සිංහල, Colombo, Democracy, Governance

සුපිරි පුරවැසි දුමින්ද සිල්වා නීතියට උඩින් ඉගිල්ලී ගියේය.


රටක ආණ්ඩුවක් නීති විරෝධීව කටයුතු කරන විට, රටක පොලීසියක් නීතිය ක්‍රියාත්මක නොකරන විට, රටක අධිකරණයක් ඒ ගැන ඇස්කන් පියාගෙන සිටින විට, එම රටේ සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීම අරුමයක් නොවෙයි. පසු ගිය කෙටි කාලය තුළ අපේ රටේ ජනතාව මෙසේ නීතිය අතට ගත් අවස්ථා ගණන සැලකිල්ලට ගැනීමේ දී, ලංකා ඉතිහාසයේ කිසි දවසක සිදු වී නැති පරිමාණයකින්, ශිෂ්ට සමාජයෙන් නීතිය වල්වදින සැටියක් පෙනෙන්ට තිබේ. ඉතිං, එක දවසක දොම්පෙට ඇඳිරි නීතිය පැනවෙයි. තවත් දවසක කොලොන්නාවට ඇඳිරි නීතිය පැනවෙයි. තවත් දවසක කරන්දෙනියට ඇඳිරි නීතිය පැනවෙයි. මේ විදිහට, සීමිත පෙදෙසක් පැය කිහිපයක් අඳුරේ තබා ගැනීමෙන්, විසිහතර පැයේ සිදුවන නීතියේ මංකොල්ලයක් වසාගත හැකි ද?

මෑත කාලයේ අපේ ඉතිහාසය තුළ නීතිය සොරකම් කළ අවස්ථා තිබුණි. සිරිමා බණ්ඩාරනායකගෙන් පටන්ගෙන, ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස හරහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග දක්වා වන අපේ පාලකයෝ පසු ගිය දශක හතර තිස්සේ විවිධ අවස්ථාවල නීතිය සොරකම් කළහ. අද අපට නීතිය මංකොල්ලකන පාලකයෙකු ලැබී තිබේ. සොරකම සහ මංකොල්ලය අතර ඇති ප්‍රධාන වෙනසක් වන්නේ, එකක් හොරෙන් සිද්ධ වීමත්, දෙවැන්න ප්‍රසිද්ධියේ සහ බලහත්කාරයෙන් සිද්ධ වීමත් ය. මේ කාරණයේ දී රටේ නායකයා සපයන ආදර්ශය හෝ ඔහුගේ ආශීර්වාදය සහිතව, බලය හොබවන දේශපාලඥයන්ගේ සිට විවිධ ආකාරයෙන් බලය නඩත්තු කිරීම සඳහා දරදිය අදින කුඩුකාරයන්, මැරවරයන්, ස්ත්‍රී දූෂකයන් සහ මිනීමරුවන් ආදී, සාමාන්‍ය නීතිය යටතේ දඩයමට ලක්විය යුත්තෝ, විශේෂ නීතියක් යටතේ අද ආරක්ෂාව ලබන බව රහසක් නොවේ.

දුමින්ද සිල්වා සිද්ධියේ පරීක්ෂණ විවිධ ආකාරයෙන් පැවැත්විය හැකිය. එහෙත්, මහ දවල් මිනිමැරුමක් සිද්ධ වු අවස්ථාවක දී, ඇසින් දුටු සාක්ෂිකාරයෙකුගේ ඇඟිල්ල දිග් වන තැනැත්තා නීතිය ඉදිරියේ සැකකාරයෙකු වශයෙන් සැළකීම (අත්අඩංගුවට ගැනීම පැත්තකින් තියමු) ඕනෑම පොලිස් අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියක ප්‍රථම අදියරයි. දෙහිඅත්තකණ්ඩියේ හරමානිස් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණ ක්‍රියාවලිය ඇරඹෙන්නේ එලෙසිනි. ඉතිං, ඇසින් දුටු සාක්ෂි කොපමණ තිබුණත්, ‛‛දුමින්ද සිල්වා සැකකරුවෙකු නොවේ’’ යැයි කියන රජයේ ඇමතිවරයෙකුගේ ප්‍රසිද්ධ ප්‍රකාශනයකින් සිදුවන්නේ, මේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ මූලික හරයම කාබාසිනියා කිරීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මිනිමැරුමක විත්තිකාරයෙකු විය යුතු, ඒ අනුව පොලිස් අත්අඩංගුවට පත්විය යුතු දුමින්ද සිල්වා, අද පුවත්පත් වාර්තා කරන අන්දමට, විශේෂ හෙලිකොප්ටර් යානාවක ගුවන් ආරක්ෂාව යටතේ රත්මලානට ගෙන ගොස්, පෞද්ගලික ජෙට් යානාවකින් විදේශයකට රැගෙන යන ලදි. දැන් සති කිහිපයක් තිස්සේ දිගහැරෙන නීතියේ මේ මහා මංකොල්ලය ගැන මුනිවත රකින අපේ පොලීසියට, දොම්පේ හෝ කරන්දෙනියේ මිනිසුන්ව අත්අඩංගුවට ගතහැකි සුජාත බලය එන්නේ කොතැනින් ද? මිනිසුන් නීතිගරුක විය යුතු යැයි කීමට පාලකයන්ට හයිය එන්නේ කොතැනින් ද?

මේ සම්බන්ධයෙන් ලංකාවේ වර්තමාන නීතිය ක්‍රියාත්මක වන ස්වරූප තුනක් හඳුනාගත හැක.

එකක් වන්නේ, අපරාධයයක් සිදු නොවු ගානට අපරාධ නීතිය ක්‍රියාත්මක වීමයි. ‛දුමින්ද සිල්වා නීතිය’ යනුවෙන් එය අපට හැඳින්විය හැකිය.

දෙවැන්න වන්නේ, නීතිය තද කළු අකුරෙන් පැය විසි හතරක් ඇතුළත ක්‍රියාත්මක වීමයි. එය, ‛සරත් ෆොන්සේකා නීතිය’ වශයෙන් අපට හඳුනාගත හැක.

තුන්වැන්න වන්නේ, සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වු අවස්ථාවක විශේෂ හස්තයකින් ඒ නීතියේ බලය අවලංගු කිරීම යි. එය, ‛චන්දන කත්‍රිආරච්චි නීතිය’ වශයෙන් හඳුනාගත හැක. ((1) මිල්රෝයි ප්‍රනාන්දු ඇමතිවරයාගේ බිරිඳ මිනිමැරමකට වරදකාරිය වී මරණීය දණ්ඩනයට නියම වූවාය. ජනාධිපතිවරයා ඈට සමාව දී ගෙදර ඇරියේය. (2) සමන් මහා දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිනිමැරුමකට වරදකරු වී මරණීය දණ්ඩනයට නියම වුණේය. ජනාධිපතිවරයා ඔහුට සමාව දී ගෙදර ඇරියේය. (3) තායිපේ නුවර නිල චාරිකාවක නිරත වන බව පවසා තම බිරිඳ සමග සිංගප්පූරුවේ පෞද්ගලික චාරිකාවක් සඳහා, මහනුවර මහ නගර සභාවේ රුපියල් ලක්ෂ ගණනක් වංචා කළ බවට වැරදිකරු වී අවුරුද්දක අත්හිටවූ සිර දඩුවමකට සහ රුපියල් ලක්ෂ දෙකක දඩයකට නියම වූ මහනුවර නගර සභාවේ හිටපු නගරාධිපති කේසරලාල් සේනානායකට ජනාධිපතිවරයා සමාව දුන්නේය. (4) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්තිරිආරච්චි මිනිමැරුමකට චෝදනා ලැබ නඩුවක් විභාග වෙද්දීම ඔහුට විරුද්ධව පැවති අපරාධ චෝදනා හිටපු නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කරගෙන ඔහුව ගෙදර යැව්වේය).

මෙකී සියළු අයවළුන්, බලය සමග සෘජු සම්බන්ධතා (ධනාත්මක හෝ සෘණාත්මක) ඇති අයයි. වර්තමාන අපේ පොලීසිය සහ අධිකරණය සිටින බව පෙනෙන්නේ, මේ වර්ග තුනටම අයත් නැති, ‛‛ඉතිරි මිනිස් වර්ගයා’’ (එනම්, හරමානිස්ලා වෙනුවෙන්) කටයුතු කිරීමටයි. සමබර තරාදියක් අතින් ගත් ගැහැනියකගේ ලාංඡනය පිළිගන්නැ යි ඒ ‛‛මිනිස් වර්ගයාගෙන්’’ මේ නීතිය සහ අධිකරණය උදක්ම ඉල්ලා සිටී.

මේ තත්ත්වය පිළිබඳව, ලෝක මානයකින් කරුණු ගොනු කළ අවස්ථාවක්, යම් තැනකින් මා සටහන් කරගෙන තිබේ. එහි කර්තෘ කවුදැ යි මේ අවස්ථාවේ සොයාගත නොහැකි වෙතත්, එහි ඇති අදාළත්වය මත එය මෙහි සටහන් කිරීම යෝග්‍ය විය හැකිය. ඒ මෙසේ ය:

‛‛දුෂ්ටයන් මිලියනයක්, මෝඩයන් මිලියන දහයක් සහ බියගුල්ලන් මිලියන සියයක් විසින් මේ ලෝකය පාලනය කරනු ලැබේ. දුෂ්ටයන් යනු බලය යි. එනම්, ධනපතියන්, දේශපාලඥයන් සහ ආගම් පිස්සන් ය. ලෝකය පාලනය වන්නේ මොවුන්ගේ තීරණ සහ තීන්දු මත යි. බල කාමය සහ විනාශය, ඒ තුළ කෙටී තිබේ. මුළු ලෝකයේම මෙවැනි මිනිසුන් සිටින්නේ, එක මිලියනයක් පමණි. ඒ, දේශපාලඥයන්, සුපිරි ධනවතුන්, සුපිරි බලවතුන් සහ ආගම් පිස්සන් ය. මීට අමතරව, මෝඩයෝ මිලියන දහයක් සිටිති. ඔවුන් වනාහී ඉහත සඳහන් දුෂ්ටයන්ගේ සිතැඟියා ක්‍රියාවට නංවන, සොල්දාදුවන් සහ පොලිස්කාරයන් ය. ලෝකයේ ප්‍රධාන රටවල් දොළහක හමුදා සහ පොලිස් බලඇණි ද, තවත් දෙවැනි පෙළේ ප්‍රධාන රටවල් විස්සක පොලිස් බලඇණි ද මීට ඇතුළත්ය. බොහෝ විට මේ පිරිස් නිර්භීත ය. එහෙත් මෝඩ ය. මන්ද යත්, තමන්ගේ හම්, මස් ලේ නහර ඇට පවා චෙස් ලෑල්ලක ඉත්තන් සේ පාවිච්චි කිරීමට අර දුෂ්ටයන්ට ඔවුන් ඉඩ හරින බැවිනි. ආණ්ඩු වෙනුවෙන් සහ පාලකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඔවුහූ සිය ජීවිත පූජා කරති. එහෙත් ඒ පාලකයෝ, අවසානයේ දී ඔවුන්ට ද්‍රෝහී වෙති. නැත්නම් ඔවුන්ව අතහැර දමති. තමන්ගේ යුදවලදී දිවි පිදූ රණවිරුවන් තරම් ලෙහෙසියෙන් සහ ලජ්ජා විරහිතව රාජ්‍යයන් විසින් අතහැර දමන තවත් පිරිසක් නැත්තේය.

එතකොට, බියගුල්ලන් මිලියන සියය යනු, නිලධාරීන් ය. තමන්ගේ පෑන්, පැන්සල් සහ කඩදාසි (දැන් කාලයේ නම් පරිඝණක) ආදිය හරහා දුෂ්ටයන්ගේ පාලනය නීත්‍යානුකූල කොට අහක බලාගෙන ඉන්නේ මොවුන් ය. දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, කළමනාකාරවරුන්, අධිකරණ නිලධාරීන් සහ විවිධ සභාපතිවරුන් ආදී පිරිස් මිට අයත් වෙති. තමන් කරන්නේ, අණ පිළිපැදීමකැ යි නිතර මොවුහූ පෙන්වා දෙති. තමන් කරන්නේ රාජකාරියකැ ද යි කියති. ඒ තුළ, පුද්ගල බද්ධ කිසිවක් නැතැ යි කියති. එපමණක් නොව, තමන් එය නොකළොත්, වෙනත් අයවළුන් විසින් සහතික වශයෙන්ම එය කරනු ඇතැ යි ද තව දුරටත් ඔවුහූ පෙන්වා දෙති. සත්තකින්ම රටක මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ කුමක් දැ යි දන්නා, එහෙත් ඒ ගැන කටක් නොසොල්වන මෙවැනි බිලගුල්ලන් මිලියන සියයක් සිටිති. යම් මිනිසෙකු මරණීය දණ්ඩනයට පත්කරන අත්සන එක තැනකත්, තවත් මිනිසුන් දස ලක්ෂයක් රුදුරු සාගතයක දීර්ඝ කාලීන මරණයට ගොදුරු කරන අත්සන තවත් තැනකත් ගසන්නේ මොවුන් ය.’’

මෙයින් කියැවෙන අදහස, සංඛ්‍යාත්මක වශයෙන් නිවැරදි නොවිය හැකි වුවත්, (ඇත්ත වශයෙන්ම, මුළු ලෝකයම සැලකිල්ලට ගතහොත් මේ සංඛ්‍යා මීට වඩා බෙහෙවින් වැඩි විය යුතුය) අර්ථමය වශයෙන් එහි ඇති සත්‍යතාව අපට බැහැර කළ නොහැක. ඊටත් වඩා, ඉන් කියැවෙන කාරණා අපේ රටේ වර්තමානයට අගේට ගැළපෙතැ යි ද පෙනේ. රණ විරුවන් ගැන සඳහන් කාරණයේ දී, ලංකාවේ ‛රණ වීරත්වයේ’ ප්‍රධානියා අද වැලිකඩ බන්ධනාගාරයේ සිටීම මීට එක උදාහරණයක් පමණි.

කෙසේ වෙතත්, මේ පාඨයේ කතුවරයා එක කාරණයක් සඳහන් නොකරයි. එනම්, ඒ කියන මිලියන එකසිය එකොළහ (දුෂ්ටයන්, මෝඩයන්, බියගුල්ලන්) හැරුණු විට, ඉතිරි වන පිරිස අප හැඳින්විය යුත්තේ කෙසේ ද යන්නයි. ගිය සතියේ ලෝක ජනගහනය බිලියන හත පැන්නේය. ඉතිං, අර මිලියන එකසිය එකොළහට මෙසේ තමන්ව පාලනය කිරීමට ඉඩ දී උඩබලාගෙන සිටින ඉතිරි මිලියන හයදහස් නවසීය අප හඳුනාගත යුත්තේ කෙසේ ද? ඔවුන් ඇත්තෙන්ම අහිංසක ද?

ගාමිණී වියන්ගොඩ