සිංහල, Democracy, Education, Governance, Human Rights, Human Security, Life quips, Matara

පහර දීමකින් විශ්ව විද්‍යාල සිසුවෙක් මියයයි.

‛අපිට පොලීසියෙන් පහර දුන්නා’ – විශ්ව විද්‍යාල ශිෂයෙක්. ‛අපිට පහරදෙන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ’ – උසස් පොළිස් නිළධාරියෙක්

ඉකුත් 18 වන දින පොලිස් පහර දීමට ලක්වූ රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත බණ්ඩාර සිසුවා බදුල්ල මහ රෝහලේ දී අද උදෑසන ජීවිතක්‍ෂයට පත්විය. රුහුණු විශ්ව විද්‍යාලයේ තෙවන වසර ඉගෙනුම ලබන සුසන්ත බණ්ඩාර ශිෂ්‍යා ලූනාව, බුත්තල පදිංචිව සිටි අයෙකි. මෙම සිදුවීම පිළිබදව ‛විකල්ප’ රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයෙන් විමසීමක් කරන ලදි. එහිදි එම සංගමයේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට අකමැති ශිෂ්‍යයෙක් පවසා සිටියේ,
‛‛පහුගිය 17 වෙනිදා උදේ විශ්ව විද්‍යාලයට ගමේ පිරිසක් බලෙන් ඇතුල් වෙලා මහ ශිෂ්‍ය සංගමයේ කාර්යාලයට අලාබහානි සිදුකරල විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙකුටත් පිහියෙන් අනල යන්න ගියා. පහු වෙනිදා විශ්ව විද්‍යාල පිටත එච්චර හොද වාතාවරණයක් තිබුණේ නැහැ. 500 ක් විතර ශිෂ්‍යයන් එදා විශ්ව විද්‍යාලේ ඇතුලේ හිටියා. විශ්ව විද්‍යාලේ සිසුන්ට පහර දීමේ සිද්ධියත් එක්ක ගමෙන් සිසුන්ට ගොඩක් තර්ජන තිබුණා. එදා විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය විසින් එදින සිට විශ්ව විද්‍යාලය නිවාඩු දෙන බව දැනුම් දුන්නා. විශ්ව විද්‍යාල නේවාසිකාගාරය විශ්ව විද්‍යාලයට මඳක් දුරින් [මැද්දවත්ත ප්‍රදේශයේ] පිහිටා තිබුණු නිසා පිටත නොසන්සුන් තත්ත්වට හේතුවෙන් සිසුන් එලියට යන්න බය වුණා. පස්සේ අපි මේ පිළිබදව විශ්ව විද්‍යාල උපකුලපති තුමා හමු වී කියා සිටියා පිටත අපට නිසි ආරක්‍ෂාවක් නැති නිසා නේවාසිකාගාරයට යාමට නොහැකි බව. අපි ඉල්ලීමක් කළා විශ්ව විද්‍යාල උපකුලපති තුමාගෙන් මේ පිළිබද ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස. නමුත් මේ සම්බන්ධව කිසිදු ක්‍රිමාර්ගයක් නොගෙන විශ්ව විද්‍යාල පාලක මණඩලය විසින් කියා සිටියේ වහාම විශ්ව විද්‍යාලයෙන් ඉවත් වන ලෙස සහ සිසුන්ට විශ්ව විද්‍යාලයේ රැදී සිටීය නොහැකි බවයි.’’

‛‛පසුව බස් 2 කක පොලීසියෙන් 300 විතර විශ්ව විද්‍යාලයට ඇවිත් ඔවුන් නියෝගයක් කලා විශ්ව විද්‍යාලයේ සියළුම සිසුන්ට එලියට බහින්න කියාල, ඒත් සිසුන් ගියේ නෑ.. විනාඩි කිහිපයක් ගියාම පොලීසියෙන් විශ්ව විද්‍යාලෙට ඇතුළු වී සිසුන්ට පහර දී සියළුම සිසුන් විශ්ව විද්‍යාලයෙන් පන්නා දැමුව. අපේ ඇදුම් බෑග් සියළුම දේවල් තිබුණේ නේවාසිකාගාරේ පස්සේ. අපි ඉක්මනින් නේවාසිකාගාර වලට ගියා. පොලීසියෙන් නේවාසිකාගාරවලටත් ඇවිත් සිසුන්ට පහර දී ගෙවල් වලට යන ලෙස නියෝග කරා.’’

මෙහිදී පොලීසිය විශ්ව විද්‍යාල භුමියට හෝ ශිෂ්‍ය නේවාසිකාගාරය තුලට ඇතුල් වීමට නම් උප කුලපති තුමාගේ හෝ විශ්ව විද්‍යාල පාලක මණ්ඩලයේ අනුමැතිය සහ අවසරය අනිවාර්ය විය යුතු අතර ඔවුන් නොදැනුවත්ව පොලීසියට විශ්ව විද්‍යාල භූමියට ඇතුළු විය නොහැකි බවත් සිසුන් වැඩිදුරටත් පැවසයි. නමුත් විශ්ව විද්‍යාලය තුළට පොළිසිය පැමිණ මෙම සිදුවීම සිදුකල බවත් ඔවුන් පැවසීය.

පසුව අප මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීම සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමන්ව දුරකතනයෙන් සම්බන්ධ වීමට උත්සාහ කල ද, ඔහුගේ පෞද්ගලික ලේකම් වරිය විසින් පවසා සිටියේ ඔහු තම අසුනේ නොමැති බවත් පෞද්ගලික නිවාඩුවක් මත කොළඹ ගිය බවත් ය. පසුව උප කුලපති ලේකම් වරිය වශගෙන් මේ සම්බන්ධව අප විමසීමක් කල විට ඇය කියා සිටියේ ‛‛ කරුණාකර 041 2227029 අමතා එතුමන්ගෙන් මේ පිළිබඳ අදහස් ලබාගන්න’’ ලෙසයි. නමක් තනතුරක් නොමැති එතුමා කවුද යන්න ප්‍රශ්නයක් මතු වුව ද, උප කුලපති ලේකම් වරිය ලබා දුන් අංකයට එතුමා හා සම්බන්ධ වීමට අප කටයුතු කලේ ය. එයට පිළිතුරු දුන් අය කියා සිටියේ ‛එතුමා ද අසුනේ නොමැති බව සහ ඔහු විශ්ව විද්‍යාලයේ ද නොමැති බවයි.’

පසුව අප ඔහු වෙත කියා සිටියේ උප කුලපති කාර්යාලයේන් ඉහත සිදුවීම සම්බන්ධව මෙම අංකයෙන් දැන ගැනීමට හැකි යැයි අපට කියා සිටිය බව යි. ඒ සම්බන්දව ඔහු කිසිවක් නොකිවු අතර, ඔහුගෙන් තනතුර විමසූ විට කියා සිටියේ ඔහු විශ්ව විද්‍යාල සිසුවෙක් බවයි. අද උණුසුම් තත්වයක් විශ්ව විද්‍යාලය තුළ හටගෙන ඇති අවස්ථාවක විශ්ව විද්‍යාලයේ කාර්‍යාලයේ දුරකථනය භාවිතා කිරීමට ‛සිසුවෙකු’ට හැකියාවක් තිබේ ද?

විශ්ව විද්‍යාල පාලන කමිටුවේ දුරකතන වලට සිසුන්ට ද පිළිතුරු දීමට හැකි පරිඳි තිබෙන බව පුදුමයකි. තව ද විශ්ව විද්‍යාල පාලක මණ්ඩලයේ ශිෂ්‍යයන් සිටීම ද අදහා ගත නොහැක. එසේ තිබුණා නම් මෙම සිදුවීමද වෙනස් වීමට ඉඩ තිබුණි.

මේ සියල්ල කෙසේ වෙතත් රුහුණු විශ්ව විද්‍යාලයේ නෙවාසිකාගාරයේ දී පොලිස් පහර දීමට ලක් වූ සුසන්ත බණඩාර සිසුවා මුලින් බුත්තල රෝහලටත්, බණ්ඩාරවෙල රොහලටත්, එයින් කොතලාවල දැඩි සත්කාර ඒකකයේ දින 4ක් ප්‍රතිකාර ලබමින් අවසානයේ දී බදුල්ල රෝහලේ දී අද[23] ජීවිතක්ෂයට පත් විය.

මේ පිළිබඳව අප මාතර පොළිසියෙන් කළ විමසීමකදී එහි ජ්‍යේෂ්ඨ පොළිස් නිළධාරියෙකු ප්‍රකාශ කළේ ‛‛දැන් පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තියනවා, මේ පහරදීම කරේ පොළිසියෙන් නෙමේ, බස්නායක කියලා, බස්සා නමින් හඳුන්වන ඇතුලෙම ශිෂයෙක් විසින් කියලා. ඒ මිය ගිය ළමයාට ගහලා තියනවා. එයා පාවා දුන්නා කියලා. ගහලා තියෙන්නේ ඔලුවට. එයාගේ මව කටඋත්තරයක් දීලා තිබෙනවා දැනට. ඒක වීඩියොත් කරලා තියනවා. දැන් ජනමාධ්‍යවලින් යයි. අපිට පහරදෙන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. අපි ඒක විඩ්‍රෝ කලා. දැන් මේ ශිෂ්‍යයෝ දන්නවනේ අයියලාගේ හැටි. එයාලා මේක දඩමීමා කරගෙන පොළිසියෙන් ගැහුවා කියලා ලොකු කතන්දරයක් කරනවා. ඇත්තටම සිද්ධ උනේ අභ්‍යන්තර ශිෂයෙක් පහර දුන්නා මෙයාට. දැන් පෝස්ට් මෝටන්ට් රිපෝට් එක එයි. පොළිස්පති තුමා මේ සම්බන්ධයෙන් සෙවිමට පරීක්ෂණ කණ්ඩායම් දෙකක් දාලා තියනවා. සීඅයිඩී ටීම් දෙකක් දාලා තියනවා. සත්‍යය මොකක්ද කියන එක හෙළිදරව් වෙයි.’’
දැන් පහර දුන්න කෙනා අත්අඩංගුවට අරගෙන තිබෙනවාද? යැයි ‛විකල්ප’ විමසීය. ’’එවිට ඔහු ප්‍රකාශ කළේ.. ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු කරනවා. නියම බස්සා කවුද කියලා හොයාගන්නවා. බස්සෝ ගොඩක් ඉන්නවා.

වග කිව යුත්තෝ කවුරුන් ද ? බස්සා ද? පොලීසිය ද?

නමුත් මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවී තිබේ. මේ වන විට සියළු ශිෂ්‍ය සංගම් එකතු වී මේ පළිබඳ විරෝධතාවක් පැවැත් වීමට අද දින මාතර නගරයේ සූදානම් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.