iMAGE: vikalpa 

පල්ලි සහ හෝටල් ගණනාවක් ඉලක්ක කර ගනිමින් මෑතදී සිදුවූ පාස්කු ප්‍රහාර ශ්‍රී ලංකාවට ඉතා විශාල විනාශයක් ගෙන දුනි. මින් 250 කට අධික පිරිසක් මිය ගිය අතර තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රහාරය සිදුවී දින කිහිපයක් ඇතුළත, ප්‍රහාරයේ අපරාධකරුවන් ශ්‍රී ලංකාවේ ‘රැඩිකල්’ ඉස්ලාමීය කණ්ඩායම්වලට සම්බන්ධව සිටින බව දක්නට ලැබිණි. කෙසේ වෙතත්, වැරදිකරුවන් ඉස්ලාමීය ඇදහිලි අනුගමනය කරන්නන් ලෙස හඳුනාගැනීම ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වෙනස් කොට සැලකීම් සහ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමේ දොරටු විවර කරන්නක් විය. පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට පසු, එක් දිස්ත්‍රික්කයකට වැඩි ගණනක් පුරා මැර කල්ලි විසින් මුස්ලිම් පල්ලි සහ මද්රාසා පාසල් මෙන්ම මුස්ලිම් නිවාස හා ව්‍යාපාර කොල්ල කෑමට හා ගිනි තැබීමේ යෙදිණ. ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබූව ද මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින්ට එරෙහි මහා පරිමාණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට රජය අපොහොසත් විය. රජයේ පාර්ශවයන් විසින් සිදු කළ තක්සේරු මඟින් කියවුණේ 2019 මැයි මස සිදුවූ හානි අතරට මුස්ලිම් පල්ලි 14 ක්, නිවාස 86 ක් සහ කඩ සාප්පු 96 කට සිදු වූ විනාශ කිරීම් ඇතුළත් වන බවයි.

පසුගිය අඩ  සියවසක කාලය තුළ ශ්‍රී ලාංකේය ගැටුම් භූ දර්ශනයෙහි ආධිපත්‍යය දරනු ලැබුවේ රජය සහ දෙමළ බෙදුම්වාදීන් අතර ඇති වූ ජනවාර්ගික සහ භාෂාමය ප්‍රචණ්ඩත්වය විසිනි. මෙම ලිපිය දිවයිනේ ජනවාර්ගික-ජාතිකවාදයේ සහ ප්‍රචණ්ඩත්වයේ සංකීර්ණ වාතාවරණයෙහි වෙනස් කෝණයක් සාකච්ඡා කරන්නකි. පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් පෙර දක්නට නොලැබුණද මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් සිදු වූ පළිගැනීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන් අතීතයේ සිටම දක්නට ලැබිනි.

2018 මාර්තු මාසයේ දිගන, තෙල්දෙණිය, 2018 පෙබරවාරි මාසයේ අම්පාර, 2017 නොවැම්බර් මාසයේ දී ගින්තොට සහ 2014 ජුනි මාසයේදී අලුත්ගම යන නගරවල මුස්ලිම් විරෝධී ප්‍රහාරවල දී සමාන ප්‍රචණ්ඩකාරී රටාවන් දක්නට ලැබුණි. රථ වාහන අනතුරු, ආහාරවලට නුසුදුසු දෑ එක් කිරීම පිළිබඳ චෝදනා සහ ඇතැම් කණ්ඩායම් විසින් සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාර වැනි එකින‍ෙකට ව‍ෙනස් සිදුවීම්  ගැටුම් සඳහා ආරම්භය ලබා දුන්න ද, එකී සිදුවීම් සඳහා වූ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයන් සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙත යොමු විය. සමාජය තුළ පවතින ජන මතය තුලින් ඒත්තු ගන්වන්නේ  මුස්ලිම්වරුන් ඉලක්ක කරගත් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා නව පශ්චාත් සිවිල් යුධ සංසිද්ධියක් වන බවයි. කෙසේ වෙතත්, මුස්ලිම්වරුන්ට එරෙහිව පුළුල් ප්‍රචණ්ඩ ක්‍රියා විසිවන සියවසේ මුල් භාගයේදී ද, ශ්‍රී ලංකාවේ (එවකට සිලෝන් ලෙස හැඳින් වූ) සිදුවිය. 1915 මුස්ලිම් විරෝධී කෝලාහලය මේ දක්වා මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගත් මාරාන්තිකම ප්‍රචණ්ඩත්වය සනිටුහන් කළේය. එය පළාත් පහක් පුරා පැතිරී ගිය අතර ප්‍රතිඵලය වූයේ අවම වශයෙන් මරණ 25 ක්, ස්ත්‍රී දූෂණ හතරක් සහ මුස්ලිම් දේපළ 4,000 කට වැඩි ප්‍රමාණයකට පහර දීමය. ජනයාගේ මතකයෙන් බොහෝ දුරට අමතක වී ඇති මෙම කථාංගය මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ වඩාත්ම විනාශකාරී කථාංගය ලෙස අදටත් දක්නට ලැබේ. ඉහත සඳහන් කළ සිදුවීම් වලට සමාන්තරව, 1915 කෝලාහලය ඊටම අනන්‍ය වූ සිදුවීමක් මගින් අවුළුවන ලද්දකි. කෙසේ වෙතත්, යටත් විජිත යුගයේ හා සමකාලීන ශ්‍රී ලංකාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයන් අභ්‍යන්තර‍යෙන් දිවෙන දිගු කාලීන හේතූන් අතර සමානකම් පවතී. එය ඉස්මතු කිරීම මෙහිදී වැදගත් වේ.

1915 මුස්ලිම් විරෝධී කෝලාහලය යනු ලංකාවේ මුස්ලිම් මුවර් ජනතාවට එරෙහිව සිංහල-බෞද්ධ ජනතාව විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාවකි. එවකට අද  ‍මෙන්ම  සිංහල-බෞද්ධ ජනගහනය දිවයිනේ බහුතරයක් වූ අතර එවකට මුස්ලිම් මුවර්වරුන් ජනගහනයෙන් 6.5% ක් පමණ නියෝජනය කරන ලදී.  ලංකාව මුවර්වරුන් කණ්ඩායම් දෙකකින් සමන්විත විය: ශ්‍රී  ලාංකීය මුවර්වරුන් (5.7%) සහ වෙරළබඩ මුවර්වරුන් (0.8%) වශ‍යෙනි.

1915 කෝලාහලය  සඳහා වූ සමාරම්භක සිදුවීම බෞද්ධ පෙරහැරක් වූ අතර, එය සාම්ප්‍රදායිකව මහනුවර කාසල් හිල් වීදියේ පල්ලිය පසු කරමින් ගමන් කරන ලද වාර්ෂික පෙරහැරක් විය. පල්ලියට සම්බන්ධ ව‍ෙරලබඩ මුස්ලිම්වරුන්ගේ කණ්ඩායමක් ඕනෑම පූජනීය ස්ථානයක යාර 100 ක් ඇතුළත සංගීත භාණ්ඩ නිහඬ කිරීමට නියෝග කළ යටත් විජිත නීතියක් මත පදනම්ව බෞද්ධ පෙරහැරේ ශබ්දය මුස්ලිම් පල්ලියේ යාඥාකරුවන්ට බාධාවක් වූ බව කියා සිටියහ. බෞද්ධ පෙරහැර මහනුවර කාසල් හිල් වීදියේ මුස්ලිම් පල්ලියෙන් ඉවතට හරවා ගැනීමට යටත් විජිත පොලිසිය ගත් තීරණය ප්‍රචණ්ඩත්වය පැතිර යාමේ  සමාරම්භක සිදුවීම විය. මුස්ලිම් පල්ලියේ කටයුතුවලට බෞද්ධ ‘ශබ්ද පූජාවන්ග‍ෙන් සිදුවන බාධා වැලැක්වීමට ගත් තීරණය සිංහල-බෞද්ධයන් දුටුවේ බ්‍රිතාන්‍යයන් මුස්ලිම්වරුන් ව‍ෙත විශේෂ සැලකීම් ලබා දීමට කටයුතු කිරීමක් ලෙසය. මැයි 29 වනදා පාන්දර බෞද්ධ පෙරහැරට සහභාගී වූ පුද්ගලයින් පල්ලියට සහ එහි වන්දනාකරුවන්ට පහර දුන්හ. මෙම ආරම්භක ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් ලෙස පැවතීම‍ෙන් නොනැවතුනු අතර පසුව දිවයින පුරා ඇති වූ කෝලාහල ක්‍ර‍මිකව තිව්‍ර ව‍ෙමින් දින නවයක් පුරා ඇදී ගියේය. කෝලාහල‍ෙයහි  හත්වන දිනය වන විට මුස්ලිම් මූවර් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩත්වය සැතපුම් 165 ක් පුරා පැතිරී තිබුණි. ලෝකයේ වෙනත් තැන්වල සිදු වූ සංහාරයන්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාව අඩු වුවද, ප්‍රචණ්ඩත්වයේ ඉලක්කවල ස්වභාවය – එනම් මුස්ලිම්වරුන් සතු වාණිජ ආයතන ඉලක්කගත වීම අඟවන්නේ  සිංහල-බෞද්ධ එදිරිවාදීකම් මූලික වශයෙන් මුස්ලිම්වරුන්ගේ ආර්ථික ජීවනෝපායන් සහ සාර්ථකත්වය වෙත යොමු වූ බවයි.

1915 කෝලාහලය සඳහා විවිධ හේතූ සාධක ඉදිරිපත් කර ඇත. කෝලාහල පැවති අවස්ථාවේ ලංකාවේ ආණ්ඩුකාර රොබට් චාමර්ස් එය වඩාත් සංක්ෂිප්තව ‘ඇදහිල්ල හා මුදල් පසුම්බිය’ අතර සංයෝගයක් ලෙස දැක්වීය. ආර්ථික හා ආගමික සාධකයන් ප්‍රචණ්ඩත්වයට පාදක වූ වැදගත්ම සාධක විය.

දහනව වන ශතවර්ෂයේ අග භාගයේ සිට නාගරික ප්‍රදේශවල සිංහල වෙළෙඳුන්ට එරෙහිව තරඟ කළ වෙරළබඩ  මුස්ලිම්වරුන්ට එරෙහි අමනාපය වර්ධනය වෙමින් පැවතුනි. එපමණක් නොව, පළමු ලෝක සංග්‍රාමය අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමට දායක වූ අතර ඒවා විකිණීම බොහෝ දුරට පාලනය වූයේ මුස්ලිම් වෙළෙඳුන් විසිනි. මෙම සන්දර්භය තුළ, මුස්ලිම්වරුන්  භාණ්ඩ හිඟයෙන් වාසි ලබා ගනිමින් යුද්ධය අතරතුර ලාභ ලබන්නේ ය යන අදහසක් ද විය.

තවද, බෞද්ධයන් පෙරහැරවලදී ‘ශබ්ද පූජාවන්’ භාවිතා කිරීම සහ මුස්ලිම් පල්ලිවල මුස්ලිම් වන්දනාවේදී නිහඬව සිටීම වැනි විවිධ ආගමික පිළිවෙත් විසිවන සියවසේ මුල් භාගයේ සිට සිංහල-බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් අතර ගැටුමකට තුඩු දී තිබින. එමනිසා, 1915 මැයි 29 වන දින ඇති වූ ආරවුල අලුත් දෙයක් නොව, ඒ හා සමාන කාරණා සම්බන්ධ බිඳුම් අවස්ථා මාලාව තුළින් අඛණ්ඩව ගොඩනැඟුණකි. කෙසේ වෙතත්, නීතිය හා සාමය පිළිබඳ බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රතිපත්තීන් ද, සිංහල-බෞද්ධයන් සහ මුස්ලිම් මුවර්වරුන් අතර ඝර්ෂණයට දායක විය. 1915 පෙබරවාරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගම්පොල අම්බගමුව වීදියේ පල්ලිය පසුකර යාමට තවත් බෞද්ධ පෙරහැරකට ඇති අයිතිය සම්බන්ධයෙන් දිස්ත්‍රික් උසාවියක් විසින් ලබා දී තිබූ තීන්දුව අවලංගු කරන ලදී. 1915 මැයි මාසයේ පෙරහැර කාලය වන විට, පෙරහැරේ ගමන් මාර්ගය පිළිබඳ ගැටලුව අතිශයින් දේශපාලනීකරණය වූ එකක් බවට පත්ව තිබුණි. 1915 පෙබරවාරියේ තීන්දුවෙන් ආතතීන් මතුවෙමින් තිබියදීත්, 1915 මැයි මාසයේදී ආතතීන් උත්සන්න වනු ඇතැයි අපේක්ෂා කිරීමට යටත් විජිත රාජ්‍යය අසමත් වූ අතර එය සිංහල-බෞද්ධයින්ට වඩා මුස්ලිම් සුළුතරයට වාසිදායක යැයි හැඟුණි.

ආර්ථික හා ආගමික දුක්ගැනවිලි තුළින් පැනනැඟුණු ප්‍රතික්‍රියාව 1915 මැයි මාසයේදී බෞද්ධ පෙරහැරක ගමන් මාර්ගය ඔස්සේ සමස්ත මුස්ලිම් මුවර් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ ප්‍රචණ්ඩ ක්‍රියා දාමයක් නිර්මාණය කරන ලදී. 1915 මැයි මස  දී ද, 2019 මැයි, 2018 මාර්තු සහ 2014 ජුනි මාසවල දී, මෙන් සමාරම්භක සිදුවීම සිංහල-බෞද්ධයන් සහ මුස්ලිම් මුවර්වරුන් අතර ඇති අභ්‍යන්තර අර්බුධය පිළිබිඹු නොකරයි. මේ අනුව, අනාගත මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ යාන්ත්‍රණයන් ගැටුම්වල මතුපිට සළකුණු කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට දීර්ඝකාලීන සහ ගැඹුරින් මුල්බැසගෙන ඇති බහුතර හා සුළුතර ප්‍රජාවන් අතර ප්‍ර‍තිවිරෝධතා කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ශමාරා වෙත්තිමුනි |Shamara Wettimuny