Colombo, Featured Articles, Features, Puttalam

පට්නි රසීක් පැහැරගැනීම, මරණය සහ නීතියේ පාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

2010 පෙබරවාරි 11 දා පොළොන්නරුවේ දී පට්නි රසීක් අතුරුදහන් විය. ඔහුගේ මළ සිරුර 2011 ජූලි 28 දා වාලච්චේන, ඕටමාවඩියෙහි අඩක් නිමැවූ නිවසක පොළව යට වළ දමා තිබී සොයා ගැනුනි. මානව හිමිකම් ආරක්ෂකයකු වූ පට්නි රසීක් පුත්තලම පදනම කරගත් ප්‍රජා භාරකාර අරමුදල නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියකු විය. ඔහුගේ මළ සිරුර සොයා ගැනුනේ සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවකු වූ ඉස්මයිල් මොහොමඩ් මුස්ඩීන් විසින් ලබා දුන් තොරතුරු අනුව ය. ඔහු ඕටමාවඩිවාසී, හිටපු ආණ්ඩු පක්ෂ පා.ම. අමීර් අලිගේ සමිපතමයෙකි. එමෙන්ම මේ වන විට ආණ්ඩු පක්ෂ පුත්තලම පා.ම. රිෂාඩ් බදුර්දීන් ගේ සමීපතමයකු වන සහබ්දීන් නව්ෂාද් ද සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම අත් අඩංගුවට ගැනීම් දෙකම සිදු වූයේ රසීක් අතුරුදහන්වීමෙන් දින 500ක් ඉක්ම ගිය දින සහ ඉන් පසු පවත්වන ලද ප්‍රබල උද්ඝෝෂණ ව්‍යාපාරයන් හේතු කොට ගෙන ය. රසීක් අතුරුදහන්වීම කරන කොට විරෝධතාවයන්, පෙත්සන් සඳහා අත්සන් එක් කිරීම්, අත් පත්‍රිකා බෙදා හැරීම් යනාදී නිම නොවන ව්‍යාපාරයක් ගොඩ නැගී තිබුණි. මෙම ව්‍යාපාරයන්හි කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කරන ලද්දේ රසීක්ගේ පවුලේ උදවිය සහ පුත්තලමේ මුස්ලිම් ප්‍රජා නායකයින් ය.

එසේ නමුත් රසීක් පිළිබඳ ප්‍රශ්ණය කාලයේ වැලි තලාවෙන් වසා දමනු පිනිස එකී උද්ඝෝෂන ව්‍යාපාර මර්දනය කිරීමටත්, නිසි පරීක්ෂණයක් සිදු නොවන බවට වග බලා ගැනීමටත් අපරාධකරුවෝ සහ අපරාධ සහායකයෝ විවිධ පියවර ගත්හ. මෙම ක්‍රියාවලිය තුළ පුත්තලම පා.ම. අමාත්‍ය රිශාද් බදුර්දීන්ගේ භුමිකාව ඉතා සැක කටයුතු විය. පොලීසිය පරීක්ෂනය ගෙන ගියේ ඉබි ගමනිනි. මානව හිමිකම් කොමිසම සුපුරුදු නිද්‍රාවේ ගැලී සිටියේ ය.

මළ සිරුර හමුවීමෙන් පසු පැවති අවමඟුලට 5000ක් ඉක්මවූ පිරිසක් සහභාගී වූ අතර අමාත්‍ය රිශාද් බදුර්දීන් විරෝධී සටන්පාඨ එහි රුව්පිළිරුව් දුන්නේ ය. අවමඟුල් දිනයෙහි පුත්තලම සහ අවට සුදු සහ කලු කොඩි එසවුණු අතර බිය ගන්වන සුළු පත්‍රිකාවක් නොසළකා විරෝධය පළ කරනු පිනිස කඩ සාප්පු වසා දැමුණි.

2010 මැයි මාසය වන විට සහබ්දින් නව්ශාද් පැහැරගැනීමේ ප්‍රධාන සැකකරු ලෙස පොලීසිය විසින් හඳුනාගෙන තිබුණි. නමුත් ඉන් වසරක් ගතවන තුරුම ඔහු අත් අඩංගුවට ගැනුනේ නැත. ඒ අතර වාරයේ ඔහු තමා ඇමැතිවරයාගේ බලකණුවක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටියේ ය. පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේ රසීක් නංවා ගනු ලැබුණේ රිශාද් බදුර්දීන්ගේ යටතේ වූ නවුශාද් ගමන් කරමින් සිටි ‛යළි පදිංචි කිරීමේ’ අමාත්‍යාංශයේ වාහනයකට ය.

එවකට අමාත්‍ය රිශාද් බදුර්දීන්ගේ ස්ථිර ලේකම්වරයා වූ එස්.ආර්.එම්. ඉර්ශාද් 2010 ඔක්තෝබර් 10 දින ප්‍රසිද්ධියේ කියා සිටියේ රසීක් ආරක්ෂ අමාත්‍යාංශයේ රඳවාගෙන සිටින බව ය. ඔහු තවදුරටත් කියා සිටියේ ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සංවිධානයේ මුදල් එල්ටීටීයට යැවීම සිදුවුයේ ද රසීක් හරහා බවයි. එනමුත් පොලීසිය තවමත් ඔහුගෙන් එම ප්‍රකාශය ගැන ප්‍රශ්ණ කර නැත.

රසීක් අතුරුදහන්වීමත් සමඟම ඔහුගේ පවුලේ අයට සහ ප්‍රජා භාරකාර අරමුදලට රසීක්ගේ දුරකථනයෙන් කපපම් ඉල්ලා එක දිගට ඇමතුම් ගලා ආවේ ය. රසික් සමඟ සබඳතාවයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඔහුගේ දුරකථන බිල ගෙවන ලෙසට ද ඔහු පැහැරගත් පිරිස් විසින් අනතුරු හඟවන ලදී. මෙම ඇමැතුම් දුන් අපරාධකරුවෝ රසීක් බේරා එවීමට නම් රුපියල් මිලියන 20ක් කප්පම් ලෙස ගෙවිය යුතු බවටත්, ප්‍රජා භාරකාර අරමුදල වසා දැමිය යුතු බවටත් එහි අරමුදල් ‛නජූම් භාරකාර අරමුදල’ට බැර කළ යුතු බවටත් තර්ජනය කළහ. මෙම ඇමැතුම් පිළිබදව පොලීසිට දැනුවත් කරන ලදී.

2010 මාර්තු මාසයේ දී රසීක්ගේ හිතවතියක වූ රිෆානාට ඇමතුමක් දුන් අපරාධකරුවෝ එදිනෙදා වියදමට රුපියල් මිලියනයක් වහාම ලබා දෙන ලෙස තර්ජනය කළහ. රිපානා මේ පිලිබඳව පුත්තලම පොලීසියට පැමිණිළි කළේ ය.

තමන්ට රසීක් සමඟ කතා කරන්නට හෝ ඔහු බැහැ දැකීමට අවස්ථාව සලසන්නේ නම් කප්පම් ගෙවීමට ප්‍රජා භාරකාර අරමුදල සහ පවුලේ අය 2010 අප්‍රෙල් මාසයේ දී එකඟ වූහ. ඒ සඳහා කොළඹ ගුණසිංහපුර මුස්ලිම් දේවස්ථානයේ තබා ඇති පාර්සලයක් ගන්නා ලෙස අපරාධකරුවෝ දන්වූහ. අප්‍රෙල් 04 දා ලබාගත් එම පාර්සලයේ රසීක්ට අයත් ඇස් කණ්නාඩිය සහ හැඳුනුම්පත් ඇතුළු භාණ්ඩ ගණනාවක් විය. අප්‍රේල් 11 දින එවැනි තවත් පාර්සලයක් වත්තල මුස්ලිම් දේවස්ථානයේ දී ලබා ගැනුන අතර එහි ජංගම දුරකථන සිමි කාඩ් දෙකක් විය. ඉන් එකක් තමන් සමඟ කතා කිරීමට යොදා ගත යුතු බවට අපරාධකරුවන් දන්වා තිබුණි. 2010 සැප්තැම්බර් මාසය වනතුරු මෙළෙස කප්පම් දුරකථන ඇමැතුම් ලැබුණ අතර මුදල් ලබා දීමට රසීක් බැහැ දැකිය යුතු බව පවුලේ අය කියා සිටීමෙන් පසු එම දුරකථන ඇමැතුම් නතර විය.

රසීක්ගේ පවුලේ අය ඔහු අතුරුදහන් වූ වහාම 2010 පෙබරවාරි මාසයේ පොලොන්නරුව සහ පුත්තලම පොලීසිවල පැමිනිලි දැමූහ. ඉන් තෙමසක් ඇතුළත රසීක්ගේ දුරකථනයෙන් කප්පම් ඉල්ලා තර්ජන කිරීම ගැන සහබ්දීන් නවුෂාද් සැක කරන බව 2010 මැයි මාසයේ දී පොලීසිය පුත්තලම මහේස්ත්‍රාත් උසාවියට දුනුම් දුන්නේ ය. සමහර කප්පම් තර්ජන කර තිබුනේ නවුෂාද් නමට ලියාපදිංචි වී තිබූ ජංගම දුරකථන අංකයකිනි. අවසානයේ දී පොලීසියේ කොළඹ අපරාධ ඩිවිෂනය විසින් නවුෂාද් අත් අඩංගුවට ගැනුනේ ඊට මාස නමයකට පසු 2011 ජූලි 08දා ය. එනම් ඔහු ප්‍රධාන සැකකරු වශයෙන් පොලීසිය අධිකරණයට දැනුම් දීමෙන් මාස 14කට පසු ය! ඉන් දින 5කට පසු මුස්ඩීන් අත්අඩංගුවට ගැනුනි.

තමා අත්අඩංඟුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා 2010 ඔක්තෝබරයේ දී නවුෂාද් මහාධිකරණයේ මෝසමක් ගොනු කළ අතර තමා අත් අඩංඟුවට ගතහොත් එය අමාත්‍ය බදූර්දීන්ට අවමානයක් වනු ඇතැයි ඔහු සඳහන් කළේ ය. ඇමැතිවරයා සමඟ ඔහුට තිබූ සම්බන්ධය නිසා තමා අත් අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට ඔහු පියවර ගත්තේ ය. ඒ සදහා මහාධිකරණයේ දී නවුෂාද් වෙනුවෙන් පෙනී සිටියේ අමාත්‍ය බදූර්දීන් සභාපතිවරයා වන සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ලේකම් ෂහීඩ් ය.

රසීක් පැහැර ගැනීමෙන් දින හතරකට පසු ඔහුගේ පවුලේ අය මානව හිමිකම් කොමිසමට ද පැමිනිලි කළේ ය. එනමුත් වසරක් යන තුරු ම මානව හිමිකම් කොමිසමෙන් ඔවුන්ට කිසිවක් දැන ගන්නට ලැබුණේ නැත. 2011 ජුලි 04 දා එනම් පැමිනිල්ලෙන් මාස 14කට පසු මානව හිමිකම් කොමිසම රසීක්ගේ පුත්‍රයා වූ රික්ෂාන් පරීක්ෂණයක් පිනිස කැදවන ලදී. අතුරුදහන්වීමක් පිළිබද පරීක්ෂණය ආරම්භ කිරීමට මානව හිමිකම් කොමිසම මාස 14ක් ගත්තේ ය!
රසීක් පැහැර ගැනීමෙන් පසු විවිධ පිරිස් විසින් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ඔහු සහ ප්‍රජා භාරකාර අරමුදල ගැන විවිධ කතාන්තර පතුරුවන ලදී. එහි කොටසක් ලෙස රසීක් ගැහැණු සොඬකු බවටත් දූෂිතයකු බවටත් ප්‍රබල ව්‍යාපාරයක් දියත් විය. ඊට සමාන්තරව තර්ජන සහ බිය ගැන්වීම් ද මුදා හැරුනි. පවුගේ අයවලුන්ට දුරකථන ඇමැතුම් දුන් අපරාධකරුවෝ උද්ඝෝෂන නතර නොකළ හොත් වෙඩි තබා මරා දමන බවට දිගටම තර්ජනය කළහ. පුත්තලම නගරයේ බෙදා හැරුනු එවැනි තර්ජනාත්මක අත් පත්‍රිකාවකින් රසීක්ට විවිධ චෝදනා ඉදිරිපත් කර රසික්ගේ හිතවතුන්ට දඩුවම් කරන ලෙස අමාත්‍ය බදූර්දීන්ට ආයාචනා කර තිබුණි.

එමෙන්ම අමාත්‍ය බදුර්දීන්ගේ පැමිණිල්ලක් මත ප්‍රජා භාරකාර අරමුදල පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වූ ආරක්ෂ අමාත්‍යාංශය 2011 ජූනි මාසයේ දී එය ආණ්ඩුවේ රාජ්‍ය නොවන ලේකම් කාර්‍යාලයට පවරා එහි පාලනය පුත්තලම භාර හමුදා බ්‍රිගේඩියර්වරයාට යටතට පත්කරන ලදී. මෙම පරීක්ෂණය පාර දෟශ්‍යභාවයෙන් තොර වූ අතර පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කැරුනේ නැත.

නවුෂාද්ගේ නීතිඥයා අධිකරණයෙන් පිටත දී පුත්තලම මුස්ලිම් දේවස්ථාන කමිටුවේ මව්ලවි අබ්දුල්ලාට තර්ජනය කරමින් කියා සිටියේ රසීක් පිළිබඳව දිගටම වැඩ කළහොත් ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලවා වෙඩි තබා මරා දමන බවට ය. ප්‍රජා භාරකාර අරමුදලේ සේවය කළ රිෆානට තර්ජනය කළ අපරාධකරුවෝ අරමුදලේ සම්පත් පිලිබඳව තොරතුරු ලබා නොදුනහොත් ඇගේ පුත්‍රයා මරා දමන බවට කියා සිටියහ. යම් යම් අවස්ථාවන්හිදී මෙම තර්ජන ඇමතුම් ආ දුරකථන අංක පොලීසියට ලබා දෙන ලද නමුත් කිසිවකු අත්අඩංගුවට නොගැනුනි. ඉන් එක් අංකයක් වූයේ රසීක් ගැන කටයුතු කළහොත් මුස්ලිම් දේවස්ථාන කමිටුවේ ලේකම් අජ්මයිල් විනාශ කර දමන බවට තර්ජනය කළ 072 9122269 දරණ අංකය යි.
අවසානයේ දී සැකකරුවන් දෙනෛකු අත්අඩංගුවට ගැනුනේ පවුලේ උදවිය, පුත්තලම ප්‍රජා නායකයින් සහ සංවිධාන, දේශීය සහ අන්තර් ජාතික සිවිල් සමාජ සංවිධාන විසින් ඉදිරියට ගෙන එන ලද ව්‍යපාරයන් පසුබිමෙහි ය. පරීක්ෂනය ඉදිරියට යන්නේ ද යන්න තවම නොපෙනේ. මේ අතර රසීක් මිය ගොස් ඇත්තේ හෘදයාබාදයක් වැළදීම නිසා යැයි ද දැන් කතාවක් පතුරුවමින් තිබේ.

පරීක්ෂණය යට ගැසීමට අවලාද, තර්ජන සහ දේශපාලන බලය යොදා ගැනුනේ ප්‍රසිද්ධියේ ම ය. ආරක්ෂක අමාත්‍යාංශයේ නම ද ඊට ගෑවුනි. අමාත්‍ය රිශාද් බදුර්දීන්ගේ දේශපාලන බලය මෙම පරීක්ෂණය පමාවීමට එක් හේතුවක් වී යැයි කල්පනා කරන පිරිස් ද වෙති. සමස්ත පරීක්ෂනයම විසින් පෙන්නුම් කරන්නේ අතුරුදහන්වීමක් උදෙසා සාධාරණය ඉටුකර ගැනීමට වත්මන් ශ්‍රී ලංකාවේ කොතරම් දුෂ්කරද යන්න යි.

(රුකී ප්‍රනාන්දු විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියක් ද ඇසුරිනි)

සුනන්ද දේශප්‍රිය

රාසික්ගේ අවසන් කටයුතු සිදුකල පුත්තලමේ අවස්ථා කිහිපයක්