Colombo, Featured Articles, Features

ෆොන්සේකාට ශ‍්‍රී ලංකා දේශපාලනයේ මැජික් කාරයෙකු විය නොහැක


වර්තමාන ශ‍්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික ව්‍යාධීන්ගෙන් රට මුදවාලීම සඳහා ජනෙරල් ෆොන්සේකාට තනිව කළ නොහැක්කක් බව මේ මොහොතේ අවධාරණයෙන් කිව යුතුය. මා මෙසේ කියන්නේ මේ වන විටත් ඔහු තම කල්ලියට ඒකාසු කර ගැනීම සඳහා බොහෝ දෙනා උත්සහ කරනු පෙනෙන්නට තිබෙන නිසාය. එක කල්ලියකට පමණක් පිළිතුරු සෙවිය නොහැකි ප‍්‍රශ්න විශාල ප‍්‍රමාණයකට වර්තමාන ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටී. මේ මොහොතේ ජෙනරල් ෆොන්සේකා කළ යුත්තේ දේශපාලනික වශයෙන් බුද්ධිමත්ම තීන්දු ගැනීමයි. එනම් මහින්ද රාජපක්ෂ ඒකාධිපතිත්වය පරාජය කිරීම කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනැගීමේ ක‍්‍රියාවලියකට දායක වීමත්, ඒ කෙරෙහි ජනතා පෙළගැස්මක් ඇති කිරීමත්ය. එසේ නොකර ඔහු කල්ලිවාදීන් සමඟ අත්වැල් බැද ගන්නේ නම් ඔහුද ශ‍්‍රී ලංකා දේශපාලනයේ මැජික් කාරයෙකු වනු ඇත.

රටට ඇති දේශපාලන අභියෝග ජයගැනීම සඳහා ජෙනරාල් ෆොන්සේකා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයක් මිස, එකිනෙකාගේ පෞද්ගලික දේශපාලන අරමුණු කරා යාමට මාන බලන කල්ලිවාදයට හවුල් වන ෆොන්සේකා කෙනෙක්ගෙන් අපට වැඩක් නැත. මේ මොහොත වන විට ජෙනරල් ෆොන්සේකාගේ් ප‍්‍රකාශ වලින් පෙනෙන්නේ ඔහුට දැඩි දේශපාලන අධිෂ්ඨානයක් තිබෙන බවයි. එය ධනාත්මක කරුණකි. එකී අධිෂ්ඨානයත් සමඟ මේ මොහොතේ ඔහු ඉටුකළ යුතු ප‍්‍රධාන කරුණු තුනකි.

1. ජාතිවාදයෙන් ගැලවීම.

2. විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ශක්තිමත් කර ඊට ජනතා පෙළගැස්මක් ඇති කිරීම.

3. ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීම ඇතුළු දේශපාලන බල බෙදීමේ ක‍්‍රියාවලියක් ශක්තිමත් කරමින් ජාතීන් අතර සංහිදියාවක් ගොඩනැගීමට හවුල් වීම.

ජාතිවාදයෙන් ගැලවීම

ශ‍්‍රි ලංකාවේ දේශපාලනයේ පදනම ජාතිවාදයයි. ජාතිවාදයේ පදනම මත රටේ ඡන්ද පදනමද හැසිරේ. වැඩියෙන් ඡන්ද ලබා ගැනීමට නම් වැඩියෙන් ජාතිවාදී විය යුතුය. ජාතිවාදී නොවන ගොඩ තෝරාගත් විට ජීවිත අභියෝගයක් දක්වා යන තරමට එය ගැඹුරුය. ජාතිවාදය මත පදනම්ව අප රටේ ගැටළු වලට විසදුම් සෙවිය නොහැකි බව ඉතිහාසය ඔප්පු කර තිබේ. ජාතිවාදය වෙනුවෙන් ජීවිත වලින් සහ දේපල වලින් වන්දි ගෙවා ඇති ප‍්‍රමාණය ගනනය කළ නොහැකි තරම්ය. ජාතිවාදයෙන් ගැලවීම ජෙනරල් ෆොන්සේකාට ඇති ප‍්‍රධාන අභියෝගයයි. ජාතිවාදයෙන් ගැලවීම තීන්දු වන්නේ ජාතීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔහු දරන මතය සහ ඔහු ක‍්‍රියාකරන ආකාරය අනුවයි.

දේශපාලනයේ පැවතීමට නම් ඔහුට ඇති පහසුම මඟ ජාතිවාදී පිල තෝරා ගැනීමයි. ජාතිවාදී නොවන පිල තෝරා ගන්නේ නම් ඔහුගේ ගමන දුෂ්කර එකක් වනු ඇත. ජාතිවාදී නොවන බව ඔප්පු කිරීමට හැකි මාවතක් ඔහු අභිමුවෙහි පවතී. එනම් LLRC යෝජනා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලපෑම රජය වෙත එල්ල කිරීමත්, පසුගිය යුද අපරාධ සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබඳ විධිමත් පරීක්ෂණයකට සහාය වීමත්ය.

නමුත් එය ජාත්‍යන්තරයට ඕනෑ නිසා නොව අප රටේ සිටින වින්දිතයන්ට යුක්තිය හා සාධාරණත්වයක් ඉටු කිරීමට අවශ්‍ය නිසාය. යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයකට යාම ඔහුට තමන්ගේම දෑතින් තම ගෙල සිරකර ගන්නවා වැනිය. මන්ද ඔහු පසුගිය යුද්ධය මෙහෙයවූ යුද හමුදාපති වරයාය. නමුත් මේ වන විට එවැනි පරීක්ෂණයක් සඳහා තමා සූදානම් යැයි ප‍්‍රකාශ කර තිබීම විශාල ඉදිරි පියවරක් වනවාක් මෙන්ම දේශපාලනිකව මහින්ද රාජපක්ෂ පරාජය කිරීමකි. මෙම ප‍්‍රකාශයත් සමඟ මහින්ද රාජපක්ෂ විශාල දේශපාලන අර්බුදයකට ලක්වේ. දැන් මහින්ද ජාත්‍යන්තරයට කියන්නේ කුමක්ද? මහින්දට ජාත්‍යන්තරයට එකකුත් රට තුළ තව එකකකුත් කියන්නට සිදුවේ. රට තුළ ෆොන්සේකා පාවාදෙන්නෙකු ලෙස ඔහු විසින් නැවතත් හංවඩු ගසනු ඇත.

ජාතිවාදයෙන් තොර භාවිතයක් තමන් සතු බව පෙන්වීමට ජෙනරල් ෆොන්සේකාට හැකි වේනම් දමිළ හා මුස්ලිම් ජනවර්ග වල සහායද ඔහුට ලැබෙනු ඇත.

විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ශක්තිමත් කර ඊට ජනතා පෙළගැස්මක් ඇති කිරීම.

දැනට විපක්ෂයේ තතවය ඉතා ඛේදනීයය. ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන බෙදීම් දෙකකට ලක්ව තිබේ. ඒ රනිල් වික‍්‍රමසිංහ පිල සහ සජිත් පේ‍්‍රමදාස පිලය. මේ පිල් දෙකේ දෙදරීම තහවුරු කිරීමට ජෙනරල් දැනුවත්වම හවුල් නොවිය යුතුය. එය එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප‍්‍රශ්නයකි. එය ඔවුන්ටම විසඳා ගැනීමට ඉඩ හල යුතුය.

බැලූ බැල්මට සජිත් පිල මේ මොහොතේ පෙනී සිටින්නේ නායකත්වය ලබා ගැනීමේ සටනකය. නමුත් රනිල් පිල ඊට වඩා මදක් ඉදිරියෙන් සිටී. ඔවුන් විපක්ෂයේ ඒකාබද්ධ කිරීමේ වැඩ පිළිවෙලකත්, ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කළ යුතු යැයි ස්ථාවරයක හිදිම්න් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. පසුගිය මැයි දින සැමරුම යාපනයේ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් තීන්දු කිරීම රටට අවශ්‍ය ඉදිරි පියවරකි. මහින්ද රජපක්ෂගේ ඒකාධිපතිත්වය පරාජය කර රට වෙනස් මඟකට යොමු කිරීමට නම් දෙමළ ජනතාවත් සමඟ ඒකාබද්ධ වූ පුළුල් පෙරමුණක් අවශ්‍ය බව රනිල් වික‍්‍රමසිංහ තේරුම් ගෙන තිබේ. එක්තරා විදිහකට එය ඔවුන්ට දේශපාලනිකව අවාසි දායකය. මන්ද ජාතිවාදය මත පදනම් වූ සමාජයක් අප සතු නිසා ඔවුන්ගේ දකුණේ ඡුන්ද පදනම තවදුරටත් අඩු වීමට එය බලපෑ හැක. දෙමළ ජනතාව සමඟ අත්වැල් බැදගැනීම කොටි ලේබලය ඇලවීම ලෙහෙසියෙන් කළ හැක. ITNනාලිකාව උත්සහ කලේ එවැනි තත්වයක් නිර්මාණය කිරීමටය. (ඉදිරි මැතිවරණ කාලයකදී කොටි කොඩි වීඩියෝව ආණ්ඩුව විසින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නැවත බාවිතයට ගනු ඇත.)

රටේ දේශපාලනික වෙනසක් සඳහා සිංහල, දමිළ මුස්ලිම් ජනතා පෙරමුණක් ඇති කිරීම ඓතිහාසික අවශ්‍යතාවයකි. ජෙනරල් ෆොන්සේකා හවුල් විය යුත්තේ එවැනි පෙරමුණක් ශක්තිමත් කිරීමටය. පසුගිය ජනාධිපතිවරණයේදී සියළු අමිහිරි අත්දැකීම් පසෙකින් තබා වැඩි දමිළ ජනතාවක් විශ්වාසය තැබුවේ මහින්දට වඩා ජෙනරල් ෆොන්සේකා කෙරෙහිය. ජෙනරල් ෆොන්සේකා විසින් එය අමතක නොකළ යුතුය. යුද්ධ කළාක් මෙන්ම දමිළ ජනතාවට සාධාරණ විසදුමක් ගෙන ඒමට කටයුතු කරන්නට ඔහු සමත් වේ නම් එය ඓතිහාසික වනු ඇත. එසේ නොකර දකුණේ ජාතිවාදය හා කල්ලි වාදය සමග පමණක් ඔහු ගැට ගැසෙන්නේ නම් ඔහුද දේශපාලන අවස්ථාවාදියෙක් වනු ඇත.

ජාතිවාදී නොවන පිල ජෙනරල් ෆොන්සේකා විසින් තෝරාගනු ලැබුව හොත් ජවිපෙද ජෙනරල් ෆොන්සේකාගෙන් ඈත් වනු ඇත. මන්ද ජවිපෙ තවමත් ජාතිවාදී පදනමක සිට කටයුතු කරන නිසාය. මේ වන විට ජවිපෙද දෙකඩවී ඇත. එහි කුමාර ගුණරත්නම් පිල වර්තමානයේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඇති අතර එය ජාතිවාදයේ පදනම් අතහැර ඇති බවක් තවමත් සිතා ගැනීමට අපහසුය. කෙසේ නමුත් ජවිපෙට වඩා මෙම කණ්ඩායම යම් ප‍්‍රගතිශීලී බවක් පෙන්වන බව නම් පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් මහින්දගේ ඒකාධිපති භාවිතය අවසන් කිරීම සඳහා මේ සියලූ දෙනා හවුල් කර ගැනීම අවශ්‍ය වන අතර එකී අවසන්කිරීම තවත් එක් ආණ්ඩුවක් පිහිටුවීමෙන් එහා ගොස් බල තල බෙදුණු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් ඇති කිරීම වෙනුවෙන් විය යුතුය. එසේ නොවේ නම් එයින්ද ඵලක් නොවනු ඇත.

ජෙනරල් ෆොන්සේකාට එවැනි ඉල්ලකයකට පැමිණිමට අවශ්‍ය නම් ඔහු ඒකාබද්ධ විපක්ෂයේ ශක්තිමත් කිරීමට විපක්ෂයේ අනෙකුත් දේශපාලන නායකයින් සමඟ අත්වැල් බැදගත යුතුය.

ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීම ඇතුළු දේශපාලන බල බෙදීමේ ක‍්‍රියාවලියක් ශක්තිමත් කරමින් ජාතීන් අතර සංහිදියාවක් ගොඩනැගීමට හවුල් වීම.

ජාතීන් අතර සංහිදියාවක් ගොඩනැගීමේ අවම කොන්දේසිය ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීමය. එම යෝජනා ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශාල ජාත්‍යන්තර බලපෑමක් එල්ල වෙමින් තිබෙන අතර රට තුලින් එවැනි බලපෑමක් ප‍්‍රමාණවත් ලෙස එල්ල නොවීම කණගාටු දායකය. රට තුළින් එවැනි බලපෑමක් එල්ල නොවන්නේ රට ජාතිවාදී පදනමක පවතින නිසාය. මහින්දට එය වාසි දායකය. නමුත් ජාත්‍යන්තර තෙරපුම මහින්දට අවාසි දායකය. නමුත් මහින්දගේ ආණ්ඩුවේ ජාතිවාදයේ මුල්පුරුක් බොහොමයක් තිබෙන නිසා හැකිතාක් ජාතිවාදය වපුරා අවසන් මොහොත දක්වා ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක නොකර සිටීමට උත්සහ ගනු ඇත.

මේ වන විටත් ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාකාරී සැලැස්මක් මහින්ද රාජපක්ෂ විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත ඉදිරිපත් කර තිබෙන අතර එහි අන්තර්ගත වන්නේ මොනවාදැයි පාර්ලිමේන්තුවට හෝ ජනතාව වෙත ඉදිරිපත් කර නොමැත. මේ සියල්ලෙන්ම ඔහු උත්සහ දරන්නේ ජිනීවා යෝජනා වලටත්, ජනතාවටත් වෙට්ටු දැමීමටය.

මේ මොහොතේ ජෙනරල් ෆොන්සේකා කළ යුත්තේ ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීමට සහය දැක්වීමයි. එසේ වෙතොත් එය ඔහු දේශපාලනිකව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ගයකි. දේශපාලනිකව මහින්ද පරාජය කිරීමකි.

මෙවැනි ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ නොවන්නට ශ‍්‍රී ලංකාවේ දේශපාලන වෙනසක් සඳහා කෙටි මාවත් සෙවීමමට ජෙනරල් ෆොන්සේකාට නොහැක. එවැනි ස්ථාවරකට පැමිණිය හොත් ආයුද වලින් කරන ලද යුද්ධයකට වඩා ජාතිවාදයේ යුද්ධයට ඔහුට මුහුණ දීමට සිදු වනු ඇත. ජාතිවාදයේ යුද්ධය පරාජය කිරීමකින් තොරව ශ‍්‍රී ලංකාවට දේශපාලන නිදහසක් නොලැබෙනු ඇත.

සේනක වත්තේගෙදර [Senaka Waththegedara]

Picture Credit – www.dawn.com