දී මෙම උද්ඝෝෂණය අපි නවත්වයි කියලා නමුත් අපි විසිරුණේ නැහැ.

අපිට යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕන කියල ඉල්ලිම අපි කරනවා. ඒක ඉටු වෙනකං අවුරුද්දක් දෙකක්, තුනක් හරි නොකඩවා මේ අරගලය සිදු කරගෙන යනවා.

අපේ ළමයි ගැන අවශ්‍ය කරන සාක්ෂි අප ළඟ තියෙනවා. හරියාකාරව සාක්ෂි නැති අම්මලා වේදනාවෙන් ජිවත්වෙනවා. ඔවුන් දරුවන්ව හිතලා, ජීවතුන් අතර ද, නැද් ද කියලා.

ජනාධිපතිතුමාට කියන්නේ කරුණාකරලා ජීවතුන් අතර ඉන්න අපේ දරුවන්ව නිදහස් කරලා දෙන්න. අනෙක් දරුවන්ට මොකද වුණේ කියලා පිළිතුරක් දෙන්න ඕන. අපේ බලාපොරොත්තුව ඒකයි. ඇයි ඒ ගොල්ලන් අපිට උත්තරයක් නොදෙන්නේ. ඇයි මේ අපේ ජන්දයෙන් පත්වුණ ආණ්ඩුව අපිට සාධාරණ උත්තරයක් නොදෙන්නේ. මේ දරුවන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න.

අපි ජනතාවගේ ආදරය ලබමින් සිටිනවා. ජනතාවගේ ආදරයත් සමඟ අපි මේ පාරේ ඉන්නවා. මේක තමා අපේ නිවහන කිසිම හේතුවක් මත අපි ගෙවල්වලට යන්නේ නැහැ.’

‘‘එක්සත් ජාතීන්ගේ දාහතරවන ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රමුඛ භූමිකාව අපට පිරිනැමීම තුළ අප මෑත අවදියේ දිනාගත් සියලු ජයග්‍රහණයන්ද පෙළ ගැසී සිටින බවත් එකී ජයග්‍රහණ උදෙසා සම්මාදන් වූ ශ්‍රී ලාංකීය සමස්ත ජනතාව යුගයක් වර්ණවත් කළ පින්වතුන් ලෙසින් ඉතිහාසයට එක්වනු ඇති බව‘‘ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පසුගිය වෙසක් දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයක කියැවිණි. එසේම එහි තව දුරටත් සදහන් වන්නේ, “සමාජ සාධාරණත්වය සහ තිරසර ලෝක සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්” යන්නය. සමාජ සාධාරණත්වය සඳහා වන මූලික කොන්දේසිය සමානාත්මතාවයයි. බුදු සමයෙහි මූලික හරය පදනම් වන්නේ ද සමානාත්මතාවය නම් විශ්ව සාධාරණ සංකල්පය මතය.‘‘

ජනාධිපති සිරිසේන මහතාණෙනි, ඔබ සමග ඡායාරූපයක සිටින, වව්නියාවේ විනීතා අම්මාගේ සිය දියණිය අතුරුදහන් වුනා යැයි කියන රටක ‘යුගයක් වර්ණවත් කළ පිංවතුන් ලෙස ඉතිහාසයට එක්වනු ඇති‘ බවට ඔබ ප්‍රකාශ කරන්නේ කුමන තර්කය මතද? ලංකාවේ යුගයක් ‘වර්ණවත්‘ වන්නට නම් මේ අම්මලාට ‘යුක්තිය‘ ඉටු විය යුතු නොවේද? බෞද්ධ ඉගැන්වීම් පිළිබද ඔබ කියන උතුම් සංකල්පයන් වව්නියාවේ අම්මලාට අදාළ නැති ද? තිරසර ලෝක සාමය ගැන කතා කරන්නට මත්තෙන් සිය රටේ අතුරුදන් වුනා යැයි කියන දරුවන් ඉල්ලා පාරවල් වල දූවිලි කමින් තොරතුරක් හෝ ඉල්ලන අම්මලාගේ කදුලු ඔබ ලියන බෞද්ධ ඉගැන්වීම්වලට අදාල නැති ද? සාධාරණත්වය, සමානාත්මාවය ගැන ‘වෙසක්‘ මස ලියන ඔබ, ඔබත් සමග ඡායාරූපයේ සිටින ඒ දරුවා ගැනවත් සේවීම ට ‘ඔබට‘ සහ ඔබේ ආණ්ඩුවට වුවමනාවක් හෝ කැපවීමක් පෙන්නුම් නොකිරීමෙන් කියැවෙන්නේ දරුවන් අතුරුදන් කල අපරාධකාරයින් ආරක්ෂා කිරීමට සැගවුනු න්‍යාය පත්‍රයක් තිබෙන වා යැයි ඇතැමුන් කියනා දේ සත්‍යක් නිසාද?

එැබැවින් නැවතත් අප කියන්නේ, බෞද්ධ ඉගැන්වීම් යනු ප්‍රකාශණ පමණක් නොවේ. වැදගත් වන්නේ භාවිතයයි. හැකි නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති නම් ‘ඔබ‘ සමග ඡායාරූපයේ සිටින ඒ ‘දරුවා‘ ගැන සොයන්න. ඒ අම්මාවරුන්ට යුක්තිය ඉෂ්ඨ කරන්න. එසේ නැති වුවහොත් කොතරම් බෞද්ධ ඉගැන්වීම් ගැන බණ කීවත් ඔබටත් අත්විය හැකි ඉරණම බෞද්ධ ඉගැන්වීම්වලින්ම දැන්ම ඉගෙනගෙන මතක තබාගන්න. යුක්තිය ඉටු නොකලහොත් මේ බිමේ ම කදුලු සලන මිනිසුන් විසින් නොබෝ දිනකින් ඔබේ ඇස් ඉදිරියේ ම එය සනාථ කරාවි. එවිට එය රටට යහපතක් නම් උදාකරන්නේ නැත. ජනාධිපති සිරිසේන මහත්මයාණෙිනි, ඒ වගකීමෙන් ඔබට කිසිදා නිදහස් විය නොහැක.

‘අපි සියළු දෙනා ජන්දය දුන්නා. ඒත් ඔහු ඇවිත් අවුරුදු 02 ක් ගත වෙලාත් මේ වන තුරුත් අපේ දරුවන්ව අපට පෙන්නුවේ නැහැ. ඒ අයට යුක්තිය ඉෂ්ඨ කෙරුවේ නැහැ. ඒ ගැන හිතන කොට අපගේ හදවත්වලට වාවන්න බැරි දුකක්, වේදනාවක් ඇති වෙනවා.‘ විනීතා අම්මා(වව්නියාව)

@VIKALPA

සම්පත් සමරකෝන් | Sampath Samarakoon