සිංහල, Badulla, Corruption, Features, Human Rights, Life quips

වතු නිවාස ඉදිකිරීම අතර මඟ නවති…සල්ලිත් නෑ. වතු කළමානාකරුවන්, සුබසාධක සමිති අක්‍රියයි – නිවාස සංවර්ධන අධිකාරයේ දිස්ත්‍රික් කළමණාකරු


බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඉදිකරන ලද නිවාස යෝජනා ගණනාවක ඉදි කිරීම් මේවන විට අතර මඟ නවතා තිබේ. මෙසේ ඉදිකිරීම් අතරමඟ නවතා ඇත්තේ කහගල්ල වත්ත, නීඩ්වූඩ් වත්ත හා දඹේතැන්න ආදී ප්‍රදේශවල නිවාස අතර මඟ නවතා ඇති බව දක්නට ඇත. මෙම තත්වය මත එම ප්‍රදේශවල වතු කම්කරුවන් මහත් අසීරුතාවයකට පත්ව තිබෙන බවත් මෙම නිවාස ඉදිකර ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ සහය මත බව ප්‍රදේශවාසීන් පවසයි.
මේ පිළිබඳ ‛විකල්ප’ බදුල්ල නිවාස සංවර්ධන අධිකාරයේ දිස්ත්‍රික් කළමණාකරු ඒ. බී. පෙරමුණේ මහතාගෙන් කරුණු විමසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ……..

‛‛නීඩ්වුඩ් වත්ත ආශ්‍රිතව එහෙම තත්වයක් තියනවා. නමුත් එහෙම වෙන්න ප්‍රශ්ණ කිහිපයක් තියනවා. අපි කරන්නේ මේ නිවාස ඉදිවීමේ දී අධීක්ෂනය කරනවා පමණයි. මේ ලැබෙන සල්ලි වියදම් කරන්නේ වතු සමූපකාර සමිතිය විසින්, ඔවුන් මේ වනවිට කිසිම ක්‍රියාකාරී මට්ටමකින් නෑ. වතු කළමණාකරු කිසිම හොඳ ක්‍රියාකාරීත්වයක් පෙන්නන්නේ නෑ. කිසිම සාකච්ඡාවකනට එන්නේ නෑ. මේවගේ උනාම කොහොමද අපි වැඩ කරන්නේ. කහගල වත්තෙත් එහෙමයි. මේකෙදීත් අපි අවශ්‍ය මුදල් ඉවරකරලා තියනවා. අනිත් ටික ඉවර කරන්න අමාත්‍යංශය මුදල් දෙන්නේ නෑ. දැනට මෙම එක නිවසකට රුපියල් 425000.00ක් වියදම් වෙලා තියනවා. එක නිවසක් ඉවරකරන්න තව මුදල් ඕන. මේවාට මුදල් නෑ. වෙන කොහෙන් හරිවත් හොයාගමු කියලා මම යෝජනා කරලා තියනවා.’’

මෙම ගැටලු නිසා අවසානයේදී දුක් විඳින්නේ කම්කරුවන්. මේ ප්‍රශ්ණය විසදෙයිද?
දිස්ත්‍රික් කළමණාකරුගෙන් විමසුවෙමු….

‛‛මේ නිවාස ව්‍යාපෘති කරනකොට පාර්ශවයන් කිහිපයක් සම්බන්ධ වෙනවා. අමාත්‍යංශය, නිවාස සංවර්ධන අධිකාරිය, වතු සමූපකාර සමිතිය ආදි කොටස් මෙයට සම්බන්ධ වෙනවා. නමුත් මේයින් එක් පාර්ශවයක් හෝ සම්බන්ධ නොවූනානම් වැඩේ කරන්න බැරි වෙනවා. අනිත් කාරණය තමා මේ නිවාස හදන්න ඇස්තමේන්තු කරලා තියෙන්නේ මීට අවුරුදු 04කට කලින්, අපි වැඩකරන්නේ දැන්. දැන් මිලට. එහෙම උනාම තමා එක් පැත්තකින් මේ ප්‍රශ්ණ මතු වෙන්නේ.’’

කෙසේ වෙතත් මෙම පරිපාලනමය ගැටලු නිසා අවසානයේ දුක් විඳින්නේ වතුවල සිටින අහිංසක කම්කරුවන්. වසර ගණනාවකින් පසුවත් ඔවුන්ට නොතෙමී ඉන්නවත් ගෙයක් හදලා දෙන්න පරිපාලනයට බැරිනම් කොළඹට කිරි අපට කැකිරි..කියලා කවදා හරි දවසක ඔවුනුත් කියාවි. එදාට……….