සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips

ධර්මයෙන් ගිලිහෙන මිනිසාගේ ප්‍රතිරෝධය


[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත් ලිපි, ප්‍රකාශණය – යුක්තිය පුවත් පත – මුද්‍රණය 1998.]

පසුගිය සතියේ මම ඥාතියෙකුගේ ගෙදර මතක බණකට ගියෙමි.

බණ දේශණාව කළ ස්වාමීන් වහන්සේ සිය කාර්ය හොදින් කළේය. දේශණාවට උචිත බණ පදයක් මාතෘකා කොට ගෙන ඔහුගේ ජීවිතයේ අනිත්‍යතාව ගැනත් මරණය සියලු ජීවීන්ට අනිවාර්ය බවත් වෙනස් වීම හෝ විපරියාස සියළු සත්කාර්යන්ගේ ස්වභාවය බවත් දේශණා කළේය. ඔහුගේ බණ තුළ සමානාත්මතාවය පිළිබද සංකල්පයක් ගැබ් වී තිබුණි. බොහෝ දෙනා බණ ගැන පැහැදීමක් ඇති කර ගත්තේය.

එහෙත් බණ අවසන් වී එහිමියන් ගෙහිමියා හා අනිත් ඇත්තන් සමග සතුටු සාමීචියේ යෙදෙන විට මේ ගත ගුණ හා ආකල්ප මහත් විපර්යාසයකට භාජනය විය. මිනිත්තු කිහිපයකට පෙර “සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා“ යැයි ඉතා විශ්වාසනීය හැගීමකින් හා ස්වරයකින් වදාල ඔහු සතුටු සාමීචියේදී දෙමළ ජන වර්ගයා ගැන පරිභවයෙන් කතා කරන්නට පටන් ගත්තේය. දේශපාලන විසදුමකට ඔහු විරෝධය ප්‍රකාශ කළේය. රටේ සිංහල බෞද්ධකම ආරක්ෂා කර ගන්නට සියළු බෞද්ධයන් ඇප කැප වී ක්‍රියා කළ යුතු යැයි ඔහු කීවේය. ඒ සදහා යුද්ධය සාධාරණ බවද කීවේය.

කොටින්ම කියතොත් පැය භාගයකට අඩු කාලයකදී ඔහු බුද්ධ පුත්‍රයෙතුගේ තත්ත්වයෙන් සිංහල – බෞද්ධ භික්ෂුවකගේ තත්ත්වයට ගිලුණේය. මේ වෙනස අප තේරුම් ගන්නේ කෙසේද? මට මේ ස්ථාවර දෙක අතර පැහැදිළිව පෙනෙන පරතරය අන් අයට දිස් වන්නේ නැද්ද? මේ භික්ෂුවටත් ඒ ප්‍රති විරෝධය නොදැනෙන්නේද? එවැනි ප්‍රති විරෝධයන් ඇති බව වත් ඔහුගේ මනසට ඇතුළු වන්නේ නැද්ද?

සියළු මිනිසුන් කෙරෙහි කරුණාව, මෛත්‍රිය හා අනුකම්පාව දැක්විය යුතු බව කියා ඇත්ත වශයෙන් සියළු මිනිසුන්ට පමණක් නොව සියළු සත්වයන්ට, සියළු ජීවීන්ට මෛත්‍රිය දැක්විය යුතු යැයි කියා ස්වල්ප මො‍හොතකින් තමන් හා එක රටක වෙසෙන අසල්වැසියා ඒ මෛත්‍රී චේතනාවෙන් පිටුවහල් කිරීම එක් විදියකින් තේරුම් බේරුම් කර ගැනීම දුෂ්කර වේ.
එහෙත් මෙසේ සිතන අතරම මට මනෝ විද්‍යාවේ ප්‍රාරම්භක චින්තකයෙකු වන සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ රචනයන් මට සිහි විය. පසුගිය දා මම ඒ රචනය සොයා බැලුවෙමි.

ඔහුගේ අදහස් කෙටියෙන් මෙසේ දැක්විය හැකිය. සියළු මිනිසුන් අනෙකුත් මින්සුන් එක සමාන බව පිළිගැනීමට සියළු මිනිස්සු සූදානමින් සිටිති. ඒ සියළු මිනිසුන්ගේ සංකල්පීය පදනමයි. එහෙත් ඔවුහු තමන් හා ‍අනෙකුත් මිනිසුන් අතර සුළු වෙනස්කම් දකිති. ඒ සුළු වෙනස්කම් උඩ සංස්කෘතික මට්ටමෙන්, ආගමික මට්ටමෙන්, ජන වාර්ගික මට්ටමෙන් ජාති මට්ටමෙන් ඔවුහු වෙනස් වෙති. වෙනස් වීම පදනම් කර ගෙන එකිනෙකාට විරුද්ධ වෙති. එකිනෙකා සමග සටන් කරති.

එහෙත් ඔහු මෙය ප්‍රති විරෝධයක් ලෙස නොදකියී. මා කලින් පැවසූ අදහසට වඩා ගැඹුරු මනෝ විද්‍යාත්මක ස්වරෑපයෙන් ඔහු මෙහි හදුනා ගනී.

ඔහු මෙය දකින්නේ මිනිස් සිත් තුළ පවතින සනාතන අරගලයක් ලෙසයි. එක් අතකින් සියළු මිනිසුන් කෙරෙහි මෛත්‍රිය දැක්වීම යන චේතනාව. එය ගැඹුරු මහගු චේතනාවකි. එය ගැඹුරු මහගු චේතනාවකි. අනිත් අතින් “සුලු වෙනස්කම්” මත ඉදි වන ද්වේශය හා ක්‍රෝධය මේ පහත් චේතනාවන්. මේ චේතනා දෙක අපේ මනස් තුළ සනාතන අරගලයක යෙදෙයි. බොහෝ විට ද්වේශය හා ක්‍රෝධය, මෛත්‍රීය මැඩ පවත්වා ආධිපත්‍යයට පැමිණෙයි. අනෙක් මිනිසා තමා හා සමානයෙක් යන හැගීම එසේ හදුනා ගැනීමේ මෙහොත ද්වේශ සහගත චේතනාවෙන් මැකී යයි.

බුදු දහම සැබවින්ම යෙදිය යුත්තේ මේ පහත් චේතනාවන් අභිබවා මෛත්‍රිය හා අනුකම්පාව යන සමානාත්මතාවය උඩ පදනම් වූ චේතනාවන් ජය ගැනීමටයි. එසේ වන්නට මිනිසුන්ට උපකාර කිරීමටයි.

අද අපේ ඛේදවාචකය ඒ කටයුත්ත කරන්නට කැප වී සිටිය යුතු බොහෝ බුද්ධ පුත්‍රයන් ඒ මහගු කාර්ය ඉවත දමා ද්වේශය ක්‍රෝධය, ඉස්මතු වීමට මිනිදුන් ඒ පහත් චේතනාවන්ට ගොදුරු කිරීමට උපකාර වීමයි.

යාපනයේ දෙමළ කතෝලික පූජක වරයෙක් මට වරක් කීවේ , මම පළමුව දෙමලෙකි. දෙවනුව කතෝලිකයෙක්. “මා ඉහත සදහන් කළ භික්ෂූන් කියන්නෙත් ඒ ටිකමයි” “අපි ප්‍රථමයෙන් සිංහලයෝ – දෙවෙනමුව බෞද්ධයෝ”

කොතරම් විපර්යාසයක්ද? ධර්මයෙන් කෙතරම් ගිලිහීමක්ද?
1995 සැප් 24