iMage: PMD

රාජපක්ෂ මහත්තයලා ප්‍රමුඛ කර ගත් අලුත් ආණ්ඩුවේ ඇමතිවරු දිවුරුම් දීම පසුගියදා මහනුවරදී සිදු කෙරිණි. ඒ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ යැයි හදුන්වන දළදා මාළිගාව අභියස ඇති මගුල් මඩුවේ දීය.

දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමතිවරුන් ඇතුලු පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. එම සමූහ ඡායාරූපය ද ගන්නා ලද්දේ දළදා මාලිගාව ඉදිරිපිටය. ඉන්පසුව එම පිරිස දළදා වහන්සේ වැද පුදා ගැනීම සදහා දළදා මාළිගාව තුළට යන දර්ශන මාධ්‍ය මගින් විකාශය කෙරිණි.

අලුත් ආණ්ඩුවේ පිරිස ඡායාරූපයකට පෙනී සීටිම ගැනත්, ඔවුන් දළදා වහන්සේ වැද පුදා ගැනීම ගැනත් සමාජ ජාල තුළ විවිධ අන්දමින්, විවිධ අන්තර්ගතයන් වේගයෙන් සංසරණය වෙමින් පවතී. ඉන් ප්‍රධාන එකක් නම්, ජනාධිපති, අගමැති ප්‍රමුඛ අලුත් අණ්ඩුවේ මහත්තයලා සහ නෝනා සමූහ ඡායාරූපය ගන්නා ලද්දේ අති උතුම් දළදා වහන්සේ වැඩසිටින මාලිගාවට පිටුපස හරවා යන්නයි. අනෙක නම්, එම පිරිස දළදා වහන්සේ වැද පුදා ගැනීමට දළදා මාලිගාවට පිවිස ඇත්තේ පාවහන් පළදා ගෙන බවය.

ෆෙස්බුක් හී ෂෙයා වන ‘මෝඩ’ අදහසක්

මම නම් මේ වැඩේට මාර කැමතියි. ඒ වගේම රාජපක්ෂ මහත්තුරු ප්‍රමුඛ කර ගත් ආණ්ඩුව විසින් ඒ පෙන්නූ ක්‍රියාව එක් ආදර්ශයක් ලෙසද සැලකිය හැකි නොවේද? එසේ වන්නේ ඇයි? එකක් නම්, ජනාධිපතිතුමා එතුමාගේ දිවුරුම් දීමේ උත්සවය පැවති අනුරාධපුර පුදබීමේදී කිවේ, අපි ජයග්‍රහණය කලේ සිංහල බෞද්ධ ඡන්දවලින් බවයි. එසේ කියන විට අපි සියලු බෞද්ධයේ සාධු කාර වෙනුවට ඔල්වරසන් දුන්නේය. ඒ සියලු බෞද්ධයන් චාරිත්‍රයක් ලෙස ගමේ පංසලට ගියේ, සිය සෙරෙප්පු දෙක ගේට්ටුව අසල තබාය. හාමුදුරුනමක් දැක්ක විගස හිස්වැසුමක් පැළද සිටියා නම් එය ගලවා එකත්පසව වැන්දේය. කිසිදු බෞද්ධයෙක් දළදා මාලිගාව නොව කිසිදු බෞද්ධ සංඛේතයකට තමන්ගේ පශ්චාත් භාගය පෙන්නා ඡායාරූප ගත්තේ නැත. ඇතැම් බෞද්ධයන් දළදා මාලිගාවට පිවිසෙන්නේ සිය පය සෝදා ගෙනය. එයින් පෙන්වන ලද්දේ පංසල්, බෝධිය, විහාර ගෙය, මාළිගා ඇතුලු බෞද්ධ සිද්ධස්ථානවලට ඇති භක්තියය. නමුත් එතෙක් බෞද්ධයන් විසින් ගෙනා ඇතැම් භක්තිවන්ත කම් කිසිම අන්දමකට වැදගත්කමක් නැති බව රාජපක්ෂ මහත්තුරු ප්‍රමුඛ ආණ්ඩුව සිය බෞද්ධ ඡන්ද දායකයාට සිය ක්‍රියාවෙන්ම පෙන්වා දී තිබේ. අන්න ඒ නිසා මම ඒකට කැමතියි. අනෙක් කැමත්ත නම්, ඕනෑම බෞද්ධ සංඛේතයකට සිය පශ්චාත් බාගය හරවා ඡායාරූප හෝ කුමක් කරත් කිසිදු ආකාරයක පවක් සිදු වෙන්නේ නැති බව සිංහල බොද්ධ ඡන්දදායකයාට අලුත් නායකයින් පෙන්වා දී තිබේ. ඒ වගේම ඕනෑම පංසලකට හෝ උතුම් මාලිගාවට වුවද පාවහන් පළදාගෙන ගියාට කිසිදු පවක් සිදුවෙන්නේ නැති බවත් ඔවුන් විසින් පෙන්වා දී තිබේ. (නමුත් පාවහන් පිරිසිදු විය යුතු බව ඒ පිළිබද අදහස් දැක්වූ එක් ෆේස්බුක් පාඨකයෙක් පෙන්වා දී තිබේ)

ඒ නිසා පසුගිය අවුරුද්දක පිදුරංගල පූජා භූමියට සිය පශ්චාත් භාගය හරවා ඡායාරූප ගත් තරුණයින්ට නඩු දැමූ අය දැන් සිය අදහස වෙනස් කර ගත යුතුය. ඒ වගේම නැවතත් එසේ කරන අයට නඩු දැමීමට ගියොත් එයට විරුද්ධ වන්නේ රටේ නායකියින් බව ඒ ඇත්තෝ දැන ගත යුතු නොවේද? ඒ වගේම, මිනිසුන් මරණ, මිනිසුන් අතුරුදහන් කරන, මාධ්‍ය ආයතන ගිණි තියන, මිනිසුන් මහමග දී පැහැර ගන්නා අය වගේම, මහජන මුදල් හොරකං කරන, වැට් බදු වංචා කරන, ළමයි, ස්ත්‍රීන් දූෂනය කරන, නීති කඩන, නීති නවන, කොමිස් ගහන බොරුව සිය දේශපාලනයේ ප්‍රමුඛතම කාර්ය කරගත්, වංචාකාරයින්, සුදු ඇදගෙන සපත්තු ගලවා ගෙන, දෙකට නැමී පංසල් ගානේ ගියාට වැඩක් නැත. ඔවුන්ගේ පවු නැති වෙන්නේ නැත. ඔවුන් හොද මිනිසුන් වන්නේ නැත. හොද දේශපාලකයින් වන්නේ නැත. එවැනි කිසිදු විෂමාචාර දෙයක් නොකරන අය සපත්තු, සෙරෙප්පු දාගෙන පංසල්, මාළිගාවලට ගියාට, සිය පශ්චාත් භාග හරවා ඡායාරූප හෝ වෙනත් දෙයක් ගත්තාට, කිසිදු පවක් සිදුවන්නේ නැත. එයත් පෙන්වා ඇති තවත් එක් ඉගියකි. මම එයටත් මාර කැමතියි.

එම නිසා, වසර ගණනාවක් සිංහල බෞද්ධයන් විසින් ගෙන ආ එම සම්ප්‍රදායන්, චාරිත්‍ර ගැන දැන්වත් සිහියෙන් කල්පනා කළ යුතුය. රටක ‘ජනයා’ නායකයන් අනුගමනය කරනවා නම් එය රටට හොද වන නිසාය. එසේ නායකයන් අනුගමනය නොකරන ‘ජනයා’ සිටී නමි ඔවුන්ට පව් සිදුවිය හැක. එබැවින් ‘මෝඩයන්’ නොවී මේ අලුත් ආදර්ශය අනුව රාජපක්ෂ මහත්තුරුන් ඇතුලු ඒ අයට ඡනද්ය දුන් සිංහල බෞද්ධ පිංවත් ජනයා සිහියෙන් කල්පනා කරමින් සිය ආගමික කටයුතු සිදුකිරීම වටින්නේය.

මේ පිළිබද වෙනත් විදිහකට කියන්නේ නම්, ඇතැම් ‘සිංහල බෞද්ධයන්ගේ භක්තිවන්තකමේ මෝඩ කෑල්ල’ ගලවා ගැනීමට දැන් අලුත් ආණ්ඩුව හොද නියනක් ලබා දී තිබේ. එය භාවිතා කරන්නේ නම් එයද මනරම්ය. එම නිසා රාජපක්ෂ මහත්වරුන් ඇතුලු අලුත් ආණ්ඩුවේ පිරිසේ එම ක්‍රියාව ගැන ෆෙස්බුක් හී බෞද්ධයන් නැවතත් කල්පනා කල යුතුය. දහම් පාසලේ කුමක් ඉගැන්නුවත්, ඉගෙන ගත්තත්, පව් සිදු වන්නේ සහ අගෞරවයට බදුන්වෙන්නේ කෙසේ ද කියා ද ෆෙස්බුක් බෞද්ධයන් මේ සිදුවීම තුළින් කල්පනා කිරීම ද වටින්නේය.

මේ සටහන නිවැරදිව කියවා ගන්නා ලෙස පිංවත් ‘සිංහල බෞද්ධ’ ඔබෙන් ඉල්ලා සිටිමි.

‘මා නොකෙරුවත්, නොකලලෙම් එය ගැරහීම’(අයියනායක, විමලරත්න කුමාරගම)

වසන්ත බණ්ඩාර