iMage: Ishara S. KODIKARA / AFP

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයන්සුන්දර මහතා දීර්ඝ පැමිණිල්ලක් ලියා ඇත. අනෙකාට ඇඟිල්ල දිගු කරමින් තමන් සුදනාවීමට ඔහු දරා ඇති උත්සාහය ඉතාම අප්‍රසන්නය. ඔහු කියන පරිදි ඔහුට වගකීමක් නැත. ඔහු කියන පරිදි පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට ඔහු කොන් කර ඇත. කිසිම වැදගත් දෙයකට හෙතම සහභාගී කරගෙන නැති බව ඔහු කියන්නේය. “දොස්තර සාෆි සහ ඔහුගේ වන්ධ්‍යාකරණ මෙහෙයුම” ගැන සිංහල අනත්වදීන්ගේ මෙහෙයුම් හේතුවෙන් රටම ගිනිජාලාවක් වීමට අවශ්‍යය පරිසරය සකස් වෙමින් පවතින කාලවකවානුවක ජයසුන්දර මහතාගේ වන්නමද ඉතාම ඛේදනීය ලෙස රාජ්‍යය සංස්ථාවල පවතින කුළල්කා ගැනීමේ තරම ඔප්පු කොට ඇත. ජයසුන්දර මහතා සේවයෙන් නෙරපා හැරිය යුතුව තිබුණේ අද ඊයෙක නොව, මීට වසර දෙකකට පමණ ඉහතදීය.

එසේම ඔහුගේ දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන ඔහුගේ කණිෂ්ඨ නිලධාරියෙකු වන රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඔහුට නියෝග කොට ඇත්තේ “අන්තවාදීන් ගැන සිදුකරණ විමර්ශන” නවතා දමන ලෙසයි. මෙය බරපතළ චෝදනාවක් වන අතර එය රටේ නෛතික රාමුවට අදාළව වහාම විසඳිය යුතු කාරණයකි.

ජයසුන්දර තම ශෝකාලාපය පිටු 30ක් පුරා ලියා ඇත. දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ පසු හෙතම මෛත්‍රිභාවනාව හඳුන්වා දුන්නේය. නමුත් ඔහුගේ මෛත්‍රීය බිඳුනේය. ඔහු බවුන් වැඩීමට වඩා මාධ්‍යය ඉදිරියට පැමිණ නාඩගම් නැටීම ප්‍රගුණ කළේය. ඔහුගේ වන්නම් වල රඟ ඉඳහිට මාධ්‍යයට නිකුත් වූ සී.සී.ටී.වී. දර්ශන වලින් දක්නට ලැබුණි.

නමුත් ඔහු තම ළතෝනිය ඔස්සේ සඳහන් කරන්නේ කුමක්ද? ඔහුට අනුව ඔහු නිවැරදිය; අන්සියලු දෙනා වැරදිය. ඔහුට අනුව ඔහු සර්ව සම්පූර්ණය; අන්සියලු දෙනා අසම්පූර්ණය. ඔහුට අනුව ඔහු රාජකාරී වගකීම් නොපිරි හෙළා ඉටුකොට ඇත; අන්සියලු දෙනා රාජකාරි කටයුතුවල වගකීම් පැහැර හැර ඇත. ඔහුට අනුව ඔහු ශීලවන්තය; අන්සියලු දෙනා දුස්ශීලය. ඔහුට අනුව ඔහු විනීතය; අන්සියලු දෙනා අවිනීතය. ඔහුට අනුව ඔහු වගකීම් දරන්නෙකි; අන් සියලු දෙනා වගකීම් පැහැර හරින්නන්ය. ඔහුට අනුව ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රේමකරන්නේය; අන් සියලුදෙනා වෛර කරන්නෝ වෙති. මේ ජයන්සුදර මහතාගේ ළතෝනියේ නියම ස්වරූපය වේ. මානසික රෝගියෙකු විසින් පෙන්වන බරපතළ රෝගී ලක්ෂණ රාශියක් මෙහි වෙති.

මෙලෙස ඔහු උයමින් සිටින ඇඹුලට නියම දේශපාලන රසකාරක එකතු කරමින් සිටින්නේය. ඔහු ජනාධිපති සිරිසේන මහතාට බැනවදිමින් ලියන්නේ, අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර ඇති විරසකයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට මිස රටට හෝ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට නොවේ. ඔහුට පොලිස්පතිධූරය යළිත් ලැබුණද නොලැබුණද වඩා වැදගත් වන්නේ, ඔහුගේ මීළඟ පියවර සඳහා අවශ්‍යය පරිසරය සකස්කර ගැනීමය. ඔහු, මීළඟ මහමැතිවරණයෙන් කුමන හෝ පක්‍ෂයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කළොත් පුදුමයක් නොවේ. නමුත්, ජයන්සුන්දර මහතාගෙන් පොලිස් දෙපාර්තෙම්න්තුවට සිදු වූ සේවය කුමක්ද යන්න ගැටලුවකි.

දක්‍ෂතාවය සමග ප්‍රඥාව එකතු වූ විට නිහතමානිත්වය උපදී. දක්ෂතාවය සමග මමත්වය එකතු වූ විට අලුගුත්තේරුකම උපදින්නේය. ජයන්සුන්දර මහතා මින් කුමන කොටසට අයත්වේද යන්න ඔහු හැර සියලුම දෙනා දනිති.

තමන්ට ලැබුණු තනතුරු වලින් ලෙළදීමට ඇතැමුන් උත්සහ ගත්තෝය. තවත් සමහරුන්, තමන්ට ලැබුණු තනතුරු වල වගකීම් නොපිරිහෙලා ඉටුකොට එම තනතුරු බැබළවීමට උත්සහ කළෝය. ජයන්සුන්දර මහතා මින් කුමන කොටසට අයත් වන්නේද යන්න, හෙතම පොලිස්පති ලෙස පත් වූ දින පටන් නැටු නාඩගම් වලින් ඔප්පුවිය.

මෙහිදී සාමන්‍යය ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන ආයතනයක ප්‍රධානියෙකු ලෙස ජයසුන්දර මහතාට පිළිතුරු දියයුතු ගැටලු ගණනාවක් තිබේ. ඉන් කිහිපයක් පමණක් මෙහිදී සටහන් කිරීම වැදගත් වේ.

01. පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට ඔහු පැත්තකට කොට තැබුවේ නම්, අප්‍රේල් 21 වන සහරාන් ඇතුළු කල්ලිය විසින් බෝම්බ ගසා නිරායුධ සිවිල් ජනතාව මරාදැමු පසු ධූරයෙන් අනිවාර්ය නිවාඩු යවන තුරු එය රටට කීමට බලාසිටියේ ඇයි?

02. අන්තවාදීන් සම්බන්ධයෙන් සිදුකරණ පරීක්‍ෂණ නවතා දමන ලෙස ඔහුට පහළින් සිටින කණිෂ්ඨ නිලධාරියෙකු නියෝග කළේ නම් එය රටට කීමට සහරාන් ඇතුළු කල්ලිය බෝම්බ පුපුරුවා හරින තෙක් උඩබලා සිටියේ ඇයි?

03. එනම්, අන්තවාදීන්ගේ තර්ජනය ගැන එතරම් විමර්ශනයක් ඔබ සිදු කළේනම්, ඔහුගේ කණිෂ්ඨ නිලධාරියා අදාළ පරීක්‍ෂණ නවතා දමන ලෙස කියූ පසු ඔහු ගත් ක්‍රියාමාර්ග මොනවාද?

04. ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික නියෝජ්‍යය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පසුගියදා පාර්ලිමේන්තු විශේෂ කාර්යය සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ඉදිරිපත් කළ ලිපිය බොරුවක්ද?

05. අදාල ලිපිය මෙන්ඩිස් මහතාට රාජ්‍යය බුද්ධි සේවයේ ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධන මහතාගෙන් ලැබුණු තොරතුරු මත සටහන් කළ එකක් නොවේද?

06. අදාළ ලිපිය රාජ්‍යය බුද්ධි සේවයට ලැබුණු තොරතුරු අනුව සකස් කොට ඔබට ලැබුණු එකක් වන්නේ නම්, රටක බුද්ධි අංශයකින් බලාපොරොත්තු වන මූලික වගකීම වන බුද්ධි තොරතුරු සම්ප්‍රේෂණය ඉටු නොවී තිබේද?

07. එවැනි තොරතුරක් ලැබුණු පසු, අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට අදාළ ස්ථාන ආරක්ෂා කිරීමට හෝ මාර්ග බාධක දැමිය යුතු තැන් තීරණය කිරීමට හැකියාව තිබේද? පොලිස්පති ලෙස ඔබ එවැන්නක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේද ? එසේ නොවේනම්, ඔබ ඔබේ වගකීම් ඉටුකරමින් ඒවා පිළියෙළ කරන්නේද?

08. සිසිර මෙන්ඩිස් මහතා ඔබට අදාළ ප්‍රහාරය, එහි ස්වභාවය, ඉලක්ක කරන ස්ථාන සහ ඊට සම්බන්ධ විය හැකි පුද්ගලයින් ගැන ලිඛීතව දැනුම් දී තිබියදී, එහි ඇති බරපතළකම තේරුම් ගැනීම ඔබේ වගකීම නොවන්නේද? එය බුද්ධි අංශයක අසමත් බවක් යයි ඔඅබ කියන්නේ කෙසේද?

09. ඔබ ඔබේ පිටු 30 පුරා ලියා ඇති ළතෝනියෙන් ඉකිගසන ආකාරයට යම්කිසි රහස් තොරතුරක ඇති බරපතළකම වෙනත් ආයතනයක් ගණන් නොගත් පළියට එහි වගකීමෙන් ඔබට නිදහස් විය හැකිද?

10. පොලිස්පතිවරයා ලෙස ඔබ මේ රටේ සිවිල් සහ අපරාධ නිතීය ගැන ඉතාම මැනවින් දන්නා විශේෂඥයෙකු යැයි රටේ ජනතාව විශ්වාස කරති. එවැනි විශේෂඥයෙකුට රටේ ආරක්ෂාවට අදාළ ඕනෑම ආකාරයක තොරතුරක් ලැබුණු පසු එය තවත් අයෙකු පිට තබා වගකීමෙන් නිදහස් විය හැකිද?

11. පොලිස්පතිවරයා ලෙස ඔබට, ඔබ යටතේ නිල ඇඳුම් පැළඳ රාජකාරී කටයුතු කරන නිලධාරීන්ට සහ හදිසි තත්වයක් යටතේ පොලිස් බලතල ලබාදුන් ආරක්ෂක අංශ වල නිලධාරීන්ට හැර රටේ විශේෂ ආරක්ෂාවක් සැපයිය යුතු තැන් වලට නිසි ක්‍රියාමාර්ග ගැනීම එනම් මාර්ග බාධක දැමීම, සැක කටයුතු පුද්ගලයින් සහ ස්ථාන පරීක්‍ෂාවට ලක්කිරීම, පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ආදී රාජකාරී කටයුතු සිදුකිරීමේ බලය හිමිවන්නේ කාටද?

12. සිසිර මෙන්ඩිස් මහතා හෝ වෙනත් බලධාරියෙකු බෝම්බ ප්‍රහාරයට අදාළ තොරතුරු දින ගණනාවකට පෙර ඔබට ඒවා තිබියදී ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ සැබෑ වුවමණාවක් ඔබට තිබුණේ නම්, ආරක්‍ෂක මණ්ඩලය රැස්වන තුරු හෝ ජනාධිපතිවරයාගෙන් නියෝග ලැබෙන තුරු බලාසිටීම අනිවාර්යය වන්නේද? වෙනත් වචන වලින් කියන්නේ නම්, ඔබේ බිරිඳට හෝ මවට එරෙහිව යම්කිසි බරපතළ තර්ජනයක් තිබේනම්, ඊට එරෙහිව කටයුතු කිරීමට ඔබ ජීවත් වන ගමේ ග්‍රාම නිලධාරියාගේ අනුමැතිය ලැබෙනතෙක් බලාසිටින්නේද?

13. තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා වෙනත් අයෙකු මත වගකීම් පැටවීමෙන්, ඔබ සේවය කළ සහ ඔබට එහි ඉහළම ධූරයට පැමිණීම සඳහා අතහිත දුන් ආයතනයේ ආත්මාභිමානය ආරක්‍ෂා කරන්නේ කෙසේද?

14. විදුලි සෝපානයකදී පුද්ගලයෙකුට පහරදීම ආදී ඔබ විසින් විනය විරෝධීව සිදුකළ කටයුතු ගැන ස්වාධීන පරීක්ෂණයක් මේ දක්වා සිදුවූයේද?

15. මේ රටේ පොලිස්පති ධූරයේ තව දුරටත් රැඳීසිටීම සඳහා ඔබට ඉදිරිපත් කළ හැකි හේතු දහයක් සඳහන් කළ හැකිද?

ජයසුන්දර මහතාණෙනි;

ඔබ දැකීමට අකමැති ඇත්තක් තිබේ. එනම්, පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට අනෙකුත් බොහෝ දෙනෙකු මෙන් ඔබද වගකිව යුතු බැවිනි. එසේම, ප්‍රහාරය ගැන බලවත් තොරතුරු ඔබට ලිඛිතව දන්වා ඇති බව ජාතික බුද්ධි ප්‍රධානි සාක්ෂි සහිතව පෙන්වා ඇතිවිට, ඔබට එය එසේ නොවේ යැයි සඳහන් කළ හැකිද? සිදු වූ විපතින් පසු රටටම ලබාදුන් පාඩම නිවැරදිව ඉගෙනගෙන එවැනි සිදුවීම් යළි සිදුවීම වැළක්වීමට සහදීම වෙනුවට, ඌරන් මෙන් කැකුණ තලා හබන් කුකුළන්ට මගුල් උත්සව පිළියෙළ කිරීමෙන් සිදුවිය හැකි විපත ගැන ඔබට අවබෝධයක් තිබේද?

ජයසුන්දර මහතාට ලබාදිය යුතු සරල නමුත් ඔහු මේ දක්වා ඉගෙන නොගත් මූලික කාරණයක් පැහැදිළි කළයුතුව ඇත. එනම්, අනෙක් මිනිසාගේ ඇහේ ඇති කෙන්ද දැක ගතු කී අඬබෙර ගැසීමට පෙර තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය ගැන අවදානය යොමු කරන්න.

තමන්ගේ අලුගුත්තේරු ප්‍රතිපත්ති වලින් කුණු කරනු ලැබූ ආයතන වලින් මහජන ආරක්‍ෂාවට අදාළ වගකීම් නිසිලෙස ඉටුනොවන විට ඇඟිල්ල දිගුකරගත යුත්තේ තමන්ට මිස වෙන කිසිවකුට නොවේ. උඩබලා ගසන කෙළ වැටෙන්නේ තමන්ගේ මුහුණට මිස වෙනත් අයෙකු මත නොවේ.

නිලන්ත මානවසිංහ | Nilantha Manawasinghe