සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛හන්දි ගානේ – කිරිබත් කෑ, දකුණට දැන් – මර්දනේ’’ – ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ

අධිකරණයට අපහාස කළා යැයි චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පසුගියදා බන්ධනාගාර නිළධාරින් පහර දීමට එරෙහිවත් සහ එම අධිකරණමය ක්‍රියාවලිය අවසන් වන තෙක් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අත්හිටුවීමටත් විරෝධය දක්වමින් අද(09) දහවල් කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීය.

මෙහිදී අදහස් දැක්වූ ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත, “දශක තුනක් විතර අපි ජනමාධ්‍ය නිදහස සඳහා සටන් කළා. නමුත් තවම අපට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමටත්, ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමටත් ඉඩ දීලා නැහැ. ඒ නිසා වත්මන් ආණ්ඩුවත්, ජනමාධ්‍ය ඇමතිවරයාත්, පොලීසියත්, අධිකරණයත් ජනමාධ්‍ය නිදහස අහිමි කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කිරීමටත් වගකිව යුතුයි.”

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදීන් සංවිධානය කළ එම විරෝධතාවයේ සටන් පාඨ කිහිපයක් සහ ඡායාරූපයි.

ලියන කියන – නිදහස දී
අවනීතිය – හකුලගනිව්

අධිකරණයේ – කන්‍යාවිය
කෙළෙසන උන් – පන්නාපිය

ලංකා එකට – සීල් තිව්වා
ලංකා ඊ – නිව්ස් වැහුවා
ආසියාවේ – ආශ්චර්ය
රෙද්ද පල්ලේ – බේරෙනවා

මුදා ගත්තා – කියලා කියපු
උතුරේ තාම – මර්දනේ
හන්දි ගානේ – කිරිබත් කෑ
දකුණට දැන් – මර්දනේ
පෑනට සහ – කැමරාවට
බැට දෙනවා – මර්දනේ
අන්තර්ජාලෙ – ඇතුළෙත් දන්
ආණ්ඩුවේ – මර්දනේ
හකුල ගනිව් – හකුළ ගනිව්
ජනයා පෙළන – මර්දනේ

By Sampath Samarakoon