“උසාවිය සහ පොලීසිය යොදාගනිමින් විරෝධතා මැඩලීමට කටයුතු කිරීම මගින්, අධිකරණ සහ ආරක්ෂක සේවා ප්‍ර‍තිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ජාත්‍යන්තර ව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය දේශපාලන අභිලාෂය තමන්ට නැති බව ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස පෙන්වා දී ඇත“[JDS]

ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් නිළ ඇදුම් සමග මෙන්ම, සිය නිළ ඇදුම් ගලවා ගෙන දකුණේ සිදු කරන ලද විරෝධතා, රැස්වීම් සදහා පැමිණ ඇතැම්විට ඒවාට බාධා කරන අයුරින් හැසිරුනේ මුග්ධ රාජපක්ෂ ආණ්ඩු සමයේ ය.

එවැනි දේ ඇතුලු එසමයේ සිදුකල බොහෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල් බරපතල ලෙස විවේචනය කරමින් යහපාලන ආණ්ඩුව බලයට පැමිණියේ 2015 ජනවාරි 8වනදාය. ඒ වෙනස ඇති කිරීම සදහා සිවිල් සමාජයේ ක්‍රියාකාරීන්, දේශපාලන කණ්ඩායම් ආදී විවිධ පිරිස් විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඇතැම් අවස්ථාවලදී රාජපක්ෂගේ හෙංචයියන් ගේ පහරදීම් වලට පවා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගොදුරු වූ අවස්ථාද එකල විය.

ඒ සියල්ලම සිදු කලේ යහපත් දේශපාලන සංස්කෘතියක් සහ මානව හිමිකම් ආරක්ෂා කරන පාලනයක් සදහා ඇති ගැඹුරු කැපවීම නිසාවෙන් බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ.

එහෙත් ඒ ගැඹුරු සහ ශිෂ්ඨ බලාපොරොත්තු වලට ඇස්පනාපිටම ගිනි තබන විට නිහඩ වීම තරම් අභාග්‍යක් තවත් නැත.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නොවිය යුතු සේම පැරණි මතකයන් අලුත් කරන සිදුවීමක් පසුගිය 20වන දින මුලු ලොව හමුවේ තබන්නට ‘යහපාලනය‘ විසින් කටයුතු කළේ නිර්ලජ්ජිතවය.

සුදු වෑන් රථයකින් පැමිණි සිවිල් ඇදුම් ඇදගත් නාදුනන පිරිසක් වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ රයන් ජයලත් පැහැර ගෙන යාමට තැත් කළේය. ඒ ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් වූ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලා පරිශ්‍රෙය්දී ය. දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති නායකයින් ඇතුලු පක්ෂ සහ කණ්ඩායම් සමග සයිටම් විරෝධී අරගලය පිළිබද තිබුණු සාකච්ඡාවක් අවසානයේදී රයන් ජයලත් ශිෂ්‍යා ඉන් ඉවතට පැමිණෙන විට සිවිල් ඇදුම් ඇදගත් පුද්ගලයින් ඔහුව ලුහුබැද පැමිණ පැහැර ගැනීමට උත්සහ ගෙන ඇති අතර එහිදී එයට මැදිහත් වුනු, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ දේශපාලන පක්ෂ නායකයින් ඒ අශිෂ්ඨ ක්‍රියාව වලක්වා ගැනීමට සමත්ව තිබේ.[Video][Video]

දෛවයේ සරදමක් වනනේ මේ ගෝත්‍රික සිදුවීම සිදුවන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද අතුරුදහන් වුවන් පිළිබඳව කාර්යාලීය පනත බලාත්මක කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් එයට අත්සන් තබන දිනම, පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධ කුප්‍රකට ‘සුදුවෑන්‘ රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් වෛද්‍ය ශිෂ්‍ය නායකයෙක් පැහැර ගැනීමට උත්සහ කිරීමයි.

මෙම කාර්යාල පිහිටුවීම සම්බන්ධයෙන් උතුරු නැගෙණහිර ජනතාවගේ කිසියම් විරෝධයක් මේ සදහා තිබේ. දැන් දකුණේ දී එය අත්සන් කරන මොහොතේම කුප්‍රකට සුදුවෑන් හොල්මන් කිරීම මේ කාර්යාලය පිළිබද තබා ඇති අන්තිම බලාපොරොත්තුවත් සිදී යාම වලක්වන්නේ කෙසේද? මෙයද යහපාලන මූළධර්ම? මෙයද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නීතියේ ආධිපත්‍යය?

ලැජ්ජයි!!! ලැජ්ජයි!!!

යුද්ධය අවසානයට පෙරත්, පසුවත් උතුරේත්, දකුණේත් මෙවන් ආකාරයටම පැමිණි මැරයින් විසින් මිනිසුන් පැහැරගෙන ගොස් අතුරුදන් කරන විට බොහෝ පිරිසක් නැතිව ද සැලකිය යුතු පිරිසක් විවිද අන්දමින් එයට විරුද්ධ වෙමින් ඒවා නතර කර ගැනීමට අපමණ වෙහෙසුනේය. ඒ සදහා පිටකොටුවේද, යාපනයේ ද විරෝධතාවයන් දියත් කළේය. මාධ්‍යවේදී පෝද්දල ජයන්ත සුදුවෑන් රථයකින් පැහැර ගෙන ගොස් මාරාන්තික ලෙස පහරදී මහ මග දමා ගියේ ය. යාපනයේ උදයන් පුවත් පතේ කර්තෘ වරයෙක් වූ ගුණසුන්දරම් කූගනාදන් ට ත් බිහිසුණු අන්දමින් පහර දී මහමග දමා ගියේ ය. එසේ අතුරුදන්කරන ලද ප්‍රගීත් තවමත් නැත. රාජපක්ෂ සමයේ බිහිසුණු ලෙස පැහැර ගැනීමත්, බිහිසුනු ලෙස පහරදී දීම් විශාල ප්‍රමාණයකින් මේ තුනක් පමණි.

අප එදවස විරුද්ධ වූ එකක් නම් වූයේ මේ කුප්‍රකට සුදුවෑන් සංස්කෘතියයි. සුදුවෑන්වලින් පැමිණ පහැරගෙන ගොස් අතුරුදන් කිරීම්වලටයි. පහරදීම්වලටයි. ඝාතනය කිරීම්වලටයි. එසේම කිසිදු හේතුවක් නොදක්වා සිවිල් ඇදුමින් පැමිණ මිනිසුන් පැහැර ගන්නා සංස්කෘතියටයි. එයින් විශාල වශයෙන් බැට කන ලද්දේ උතුරු සහ නැගෙණහිර මිනිසුන්ය.

2015 ජනවාරි 8 ට පෙර වීදියක් වීදියක් පාසා උගුර ලේ රහ වෙනකන් ජීවිත අවදානමත් රැගෙන ඒ අශීලාචාර රාජපක්ෂ පාලනයට විරුද්ධව අප කෑ ගැසුවේය. ඒවා පිළිබද ලීවේය. ඒවායේ පිළිකුල්, ප්‍රජාතන්ත්‍රවිරෝධී බාවයට එරෙහිව හැකි සෑම දෙයක්ම සිදු කළේ ඒ ගෝත්‍රික සංස්කෘතිය ‘ශිෂ්ඨ‘ අර්ථයෙන් වෙනස් කිරීම සදහාය.

2015 ජනාවාරි 8න් වසර මාස 30ක් ගත වන විටදී ඒ 2015 ජනවාරි 8ට පෙර තිබූ ගෝත්‍රික, අශිෂ්ඨ ලක්ෂණ දැන් මතු වෙමින් පවතින්නේ මහ දවල්ය. එබැවින් දැන් එළඹ ඇත්තේ ඒ වර්ධනය වන ඒ ගෝත්‍රික, අශිෂ්ඨ සංස්කෘතිය සහ අමුවෙන්ම ප්‍රදර්ශණය කරන ‘තිරිසන් සුදුවෑන්‘ සංස්කෘතිය ආරම්භයේ දී ම පරාජය කිරීම සදහා ක්‍රියාත්මක වීමය.

අනෙක් පසින්, මේ හා බැදනෙ ප්‍රධාන දෙයක් නම් සයිටම් අරගලයයි. නමුත්,
අරගලයට පක්ෂ හෝ විරුද්ධ වන්න ඕනෑම අයෙක්ට හැකියාව තිබේ. නමුත් විරුද්ධ මත පරාජය කිරීම සදහා ආණ්ඩුව භාවිතා කරන්නේ කුප්‍රකට සුදුවෑන් නම්, සහ සුදු වෑන්වලින් පැමිණ ශිෂ්‍යන් පැහැර ගන්න උත්සහ කරන තත්ත්වයක් නම් ඒයට පක්ෂ වන්නට හැකියාව ඇත්තේ ගෝත්‍රික තක්කඩියන් ට පමණි. එවැනි ගෝත්‍රික තක්කඩි පිරිසක් පරාජය කර මාස 30 යන්නට මත්තෙන් එවැනි දේවල් මහදවාලේ සම්මුඛ වීම තරම් ඛේදවාචකයක්, ශිෂ්‍ඨ රාජ්‍යක් පිළිබද අදහසකින් වැඩකරන පුරවැසියන්ට තවත් නම් තිබේද?

ලැජ්ජයි!!! ලැජ්ජයි!!!

නමුත් මෙයත් ලිවිය යුතුමයි! 2017 මැයි 18 වනදා මුල්ලිවෛක්කාල් හී මරා දමන ලද මිනිසුන් සැමරීම තහණම් කරමින් මුලතිව් පොලීසිය අධිකරණයෙන් වාරණ නියෝගයක් ගත්තේය. එපමණකින් නොනැවතුනු පොලීසිය මේ අකාරයටම සිවිල් ඇදුමින් සැරසීගෙන පැමිණ එහි සංවිධායක පියතුමන්ලා ඇතුලු පිරිස භීතියට පත්වන අකාරයට හැසිරුණේය. නමුත් ඒ පිළිබදව දකුණේ කිසිදු කතාබහක් ඇති වුනේ නැති තරම්ය. එයට විරුද්ධව විශාල විරෝධයක් මතු වූ යේ නැත. ඔව්. ඒ දකුණේ හැටිය.!

නමුත් දකුණ ට මර්දනයට හස්තය දික් වන විට එයට විරුද්ධ වී, උතුර එවන් ආකාරයටත් වඩා බිහිසුනු ලෙස මර්දනය කරනවිට, කිරීමට පිඹුරුපත් සකසන විට නොඇසුනා සේ සිටීම තුළ ඇත්තේ කුහක දේශපාලනය මිස අන් කිසිවක් නොවන බව මා මීට පෙරත් ලියා ඇත්තෙමි. අද ද ඒ සටහන තබන්නේ මේ වන විටත් උතුරේ දහස් ගණන් ජනයා සිය විරෝධය වීදියේ සලකුණු කරමින් දිවා රෑ නැතිව වාඩිලා ඉන්නා බව මතක් කිරීම සදහාය.