iMage: #LuciliAbekoon

වසර ගණනාවකට පසු ලංකා භූමියේ සැලකිය යුතු’වෙනස්කමක්’ සිදුවෙමින් පවතී. එය නම්, පවතින ඕනෑම ආණ්ඩුවකට එරෙහිව විරෝධය දැක්වීම සිදුකරමින් සිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුලු අනිකුත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්ය. නමුත්, එම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් තමන්ගේ ආණ්ඩු විරෝධය වීදියේ අවුලන විට, එම දේශපාලන පක්ෂවල විරෝධතාවලට සෘජු සම්බන්ධයක් නැති ‘මහජනයා’, ‘මහජන කණ්ඩායම්’, ‘තනි පුද්ගලයින්’ විසින් ‘ස්වේච්ඡාමය ආණ්ඩු විරෝධයක්’ වීදියේ සිදු කරමින් පවතී.

මෙම වීදියේ මහජන විරෝධතාවලට විදිමත් නායකත්වයක් නැත. දේශපාලන පක්ෂ මෙන් විදිමත් ආකාරයේ චිත්‍රනය කරන ලද විරෝධතා පුවරු නැත. විදිමත් ආකාරයේ සටන්පාඨ නැත. දේශපාලන පක්ෂ විසින් මෙහෙයවන විරෝධතා මෙන් විදිමත් කැදවීමක් නැත. සෘජු ලෙසම කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ ද නැත.

ඔවුන් සංවිධානය වන්නේ, එක් අයෙක් හෝ කිහිප දෙනෙක් සමාජ මාධ්‍ය තුළ, විශේෂයෙන් ෆේස්බුක් හරහා සිදුකරන දැන්වීමකිනි. එසේ නැතිනම් ට්විටර් හරහා සිදුකරන කැදවීමකිනි. මූලික වශයෙන් මෙම කණ්ඩායම්, පුද්ගලයින් සිය විරෝධතාවය කැදවන්නේඩද, ප්‍රචාරණය කරන්නේ ද සමාජ මාධ්‍ය තුළ වීම විශේෂත්වයකි.

මෙවැනි ආකාරයක ආණ්ඩු විරෝධතාවයක් මීට පෙර ලංකාව තුළ සිදුවී නැති තරම්ය.



විරෝධතාවල මුළික හරය

අපි කවුරුත් දන්නා පරිදි මේ විරෝධතාවල මූලික හරය වන්නේ ජීවන තත්ත්වය පවත්වා ගැනීමට ඇති දුෂ්කරත්වයට විරෝධය දැක්වීමයි. ඩීසල් ඇතුලු ඉන්ධනවල ප්‍රශ්ණය. ගෘහස්ථ ගෑස් පිළිබද ප්‍රශ්ණය. අත්‍යවශ්‍ය බෙහෙත් පිළිබද ප්‍රශ්ණය. සෑම දිනකම පැය ගණනාවක් විදුලිය විසංදි කිරීම පිළිබද පශ්ණය ඇතුලු එදිනෙදා සිය ජීවිතය ගෙවා ගැනීමට ඇති දුෂ්කරතාවය හේතුකොට ගෙන, ආණ්ඩුවට එරෙහිව විරෝධය දැක්වීමයි. එම ව්‍යසනය නිර්මාණය කළ ආණ්ඩුවට එරෙහිව දක්වන විරෝධතාවයකි. මේ සටහන ලියන අවස්ථාවේ ආණ්ඩුව විසින් පනවා ඇති ඇදිරි නීතිය ද නොසලකා සිය ගණනින් මහජනයා මහපාරවල්වල සිය විරෝධය දක්වති. සිය නිවෙස් ඉදිරිපිට විරෝධතා පුවරු රැගෙන විරෝධතා දක්වති. ඇතැම් අය තනිවම විරෝධතා පුවරු ඔසවා ගෙන සිය නිවෙස් ඉදිරිපිට විරෝධතා දක්වති. නිවෙස්වල කලු කොඩි දමති. ජීවත්වීමට ඇති දුෂ්කරතාවයන් හේතුවෙන් මිනිසුන්ගේ ඉවසීමේ සීමාව ඉක්ම ගොස්, රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ‘මහජන විරෝධය’ ප්‍රභල වෙමින් පවතී. එළෙස දක්වමින් ඇති විරෝධතාවයේ කිසිදු ආසාධාරණයක් නැත. රාජපක්ෂ ආණ්ඩුවේ ‘ආණ්ඩුකරන දුර්වලතාවය’ වංචා-දූෂණය සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනය නිසා මහජනතාව දුෂ්කරත්වයට පත් ව ඇති බව කෝමා තත්ත්වයේ පසු වන්නෙකුට හැර පියවි සිහිය ඇති ඕනෑම අයෙක්ට තේරෙනවා ඇත. එබැවින් මහජනයා දහස් ගණනින් රජාපක්ෂ ආණ්ඩුවට එරෙහි දක්වමින් ඇති විරෝධතාවය සාධාරණය. යුක්තිසහගතය. එසේම මෙම විරෝධතා නිර්ප්‍රභූ මහජන විරෝධතාවන්ය.

ඉහතින් දැක්වූ ලෙස වර්ධනය වෙමින් ඇති දැවැන්ත විරෝධතාවයන් ගේ මූලික හරය වන්නේ, ලංකාවේ මිනිසුන්ගේ ජීවත්වීමට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් නොමැතිකම/ හිගකම සහ තිබෙන දේවල් ද ඉතාමත් මිළ අධික වීමයි. කෙටියෙන්ම සටහන් කලොත් ජීවත්වීම පිළිබද ප්‍රශ්ණයයි.

නමුත්, වර්තමාන මොහොත එසේ කියවා ගැනීමේදී,

2009ට පෙර වසර ගණනාවක් උතුරේ මිනිසුන්ගේ හිස මතට බෝම්බ හෙලද්දී මේ ‘මහජනයා’ උතුරේ මිනිසුන්ගේ ජීවිතය වෙනුවෙන් අද මෙන් මහපාරේ විරෝධය දැක්වූයේ නම්…, රෝහල්වලට පවා ගුවනින් බෝම්බ හෙලද්දී, සිය සමීපතමයින් ඇතුලු සන්තකයේ ඇති සියලු දේවල් ඇස් ඉදිරිපිටම විනාශ වී යද්දී, අද දකුණේ විරෝධය දැක්වීමට මහමගට එන ‘මහජනයා’ එදාත්, මහපාරට ආවේ නම්…., මහලු මව්පියන් විසින් සිය දෑතින්ම, තමන්ගේ දරුවන් රජයේ නිළ හමුදාවන්ට බාර දුන් පසු ඔවුන් අතුරුදහන් වු විට මාස ගණන් මහපාරේ සිය දරුවන් පිළිබද තොරතුරක් ඉල්ලා උපාවස කරමින් ඇති මව්පියන් සමග අද පාරට පැමිණි මහ සෙනග සිටියේ නම්…, යුද්දය අවසන් වූ පසුත් සිය නිවෙස් සහ ඉඩම්වල හමුදාව සිය හමුදා කදවුරු පවත්වාගෙන යද්දී, එම දේපල ඉල්ලා සති ගණන් උතුරේ සහ නැගෙණහිර මිනිසුන් විරෝධය දක්වන විට, මේ ‘මහජනයා’ ඔවුන් සමග එකට සිට ගත්තේ නම් ඒ පීඩිත ජීවිත බොහොමයක් බේරා ගැනීමට තිබිණි. වසර ගණනාවක් පැසව පැසව තිබුණු තුවාල සුව වීමට බොහෝදුරට ඉඩ තිබිණි.

එපමණක් ද නොවේ, දකුණේ දී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරද්දී, මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කරද්දී, මාධ්‍යවේදී පෝද්දල ජයන්තගේ කකුල් කඩද්දී මේ මහජනයා එය විරුද්ධව අද මෙන් මහපාරට පැමිණ අපාරධකරුවන්ට එරෙහිව සිය මහජන බලය පෙන්වූයේ නම්….,

දේශපාලන ක්‍රියාකාරීක ලලිත්-කූගන් අතුරුදහන් කරද්දී, රතුපස්වල වතුර ඉල්ලූ මිනිසුන්ට වෙඩි තබද්දී, හලාවත ඇන්ටනීව වෙඩි තබා ඝාතනය කරද්දී, නිදහස් වෙළද කලාපයේ රොශේන් චානක ඝාතනය කරද්දී මේ මහජනයා අපරාධකරුවන්ට එරෙහිව පෙනී සිටියේ නම්….., ඔවුන් සියලු දෙනා තවමත් අප අතරය. එසේත් නැත්නම් අපරාධකරුවන් නීතිය හමුවට පුමුණුවා යුක්තිය ලැබී තිබෙන්නට ඉඩ තිබිණි. අලුත්ගම, දිගන ආදී ප්‍රදේශවල මුස්ලිම් මිනිසුන්ට එරෙහිව ජාතීවාදින් විසින් වෛරය වපුරා මිනිස් ජීවිත පවා බිල්ලට ගනිද්දී, එයට විරුද්ධව අද මෙන් පෙනී සිටියේ නම්, මහපාරේ විරෝධය දැක්වූයේ නම් අවම ලෙස ජාතීන් අතර සිදුවූ හානිය අවම කර ගන්නට තිබිණි. තවත් මේ ලැයිස්තුව දීර්ඝව ලිවිය හැකිය. නමුත් ඉහත සදහන් කළ ‘මිනිසුන්ගේ ජීවිතය’ පිළිබද ප්‍රශ්ණවලට සෘජුවම සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින්නේ කවුද යන්න ලෝකයම දන්නා කරුණකි. නමුත් කිසිදු ආණ්ඩුවක් ඉහතින් දැක්වූ සහ තවත් අපරාධවලට වගකිව යුතු කිසිවෙක් නීතිය හමුවට පමුණුවා නැත. කිසිදු වින්දිතයෙක්ට යුක්තිය ඉටු කර දී නැත. එබැවින් මේ පාරට ආ ‘මහජනයා’ වින්දියන්ගේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටියේ නම්, අද මෙවන් පීඩාකාරී, ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයක ගොදුරු බවට පත්වීම වැළකීමට ඉඩ තිබිණි.

නමුත් එසේ වූයේ නැත.

ඇයි? මේ බොහොමයක් ලාංකිකයන් සිය සුවපහසු ජීවිතය ව්‍යවුල් වී දුෂ්කර වෙනවාට කැමති නැත. එය සාධාරණ මිනිස් හැගීමකි. ඒ නිසා සිය ජීවිතයේ පහසුව මර්දනය කරන ආණ්ඩුවට එරෙහිව ඔවුන් විරෝධය දක්වති. පාරට එති. රිසි සේ ආණ්ඩුවට දෙස් දෙවොල් කියති. ඉල්ලා අස්වෙන්න යැයි කියති. ආපු රටටම යන්න යැයි කියති. මේ සියලු දේවල් සිදුකරන්නේ සිය ජීවිතයේ පහසුව මර්දනය කිරීම හේතුවෙන් පැන නැගි තරහ, වේදනාව මුසු කරගත් විරෝධය නිසාවෙනි.

නමුත්, ප්‍රජාතන්ත්‍රවාදී නොවන අධිකාරීවාදී පාලනයක් පවත්වාගෙන යන විට ඔවුන්ගෙන් බොහොමයක් මහජනයා නිහඩව එම පාලකයන් වෙනුවෙන් පෙනී සිටියි. මානව හිමිකම් උල්ලංඝනය කරමින් ආණ්ඩුකරණය ගෙන යන විට නිහඩව බලා සිටියි. ජාතිවාදය පාවිච්චි කරමින් මිනිසුන් අතර වෛරය වපුරණ විට එක්කෝ ඒ වෙනුවෙන් පෙනී සිටියි. නැතහොත් නොදැක්කා සේ සිටියි. පසුගිය කාලය පුරාම සිදුවූයේ එයයි.

එබැවින් මේ මහජන විරෝධතාවලින් පසු එළඹෙන මොහොත වන්නේ ඉහත සදහන් කළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස වැනි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන් පෙනී සිටින පුරවැසියෙක් නිර්මාණය කර ගැනීමය. එසේත් නැතිනම්, පාලකයන් හෝ කුමන අධිකාරියක් හෝ මහජනයාගේ ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් මර්දනය කරමින්, කුමන හෝ ක්‍රමයකින් සිය බලය පවත්වා ගැනීමට දරණ උත්සහයන්ට විරුද්ධව පෙනී සිටින පුරවැසියෙක් නිර්මාණය කර ගැනීමය.

එය සිවිල් සමාජයේ මෙන්ම ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරවල ප්‍රමුඛ වගකීමක් වන්නේ ය. එසේ නොවුනහොත් ඊලගට පැමිණෙන පාලක බලවේගයද, මෙවන් ලෙස මහජනයා පීඩාවට පත්කරන පාලන තන්ත්‍රයක් වීම වලක්වා ගත නොහැකිය.

එම නිසා පශ්චාත් රාජපක්ෂ මොහොත තීරණාත්මකය. ඒ ප්‍රජාතන්ත්‍රවාදය අර්ථයෙනි.