සිංහල, Colombo, Democracy, Governance, Media, Peace and reconciliation

2nd Edition | නීලන් තිරුචෙල්වම් අනුස්මරණ වීථි චිත‍්‍ර විනාශ කරයි

2nd Edition[11.25am -05 August 2012]
නැවත වරක් කිංසිපාරේ ඉතිරිව තිබූනු නීලන් තිරැචෙල්වම් අනුස්මරණ චිත්‍ර කොටස් මෙන්ම සියලුම චිත්‍ර මැකී යන සේ ඊයේ(04 වන සෙනසුරාදා) රාත්‍රී 9ට පමණ පැමිණි පිරිසක් නැවතත් තාර දමා සියලු චිත්‍ර විනාශ කර ඇත. අගෝස්තු 03 වනදා ඔවුන් විසින් එම චිත්‍ර සම්පූර්ණයෙන්ම විනාශ කර තිබුණත් එහි තිබූ සිංහල අක්ෂර වලට හානි කර නොතිබූ අතර ඊයේ එම සිංහල කොටස් ඇතුලු ‍පෙර දින ඔවුන්ට විනාශ කිරීමට අපහසු වූ සුලු චිත්‍ර කොටස්ද මේ වන විට අලුත් තාර තට්ටුවක් දමා විනාශ කර ඇත.(පහත ඡායාරෑපය බලන්න). ආරංචිමාර්ග සදහන් කරන්නේ ඊයේ රාත්‍රී පැමිණී පිරිස තාර දැමීමට භාවිතා කර උපකරණ මෙන්ම විදුලි ලාම්පුද රැගෙනවිත් මෙම විනාශය සිදු කළ බවයි.

මේ 2012 අ‍ගෝස්තු 05උදෑසන 10.00ට පමණ ලබාගත් ඡායාරෑප

1999 ජූලි 29වනදා ඝාතනයට ලක්වූ ආචාර්ය නීලන් තිරුචෙල්වම් මහතාට ගෞරව පිණිස ඔහු ඝාතනය කළ කිංසි පාරේ, කිංසි ටෙරස් හන්දියේ ‘ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය සුරකිමු’ යන වැකි මෙන්ම සාමය සහ ජීවිතය නිරූපණය වන මෝස්තර රටා ද කිසියම් පිරිසක් විසින් ඊයේ(03) රාත‍්‍රී විනාශ කර ඇත.

එම සිතුවම් ඊයේ රාත‍්‍රී විනාශ කිරීමට පෙර එනම් ඊට පෙර දින අගෝස්තු 2 දා පස්වරු 10.45ට පමණ, කිංසි පාරේ ට‍්‍රක් රථයකින් පැමිණි පුද්ගලයෝ 15 දනෙකුට ආසන්න ප‍්‍රමාණයක් පැමිණ ඉන් එක් අයෙක් එම සිතුවම් මත කළු තෙල් වැනි දියරක් වත් කළ අතර, තවකෙක් වැලි හැලූ බවද පැවසේ. ඉන්පසු පසුදින උදෑසන එම සිතුවම් ද ඒවායේ වර්ණ ද අඳුරු වී තිබුණත්, ඒවා පැහැදිලිව දැක ගත හැකි විය.

නැවතත් උත්සහයක

ඉන්පසු අගෝස්තු 3 දා පස්වරු 8.30ට පමණ, සිවිල් ඇඳුමින් සැරසුණු – ඇතැම්හු ව්‍යායාම සඳහා භාවිත කරන වර්ගයේ කලිසම් සහ ටීෂර්ට් හැඳගත් පුද්ගලයන් පිරිසක් පැමිණ දෙවන වරට ද උත්සාහ දරනු ලැබිණ. එහි විශේෂය වන්නේ රථවාහන හැසිරවීම සඳහා භාවිත කෙරෙන තැඹිලි පැහැ කේතු වැනි දේ එම සිතුවම් ප‍්‍රදේශය වටා තබා එම සිතුවම්වලින් කොටසක් මත තාර වත් කළ බව ද වාර්තා වෙයි. එපමණක්ද නොවේ ඔවුහු තාර වියළෙන තුරු පැයක් පමණ එම ස්ථානයේ රැඳී සිටිය බව ද පැවසේ.

පොලීසියේ අවසර

පසුගිය ජුලි 27 දා, ජුලි 29 දිනට යෙදෙන ආචාර්ය නීලන් තිරුචෙල්වම් මහතාගේ මරණය අනුස්මරණය කිරීමේ අපේක්ෂාවෙන්, කිංසි පාරෙහි සහ කිංසි ටෙරස් හන්දියෙහි යළි සිතුවම් අඳිනු ලද අතර කලින් හැම වසරක දී මෙන් ම, ඒ සඳහා කුරුඳුවත්ත පොලීසියේ අනුමැතිය ලබා ගෙන තිබිණ. එමෙන් ම, වීථි චිත‍්‍ර ඇඳි කාලය තුළ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සපයා තිබූ බවද වාර්තා වෙයි.

‘ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය සුරකිමු’ සිතුවම් සහ නීලන්

ආචාරය නීලන් තිරුචෙල්වම් මහතා ඝාතනය කිරීමෙන් පසුව, ඔහුගේ ජීවිතය අහිමි වුණු වීදියෙහි, සාමය පිළිබඳ චිත‍්‍ර සහ මෝස්තර ද ‘ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය සුරකිමු’ යන වැකිය දෙමළ, සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවලින් ද සිතුවම් කරනු ලැබිණ. එය වූකලි ඔහු ආරම්භ කළ, ඔහු පිළිබඳ මතකය දැල්වුණු සහ ඔහුට ගෞරව කළ ආයතනවල, ඔහු සමග එක්ව වැඩ කළ මිතුරන් සහ ජනයා තුළ නිසගයෙන් පැන නැගි ශෝකය සහ අහිමි වීම පිළිබඳ හැඟීම උතුරා යාමක් විය. මෙම මුල පිරීමෙන් බලාපොරොත්තු වූයේ ජීවිතය අනුස්මරණය කිරීමත්, ප‍්‍රචණ්ඩත්වයට සහ මනුෂ්‍යත්වය නොතකා හැරීමට පිළිතුරු දීමත් ය. ඉන් කියැවුනේ, ආචාර්ය තිරුචෙල්වම් මරණ දණ්ඩනය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කළ කතාවේ ප‍්‍රධාන හරය ලෙස පැවති මූලධර්මය යි. එනම්, ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය යි. ඔහු ඝාතනය කෙරුණු ස්ථානයෙන් ඇරඹි මෙම මුල පිරීම, පසුව බෝම්බ පිපිරීම් සහ ඝාතන සිදු වුණු කොළඹ වෙනත් ප‍්‍රදේශවලට ද පැතිර ගියේ ය. පසු ගිය 13 වසර පුරා වසරකට දෙවතාවක්, එනම් ආචාර්ය නීලන්ගේ උපන් දිනය සහ මරණය සැමරුණු දිනවල දී, කිංසි පාරෙහි, කිංසි ටෙරස් හන්දියෙහි, මෙම චිත‍්‍ර ඇඳීම යළි යළිත් සිදු විය.

දැන් එම සිතුවම්වලින් බොහොමයක් විනාශ කර ඇත. ”ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය රැක ගනිමු” යන සිංහල වැකියට අත තබා නැති නමුත්, ”වාල්වින් පුනිද්දදයි උරුදිප්පඩුත්තුක” යන දෙමළ වැකිය සහ ”Secure Sanctity of Life” යන ඉංග‍්‍රීසි වැකි දෙක මෙන්ම එහි තිබූ මෝස්තර ද මකා දමා ඇත. සිංහල අකුරු පමණක් ඉතිරි කරමින් දෙමළ සහ ඉංග‍්‍රිසි අකුරු සහිත වැකි මෙන්ම සාමය සහ ජීවිතය ගැන අරුත් ගැන්වෙන එම සිතුවම් විනාශ කර ඇත. දැන් කෙලඹ එවන් ජනාකීර්ණ පෙදෙසකඑම සිතුවම් මකා දැමූවෝ කවුරුන්ද? යුද්ධයෙන් පසු සාමය යනුවෙන් අදහස් කරන්නේ මෙයද?

2012 අගෝස්තු 02 රාත්‍රී 10.45ට එම චිත්‍ර විනාශ කිරීමට උත්සහ දරා තිබුනේ මෙළෙස ය.

ඉහත උත්සහය අසාර්ථක වූ පසු නැවතත් ඊයේ 2012 අගෝස්තු 03 වනදා රාත්‍රී 08.30 අසන්න වේලාවේදී සියලු චිත්‍ර විනාශ කර තිබුණේ මෙළෙසය

මේ එහි වීඩියෝ දර්ශණයි
[youtube]http://www.youtube.com/watch?v=RUpsZVsFXMM[/youtube]

Photo courtesy: Sampath Samarakoon | www.vikalpa.org

@VIKALPA