Colombo, end of the War, Featured Articles, Features

ඇමරිකානු කුමන්ත්‍රණයේ කී නොකී කතා

picture by – www.jdslanka.org

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනාවකට ඇමරිකාව සහයෝගය දක්වන බවට, මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් කරඇති නිවේදනය රටතුළ අර්ථ දැක්වෙමින් තිබෙන ආකාරය ප්‍රශ්නකාරීය. අති බහුතරයක් ජනමාධ්‍යවලට අනුවද, ආණ්ඩුවේ විවිධ තරාතිරම්වල දේශපාලකයන්ට අනුවද, විෂයභාර අමාත්‍යාංශ නිලධාරීන්ට අනුවද මෙය ලංකාවට සතුරු යෝජනාවකි.

ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගෙනඑනු ඇතැයි කියැවෙන යෝජනාවට එක්සත් ජනපද රාජ්‍යයේ සහයෝගය හිමිවන බවට තමන් ලංකා ආණ්ඩුවට සනාථ කළබව, පසුගිය සතියේ දිනෙක ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ 2005 වසරට පසු මෙරටට පැමිණි වඩාත්ම ජ්‍යෙෂ්ට ඇමරිකානු රාජ්‍ය නිලධාරියා වන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිවිල් ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් මරියා ඔටෙරෝය.

ආණ්ඩුවට කණගාටු ලු!

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සිය ප්‍රතිචාරය වශයෙන් රටවැසියන් හමුවේ තබාඇත්තේ, තමන් ඇමරිකාවේ ස්ථාවරය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවයි. ඒ බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා ඇත්තේ පසුගිය 16වැනිදා ආණ්ඩුවේ දිනමිණ පුවත්පතටය. මෙය ආණ්ඩුව රටවැසියන් හමුවේ තබාඇති එකකැයි කියන්නේ, ඔවුන් ඒ බව ජාත්‍යන්තරයට, විශේෂයෙන් ඇමරිකානු රජයට, එහි රාජ්‍ය දෙපාර්තමේන්තුවට හෝ එහි නියෝජිත සහකාර ලේකම්වරියට කීවාදැයි දැනගන්නට නැතිබැවිනි. ඔටෙරෝ මාධ්‍ය සාකච්ඡාවේදී කී පරිදි, ඇය එවැනි යෝජනාවකට සිය රජය සහයෝගය දක්වන බව ජනාධිපතිවරයාට පවසා ඇත. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ නියෝජිතයකු තමන්ට ඒ පිළිබඳ ආණ්ඩුවේ කණගාටුව ප්‍රකාශ කළ බවක් ඇයවෙතින් නොකියැවිණි. ඉන් පසුව හෝ ඒ ගැන නිල දැනුම්දීමක් සිදුවූ බවක්ද දැනගන්නට නැත. එසේනම් මේ කණගාටුව ප්‍රකාශකිරීම රටවැසියාට පමණක් පෙනෙන්නට කළ එකක්ද?

‛ජිනීවා වෙත ඇමරිකාව හා බටහිර රාජ්‍යයක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙනඑනු ලබන්නේය’ කී ගමන් ශ්‍රී ලංකාවේ පොදු වැසියන්ද, අති බහුතර ජනමාධ්‍යවේදීන්ද අනිච්ඡානුගවම සිතන්නේ, එය අනිවාර්යයෙන් ‛රටට එරෙහි එකක්’ බවය. එබැවින් ජනමාධ්‍යවේදීන් ඒ ගැන ලියන්නේද, රටවැසියන් ඒවා කියවාගන්නේද රටට සතුරු යෝජනා ලෙසිනි. දිවා රෑ නොමැතිව ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ කරමින් පසුවන, ලංකාව ගිලගන්නේ කොයිවේලාවෙදැයි කට ඇරගෙන බලාගෙන ඉන්නා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, ලංකාවට හිතවත් යෝජනාවක් හීනෙන්වත් ඉදිරිපත් කරාවිද? සිය පැවැත්ම වෙනුවෙන් ලංකාවේ ආණ්ඩු විසින් ගොඩනඟා පෝෂණය කරන මෙම දිළිඳු, දූපත් චිත්තනය අකුරටම අදහන මිනිස්සුන්ගෙන් වෙනත් සිතීමක් හෝ කියවීමක් බලාපොරොත්තු විය නොහැකිය.

මේ දූපත් චින්තනයෙන් ඔබ්බට ගොස් උක්ත යෝජනාව ගැන කල්පනාකර බැලීමෙන් එය ‛රටට එරෙහි’ එකක්ද නැද්ද යන්න ගැන කිසියම් අදහසක් ඇතිකරගත හැකිය.

ඇමරිකාවේ ඇත්ත ස්ථාවරය

මරියා ඔටෙරෝ එම මාධ්‍ය සාකච්ඡාවේදී කියාසිටියේ (උගත් පාඩම් හා සංහිඳියා) ‛කොමිසමේ නිර්දේශයන් ක්‍රියාවට නැංවීමට හා සංහිඳියාවක් ඇතිකිරීමේ කටයුතුවල ප්‍රගමනයට හේතුවන සහ වගවීම, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය කෙරේ වූ අවධානයන් ආමන්ත්‍රණය කිරීමට අදාළව ලංකා ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට අදහස් කරසිටින වැඩපිළිවෙල පිළිබඳව විස්තර කිරීමට ආණ්ඩුවට අවස්ථාවක් ලබාදෙමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තුවේ දී ඉදිරිපත් වන යෝජනාවකට ඇමරිකා එක්සත් ජනපදය සහයෝගය දෙනබවට’ තමන් සනාථ කළ බවය. කොමිසමේ නිර්දේශ විස්තීර්ණ අයුරින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සොයාබලන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දුන්නේය යි ද ඇය එහිදී කියාසිටියාය.

ඇමරිකානු ස්ථාවරය තවත් පැහැදිළි වන්නේ, ජනවාරි අග භාගයේදී යාපනේ සිවිල් සංවිධාන මුණගැසුණු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු පවසා ඇති දෙයකිනි. සිදුවීම්වලට මුහුණපෑ ජනයාගෙන් ප්‍රමාණවත් පීඩනයක් හෝ ඉල්ලීමක් නැති බැවින්, ඇමරිකාව මාර්තු මස ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ හෝ මානව හිමිකම් පිළිබඳ කරුණු ඉදිරියට නොගනු ඇති බව ඔවුහු මේ සංවිධානවලට පවසා ඇත. (මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ටැමිල් නෙට් වෙබ් අඩවියේ ජනවාරි 30වැනිදා පළවිය)
මේ යෝජනාවේ ස්වභාවය දැන් පැහැදිළිය. එය ලංකා ආණ්ඩුව විසින්ම පත්කරන ලද කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නඟන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින යෝජනාවකි. එම නිර්දේශ ක්‍රියාවට නඟන්නේ කෙසේද යන්න පිළිබඳ සිය වැඩපිළිවෙළ විස්තර කිරීමට ආණ්ඩුවට අවස්ථාව ලබාදෙන යෝජනාවකි.

‛මේක පුදුම සතුරුකමක්!’

දැන් මෙවැනි යෝජනාවක් රටට එරෙහි එකක් වන්නේ කෙසේද? වෙනත් ලෙසකින් කිවහොත් තමන්ම විධි නියෝගයන් හා වපසරිය තීරණය කර, තමන්ගේම අභිමතය පරිදි පත්කළ කොමිසමක් විසින් කරන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කරනන්නැයි යම් රටකට කියාසිටින යෝජනාවක් ඒ රටට එරෙහි යෝජනාවක් වන්නේ කෙසේද? එහි අරුත තමන් විසින්ම පත්කළ කොමිසම රටට සතුරු එකක් බවද? නැතිනම් තමන් විසින්ම එළිදක්වන ලද එම කොමිසමේ වාර්තාව රටට එරෙහි එකක් බවද? අනෙක් අතට රටතුළ සංහිඳියාවක් ඇතිකිරීමට සහ වගවීම, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම උදෙසා රටක ආණ්ඩුවක් ගන්නට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග, තමන්ද සාමාජිකත්වය දරන එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සැසිවාරයක් හමුවේ ඉදිරිපත් කරන්නැයි කීම රටට අහිතකර වන්නේ කෙසේද? රටතුළ සංහිඳියාව ඇතිකිරීම සහ වගවීම, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම රටට අහිතකරද? අනෙක් සියල්ල පසෙක තිබියදී එකම එක කාරණයක් ගනිමු. තමන්ගේම රටේ වැසියන් නිමක් නැතිව අනීතික ආකාරයෙන් පැහැරගෙන යාම, එසේ පැහැරගෙන යන්නන් නීතියට පිටින් අතුරුදන් කිරීම හා මරාදැමීම නතර කිරීමට ක්‍රමවේදයක් සකස් කරනැයි ආණ්ඩුවට කීම හා එය කරන්නේ කෙසේදැයි පැහැදිළි කරන්නැයි කීම රටට එරෙහි යෝජනාවක්ද, නැතිනම් සිය ජීවත් වීමේ අයිතිය අනීතිකව උල්ලංඝනය වීමේ අනතුරට මුහුණපා සිටින රටවැසියාට හිතකර යෝජනාවක්ද?

තතු එසේ වුව දැනට සිදුවෙමින් පවතින්නේ මේ සියලු කාරණා වසංකර රටට සතුරු, රටේ ස්වාධීනත්වය, ස්වෛරී භාවය විනාශ කරන, රට අධිරාජ්‍යවාදයට යටත් කරන යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් වීමට යනබව සහ ඊට ඇමරිකාව සහයෝගය දෙන්නට යනබව කියමින් ආණ්ඩුව සැබෑලෝකයේ නොසිටින මනඃකල්පිත සතුරකු සිය වැසියා වෙනුවෙන් මවාදීමය.

මනඃකල්පිත රකුසා

මවැනි සතුරකු මවාදීමෙන් දකුණේදී ජනයා මුහුණපාන එදිනෙදා දැවෙන ප්‍රශ්න අමතක කරවීමේ අවස්ථාව ආණ්ඩුවට ලැබෙයි. රටතුළ රජකරන දූෂණය, මැරකම, පැහැරගෙන යාම්, අතුරුදන් කිරීම් ආදී මෙකී නොකී ප්‍රශ්න අමතක කරවීමටත්, ඒ සියල්ල විඳදරාගෙන රට ගිලගන්නට එන අදෘශ්‍යමාන සතුරකුට එරෙහිව ජාත්‍යාලය වඩවාගන්නා ජනතාවක් හමුවේ එහි අස්වනු කපාගැනීමටත් ආණ්ඩුවට ඉඩලැබෙයි. සිය සැබෑ ජීවන ගැටලු වෙනුවෙන් අරගල කරන ජනකොටස්වල අරගලයන් අමානුෂික ලෙස තලා දැමීම අර සතුරු බලවේගය පෙන්වා සාධාරණීකරණය කරගන්නට අවස්ථාව ලැබෙයි. විවිධ චෝදනා එල්ලවී වැලේ වැල්නැතිව සිටින දූෂිත දේශපාලකයන්ට දේශප්‍රේමියාට ඇඳ ලකුණු ටිකක් දමාගතහැකිදැයි බලන්නට අවස්ථාව උදාවෙයි. අහිමිකර ඇති දෙමළ ජාතිකයා ගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් නැඟඑන ඉල්ලීම් නොතකා සිටිය හැකි වාසිදායක වාතාවරණයක් සැකසෙයි
යටත්කර දමනු ලැබ සිටින දෙමළාටද මෙයින් මවාපෑමක් කැරෙයි. ඒ ‛තමන්ගේ අහිමිකර ඇති අයිතිවාසිකම් ලබාදීමට බටහිර දෑවැන්තයෝ සටනට බැස ඇත්තාහ’ යන මුලාවේ ඔවුන් හෙළීමයි.

සිංහලයා උදෙසා මවාදෙන ලද ජාත්‍යාල සිහිනය මෙවර හරියටම හරිගිය බවක් නොපෙනේ. වැඩිවූ ඉන්ධන මිල පසුපසින් ආ බස්ගාස්තුවේ හා විදුලි බිලේ නැග්ම ඔස්සේ වැදුණු බඩේපාර ජාත්‍යාලය ඉක්මවා ගොස් තිබේ. එබැවින් ’රටට සතුරු යෝජනාවක් බටහිරයන් විසින් ගෙන එනවෝ’ යන අඳෝනාවෙන් මීට පෙර අවස්ථාවන්වල තරම්ම ප්‍රතිපලයක් මෙවර ලැබී නැත. ජාත්‍යාලයට වඩා බඩේපාර බලවත් බව, වෙඩි කමින්ම ඔප්පු කර සිටීමට දකුණේ ජනතාව වීදිබැස සිටිති.

ප්‍රබන්ධය පසුපස ඇති ඇත්ත

සැබවින්ම නම් ගෙනඑන්නට යන මෙම යෝජනාව මෙරට සම්බන්ධයෙන් බටහිර රාජ්‍යයන්හි මතයේ නම්‍යශීලීත්වය පෙන්වීමකි. එබැවින් සැබෑව ලෙස පෙනෙන්නේ මෙම යෝජනාව මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීම මඟින් මේ බලවත් රාජ්‍යයන් ලංකා ආණ්ඩුවට කිසියම් ආවරණයක් සපයන්නට පෙරට පැමිණ ඇති බවයි. බැන් කී මූන් වාර්තාව විසින් ඇතිකළ ආන්දෝලනය, ඊට ප්‍රතිචාර ලෙස ස්ථාපිත කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමට හා මෑත දී එහි අවසන් වාර්තාවට එල්ල වූ ජාත්‍යන්තර විවේචන හා එම වාර්තාව පවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකිරීම පිළිබඳ විවේචන සේම චැනල් ෆෝ වීඩියෝව හා වාර්තා වැඩසටහන්වල ආන්දෝලනයන් ඇතුළු සියල්ල ජාත්‍යන්තර මතය රැගෙන යමින් තිබෙන බව පෙන්වූයේ යුද අපරාධ පරීක්ෂාවට ලක්කිරීම උදෙසා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින දිශාවකටය. එහෙත් මේ කියන යෝජනාව විසින් එම දිශානතිය ආපසු හරවමින් තමන්ගේම විවේචනයට ලක්වූ වාර්තාවක් එහි ‛අඩුපාඩු තිබුණත් ක්‍රියාත්මක කරන්නැ’යි යෝජනා කිරීමේ තැනකට ජාත්‍යන්තරය තල්ලුවී ඇත. ඒ අනුව ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් උදෙසා වන යෝජනාවකට මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේද දොරටු වැසීයාමට නියමිත බව පෙනේ.

ඔවුන් දැන් මේ ක්‍රියාත්මක කරන්නැයි කියන්නේ ඔවුන්ගේම විවේචනයට ලක්වූ කොමිෂන් වාර්තාවකි. කොමිසම පත්කළ අවස්ථාවේදීම එහි විධිනියෝග ගැනත්, සංයුතිය ගැනත් ජාත්‍යන්තරය තුළ තිබුණේ විවේචනයකි. වාර්තාව එළිදුටු විටද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවා කියාසිටියේ ලංකා සන්දර්භය තුළ අතිශයින් වැදගත් මාතෘකාවක් වූ වගවීම නම් කාරණය සම්බන්ධයෙන් වාර්තාව ආමන්ත්‍රණය කර නැති බවය. ‛වගවීම පිළිබඳ වාර්තාවේ අඩුපාඩු තිබුණත්’ යනුවෙන් මුලට යොදා වාර්තාව වර්ණනා කිරීමට ඔටෙරෝට පවා සිදුවිය. ඒ අනුව දැන් ඇමරිකාව කියන්නේ තමන්ගේම විවේචනයට ලක්වූ වාර්තාවක් ක්‍රියාත්මක කරන්නැයි කියන ඉල්ලීමකට තමන් සහයෝගය දෙන බවය.

ලෝක බලවතුන්ගේ ඇත්ත වුවමනාව

මේ යෝජනාව ඔස්සේ ශ්‍රී ලංකා රජයට ඔවුන් ආවරණයක් දෙන්නට හදන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ යුද්ධය ලෝක බලවතුන්ගේ ආධාර උපකාර හා ආශිර්වාදය මැද සිදුවූවකි. ඊට අවශ්‍ය තාක්ෂණය සැපයූවෝ ඔවුහුය. නවීන යුදඅවි ඇතුළු උපකරණ සැපයූවෝ ඔවුහුය. ප්‍රතිවාදියාගේ ජාත්‍යන්තර ජාලයන් හා සම්පත් අඩපණ කළෝ ඔවුහුය. ‛යුද්ධය නවත්වා එල්ටීටීඊ සංවිධානය බේරාගැනීමට මේ බටහිර බලවතුන් කැසකවමින් සිටියේය’ යි ඇදහූයේ දෙකොට්ඨාසයක් පමණි. ඉන් එක් කොට්ඨාසයක් වූ එල්ටීටීඊ ප්‍රධානීහු හා සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ගෙන් කොටසක් ඒ, බලාපොරොත්තුව ද සමඟින් නන්දිකඩාල් කලපුවේ මිහිදන් වූහ. එහි ඉතිරි අඩ ජාත්‍යන්තරය විසින් තමන්ට වූ අසාධාරණය විසඳා දෙනු ඇතැයි තවමත් බලාසිටිති. එය විශ්වාස කළ අනෙක් කොට්ඨාසය වන දකුණේ සිංහල ජනයා ආණ්ඩුවේ ජාත්‍යාල අමෘතය බී තවමත් ඩෙඟා නටමින් පසුවෙති.

එහෙත් යථාර්ථය වන්නේ ලංකා භූමිය තුළ ගෝලීය ප්‍රාග්ධනයේ නිදහස් හැසිරීමට බාධාවක්ව පැවැති කොටි සංවිධානය සමූල ඝාතනය කළායින් පසු විවර වූ ඉඩ තුළ රාජපක්ෂ රෙජීමය ගෝලීය ප්‍රාග්ධනයට සිතු සේ රටේ හැම අස්සක් මුල්ලක් කරා නිදහසේ සංසරණය වන්නට ඉඩ සලසා තිබීමයි. සිය රටවැසියා ඉදිරියේ චණ්ඩියකු මෙන් ලෝක බලවතුන්ට අභියෝග කරමින් තමන් විදුලි පුටුවට ගෙනයන්නට හදන්නේය යි බෙරිහන් දෙන ආණ්ඩුව ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවවාද අනුශාසනා හිස්මුදුනින් පිළිගනිමින් සිටී. තෙල් මිල හා රුපියලේ අගය අවප්‍රමාණ කිරීම එහි නවතම උදාහරණය. පෞද්ගලික විශ්‍රාම වැටුප් පනතක් හදිසියේ ගෙන එමින් කම්කරුවන්ගේ සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල්වලට විදින්නට හැදූ අයුරු තවත් උදාහරණයකි. පුළුල් ජන අනුමැතියක් සහිතව සිය ආර්ථික ප්‍රතිපත්ති රටතුළ ක්‍රියාත්මක කළහැකි හොඳම පාලන තන්ත්‍රය රාජපක්ෂ රෙජීමය බව බටහිර ආර්ථික බලවතුන්ගේ තක්සේරුව වී හමාරය. ඔහු පසුබැස්සේ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප වැනි තැනක දෙකක පමණකි.

ලෝක බලවතුන්ට අවශ්‍ය වී ඇත්තේ තමන්ගේද සම්මාදමෙන් සිදුවූ යුද්ධයේ අශෝභන සිදුවීම් ලෝකයා හමුවේ නිරාවරණය වී ඇති බැවින් ඒවාට කිසියම් ආකාරයක පැලැස්තර විසඳුමක් දමාගැනීමය. ඒ පැලැස්තර විසඳුම අලවාගත් පසු හිරිකිතයකින් තොරවම මේ ආර්ථික ගමන රාජපක්ෂ රෙජීමය සමඟ යාමට ඔවුන්ට හැකිය. එසේ නොවන තාක්කල් ඔවුන්ගේ වගවීම පිළිබඳ වගකීම ප්‍රශ්නාර්ථයකට යටවී තිබේ. ඊට අමතරව යම් මොහොතක රටතුළ ගෝලීය ප්‍රාග්ධනයේ නිදහස් සංසරණයට බාධාවක් වීමේ තත්ත්වය දක්වා වර්ධනය වීමට ඉඩඇති ප්‍රජාතන්ත්‍රීය හා මානව හිමිකම් ගැටලු විසඳාගැනීමටද ඔවුන්ට අවශ්‍යය. මේ කාරණා ඉටුකිරීමට රාජපක්ෂ රෙජීමය සූදානම් නම් එයත් සමඟ වඩා විවෘතව ගනුදෙනු කරමින් ඉදිරියට යාමට මේ බලවතුන්ට හැකියාව ලැබේ. ලබන මාසයේ ජිනීවා වෙත ඉදිරිපත් වීමට නියමිත යෝජනාව කියාසිටින්නේ ඒ ගමන වේගවත් වී ඇතිබව නොවේද?

සනත් බාලසූරිය[Sanath-balasooriya]