Colombo, end of the War, Featured Articles, Features

දෙනගම ඥානවතී, පාමන්කඩ ශාන්තිනී සහ සදාචාර පොලීසිය


පාසැල් ගුරුවරියක් වූ දෙනගම ඥානවතී ලිංගික අපරාධයන්ට ලක් කොට ඝාතනය කරන ලද්දේ 1985 වසරේදී ය. එළෙසම සය හැවිරිදි ළැදරියක වූ පාමන්කඩ ශාන්තිනී ලිංගික අතවරයන්ට ලක් කොට ඝාතනය කරන ලද්දේ ඊයේ පෙරේදා එනම් 2012 වසරේදී ය. එදා මෙදා අතරතුර වෙසෙසින්ම පශ්චාත් යුද සමය පුරා මෙවැනි හද කම්පා කරවන ලිංගික අපරාධ වැළ නොකැඩී අසන්නට ලැබුණි.

දෙනගම ඥානවතී ඝාතනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තාකරනයන් විසින් සමාජ තැති ගැන්මක් ඇති කරන ලදී. ඒ ඇසුරෙන්ම ‘මීළඟ දෙනගම ඥානවතී ඔබ ද?’ යැයි අත් පත්‍රිකාවක් ඛෙදමින් කුරුනෑගල මූලික කොට ගත් ස්ත්‍රීවාදී පිරිස් මහජන ව්‍යාපාරයක් දියත් කළෝ ය. එපමණක් නොව එම ව්‍යාපාරයේ උච්චාවස්ථාවක් වශයෙන් ඇය ඝාතනය කරන ලද දෙනගම දී එම ලිංගික අපරාධයට සහ ඝාතනය එරෙහිව මහජන රැස්වීමක් පැවත්වීමට ප්‍රගතිශිලී කාන්තා පෙරමුණ සමත් විය.

1990 මුල් භාගයෙහි නිරුවත් කර ඝාතනය කරන ලද හෝ ඝාතනය කිරීමෙන් පසු නිරුවත් කරන ලද හෝ එල්ටීටීඊ සෙබළියන්ගේ ජායාරුප වැළිඔය ජිවත් වූ දේශපාලන සගයකු අප කරගෙන ගිය යුක්තිය පුවත්පතට ලබා දුන්නේ ය. මෙම ජායාරුප පිටපත් අපි එවකට තවත් විකල්ප පුවත්පතක් කරගෙන යමින් සිටි සගයකු වූ සුනිල් මාධවට ලබා දුන්නෙමු. එම පින්තූර දැකීමෙන් එදා මහත් කම්පනයට පත් සුනිල් මාධව ‘මෙවැනි අපරාධයන්ට එරෙහිව ආයුධ නොගන්නා දෙමළුන් වෙත්නම් ඒ නිවටයෝය’ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මහජන රැස්වීම්හිදී ආවේගාත්මක ලෙස කියන්නට පුරුදුව සිටියේ ය.

අද ශාන්තිනීගේ මරණය තවත් හුදු මරණයක් ලෙස දවසක් දෙකක් ඇතුළත සමාජය විසින් අමතක කර තිබේ. තවත් ලාබාලයින් දෙදෙනෙකු විසින් සිය ඥාති සහෝදරියක වූ ඒ සුරතල් දැරිය ඇදිහිය නොහැකි ලිංගික අපචාරයකට ලක් කර මරා දමනු ලැබුවේ ඇයි දැයි අප අපෙන්ම අසා ගන්නේ නැත. ශ්‍රී ලංකාව පුරා වසංගතයක් මෙන් පැතිර යන බාලයින් සහ බාලිකාවන් ලිංගික අපවාරයන්ට ලක් කිරීම පවා දැන් අපේ සමාජයට හුදු සංඛ්‍යා ලේඛනයක් පමණි. සමාජයේ එකම පැතුම ‘අනේ දෙවියනේ මගේ දරුවන්ට නම් එහෙම දෙයක් වෙන්න දෙන්න එපා’ යනු පමණය. සමාජයේ සාමූහික හෘර්ද සාක්ෂිය මිය ගොසිනි.

අන්තර් ජාල යූ ටියුබ් වෙබ් අඩවියෙහි ඇති ශ්‍රී ලංකාවේ යුද්ධයට සම්බන්ධ බව පෙනෙන එක් කෙටි වීඩියෝවක රජයේ සොල්දාදුවන් කිහිප දෙනෙක් මිය ගිය එල්ටීටීඊ සෙබළියකගේ සිරුර රැගෙන එනු පෙනේ. එම කණ්ඩායමට මුහණ ලා සිටින ඉතා හොදින් හදුනාගත හැකි තවත් සොල්දාදුවකු සිංහලෙන් මෙසේ කියයි. ‘තවම රශ්නෙයි. ගහපන්, ගහපන්’

අප සියළු දෙනාම 2009 මැයි මාසයේ දී රජයේ රූපවාහිනියෙන්ම දුටු එක් යුද වාර්තාවක දැක්වුනේ නිරුවත් කර ටැක්ටරයක බාවා අනුරාධපුරයෙහි ප්‍රදර්ශණයට ගෙන යන එල්ටීටීඊ සෙබළියන්ගේ සිරුරුය. ඔවුන් නිරුවත්කර ඇත්තේ ඇයි දැයි අපේ සමාජය ප්‍රශ්ණ කළේ නැත. ඇදුම් ගලවා නිරුවත් කරන ලද එවැනි එල්ටීටීඊ සෙබළියන්ගේ සිරුරු දැක්වෙන වීඩියෝ සහ ජායාරූප අද අන්තර් ජාලයෙහි සුලභය. තුවක්කු තුඩෙන් මියගිය එල්ටීටීඊ සෙබලියන්ගේ තනපට ඉවත් කරන වීඩියෝවක් ද මේ අතර වෙයි.

එම වීඩියෝ සහ ජායාරූප රාජ්‍ය විරෝධීන්ගේ ද්‍රෝහී ක්‍රියා ලෙස දක්වා බැහැර කරනු විනා ‘ඇයි මේ’ කියා හෝ අපේ සමාජය ප්‍රශ්ණ කරන්නේ නැත. අප යුද්ධ ප්‍රචණ්ඩත්වය සමස්තයක් වශයෙන් තේරුම් ගන්නේ නැත්නම් ඊට ප්‍රතිකර්ම යෙදීමට හැකිවන්නේ නැත. යුදවාදී මානසිකත්වය විසින් ප්‍රශ්ණ විසඳා ගැනීමේ ක්‍රමය ලෙස ප්‍රචණ්ඩත්වය පමණක් නොව ස්ත්‍රීන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය ද සාධාරණ කොට තිබේ. 1990 ගනන් මුල් භාගයෙහි සුනිල් මාධව විසින් මහජන රැස්වීම්හි දී සඳහන් කරන ලද මුලින් කී ජායාරුප අද දක්නට ඇති සාක්ෂි හමුවෙහි ලූහු වී යයි.

සිංහල සමාජය සමස්තයක් වශයෙන් එල්ටීටීඊයට එරෙහි කරන ලද යුද්ධය වීර ක්‍රියාවක් ලෙසම සළකනු විනා ඕනෑම යුද්ධයක නිසඟ ළකුණක් වන අපරාධකාරී මානසිකත්වය සැළකිල්ලට ගන්නේ නැත. වියට්නාමයේ යුද වැදුණූ ඇමෙරිකානු සෙබළුන් අතර ප්‍රචලිත එක් ගී පද වැළකින් කියැවුනේ ‘මට තුවක්කු දෙකයි, එකක් සතුරාට අනෙක ගැහැණුන්ට වෙඩි තියන්න’ කියා ය. දෙවන ලෝක සංග්‍රමයෙන් පසු සෝවියට් රුසියානු සෙබළන් විසින් ස්ත්‍රීන් මත මුදා හරින ලද ලිංගික ප්‍රචන්ඩත්වයන් ගැන ප්‍රශ්ණ කරනු ලදුව යුද ජය මෙහෙයවූ සෝවියට් රුසියානු නායක ජෝෂප් ස්ටාලින් ඇසූයේ ‘ඒ සා භයානක යුද්ධයක් දිනූ සොල්දාදුවෙක් ස්ත්‍රියක් කෙළෙසුවහම ඇති වරද කුමක්ද?’ කියා ය. ඒ යුද්ධයේ ඇත්ත සැටිය.

සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය වටින්නේ යැයි කියනු ලබන්නේ අප අද අත්විදින අන්දමේ පශ්චාත් යුද්ධ ගැඹුරු සහ නොවිසදිය හැකි තරමේ සමාජ, සංස්කෘතික සහ දේශපාලන අර්බූදයන් බොහෝ විට යුද්ධය විසින් දායාද කරනු ලබන නිසාය. සිත් පිත් නැති ගල් ගැසුනු සමාජය මෙන්ම සමාජ ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ද පශ්චාත් යුද්ධ විපාක වෙත්.

1985 දී දෙනගම ඥානවතී ගේ මරණයෙන් සලිත වූ සමාජය අද පාමන්කඩ ශාන්තිනීගේ මරණයෙන් සළිත වන්නේ නැත. ඊට එක් හේතුවක් නම් යුද්ධ මානසිකත්වය විසින් අපරාධ සාමන්‍ය දේ බවට පත් කොට සාධාරණ කර තිබීම නොවේ ද?

අනෙත් අතට මෙම විපාකයන්ට මුහුණ දීමේ නාමයෙන් පශ්චාත් යුද්ධ රාජ්‍ය විසින් දියත් කරන ලබන බොරු සදාචාරවාදය ද යුද්ධයේම දිගුවකි. ඊට උදාහරණ බොහෝ ය.

ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙහි එකිනෙකා හා සමීපව ආල හැගුම් පාමින් සිටියේ යැයි චෝදනා කොට සිසුවියන් පිරිසකගේ කන්‍යාබව පිරික්සීමට යැයි ආරක්ෂ නිලධාරීන් ද සමඟ එම සරසවියේ උපකුලපති විසින් කලූබෝවිල රෝහලට යවන ලද්දේ 2011 වසරේදී ය. එමෙන්ම රට පුරා විවිධ දිස්ත්‍රික්කයන්හිදී තරුණ තරුණියන් එකිනෙකාට තුරුල්ව සිටියේ යැයි චෝදනා කොට පොලීසියට කුදලාගෙන ඒමද පශ්චාත් යුද්ධ පාලනයේ ලක්ෂනයක්ව පැවත තිබේ. මතට තිත බොරු ප්‍රචාර, වැඩිහිටි වෙබ් අඩවි සහ සිනමා පට තහනම ද එවැනිම පියවරයන් ය.

මෙම සදාචාරවාදිය කොයි තරම් කා වැදී අද්ද යත් 2012 කාන්තා දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද රැස්වීමක ප්‍රධාන දේශිකාව ස්ත්‍රී දූෂණයන්ට එක් හේතුවක් නම් තරුණියන් අදින අසංවර ඇදුම් යැයි කියා තිබුණි. එයද එවැනිම සදාචාරවාදී පිවිසුමකි.(නමුත් ශාන්තිනී කොට ගවුමක් ඇද සිටියේ නැත.)

ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ සංස්කාතික සහ දේශපාලන ගැටළු සියල්ලම වාගේ යුද්දයේ බලපැම විසින් තීව්ර කරන ලද ඒවා ය. යුද්ධය සහ එහි විපාක පිළිබඳ අව්‍යාජ සහ විවෘත සාකච්ජාවකින් තොරව අපට ඒ කිසිවක් තේරුම් ගැනීමට හෝ විසදුම් සෙවීමට හෝ නොහැකිය.

අකල්හි තැලී පෙළි පරව යන දකුණෙහි ශාන්තිනිලාට සාධාරණය ඉටු කිරීමත් එවැනිම ඉරණම්වලට මුහුණ පෑ උතුරෙහි ශාන්තිනීලාට සාධාරණය ඉටු කිරිමත් එකම කාසියක දෙපැත්ත ය. එකම ක්‍රියාදාමයක කොටස් විය යුතු ය.

පසු සටහන:

ජනාධිපති රාජපක්ෂ මහතාගේ එංගලන්තයෙහි ඉගෙන ගන්නා බාල පුතනුවන් සිය සමීප මිතුරියක සමඟ ආල හැගුම් පෙන්වන අලංකාර ජායාරූප ඔහුගේ මුහුණු පොතෙහි ප්‍රසිද්ධ කර තිඛෙන බව වෙබ් ජනමාධ්‍ය විසින් ප්‍රසිද්ධ කරන ලද්දේ ඊයේ පෙරේදා ය. (එම ජයාරූපයන්හි කිසිදු වරදක් මෙම ලේඛකයා දකින්නේ නැත. යෞවනය විදීමට දරුවන් ලබන අවස්ථා ඇති කරන්නේ ප්‍රිය ජනක හැගීමකි) ශ්‍රී ලංකාවේ සදාචාරවාදී දේශපාලනඥයින් සිය දරුවන් වැඩිදුර අධ්‍යාපනය පිණිස යවනු ලබන එංගලන්තය ඇතුළු බොහෝ රටවල සරසවි සිසුසිසුවියන් අවම වශයෙන් පස් දෙනෙකු සමඟවත් ලිංගික සබඳතා පවත්වන බව සමීක්ෂනයක් මගින් හෙළිදරව් කරන ලද්දේ 2011 අවසානයේ දී ය.

ලංකාවේ සරසවි සිසුවියන්ගේ කන්‍යාබව පිරික්සීම මෙම සන්දර්භය තුළ කොතරම් කුහකවතක් ද?

සුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshapriya]