අතුරුදහන් කරන ලද දහස් ගනන් ජනයා සොයා අඛණ්ඩ අරගලයක යෙදෙන මානව හිමිකම් ක්‍රියාකාරිණියකට කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කර තිබේ.

පසුගිය සඳුදා(14) රාත්‍රියේ මෝටර් බයිසිකලයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්, අතුරුදහන්කරන ලද සිය සමීපතමයින් සොයා මාස 5කට වඩා වැඩි කාලයක් අරගල කරන කාන්තා ක්‍රියාකාරිණියක් වන මුලතිව් හී, මරියසුරේෂ් ඊෂ්වරි ට මෙසේ තර්ජනය කර ඇත. මරියසුරේෂ් ඊෂ්වරි ගේ සැමියා 2009 වසරේ දී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් පසු මේ වන තෙක් ඇගේ සැමියා ගැන කිසිදු තොරතුරක් ඇයට දැන ගන්නට නැත.

මරියසුරේෂ් ඊෂ්වරි මාස 5ක් තිස්සේ මුලතිව් හී අනිකුත් කාන්තාවන් සමග අතුරුදන් කරන ලද සිය සමීපතමයින් පිළිබද තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා අඛණ්ඩ උපවාසයක නිරතවන අතරතුර පැමිණ ඇති මෙම නන්නාදුනන පිරිස විසින් ‘ඔයා මේ උද්ඝෝෂණය නතර කරොත් අනිත් අයත්, එක් නතර කරනවා. ඒ නිසා ඔයා මේක නතර කරන්න ඕන. එහෙම නැති උනෙත් දරුණු ප්‍රතිවිපාකවලට ඔයාට මුහුණ දෙන්න වෙයි‘ යනුවෙන් තර්ජන කර තිබේ.
(JDS ඇසුරිනි)

දින 160ක් මේ වන විට මුලතිව් හී කාන්තා ක්‍රියාකාරිණයන් ඇතුලු පිරිස සිය අඛණ්ඩ උපාවසය පවත්වාගෙන යන්නේ අතුරුදන් කරන ලද සිය සමීපතමයින් පිළිබද තොරතුරු ඉල්ලාය.