සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

දුමින්දට සනීප වෙනකං


සමහරුන් පවසන්නේ දුමින්දට සනීප නොවන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්දට බාගෙට සනීප වෙන බවයි. තවත් සමහරු කියන්නේ දුමින්ද සනීප නොවුණොත් ලංකාවට සනීප බවයි. තවත් අයට අනුව දුමින්ද සනීප වුණොත් ආණ්ඩුව අසනීප වෙන බවයි. සමහරෙක් පවසන්නේ දුමින්ද කිසිම අසනීපයක් නැති බවයි. කෙසේ නමුත් මුළු ලංකාවම අද දුමින්දට සනීප වෙනකං බලා සිටිති. පෘථිවියේ අනෙක් රටවල් වල හිරු වටා කැරකෙද්දී ලංකාව පමණක් ජයවර්ධන පුර රෝහල වටා කැරකෙන්නේ ඇයි? ඒ, ආණ්ඩුව මේ නාටකය කෙලෙස අවසන් කරනු ඇත්දැයි යන කුතුහලය නිසාවෙනි. නමුත් දුමින්දට සනීප වුණොත් ඔහුට අත්විය හැකි ඉරණම මේ වන විටත් මෙම දේශපාලන ක්‍රමය විසින් ලියා අවසන්ය. ඒ ඉරණමට අනුව දුමින්දට කිසිවක් සිදුවීමට නියමිත නැත. එබැවින් දුමින්දට සනීප වන තෙක් බලා සිටියාට වැඩක් නැත.

අපරාධ පරීක්ෂණ පෙරනිමිති

මිනිසෙකු ඝාතනය කිරීම හෝ ඝාතනයට අනුබල දීම යන චෝදනා යටතේ දුමින්ද සිල්වාට දඬුවම් කිරීමට ඕනෑ තරම් සාක්ෂි ඇත. නමුත් අපරාධ පරීක්ෂණ පෙරනිමිති වලින් පෙනෙන ආකාරයට භාරතගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිදු අයුරකින්වත් දුමින්දව සම්බන්ධ වීමට ඉඩ නැත. අපරාධ පරීක්ෂණ හෝඩුවාවලට අනුව වරදකරුවන් වනු ඇත්තේ පාතාලයයි. නැතිනම් පොලිස් භටයෝය. එනම් ඒ මරණයේ ගිණුමත් බැර වනු ඇත්තේ පොලීසියේ හෝ පාතාලයේ වේෂයෙන් සිටින පහළ පාන්තික තරුණයක් කිහිපදෙනෙක්ටය. සමහර විට දුමින්ද සහ භාරත කරට අත දමාගනිමින් සුහද කතාබහක යෙදී සිටින විට කුමන්ත්‍රණකාරී පාතාලයේ සාමාජිකයන් විසින් භාරතට සහ දුමින්දට වෙඩි තබා ඇති බවට සාක්ෂිත් සමග ප්‍රවෘත්තියත් පල වුවහොත් එය පුදුම විය යුතු නැත. නැතිනම් දුමින්ද එපා කියද්දී තමා භාරතට වෙඩි තැබූ බව පොලිස් භටයෙක් පිළිගත්තොත් එයටද පුදුම විය යුතු නැත. ලංකාවේ අපරාධ පරීක්ෂණ ඒ තරමට නාට්‍යමය නිගමනයන්ගෙන් යුක්තය. ලංකාවේ ජනතාවට ද අවශ්‍ය වන්නේ හරි වැරැද්ද නොව පිළිගත හැකි කතා පුවතකි. ඒ කතා පුවත නුදුරේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රචනයෙන් සහ ජනමාධ්‍ය වල අධ්‍යක්ෂණයෙන් කරලියට පැමිණය හොත් ජනතාව එය පිළිගන්නාවට කිසිදු සැකයක් නැත. අතීතයේ දී ලංකාවේ අපරාධ පරීක්ෂණය ස්වාධීන වූවා නම් දුමින්ද අද සිටින්නේ බන්ධනාගාරයේය. අතීතයේදී ලංකාවේ ජනතාව විචාරවත් වූයේ නම් දුමින්ද අද පාර්ලිමේන්තුවේ සිටින්නට විදිහක් නැත. ඉතින් අතීතයේ අපරාධ පරීක්ෂණ භාවිතාව පවසන්නේ, දුමින්ද ඉදිරියටත් වරදකරුවෙකු වීමට නියමිත නැති බවයි.

මැර දේශපාලනයේ වෙළඳ පොළ තර්කනය

පුවත් පතකට අනුව, කවුරුවත් නැති අවස්ථාවන් වලදී දුමින්ද තමා ලඟ සිටි බව ආරක්ෂක ලේකම් වරයා පවසා ඇත. කොළඹ නිවාස කඩා ඉවත් කිරීමේදී තමන්ට දුමින්දගේ සහය නොඅඩුව ලැබුණ බව ඔහු තවදුරටත් පවසා ඇත. සන්ධානයේ රැස්වීම් වලට මිනිසුන් ඉල්ලූ විට කොයි ලෝකෙන් හරි මිනිසුන් ගෙන්වීමට දුමින්දට හැකි වී ඇත. එබැවින් පවතින දේශපාලන ක්‍රමයට දුමින්දව අත්‍යවශය. පවතින දේශපාලනයේ පැවැත්මේ වැඩි කොටසක් දරා ඇත්තේ දුමින්දය. එබැවින් දුමින්දගෙන් තොර ලෝකයක් සිතන්නටවත් බැරිය. ඉතින් දුමින්දව හිරේ යවලා කොහොමද? ඔහුට දඬුවම් දීමෙන් මැර දේශපාලනය අවසන් වේ යැයි කවුරුන් හෝ සිතනවා නම් එය ද මුලාවකි. ඔහු නැතත් ලංකාවේ මැර දේශපාලන අවකාශය ඇත. ඒ සඳහා ඉල්ලුමක් ඇත. ඉතින් දුමින්ද කරනු ලැබුවේ වෙළඳපොළ තර්කනයට අනුව එම ඉල්ලුමට සැපයුමයි. දුමින්ද නැත්නම් වෙනත් සැපයුම්කරුවෙක්ගෙන් හෝ ඇබෑර්තුව පුරවා ගැනීමට වගකිවයුත්තන් කටයුතු කරනවා ඇත. මෙහිදී දුමින්ද හිරේ යනවාද නැද්ද යන්න තීරණය වන්නේ මැර අවකාශය පිරවීමට සිටිනා ඊළඟ සැපුයම්කරුවාගේ කාර්යසඵලතාවය මත මිස දුමින්දගේ වැරදි මත නොවේ. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක තනතුර දුමින්දට ලැබෙන්නේ මෙම වෙළඳ පොළ තර්කනය මතය. දුමින්ද ඉදිරියේ පරණ ශ්‍රී ලංකා නිදහස් දේශපාලකයන් කුඩා කුඩා අංශු බවට පත්වන්නේ මෙම වෙළඳ පොළ තර්කනය මතය.

කේඬෑරී වූ ජීවිත ඕනෑ තරම් ඇත

දුමින්දගේ සහ බන්ධනාගාරයේ සිටිනා මිනිසුන්ගේ දේහ ලක්ෂණ අනුව බලන විට කිසිවිටෙකත් දුමින්ද එවන් බිමකට සුදුසු නැත. එසේ සුදුසු වූවා නම් දුමින්දගේ දේහ ලක්ෂණ වලට සමාන තව බොහෝ පිරිසකගෙන් ලංකාවේ බන්ධනාගාරයන් පිරී ඉතිරී යන්නට ඉඩ තිබිණ. නමුත් ලංකාවේ බන්ධනාගාර පිරී ඇත්තේ කේඬෑරී වී ගිය මිනිසුන් රොත්තකිනි. මෙම මිනිසුන්ගේ කෘශ වූ ශරීරයන් නිහඬවම පවසන්නේ ඉතිහාසයේ පටන්ම සැබෑ වරදකරුවන් බන්ධනාගාරගත නොවූ බවත්, මේ තාක් බන්ධනාගාරගත වූයේ පහළ පන්තිවල කිසිවක් කර කියා ගත නොහැකි අහිංසක මිනිසුන් පමණක් බවත්ය. දුමින්දලාට ලැබුණු දේවල් තමන්ට උපතින්ම උරුම නොවූ නිසා ඒවා ලබා ගැනීමට යාම අවසානයේ නැවතුණේ බන්ධනාගාරයෙන් බව මේ මිනිසුන්ගේ පරාජිත ජීවිත පවසනු ඇත. දුමින්දලා ගෙවන ජීවිතයෙන් යම් ප්‍රමාණයක් හෝ ලබා ගැනීම සඳහා රැකියාවක් ලෙස දුමින්දලා වෙනුවෙන් බන්ධනාගාරගත වන බව මේ මිනිසුන්ගෙන් සමහරෙක් පවසනු ඇත. අද භාරතගේ ඝාතනය සඳහා දුමින්ද බන්ධනාගාරගත වීමට නියමිත නැති නිසා ඒ වෙනුවට තවත් කේඬෑරී වූ ජීවිත කිහිපයක් බන්ධනාගාර ගත වීමට නියමිතව ඇත. එක්කෝ ඒ පොලිස්භටයෙක් විය හැකිය. නැතිනම් පාතාල සාමාජිකයෙක් විය හැකිය. නැතිනම් සුළු හොරකමකට පොලීසියට හසු වූවෙකු විය හැකිය. නැතිනම් කුඩු උරණ තරුණයෙක් විය හැකිය. මෙවන් මිනිසුන් තවත් ඕනෑ තරම් බන්ධනාගාරයනේ පිටත ඇත. එමෙන්ම මෙවැනි මිනිසුන් ඕනෑ තරම් බිහිකළ හැකි යාන්ත්‍රණයක් බන්ධනාගාරයෙන් පිටත ඇත. එවන් මිනිසුන් සහ එවන් යාන්ත්‍රණයක් බන්ධනාගාරයේ පිටත තිබෙන තාක් දුමින්ද සිල්වලාට ඕනෑතරම් මැරකම් කිරීමට ඉඩ ඇත.