iMAGE: via The Nation

පසුගිය ඔක්තෝම්බර් මස 14 වන දා සිට 31 වන දායින්  අවසන් වූ සති දෙක තුළ අවම වශයෙන් රුපියල් මිලියන 900 කට වැඩි මුදලක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයින් දෙනෙකු පමණක් වියදම් කර තිබෙන අතර ඉතිරි අපේක්ෂකයින් 33 දෙනා මිලියන 40 කට ආසන්න  මැතිවරණ ප්‍රචාරණ පිරිවැයක් දරා ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව  මේ වන විට සති දෙකක ඇස්තමේන්තු ගත මැතිවරණ ප්‍රචාරණ පිරිවැය පමණක් රුපියල් බිලියනයක අගයක පවතී.

අසීමිත මුදල් භාවිතය තුළ යම් අකාරයකට අපේක්ෂකයන්ට හැකියාවක් ලැබිල තියෙනවා තමන්ගේ ජයග්‍රහණයක් සනාථ කරගන්නට. ශ්‍රී ලංකාවේ මැතිවරණයේ සමබිමක් නිර්මාණය නොවීම තුළ. හාස්‍ය ජනකම කාරණය තමයි, ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට පක්ෂ විසින් ලබා දී ඇති ගිණුම් වාර්තා වල  ඔවුන් දක්වන පරිදි ඔවුන්ගේ වත්කම් ඇත්තේ මිලියන 10 කට එහා නොයන අගයක්. නමුත් මේ සති දෙක ඇතුළත පමණක්  ඔවුන් බිලියනයකට ආසන්න මුදලක් ඔවුන් වැය කරලා තියෙනවා.එහෙනම් ඒ මුදල් එන්නේ කොහෙන්ද?මේ ලැබෙන අරමුදල් කාගේද කියන එකයි ගැටලුව. මුදල් ලබාදෙන්නා නියෝජනය කරන කුලකය සදාකාලික අභිරහසක්. මුදල් විශුද්ධිකරණයත් මේ තුළ සිද්ධ වෙන්න පුළුවන්

ශ්‍රී  ලංකාවේදී  ප්‍රථම වරට කරන ලද  “මැතිවරණ ප්‍රචාරණ පිරිවැය”  නිරීක්ෂණයේ මුල් සති දෙකෙහි නිරීක්ෂණ සහිත අතුරු වාර්තාව අද දින (5)  මාධ්‍ය හමුවේ අනාවරණය කරමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක මංජුල ගජනායක එහිදී පැවසිය.

අද දින නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් මිලියන 574 ක් ද, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරණය සඳහා රුපියල් මිලියන 372 කුත්, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් මිලියන 16 ක මුදලකුත් මේ වන විට වැය කොට ඇති බවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇස්තමේන්තු ගත කොට තිබේ.

ඡායාරූපය උපුටා ගැනීම “ද සන්ඩේ මෝර්නින් පුවත්පත “

ඔවුන් පෙන්වා දෙන පරිදි “මැතිවරණ මූල්‍යකරණය” යන්නට මැතිවරණයක් සඳහා අපේක්ෂකයින්ට, දේශපාලන පක්ෂ වලට සහ ආධාරකරුවන්ට ලැබෙන්නා වූ අරමුදල් සහඅපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ආධාරකරුවන් විසින් සහ ඔවුන් වෙනුවෙන් (රාජ්‍ය දේපල අවභාවිතා කිරීම් වල පිරිවැය ද ඇතුලුව ) දරන්නා වූ පිරිවැය යන දෙවර්ගයම අයත්වේ.

එසේ නම් මැතිවරණ පිරිවැය වශයෙන් සලකා බලනු ලබන්නේ මොනවාද යන්න පොදු මහජනතාව ලෙස අප අවබෝධ කොට ගත යුතුව තිබේ. ඒ අනුව යමෙකුගේ මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ඔහු හෝ ඇය / ඔහු හෝ ඇය වෙනුවෙන් දරණු ලබන සියලූ පිරිවැය මේ සඳහා අන්තර්ගත වේ.

මුද්‍රණය කිරීම්, ප‍්‍රකාශන, පෝස්ටර් පත්‍රිකා, දැන්වීම්, අත්පත‍්‍රිකා, ධජ, චිත‍්‍ර, ඡායාරූප,පුවත්පත් දැන්වීම්, ගුවන්විදුලි හෝ රූපවාහිනී මාධ්‍යයන් හි අන්තර්ගත නිෂ්පාදන කිරීම සහ විකාශනය කිරීම,ප්‍රචාරණ දැන්වීම් නිෂ්පාදනය කිරීම පුවත්පත්, සඟරා හෝ වෙනත් ප‍්‍රකාශනයක් තුළින් එළි දැක්වීම;රැස්වීම් පැවැත්වීම පිණිස  ඕනෑම ස්ථානයක් හෝ උපකරණ කුලියට ගැනීම හෝ භාවිතා කිරීම්, ප්‍රවාහන වියදම් (හෙලිකොප්ටර්/ගුවන් යානා කුලියට ගැනීම හෝ භාවිතා කිරීම් ඇතුළලුව) පුද්ගලික මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමෙන් උද්ගතවන පිරිවැය යන්නද ගණනය කෙරේ.

විශේෂයෙන්ම, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් ඉහත ආනාවරණය කළ වියදම් මැතිවරණ ප්‍රචාරක පිරිවැය නිරීක්ෂණය ක්‍රියාවලිය යටතේ කේෂ්ත්‍ර 4 ක් ආවරණය කරමින් ගණනය කොට තිබේ. ඒ අනුව මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ  වෙනත් ලෙස මහජන රැළි, රැස්වීම්, ප්‍රදර්ශනය කරනු ලබන බැනර්, පෝස්ටර්, සැරසිලි, වාහන, ගුවන් යානා භාවිතය යනාදිය වෙනුවෙන් කරන ලද වියදම් ගණනය කිරීම මෙයට ඇතුළත් වේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ජාතික ජන බලවේගය විසින් පමණක් පහත දැක්වෙන වියදම් කොට ඇති බවට ඇස්තමේන්තු ගත කොට  තිබේ.

මුලාශ්‍ර සටහන 1 : මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

මෙහිදී මාධ්‍යයන් හී ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයින් විසින්  කරන ලද පිරිවැය  මුදල් ඇස්තමේන්තුගත කොට ඇත්තේ එක් එක් මාධ්‍ය ආයතන දැන්වීම් සඳහා අයකරන මිල ගණන් (Rating Cards) අනුව,එක් එක් අපේක්ෂකයින් පළකර ඇති දැන්වීම් ප්‍රමාණය සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ආයතන විසින් ලබා දෙන ලද තොරතුරු මත පදනම්වය. විශේෂයෙන්ම  සියලු දේශපාලන පක්ෂ වෙත් ඒ සම්බන්ධයෙන් කළ ඉල්ලීම් වලට තමන් වෙත යහපත් ප්‍රතිචාර නොලැබුණු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඒ අතරම පවසා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් මිලියන 42 කුත්, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් මිලියන 456 ක මුදලකුත් , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් මිලියන 68  කුත්, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් මිලියන 219 ක මුදලකුත් මේ වන විට වියදම් කොට ඇති බව ඇස්තමේන්තු ගත කොට තිබේ.

මුලාශ්‍ර සටහන 2 : මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

නිරීක්ෂණය කළ කාලය තුළ මුද්‍රිත/ විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරණයට සහ රැස්වීම් ආදිය සඳහා ඇස්තමේන්තු ගත මිලියන 962 ක පිරිවැයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 60% ක් ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 39 % ක් ද ජාතික ජන බලවේගය 1 % ක් ලෙසද වැඩිම පිරිවැය වාර්තා කොට තිබේ.

 

මුලාශ්‍ර සටහන 3 : මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

කෙසේවෙතත් මෙම වියදම් සඳහා ගුවන්විදුලි දැන්වීම් සහ සමාජ මාධ්‍ය සඳහා වියදම් කර ඇති මුදල් ඇස්තමේන්තු ගත කර නැත. අනෙක් අතට සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා කෙරෙන ප්‍රචාරණයන්ගේ වියදම් ඇස්තමේන්තු කිරීම ඉතා අභියෝගාත්මක බව පැවසු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය වැඩි දුරටත් කියා සිටියේ  දැනට ශ්‍රී ලංකාව වෙත ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාව විසින්  ‘AD Library’  පහසුකම හරහා  ඇතැම් උපාංග හා  දත්ත ලබා දුන්නද ඒවා නිවැරදි ගණනය කිරීමක් සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේවෙතත් විශේෂයන්ම ෆේස්බුක් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ලබා දීමට පොරොන්දු වූ සමාජ මාධ්‍ය  දැන්වීම් ප්‍රචාරණයේ විනිවිද භාවය සම්බන්ධ ඇතැම් පොරොන්දු  තවමත් ඉටු වී නොමැති මොහොතක, අපේක්ෂකයන්ගේ හා පක්ෂ වල වල සෘජු පිටු වලට වඩා, ඒවායින් වියුක්තව හා සෘජු සබැඳී නොපෙන්වා  වක්‍ර පිටු හා ෆ්රොයිල් ඔස්සේ කරන දැන්වීම් ප්‍රචාරණය  සහ අන්තර්ගතයන් විශාල වශයෙන් සංසරණය වන වටපිටාවක, හා ඒවා වර්ගීකරණය කෙරෙන ක්‍රමවේදය අනුවත්, අනෙක් සමාජ මාධ්‍ය වේදිකාවන් සම්බන්ධ තත්වය එසේවත් ව්වෘත ව නොවතින තත්වයක මෙම කාර්ය බොහෝ විට ඉදිරියේදී ද  ඉතා දුෂ්කර විය හැකි බව ලියුම් කරුගේ අදහසයි.

සති දෙකක කළ නිරීක්ෂණයන් මත පදනම් ව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා  පමණක් රුපියල් බිලියන 10ක ට ආසන්න මුදලක් සමස්ත ජනාධිපතිවරණයේ ප්‍රචාරණය සඳහා වියදම් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මාධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කළේය.ඉදිරියේ දී  තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත භාවිතා කරමින්ද රාජ්‍ය ආයතන වලින් මෙම ක්‍රියාවලියට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

නියාමනය නොකළ සහ අසීමිත මුදල් භාවිතය හරහා සමහර අපේක්ෂකයින්ට ස්වකීය මුදල් සහ බලය භාවිතාකර අනෙකුත් අපේක්ෂකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ක‍්‍රියාවලියෙන් බැහැර කෙරෙන අන්දමට ක‍්‍රියා කල හැකි වීමත්,නියාමනය නොකළ සහ අසීමිත මුදල් භාවිතය හරහා මැතිවරණ ක‍්‍රියාවලිය තුළ අසමාන තරඟ බිමක් ඇතිකිරීමේ වැඩි ඉඩකඩක් පැවතීමත් හේතු කොට ගැනීම සාධාරණ මැතිවරණයකට දැවැන්ත අභියෝගයකි.

විශේෂයන්ම 2005 ජනාධිපතිවරණය මිලියන 712 එක් ඡන්දදායකයෙකුට රුපියල් 54ක් ද 2010 ජනාධිපතිවරණය මිලියන 1825 එක් ඡන්දදායකයෙකුට රුපියල් 132ක් ද 2015 ජනාධිපතිවරණය මිලියන 2705 එක් ඡන්දදායකයෙකුට රුපියල් 180ක් ද වියදම් වී තිබෙන බවත් මෙවර අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන්  මෙවර ජනාධිපතිවරණය සඳහා දැනට  මිලියන 5500ක් මුදලක් ඇස්තමේන්තු ගත කොට තිබෙන අතර  එක් ඡන්දදායකයෙකුට  ඒ අනුව රුපියල් 360ක් මුදලක් රජය විසින් වැය කිරීමට ද  නියමිත බව ද ඒ අතර අනාවරණය කරන ලදී.

මේ සියල්ල අවධාරණය කරන්නේ මෙරටට මැතිවරණ වියදම් පාලනය සම්බන්ධ නීති පද්ධතියේ ඇති හිඩැසයි.

මැතිවරණ වියදම් පිළිබඳව නීති ඇතුළත් පනතක් සම්මත කිරීම සඳහා 2017 වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්ම කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කොට  එය සම්මත වුවත් පාර්ලිමේන්තුවට  එය ඉදිරිපත් නොවුණු බවද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය ප්‍රකාශ කළ අතර තමන් සතු මෙම නිරීක්ෂණ මැතිවරණ කොමිෂන් සභාවට තමන් විසින් ලබා දීමට බලාපොරොත්තු වන බවත් එමඟින් ශ‍්‍රී ලංකාවේ මැතිවරණයන්හිදී, දේශපාලන පක්ෂ, අපේක්ෂකයින්, ආධාරකරුවන් විසින් කරනු ලබන අසීමිත පිරිවැය නියාමනය කිරීම සඳහා නීතිමය ව්‍යූහයක් ගෙන ඒමට බලපෑම් කිරීමටත්,දේශපාලනයෙහි මූල්‍ය කටයුතු සහ මැතිවරණ ප‍්‍රචාරණයට අදාළ මූල්‍ය කටයුතු පිළිබඳ විනිවිදභාවයක් සහිත පරිසරයක් සහ සංස්කෘතියක් ස්ථාපිත කිරීමටත්, මැතිවරණයන්හිදී මූල්‍ය කටයුතු භාවිතය සම්බන්ධයෙන් වගවීමට ලක්කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය ඉහළ නැංවීමත් අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කරන ලදී.

විශේෂයන්ම පුරවැසියන් ලෙස මෙහිදී පට විශාල කාර්ය භාරයක් පැවරී ඇති බව අපි මතක නොකළ යුතු වෙමු. ප්‍රේක්ෂකයින් ලෙස හුදු මේ නිරීක්ෂණ දෙස බලා සිටීම හැර, අපි කළ යුතු වන්නේ මේ අසීමාන්තික පිරිවැය දරමින් කෙරෙන ජන්ද ව්‍යාපාර සම්බන්ධයෙන් සක්‍රිය විරෝධය පළ කිරීම නොවේද?

ඉෂාරා ධනසේකර | Ishara Dansekara