Colombo, Featured Articles, Features

රණවිරු දිනය සහ ජෙරුසලම් දිනය


අසඩක් – හොඳයි මම තව එක සැරයක් මේ පරීක්ෂණය පවත්වනවා, හරියට ම දැන ගන්න. (ස්ත්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.)
හ්ම්, අදිමු!

(යළිත් ගෲෂා දරුවා අත හරියි.)

ගෲෂා – (අසරණ ව) මමයි හැදුවෙ! දරුව දෙකට ඉරන්නද මට කියන්නෙ? මට බෑ එහෙම කරන්න!

(උපුටා ගැනීම බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ කොකේසියන් චෝක් සර්කල් ඇසුරින් හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ හුණුවටයේ කතාව නාට්‍ය පිටපතෙනි- 2009 අප්‍රේල් 26 සමබිම ඉරිදා සංග්‍රහයෙහි නැවත පළ කරන ලදී.)

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ හමුදා විසින් තිස් අවුරුද්දක් තිස්සේ ඇදී ගිය යුද්ධය අවසන් කර එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමේ තුන්වන සංවත්සරය 2012 මැයි මස 19 වන සෙනසුරාදා කොළඹ දී උත්සවශ්‍රීයෙන් යුතුව සමරන ලදී.

2012 මැයි මස 20 වන ඉරිදා තවත් එවැනිම සැමරුමක් ඊශ්‍රායලයේ අගනුවර වන ජෙරුසලම් නගරයේදී පැවැත්වුණි. ඒ ‛සය දින යුද්ධය’ වශයෙන් හැඳින්වෙන යුද මෙහෙයුම මගින් ඊශ්‍රායල ආණ්ඩුවේ හමුදා විසින් එතෙක් අරාබීන් විසින් පාලනය කළ නැගෙනහිර ජෙරුසලම සහ එහි පිහිටි කන්දේ දෙවොල හෙවත් ටෙම්පල් මවුන්ට් නම් පූජනීය ආගමික ස්ථානය අත්පත් කර ගැනීමෙන් වසර 45 ක් ගතවීම පිළිබඳ සමරුවයි.

කොළඹ පැවැති ‛රණවිරු දින’ සමරු උත්සවය අමතා කතා කළ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කීවේ ‛මුදාගත් උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස සමහරු කෑ ගැසුවත් එම කඳවුරු ඉවත් නොකරන’ බවයි.

ජෙරුසලමේ පැවැති ‛ජෙරුසලම් දින’ සමරු උත්සවයේදී බෙන්ජමින් නෙතන්යාහු මහතා ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන ‛නෙසට්’ මණ්ඩලය අමතා ප්‍රකාශ කළේ ටෙම්පල් මවුන්ට් පූජනීය ස්ථානය ඇතුළත් නැගෙනහිර ජෙරුසලම වෙන්කොට පලස්තීනුවන්ට ලබාදීමෙන් තිරසාර සාමය ඇතිවන බව ඇතැමුන් පැවසුවද කිසි ලෙසකින් හෝ තමන් විසින් යුද්ධයෙන් අත්පත් කරගත් නැගෙනහිර ජෙරුසලම අත් නොහරින බවයි.

ශ්‍රී ලංකාව යුද ජයග්‍රහණය ලබා රට භෞමික වශයෙන් එක්සත් කොට වසර තුනක් ගත වී ඇතත් එසේ එක්සත් කළ ප්‍රදේශයේ ජීවත් වන වාර්ගික සුළුතරයට අයත් දෙමළ ජනතාව ඇතුළත් කරගෙන කල් පවතින සාමය ඇති කරගැනීමට අපොහොසත් වී ඇත. යුද සමයේ අවසන් අදියරේදී සිදු වූ ජාත්‍යන්තර මානවවාදී නීති සහ මානව හිමිකම් නීති උල්ලංඝනය වීම් ගැනත්, යුද්ධයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම ප්‍රමාද වීම පිළිබඳවත්, දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමකට පැමිණීමට අපොහොසත් වීම පිළිබඳවත් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මතයක් ඇති වී ඇත. එහි එක් පියවරක් වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ බලවත් රටවල අනුග්‍රහයෙන් ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳව යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගන්නා ලදී.

සය දින යුද්ධය මගින් නැගෙනහිර ජෙරුසලම අත්පත් කරගෙන, එක්සත් කර අවුරුදු 45 ක් ගතවීමෙන් පසුවද තම භූමියෙන් පන්නා දමනු ලැබූ පලස්තීන ජනතාව සමඟ සාමය ඇතිකර ගැනීමට ඊශ්‍රායලයට නොහැකිව ඇත. පලස්තීන ජනයා ජීවත්වන ප්‍රදේශවල ආණ්ඩුවේ අනුග්‍රහයෙන් යුදෙව් ජනාවාස පිහිටුවීමද ඇතුළත් තම රට විසින් ගෙන යන ප්‍රතිපත්ති හේතුවෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තර ප්‍රජාවේ අපවාදයට ලක්ව ඇත. ඊශ්‍රායලයට එරෙහි යෝජනාවක්ද පසුගිය මාර්තු මස පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයේදී සම්මත කරගන්නා ලදී.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වනාහි දැඩි මතධාරියෙකි. මෑත කාලයේදී තම ආණ්ඩුවට අළුතෙන් එක්වූ පාර්ශ්වයන්ගේ සහයෝගය හේතුවෙන් ඔහුගේ ආණ්ඩුව පවතින්නේ ශක්තිමත් ස්ථාවරයකය. සාමය ඇති කිරීම සඳහා පියවර ගැනීමට ඔහුට හැකියාව තිබුණත් ඔහු දිගින් දිගටම කියන්නේ පලස්තීන පාලන අධිකාරිය සමඟ පැවැති සාම සාකච්ඡා බිඳ වැටීමට හේතු වූ ඔහුගේ ප්‍රතිපත්ති අබමල් රේණුවකින්වත් වෙනස් නොකරන බවයි. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ අල්ලාගත් අරාබි ප්‍රදේශවල ආණ්ඩුවේ අනුග්‍රහයෙන් යුදෙව් ජනාවාස ඉදි කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යාමට ඔහු ගත් තීරණයයි. එම තීරණය අත් හිටුවන තුරු නෙතන්යාහු අගමැතිවරයා සමඟ සාම සාකච්ඡා නොකරන බව පලස්තීන අධිකාරිය පවසා ඇත. නමුත් නෙතන්යාහු කියන්නේ සාම සාකච්ඡා සඳහා කිසිදු කොන්දේසියකට යටත්වීමට තමා සූදානම් නැති බවයි.

තත්ත්වය මෙසේ පවතිද්දී ඊශ්‍රායල ආණ්ඩුව සහ ජනතාව උත්සවශ්‍රීයෙන් ‛ජෙරුසලම් දිනය’ සමරද්දී ඊශ්‍රායලයේ හිටපු අගමැතිවරයා වන එහුඩ් ඔල්මට් මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් දේශපාලන වශයෙන් ඉතා නිර්භීත ප්‍රකාශයක් කළේය. ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළ අන්දමට ‛ආණ්ඩුවල නොසැලකිලිමත්කම හේතුවෙන් අරාබි සහ ඊශ්‍රායල ජන කොටස් නැවත පෑස්සිය නොහැකි ආකාරයට බෙදී ගොස් අවසන් බවත්, ඊශ්‍රායල නායකයන්ට සැබැවින්ම සාමය අවශ්‍ය නම් ඔවුන් විසින් ‛ඒකාබද්ධ ජෙරුසලමක්’ පිළිබඳ අදහස හිතින් අතහැර දැමිය යුතු බවත්’ එහුඩ් ඔල්මට් මහතා ප්‍රකාශ කොට ඇත.

ඊශ්‍රායලයේ ප්‍රධාන ධාරාවේ දේශපාලන නායකයෙකු විසින් පසුගිය අවුරුදු 45 ක කාලය මුළුල්ලේම මෙවැනි නිර්භීත ප්‍රකාශයක් කර නැති තරම්ය. හිටපු අගමැතිවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කිරීම සුවිශේෂී වැදගත් කමක් දරයි. විශේෂයෙන්ම බලවත් අගමැතිවරයා උත්සවශ්‍රීයෙන් යුතුව තම රටේ අගනුවර මෙන්ම යුදෙව් ජාතියේ ආඩම්බරය වන ජෙරුසලම් නගරය කුමන තත්ත්වයක් යටතේවත් බෙදා වෙන් නොකරන බව ප්‍රකාශ කරද්දී, සාමය ඇති කර ගැනීම සඳහා අගනුවර බෙදා වෙන් කළ යුතු බව ඔල්මට් මහතා පැවසීම සුවිශේෂය.

“ජෙරුසලම් නගරය ප්‍රායෝගික අර්ථයෙන් එක්සත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගවලින් ඇබිත්තක්වත් ඉටුකිරීමට 1967 න් පසුව පත් වූ කිසිම ඊශ්‍රායල ආණ්ඩුවක් කටයුතු කර නැහැ. එහි ප්‍රතිඵලය වශයෙන් අප ගමන් කරමින් සිටින්නේ වෙනත් තෝරාගැනීමක් නැති තත්ත්වයක් යටතේ දේශපාලන විසඳුමක් දීමට සිදු වීම යන්න වැළැක්විය නොහැකිය. අපට මුහුණ දෙන්නට සිදුවන ඛේදවාචකය එයයි.” යනුවෙන් හිටපු අගමති ඔල්මට් ‛මාරිව්’ නම් දිනපතා පත්‍රයට ප්‍රකාශ කොට ඇත. මේ කතාව සිංහලෙන් කිව්වොත් එහි තේරුම වන්නේ අල්ලාගත් ජෙරුසලමේ වෙසෙන යුදෙව් සහ අරාබි ජාතීන්ට එක්සත්ව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට පසුගිය අවුරුදු 45 තිස්සේම බලයේ සිටි ඊශ්‍රායල ආණ්ඩු අසමත්වීමේ ප්‍රතිඵලය වන්නේ නගරය අරාබි සහ යුදෙව් වශයෙන් බෙදා වෙන්කිරීම නැමැති අවාසනාවන්ත විසඳුම වෙත ගමන් කරන්නට සිදුවීම නොවැළැක්විය හැකි බවයි.

නැගෙනහිර ජෙරුසලම යනු යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන ත්‍රිවිධ ආගමටම අදාළ පූජනීය ස්ථානවලින් හෙබි සංවේදී ප්‍රදේශයකි. එහි විශාල අරාබි ජනකායක් ද ජීවත් වෙති. 1967 මැද පෙරදිග යුද්ධයේදී ඊශ්‍රායලය විසින් නැගෙනහිර ජෙරුසලම අත්පත් කර ගන්නා ලද අතර ඒ වහාම එම ප්‍රදේශය ඊශ්‍රායලයට ඈඳාගෙන ජෙරුසලම එක්සත් කරන ලදී. පලස්තීනුවන් බලාපොරොත්තු වන්නේ ජෝර්දාන නදියේ බටහිර ඉවුර සහ ගාසා තීරයද ඇතුළත් අනාගත පලස්තීන ස්වාධීන රාජ්‍යයක අගනුවර ලෙස නැගෙනහිර ජෙරුසලම ලබා ගැනීමටය.

කෙසේ වුවද ‛ජෙරුසලම් දින’ සවස ජනතාව ඇමතූ අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ‛යුද්ධයෙන් එක්සත් කළ ජෙරුසලම බෙදන්නට කිසිසේත් ඉඩ නොදෙන’ බවයි.

‛‛ජෙරුසලමෙන් තොර ඊශ්‍රායලය හදවත නැති සිරුරක් වැනිය. අපගේ හදවත නැවත බෙදා වෙන් කරන්නට අපි කිසිදා ඉඩ දෙන්නේ නැත” නෙතන්යාහු කියයි.

ඊශ්‍රායල-පලස්තීන ආරවුල හෙවත් මැද පෙරදිග ගැටුමේ අරටුව මෙන්ම විසඳීමට අපහසුම ප්‍රශ්න වලින් එකක් වන්නේ ජෙරුසලමේ අනාගතය පිළිබඳ ගැටලුවයි. මේ ශුද්ධ භූමියේ යුදෙව්වන්ට මෙන්ම ඉස්ලාම් භක්තිකයන්ටද අයත් පූජනීය ස්ථානයක් පවතී.

“සාමය උදාවන්නේ අප විසින් ජෙරුසලම බෙදා වෙන් කළහොත්, එනම් ටෙම්පල් මවුන්ට් පූජනීය ස්ථානය අත හැරියහොත් පමණක් යැයි සමහරු විශ්වාස කරති. නමුත් මට නම් ඒ පිළිබඳව ඇත්තේ සාංකාවකි. අප ටෙම්පල් මවුන්ට් පිහිටා ඇති චතුරශ්‍රය වෙනත් බලවේග අතට පත් වීමට ඉඩ හැරියහොත් අප වැඩි කල් නොයාම ආගමික යුද්ධයකට මැදි වනු ඇත.” නෙතන්යාහු මෙසේ කියන්නේ හිටපු අගමැතිවරයා දැක් වූ අදහස් වලට ප්‍රතිචාරයක් ලෙස බව පැහැදිලිය.

කෙසේ වුවත් හිටපු අගමැති එහුඩ් ඔල්මට් දරන්නේ මීට වෙනස් අදහසකි. ජෙරුසලම එක්සත් පූජනීය නගරයක් ලෙස තබා ගැනීමේ වෑයම යථාර්ථවාදී නොවන බව කියන ඔහු නැගෙනහිර ජෙරුසලමේ අරාබි ජනාවාස නගරයේ සෙසු කොටස් සමඟ අන්තර්ග්‍රහනය කිරීමට ගත් උත්සාහයන් සාර්ථක වී නැති බවද පවසයි.

“ඔවුන් එක්සත් කොට ජෙරුසලමේ සැබෑ ජන ජීවිතයට සම්බන්ධ කිරීමට අපට නොහැකියි. වේදනාව හැර අන් කිසිවක් අපට ඔවුන් වෙතින් ලැබී නැත.” එහුඩ් ඔල්මට් කියයි.

මේවන් ප්‍රකාශයක් කරන එහුඩ් ඔල්මට් වනාහි 2006 සිට 2009 දක්වා ඊශ්‍රායලයේ සිටි අගමැතිවරයා වන හෙයින් ඔහු බලයේ සිටින විට කටයුතු කළ ආකාරය පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත් වේ. නැත්නම් ‛බලය තියෙන කොට මොළය නෑ – මොළය තියෙන කොට බලය නෑ’ යන ලංකාවේදී නිතර පාවිච්චියට ගැනෙන සංකල්පය මෙතැනදීත් අදාළ වූවාදැයි නොදන්නා බැවිනි.

1993 සිට 2003 දක්වාම එහුඩ් ඔල්මට් යනු පලස්තීන ජනතාවට දේශපාලන සහන දීමට විරුද්ධව කටයුතු කළ දැඩි මතධාරී දේශපාලනඥයෙකි. නමුත් ඉන් අනතුරුව ඔහු දේශපාලන විපරිවර්තනයකට ලක්විය. 2006 දී ඊශ්‍රායලයේ අගමැති ධුරයට පත්වීමෙන් පසු ඔහු පලස්තීනුවන්ට තම භූමිය සම්බන්ධයෙන් පුළුල් අයිතිවාසිකම් ලැබෙන ආකාරයේ සාම ගිවිසුමක් ඇති කරගැනීමේ අරමුණින් ක්‍රියාවලියක් ආරම්භ කළේය. නමුත් අවාසනාවකට මෙන් දූෂණ චෝදනා හේතුවෙන් 2009 දී ඔහුට තම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය.

එම සාකච්ඡාවන්හිදී නැගෙනහිර ජෙරුසලමේ සමහර කොටස් පලස්තීනුවන්ට භාර දීමට ඔහු එකඟ විය. එමෙන්ම ඉතා සංවේදී පූජනීය ස්ථාන රාශියකින් යුත් පැරණි ජෙරුසලම් නගරය ඊශ්‍රායල්වරුන්, පලස්තීනුවන්, ඇමරිකානුවන්, ජෝර්දානුවන් සහ සවුදි අරාබීන්ගෙන් සමන්විත ජාත්‍යන්තර සංසදයක් මගින් පාලනය කිරීමට ද ඔහු එකඟ විය. තම සාකච්ඡා පලස්තීනුවන් සමඟ සාම ගිවිසුමක් ඇති කරගැනීමට ඔන්න මෙන්න කියන තැනට පත්වූ බව හිටපු අගමැතිවරයාගේ මතයයි. නමුත් පලස්තීනුවන් කියන්නේ එහුඩ් ඔල්මට් සාම සාකච්ඡාවලදී ප්‍රමාණවත් තරම් දුරක් යාමට අපොහොසත් වූ බවයි.

2009 දී අගමැති ධුරයට පත් වූ බෙන්ජමින් නෙතන්යාහු ජෙරුසලම බෙදා වෙන් කිරීම ඇතුළු එහුඩ් ඔල්මට්ගේ සාම සැලැස්මට පයින් ගැසීය. පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂ වලින් තම ආණ්ඩුවට එකතු කරගත් පිරිස් නිසා දැන් ඔහුගේ දැඩි මතධාරී ප්‍රතිපත්ති ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය වාතාවරණය දේශීය වශයෙන් ඇති වී ඇත. එහෙත් පලස්තීනුවන් සමඟ සාමය ඇති කරගැනීමට හෝ ජාත්‍යන්තර වශයෙන් තමන් වෙත එල්ල වී ඇති පීඩනයෙන් මිදීමට හෝ නෙතන්යාහුගේ බහුතරයට හැකියාවක් ලැබී නැත.

මෙවන් පසුබිමක එහුඩ් ඔල්මට් හිටපු අගමැතිවරයාගේ ප්‍රකාශය වැදගත් වේ. එවැනි ප්‍රකාශයක් කිරීමට වෙනත් වර්ගයක ධෛර්යයක් සහ නිර්භීතකමක් අවශ්‍ය වේ. සමහර විට ඊශ්‍රායලයේ සිටින යුදෙව් දැඩි මතධාරීන් එහුඩ් ඔල්මට් අගමැතිවරයාගේ අතීත ක්‍රියාමාර්ගය සහ වර්තමානයේද එම ස්ථාවරයේම රැඳී සිටීම සරදමට ලක් කරනවා වෙන්නට පුළුවන. එහෙත් කෙටි කාලීනව කෙසේ වෙතත් දිගු කාලීන වශයෙන් ඊශ්‍රායලයේ ජනතාවට සාමය උදා කරගත හැක්කේ පලස්තීනුවන්ගේ දේශපාලන අයිතිවාසිකම් පිළිගැනීම මගින් පමණකි. එබැවින් කෙතරම් අවඥාවකට ලක්වීමට සිදුවුවද එම මතය වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීම ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඊශ්‍රාලයකට ආදරය කරන ජනතාවගේ වගකීමයි.

සුදර්ශන ගුණවර්ධන[Sudharshana Gunawardhana]

උපුටා ගැනීම – http://www.samabima.info/?p=2466&preview=true