සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Media

මරී කොල්වින්: වීරවරියකගේ තෙමස් සැමරුම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]


‘නිර්භීතයින් අතර නිර්භිතයා’ යැයි සිය වෘත්තීය සගයින් විසින් ආදර ගෞරවයෙන් පිදුම් දුන් ඇයට නූතන මර්තා ගෙල්හෝන් යැයි කියන්නට අයෙක් පුරුදුව සිටියහ.

මාර්තා ගෙල්හොන් වනාහී දක්ෂතාවයෙහි, කැපවීමෙහි සහ නිර්භීතකමෙහි සංකේතයක් බඳු වූ විසිවන සියවසෙහි ශ්‍රේෂ්ඨතම යුද වාර්තාකාරිනියයි.

1908 දී මෙලොව එළිය දුටු මාර්තා මාධ්‍යකරණයට එළඹි 1929 සිට මෙලොව හැර ගිය 1999 දක්වාම වාර්තාකරණයේ සහ ලේඛනයේ යෙදුණි. ඇය 1939 ස්පාඥ සිවිල් යුද්ධය, 1941 චීන- ජපාන යුද ගැටුම, 1943 – 45 දෙවන මහා ලෝක යුද්ධය, 1946 ඉන්දුනීසියානු – නෙදර්ලන්ත යුද ගැටුම, 1963 – 1978 වියට්නාම් යුද්ධය, 1978 – 1998 නිකරගුවානු සහ එල් සැල්වදෝරියානු යුද ගැටුම් වාර්තා කළා ය. ඇයගේ වාර්තා යුද්ධයේ කුරිරු බව පෙන්නුම් කළ මානවවාදී දෘෂ්ඨියකින් යුතු වූ නමුත් සෑම විටම සත්‍ය මත පදනම් වී තිබුණි. යුද හමුදා සමඟ ගමන් කළ කිසිදු අවස්ථාවක ආරක්ෂාව පිණිස හෝ යුද හමුදා නිල ඇදුම් නොඇදි එකම යුද වාර්තාකරු/කාරිනිය ඇය යැයි කියනු ලැබේ. වියට්නාම් යුද්ධය පිළිබඳ වාර්තාකරණයන් නිසා ඇමෙරිකානු රූකඩයක් වූ දකුණූ වියට්නාමය ඇයට එරටට ඇතුල් වීම පවා තහනම් කොට තිබුණි.

(මාර්තා සහ ‘මහල්ලා සහ මුහුද’ ලියූ අර්නස්ට් හෙමිංවේ ස්පාඥ යුද වාර්තාකරණයේ යෙදුනේ එකට ය. ආලයෙන් බැදි ඔව්හු පසුව පස් වසරක් එක දීගයක ගත කළහ. හෙමිංවේ ගේ සාර්ථකම නවකතාවක් සේ සැලකෙන ස්පාඥ සිවිල් යුද්ධය පසුබිම් කරගත් ‘ෆෝ හූම් ද බෙල් ටෝල්ස්’ පිරිනැමී ඇත්තේ ඇය නමට ය.)

විය යුතු පරිදිම අපේ නුතන වීරවරිය එනම් මරී කොල්වින්, මාර්තා ගෙල්හොන්ගේ අවසන් සමයෙහි ඇයගේ හොඳ මිතුරියකව සිටියා ය. ඇය මාර්තාගේ යෂ්ටිය සහ උරුමය ඒ වන විටත් ඇගේ අතට ගෙන තිබුණි. එනමුත් ඇය මුහණ දී සිටියේ මාර්තාගේ කාලයට වඩා යුද වාර්තාකරණය විසින් ජනමාධ්‍යවේදීනට මරු කැඳවෙන බිහිසුණු යුගයකට ය.

යුද බියෙන් ඇළලූනු හොම්ස් නගරයේ සිට සිරියානු මහජන නැගිටීම සහ අසාද් පාලනයේ මර්දනකාරී යුද්ධය වාර්තා කරමින් සිටි මරී කොල්වින් මෙයට තෙමසකට පෙර එනම් පෙරවාරි 22දා ෂෙල්වෙඩි ප‍්‍රහාරයකට ගොදුරුව අකල්හි මිය ගියා ය.

ඇයගේ ජිවිතය අනුස්මරනය කරනුවස් මෙයට තෙමසකට පෙර පැවැති උළෙල අමතමින් ලොව පසිඳු මාධ්‍යකරුවෝ හුදෙක් කරුණූ වාර්තාකරනයකින් එපිටට ගියාවූත් යුද්ධයට වගකිවයුත්තන් හෙළිදරව් කරමින් ඔවුන් අභියෝගයට ලක් කළාවූත් යුද වාර්තාකරණය ඇයගේ සුවිශේෂ ළකුණ ලෙස ප‍්‍රශංසා මුඛව සඳහන් කළෝය.

මෙයට දස වසරකට තරම් පෙර අලූත් අව්රුදු දිනයන්හි ඇය සිටියේ ශ‍්‍රී ලංකාවේ වන්නි යුද බිමෙහි තොරතුරු සොයන රහසිගත වාර්තාකරණක යෙදෙමිනි. කිලෝ මීටර 30ක පා ගමනකින් පසු කැරලිකරුවන්ගේ භූමියෙන් පිටතට පැමිණෙමින් සිටි ඇය යුද හමුදා ප‍්‍රහාරයකට ගොදුරු විය. ඒ 2001 අපේ‍්‍රල් 16 දා ය. තමා දෙසට බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීමට පෙර ‘පත්තරකාරියක්, පත්තරකාරියක්’ (අ ජර්නලිස්ට්) කියා තමා කෑගැසූ බවත් සොල්දාදුවන් එම ප‍්‍රහාරය එල්ල කළේ දැන දැනම බවත් ඇය පසුව ප‍්‍රකාශ කළා ය. බෝම්බ ප‍්‍රහාරය සාධාරණ කරමින් ශ‍්‍රී ලංකාණ්ඩුව කියා සිටියේ ඇය එල්ටීටීඊ න්‍යාය පත‍්‍රයේ කොටස්කාරියක බවයි. එකී ප‍්‍රහාරයෙන් ඇයගේ වම් ඇසෙහි පෙනීම සහමුලින්ම නැතිව ගියේ ය.

ඇසක් නැතිවීම පාඩුවක් නොවෙයිද ?
කියා ඇසූ සගයකුට ඇය කීවේ වන්නි යුද බිමෙහි තමා ලද අත් දැකීම් ඊට වඩා වටිනා බවයි !

වචන 1500කින් යුතු ඇයගේ අවසාන වාර්තාව සිරියානු ජනයා මුහුණ දෙන මර්දනයේ ද ඔවුන් පෙන්වාලන ධෛර්යේ ද කැඩපතක් වැනි විය. ඇයගේම වචනයට සවන් දෙමු:

‘‘මේ වනාහී පුපුරා ෂෙල් වෙඩි සහ මැෂින් තුවක්කු වෙඩි හඬින් දෝංකාර දෙන සීතලේ සහ සා ගින්නේ නගරයකි. මතක ඇති කාලයක නොතිබුනු තරමේ සීතල සිසිර සෘතුවෙහි උණුසුම සඳහා යොදා ගැනෙන ඞීසල් ඇති නිවෙස් අල්ප ය. සීතලම සීතල වැස්ස වලගොඩැලි පුරවාලන අතර බිදී ගිය ජනෙල් වීදුරු අතරින් හිමකැට නිවෙස් කරා කඩාවදී. කඩ සාප්පු සියල්ල වසා ඇති බැවින් අසල්වාසීහු සහ ඥාතීහු සිය ආහාර බෙදාහදා ගනිති. තුවාල ලද සහ මියගිය බොහෝ දෙනෙක් ආහාර සොයා පිටතට ගිය අය වෙත්.’’

දස වසරකට පෙර ශ‍්‍රී ලංකාවේ වන්නි යුද බිමට රහසින් ඇතුළු වූ පරිද්දෙන්ම ඇය සිරියාවේ හොම්ස් යුද බිමට ගියේ ද රහසිගත මඟකිනි.

‘‘ අඳුරෙහි තාප්ප මතින් පනිමින් මඩින් පිරිනු කානු දිගේ යමින් මා හොම්ස් කරා ආ හොර පාර හෙළිදරව් නොකිරීමට මම පොරොන්දු වූයෙමි. ..’’

ඒ පළමු රාත‍්‍රියේදීම ඇය ග්‍රෙනේඞ් සහ වෙඩි ප‍්‍රහාරයන්ගෙන් බෞතීස්ම ලැබූයේ විනාශය පෙන්වනු වස් නගර සංචාරකට ලද ආරාධනය පිළිගත් නිසාවෙනි.

නගරයෙහි දක්නට ඇති මානව ඛේදවාචකය අති මහත් යැයි ලියූ ඇය සෑම පවුලකම එක් අයෙක් හෝ සිරියානු රාජ්‍ය මර්දනයට ගොදුරු වී මිය ගොස් හෝ තුවාල ලබා හෝ ඇති බව ද සඳහන් කළා ය. නොවැදගත් යැයි පෙනෙන සුළු විස්තර පවා සටහන් කරමින් යුද්ධ ඛේදවාචකයන් පෙන්නුම් කිරීමට ඇය සතු වූ හැකියාව ද අනුස්මරණ උත්සවයන්හිදී පැසසුමට පාත‍්‍ර විය.

මරී කොල්වින් යුද්ධය වාර්තා කළේ සාධාරණත්වයේ පැත්තේ සිට ය. යුද්දය එහි ගොදුරු මත ඇති කරන පීඩනය ඇය සැළකූයේ තමා අත් විදින වේදනාවක් ලෙස ය. ෂෙල් ප‍්‍රහාරයකින් තුවාල ලබා තාවකාලික රෝහලක දි මියගිය සිරියානු ළදරුවකු පිළිබඳව ඇය ලියූ එක් වැකියක යුද්ධයේ සමස්ත දුෂ්ඨත්වය කැටි වී තිබුණි.

1991 වසරේදී ඇය සිටියේ නැගෙනහිර ටිමෝරයේ විමුක්ති අරගලය වාර්තා කරමිනි. එක් අවස්ථාවක දී ආක‍්‍රමණික ඉන්දුනීසියානු හමුදා ඩිලි නගරයේ සරණාගතයින් 1,500 පමණ ලැඟුම් ගෙන සිටි එක්සත් ජාතීන්ගේ කාර්යාල සංකීර්ණයක් වැටලූහ. සරණාගතයින්ගේ ඉරණම ආක‍්‍රමණික හමුදාවන්ට බාර දී ඉවත්වීමට එක්සත් ජාතීන්ගේ කාර්යාලය තීරණය කළා ය. එම තීරණයට සහ හුදු නිරික්ෂකයින් බවට පත්ව තිබූ ලෝකයාටම අභියෝගයක් වෙමින් මරී කොල්වින් තවත් ජනමාධ්‍යවේදිනියන් දෙදෙනෙකු සමඟ එම සංකීර්ණයෙහිම සරණාගතයින් සමඟ නතර වූවා ය. අවසානයේ දී වාර්තාකාරිනියන්ගේ ධෛර්ය විසින් ලැජ්ජාවට පත් කරන ලද ඉන්දුනීසියානු හමුදාව සරණාගතයිනට නිදහසේ පිටව යෑමට අවසර දුන් අතර අන්තර් ජාතික ප‍්‍රජාව ද මැදිහත් වුවා ය. මරී කොල්වින්ගේ අධිශ්ඨානශීලී මැදිහත් වීම විසින් සරනාගතයින් සිය ගණනාවකගේ ජීවිත රැකුනි.

සිය ජීවිත මෙහෙවර ලෙස ඇය සැළකූ යුද්ධයේ තිත්ත සත්‍ය වාර්තා කිරීම වෙනුවෙන් සිය ජිවිතයම පුද දීමට වසරකට පෙර යුද්ධයට බිලි වූ ජනමාධ්‍යවේදීන්/ වේදිනියන් සමරමින් ඇය මෙසේ කීවා ය:

‘‘යුද්ධ වාර්තාකරණය යන්නෙන් අදහස් කැරෙන්නේ වියවුලින්, විනාශයෙන් සහ මරනයෙන් පිරි ස්ථානයන්ට ගොස් එහි සාක්ෂිකරුවෙක් බවට පත් වීමය. ඉන් අදහස් වන්නේ යුද හමුදා, ග්‍රෝත‍්‍රිකයින් මෙන්ම ත‍්‍රස්තවාදීන්ද සටන් වැද සිටින අවස්ථාවන්හි ප‍්‍රචාරක වැලිකුණාටු අතරින් සත්‍යය සෙවීමට තැත් දැරීමය. ඇත්ත. ඉන් අදහස් වන්නේ අවදානමක් ගැනීමකි.’’

‘‘ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ පෙන්ටගනයෙන් හෝ ඔබ දකින විඩියෝ දර්ශණ හෝ නියමිත ඉලක්කය කරා තිතටම හඹායන අපූරු බෝම්බ විස්තර කැරෙන්නා වූ මෘදු භාෂාව ද නොසළකා යුද බිමේ ඇත්ත තත්ත්වය වසර සිය ගණනාවක් පුරා පුදුමාකාර ලෙස පවතින්නේ ඒකාකාර ලෙසකිනි. බෝම්බ වළවල්, පිළිස්සුනු නිවෙස්, කැබලි විසිරී ගිය සිරුරු, සිය දරුවන් සහ පිරිමින් වෙනුවෙන් වැළපෙන ගැහැණූ, සිය දරුවන්, ගැහැණුන් සහ මව්වරුන් වෙනුවෙන් වැළපෙන පිරිමි.’’

‘‘යුද වාර්තාකරණය මෙතරම් භයානක වූ යුගයක් තවත් තිබී නැත. මන්ද යත් අද යුද බිමෙහි සිටින වාර්තාකරු/කාරිනිය ප‍්‍රධාන ඉලක්කයක් බවට පත් ව සිටින නිසා ය. ’’

‘‘මට මගේ ඇස අහිමි වූයේ ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ දී සැඟවී සිට කරන ලද ප‍්‍රහාරයකිනි. ජනමාධ්‍යවේදීනට තහනම් වූ උතුරුකරයේ දෙමළ ප‍්‍රදේශයට ගිය මට වාර්තා නොකරන ලද මානුෂීය ඛේදවාචකයක් දැක ගැනීමට හැකි විය. අභ්‍යන්තර මායිමකින් මා රහිසිගතව පිටතට එද්දී සොල්දාදුවකු මා කරා ග්‍රෙනේඩයක් විද්දේ ය. ඔහු එය කළේ දැන දැනම ය.’’

‘‘සතියකට පෙර ඇප්ගනිස්ථනයෙහි දී මම ජෝ සිල්වා නම් මගේ මිතුරු ජායාරූප ජනමාධ්‍යවේදියකු සමඟ කෝපි බොමින් යුද බිමෙහි අප මුහුණ දෙන අනතුරු ගැන කතා කළෙමු. ඉන් දෙදිනකට පසු බිම් බෝම්බයක් මත පා තැබූ ඔහුට දණහිසෙහි සිට සිය දෙපා අහිමි විය.’’

‘‘මේ අවදානම ගැනීමට තරම් යුද වාර්තාකරණය වටිනා දෙයක් ද? මා අනතුරට පත් අවස්ථාවෙහි මම මගෙන් ම ඒ ප‍්‍රශ්ණය අසා ගත්තෙමි. ඔව්, එය වටී යැයි මම පිළිතුරු දී ගත්තෙමි.’’

‘‘අපට විශ්වාශයක් තිබේ. ඒ අප විසින් වෙනසක් ඇති කරන්නේ යැයි අප විශ්වාශ කරන නිසා ය’’

ඒ වචන අයත් වන මරී කොල්වින් අසහාය ගැහැණියකි. විරවරියකි. ජනමාධ්‍යවේදයෙහි පමණක් නොව සාමාන්‍ය ජිවිතයෙහිද ඇය වැනි ගැහැණුන් සහ පිරිමින් අද විරලය. ඇය යුද බිමට ගියේ මරන්නට නොවේ. මැරෙන්නට බිය නැති නිසා ය. වෙනසක් කළ හැක්කේ මරන්නට ඇති හැකියාව නිසා නොව සිය පරමාදර්ශ වෙනුවෙන් මැරෙන්නට බිය නැතිකම විසින් ද යැයි කියනු ලැබේ. ඇය සිය ජීවිතය පරදුවට තැබූයේ යුක්තිය සහ මානව ගරුත්වය ඉල්ලා සිය ගනනින් ජීවිත පුද කරන සිරියානු ජනයාගේ ජීවිත රැක ගනු පිනිස ය. එවැනි මරණයක් සදාකාලික ජීවත්වීමක් වැන්න.

ඉතිහාසය ඉදිරියට යන්නේ සැබෑ පොළව මත කැරනෙ අරගලයෙනි. මරී කොල්වින් ඒ අරගල ජනමාධ්‍ය භූමියේ සැමදා සරනු නියත ය.

ජයවේවා!

සුනන්ද දේශපි‍්‍රය[Sunanda Deshapriya]