හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව මානව හිමිකම් සංවිධානයක් වන සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ අධිකරණවල යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම පිළිබද වාර්තා වූයේ පසුගියදා ය.

එය වාර්තාවීමෙන් අනතුරුව පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66වන සම්මේලනයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කිසිදු රණවිරුවෙක් ට දඩුවම් ලබා දෙන්න තමන් ඉඩ නොදෙන බවය. ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කලේ එය මුහුදෙන් එහා ප්‍රශ්ණයක් බවයි. “එය මූදෙන් එගොඩ ප්‍රශ්නයක්. කිසිම හමුදාපතිවරයකුට හෝ රණ විරුවකුට අත තියන්න මම ඉඩ දෙන්නේ නැහැ” ජනාධිපතිවරයා පැවසීය.

දිනක දෙකක් යාමටත් පෙර

ජනාධිපතිවරයා එසේ පවසා දින දෙකක් යාමට පෙර එනම් ඊයේ(4) රාත්‍රී 11ට පමණ වැලිකඩ සංහාරය ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වන සුදේශ් නන්දිමාල් සිල්වා සිටි නිවසට නන්නාදුනන පිරිසක් විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පළා ගොස් තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් නොවුනත් එය වැලිකඩ සංහාරය වසන් කිරීමට අපරාධකරුවන් ගන්නා උත්සහයක් දැයි සැක මතුව තිබේ.

එසේම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය දැරු රාජපක්ෂ සමයේ බන්ධනාගාරය තුළට ආයුද සමග පැමිණි හමුදාව සහ විශේෂ කාර්ය බලකායේ සෙබලුන් අතර ගැටුමක් හට ගත්තේය. එහිදී ආරක්ෂක නිළධාරීන් පිරිසක් විසින් ලැස්තුවකට අනුව තෝරාගත් රුදවියන් 27දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බව සාක්ෂිකරුවන් පවසා තිබේ. එම සාක්ෂි දුන් එක් ප්‍රධාන පුද්ගලයෙක් වන්නේ සුදේශ් නන්දිමාල්ය.

එය ඇසින් දුටු සුදේශ්, අපරාධය කිරීමට පැමිණි ආරක්ෂක නිළධාරීන් උපුටා දක්වමින් මෙසේ පවසයි ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වන සුදේශ් නන්දිමාල් සිදුකරන විශේෂ හෙළිදරව්ව බලන්න]

එසේම බන්ධනාගාරය තුළට ආයුද සමග පැමිණ මේ සංහාරය සිදුකලේ රණවිරුවන් නමින් රූපාන්තරණය කරන ලද රාජපක්ෂලාගේ අනුග්‍රහය ඇතිව ඇතිදැඩි වූ මිනීමරු කල්ලි බව රහසක් නොවේ.

දැන් යහපාලනයේ වත්මන් ජනාධිපතිවරයා කිසිදු රණවිරුවෙක්, කිසිදු දඩුවමකට යටත් කරන්නේ නැතැයි කියන විට ඔවුන් ඒ පිළිබද ප්‍රතිචාර දක්වා ඇත්තේ වැලිකඩ සංහාරයේ සාක්ෂිකරුවන් ට වෙඩි තැබීමෙන් බව සැක නොකරන්නේ කෙසේද?

මෙයින් පෙනී යන්නේ ‘මිනිසුන්ගේ ලේම ඉල්ලු’ ‘ප්‍රජාතන්ත්‍රවාදය කුණු බක්කියට දමා තිබූ’ දශකයේ ඝාතකයන් නව ජවයක් ලබා ඇති බව නොවේද?

විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ යුක්තිය පිළිබද විශ්වාස කරන කිසිදු පාලකයෙක් අපරාධකරුවන්ව යළි සක්‍රීය කරන, අපරාධකරුවන්ව උත්කර්ශයට නංවන අපරිණත ප්‍රකාශ නොකරන්නේ එය එම රටේ අභ්‍යන්තර යුක්තිය ට බරපතල ලෙස හානි වන නිසාය.

එසේම වැළිකඩ සංහාරය ඇතුලු ලංකාවේ සිදුකල බොහෝ අපරාධයන් ‘ඊනියා රණවිරු’ ලේබලය අලවා ආරක්ෂා කරන තැනකට රාජ්‍ය නායකයෙක් ගමන් කළහොත් නැවත රට ගමන් කරනු ඇත්තේ ශිෂ්ඨ සමාජයක් දෙසට නොව ගෝත්‍රික, අශිෂ්ඨ සමාජයන් දෙසට ම බව ලියා තැබිය යුතුය. එය එසේ වන්නේ රටක ‘අභ්‍යන්තර යුක්තිය‘ ඉටු කිරීම ඒ රටේ දියුණු, ශිෂ්ඨ අනාගතයකට ඉතා වැදගත් වන හෙයිනි.

සබැදි සටහන්

[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]

වැළිකඩ සංහාරය ඇසින් දුටු සාක්ෂිකරුගේ නිවසට වෙඩි තබා ඝාතකයන් ආරක්ෂා කළ හැකිද?