iMAGE: photito.com

භාග්‍යවත් වූ බුදුන් රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ දේශනා කළහ: ‘‘ආනන්දය, ඔබ අතරින් ඇතැමෙකුට මෙසේ සිතෙන්නට පිළිවන: ‘‘භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඉවරයි. අපට තවදුරටත් ගුරුදේවයෙකු නොමැත.’’ එසේ නොසිතන්න, ආනන්ද. මා දේශනා කොට ඇති ධර්මය සහ විනය, මා නැති කලෙක, ඔබේ ගුරුදේවයන් වන්නේය.’’

මේ විවරණය සඳහා යම් පාදක නියාමයක් අපි සකසා ගමු. පරිනිර්වාණයට කලින් බුදුන් වහන්සේම දේශනා කොට ඇති පරිදි, ඔහුගේ උතුම් ධර්මයම අපගේ ගුරු මාර්ගෝපදේශය විය යුත්තේය. අප සියලූ දෙනාට- රජවරුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, ඇමතිවරුන්, මහනායකවරුන්, කාදිනල්වරුන්, භික්ෂූන් සහ උපාසක උපාසිකාවන් ඇතුළු- අප සැම දෙනාට, අපේ අදහස් සහ මතවාද ප‍්‍රකාශ කිරීමට අයිතියක් ඇත්තේය. එහෙත්, ආවේගවලින් සහ ඊනියා අධිකාරී පැනවීම්වලින් ගසාගෙන යාමට නොදී, ඒ සෑම අදහසක් සහ මතවාදයක්ම බුදුන් වහන්සේගේ ධර්මය සමඟ  කිරා බැලිය යුත්තේය.

යමෙකුට බෞද්ධ අනන්‍යතාවක් දැරීමේ ආශාවක් තිබිය හැකිය. එසේම, තමන් ජීවත් වන රටටත් බෞද්ධ අනන්‍යතාවක් ලබා දීමට යමෙකුට අවශ්‍ය විය හැකිය. එවැන්නක්, සිංහලයන්ට පමණක් නොව, අප අතරේ සිටින සෑම කෙනෙකුටමත් තමන්ගේ රට වෙනුවෙන් අවශ්‍ය වෙතොත්, එය කරන්නේ කෙසේද? එකී සෑම පුදගලයෙකුටම මෙන්ම රටටත් දැනටමත් බෞද්ධ අනන්‍යතාවක් ඇතොත් එය ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 70 ට ආසන්න සංඛ්‍යාවක් තමන් බෞද්ධයන් සේ සලකති. ඒ බෞද්ධයන්ගෙන් පැහැදිලි බහුතරයක් සිංහලයන් වන මුත් සිංහලයන්ට දාව නොඉපදුණු ඇතැම් බෞද්ධයෝත් සිටිති. දෙමළ, බර්ගර්, මැලේ හෝ වෙනත් වර්ගයකට අයත් කෙනෙකුට බෞද්ධයෙකු වීමට නුපුලූවන් කමක් නැත.

මේ සඳහා කෙනෙකුගේ නම වෙනස් කර ගැනීමක් අවශ්‍ය නොකෙරේ. උදාහරණයක් වශයෙන්, එකී බෞද්ධ අනන්‍යතාව ලබා ගැනීම සඳහා තුවාන් මොහොමඞ් ඩිල්ෂාන්, තිලකරත්න මුදියන්සෙලාගේ ඩිල්ෂාන් වශයෙන් නම් වෙනස් කරගත යුතු නැත. මුස්ලිම් අනන්‍යතාවකට වඩා සිංහල අනන්‍යතාවක් තිබීම, ලංකාවේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලැබීමට ආධාරකයක් වන්නේද යන්න වෙනම ප‍්‍රශ්නයකි. තවද, ශ‍්‍රී ලංකාවේ සිටින සියලූ සිංහලයෝ බෞද්ධයන් නොවෙති. වෙනත් ආගම්වලට අයත් සිංහල සුළුතරයක් රටේ වෙසෙති.

අනුරාධපුරයේ දේවානම්පියතිස්ස රජ කරන සමයේ (ක‍්‍රිස්තු පූර්ව 307-267), තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසුව, අශෝක අධිරාජයාගේ පුතණුවන් වන මහින්ද රහතන් වහන්සේ විසින් ක‍්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී ලංකාවට බුද්ධාගම හඳුන්වා දෙන ලදැයි දීපවංශය කියයි. ඓතිහාසිකව ගත් විට, වසර 2300 ක් පමණ කාලයක් තිස්සේ ලංකාවේ බහුතරයක් බෞද්ධයන් වූ බව පෙනෙන්ට තිබේ. ඒ දත්ත මත පදනම්ව, ශ‍්‍රී ලංකාව, ස්ථාපිත බෞද්ධ අනන්‍යතාවක් ඇති රටකැයි නිශ්චය කිරීම සාධාරණ ය.

කෙසේ වෙතත්, බෞද්ධ අනන්‍යතාවකට හිමිකම් කියන එකම රට ශ‍්‍රී ලංකාව නොවේ. බෞද්ධයන් සංඛ්‍යාව වශයෙන් ගත් විට, කාම්බෝජයේ සියයට 97 ක් බෞද්ධයෝ ය. තායිලන්තයේ සියයට 93 ක් බෞද්ධයෝ ය. මියන්මාරයේ සියයට 88 ක් බෞද්ධයෝ ය. භූතානයේ සියයට 75 ක් බෞද්ධයෝ ය. ඒ සෑම රටක්ම ලංකාවට වඩා, පැහැදිලිවම, බෞද්ධ ජනගහනයක් ඇති රටවල් ය. ශ‍්‍රී ලංකාවේ බෞද්ධ සංඝ සාසනය පිරිහෙමින් ගිය ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල, යළිත් එම සංඝ සාසනය ස්ථාපිත කොට ඇත්තේ, තායිලන්තයේ සහ මියන්මාරයේ මූලිකත්වයෙනි. ඒ කියන කිසි රටක් තමන්ගේ බෞද්ධ අනන්‍යතාව ස්ථාපිත කරගෙන ඇත්තේ සිංහල වාර්ගිකත්වයක සහයෝගයෙන් නොවේ.

අස්ගිරියේ මහනායක හිමියන්ගේ මෑතකාලීන ප‍්‍රකාශ

නහී වේරෙන වේරානි- සම්මන්තීද කුදාචනං
අවේරේනච සම්මන්ති- ඒස දම්මෝ සනන්තනෝ (ධම්මපදය)

‘‘වෛරයෙන් වෛරය නොසන්සිඳේ, අවෛරයෙන් පමණක් වෛරය සන්සිඳේ. එය සනාතන දහමකි’’ යන්න එහි අදහසයි. පොසොන් පොහොය වැදගත් වන්නේ ලංකාවට බුද්ධාගම පැමිණීමේ මංගල්‍යය සම්බන්ධයෙනි. එය, බුදුන් වහන්සේගේ ධර්මය ආවර්ජනා කරමින් බෞද්ධ අනන්‍යතාව සැමරීමට රටට ඔබින අවස්ථාවකි. සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක පූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන තෙරුන්, ඉස්ලාම් භීතිකාවක ගිනිදැල් ඇවිලවීමටත්, සිංහල ප‍්‍රජාව තුළ වෛරය වැපිරීමටත් අවස්ථාව කරගත්තේ එවැනි කාලයකි.

සංඝ සාසනයේ ප‍්‍රමුඛතම නායක ස්වාමීන්වහන්සේලා දෙනමගෙන් කෙනෙකු වන අස්ගිරියේ මහනායක හිමියන් කැමරාවක් ඉදිරියේ මේ වචන වදාළේය: ‘‘මුස්ලිම් ජනතාව අපිට ආදරේ නැහැ… මාත් කියනවා ඒ කඩවල්වලට යන්න එපා, ඒ කඩවල්වලින් කන්න බොන්න එපා කියලා.. ඒවා කාපු බාල පරම්පරාවට, මං හිතනවා අනාගතේ දූ දරුවොත් නැති වෙයි කියලා.. ඒ වගේම අර මාතලේ දොස්තර මහත්තයෙක් කරපු වීර ක‍්‍රියාව පිළිබඳව කවුරුත් දන්නවා.. අර කවුද උපාසක අම්මලා වගයක් කිව්වා ගල් ගහලා මරන්න ඕනේ කියලා. මං එහෙම කියන්නේ නැහැ. නමුත් කළ යුත්තේ ඒක තමයි…’’

සිංහල ජනතාව වඳ භාවයට පත්කරන සැලසුම් සහගත ව්‍යාපාරයක් මුස්ලිම් ජාතිකයන් විසින් ගෙනයනු ලබන්නේය යන තහවුරු නොකළ හිතළු මත පිහිටා මේ උගත් හිමියෝ සිය දේශනාව කරති. එම චෝදනාව සත්‍යයක් නම් අනිවාර්යයෙන්ම ඒ ගැන අපරාධ පරීක්ෂණ කළ යුතු බව නොකිවමනාය. එහෙත් එය, බෞද්ධ භික්ෂූන් හෝ ගිහි ශ‍්‍රාවකයන්ගේ අත්තනෝමතික විනිශ්චයන් මත පිහිටා කළ යුත්තක් නොවේ.

බෞද්ධ සංඝ සාසනයේ ඉහළ තනතුරක් හොබවන කෙනෙකු මෙවැනි ළාමක සහ සාවද්‍ය ප‍්‍රකාශයක් කිරීම, සමහර විට, බෞද්ධ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම සඳහා යැයි සිතමින් උන්වහන්සේ ගත් නොමග ගිය ප‍්‍රයත්නයක් විය හැකිය. කෙසේ වෙතත්, එම වචනවලින් අවසානයේ සිදුව ඇත්තේ, මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා නැමැති සතර බ‍්‍රහ්ම විහරණ අවධාරණය කෙරෙන බුදුන්ගේ උදාර දේශනාවට නිගරු කිරීමකි. සුසිරිත වෙනුවට, කුමට නම් වෛරයේ බීජ වපුරන්නේ ද?

ලංකාවේ ඕනෑම උපාසක අම්මා කෙනෙක් පන්සිල් දනිති. එයින් පළමු සහ සිව්වැනි ශික්ෂා පදයෙන් ඉල්ලා සිටින්නේ, ප‍්‍රාණ ඝාතයෙන් සහ බොරු කීමෙන් වැළැකී සිටින ලෙසයි. මේ නායක හිමියන්ගේ දේශනාව ඒ සිල්පද දෙකට ගැළපේද? ඔහු සාසනයේ (ධර්මයේ) ආරක්ෂකයෙකු විය හැකිද? එය නිශ්චය කිරීම ඔබට භාරයි.

මා දන්නා පරිදි, මංගල සමරවීර ඇමතිවරයා හැරුණු කොට, වෙන කිසි සිංහල හෝ බෞද්ධ දේශපාලන නායකයෙකු, අස්ගිරියේ මහනායක හිමියන්ගේ මේ කණගාටුදායක ප‍්‍රකාශය හෙළාදැකීමට ඉදිරිපත්ව නැත. එංගලන්ත-අයර්ලන්ත ජාතික එඞ්මන්ඞ් බර්ක් ගේ වැදගත් ප‍්‍රකාශයක් මේ අවස්ථාවේ මගේ මතකයට එයි: ‘‘නපුර ජය ගැනීමට අත්‍යාවශ්‍ය කරන එකම දෙය වන්නේ, ඒ නපුර ඉදිරියේ යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටීමයි.’’

(ඉතිරි කොටස ඉදිරියට)

නිරන්ජන් සෙල්වදුරෙයි

2019 ජුලි 03 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ ‘Preserving the Buddhist Identity: Back to Basics’ නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.