සිංහල, Colombo, Democracy, Governance, Human Security, Life quips

මැති ඇමතිවරු කොළඹ පාරවල් තවදුරටත් බදුගෙන තිබේ…

නිදහසේ් එහා මෙහා ගමන් කිරීමේ අයිතිය ශ්‍රී ලාංකික අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව හිමි වූ මූලික අයිතිවාසිකමකි. එය කවරෙකු නිසා හෝ අහිමිවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සැලකිය හැක. බොහෝදුරට අගනුවර ජීවිතයේදී මේ අයිතිය අඩුම වශයෙන් දවසකට වරක් හෝ දෙවරක් කඩවීමට ලක් වේ. ඒ අන් කවරෙකු නිසා නොව අපගේ ජනතා නියෝජිතයින් නිසාවෙනි.

ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරණු ලැබ ඇතත් මේ මොහොතේ කොළඹ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තවදුරටත් යම් යම් ගැටළු කාරණා ඇති බව අප පිළිගත යුතු සත්‍යයකි. එල්.ටී.ටී.ඊ.යට අයත් බෝම්බ පිරවූ වෑන් රථයක් මන්නාරම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි. එම වෑන් රථය කොළඹ නගරයට ගෙනවිත් පුපුරුවා හැරීමට සූදානම් කළ එකක් බව ද ආරක්‍ෂක අංශ පෙන්වා දුනි. නමුත් විමතියට පත් කරුණ නම් අගෝස්තු 13 වැනි දින ‛‛ලංකාදීප’’ පුවත්පත, උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා මූලාශ්‍ර කරගෙන ‛‛මන්නාරමෙන් බෝම්බ රියක් අල්ලාගෙන නෑ’’ යනුවෙන් වාර්ථා කිරීමය. එමෙන්ම මේ රථයේ රියැදුරුවරයා මුදා හැර ඇති බවත් මේ රථයේ බෝම්බ අටවා තිබුනේ නම් ඔහුව මුදාහැරිම උභතෝකොටික ප්‍රශ්නයක් බවත් ඒ මහතා පවසා ඇති බව ද මේ පුවත්පත වාර්ථාකර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්දයෙන් විධිමත් පරීක්‍ෂණ වාර්ථාවක් මේ දක්වා ඉදිරිපත්කර නැතත් මේ සිද්ධියෙන් දෙයාකාර ගැටළු ඉතිරිකර තිබේ. එනම් ලංකාව තවමත් අනාරක්‍ෂිත රාජ්‍යයක්ද? නැතහොත් අනාරක්‍ෂිත බවක් ආයාසයෙන් නිර්මාණය කිරීමට කවරෙකු හො උත්සහ කරන්නේ ද? යන්නයි.

මේ සිදුවීමට අමතරව මුස්ලිම් වෙස්ගත් එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන කාන්තාවක් කොළඹ නගරයේ මේ වන විට සැරිසරණ බවද පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කරණ ලදී. ඒ අනුව ද කොළඹ තවදුරටත් අනාරක්‍ෂිත බව පෙන්නුම් කරණු ලැබේ.

තත්ත්වය මෙසේ නම් ජීවිත තර්ජන එල්ල වී ඇති පුද්ගලයින් සිදුකළ යුත්තේ තමන්ගේ අනාරක්‍ෂිත ගමන් බිමන් හැකිතාක් දුරට අඩුකර දැමීමයි. පාලං, බෝක්කු විවෘත්ත කිරීමට කුඹුරු හෑමට, ගොයම් කැපීමට, මැති ඇමතිවරු අවශ්‍යවන්නේ නැත. කුඩා උත්සවයකට වුව ඇතැම් ජනතා නියෝජිතයින් ඔලුව දමන්නේ තම ජනප්‍රියභාවය වැඩිකරගැනීමට ඡන්ද ගුන්ඩුවක් වශයෙනි. ඒ වගේම අපට දැනගන්නට ඇති ආකාරයට උදේ දවල් රාත්‍රී ආහාර ගැනීම සඳහා ද සමහර ප්‍රභූ පිරිස් හෝටල් වෙත යන අතර ඒ සඳහාද ඇතැම්විට පාරවල් වසා දැමීමට ආරක්‍ෂක අංශ කටයුතු කරනු ලබයි.

පාර්ලිමේන්තු දිනයන්හි කොළඹ ඇතැම් මාර්ගයන් පැය කීපයක් වසා දමන්නේ දහස් ගනනක් මහා පාරේ අතරමං කරමිණි. බොහෝදුරට මේ පාරවල් වසනු ලබන්නේ බොහෝදෙනා කාර්යාලයට යන අවස්ථාවේදී හෝ කාර්යාලයෙන් බැහැරව නිවස කරා යන අවස්ථාවන්හිදීය. මේ නිසා අඩි කීහිපයක් එහා තිබෙන කාර්යාලයට වුව යාමට අපහසු වන අවස්ථා ද ඇත. දුම්රිය අද්දනවා පෙනි පෙනී ඇතැම් මගීන්ට එයට ගොඩවීමට නොලැබෙන අවස්ථා සුලබව දැකගත හැකි දසුනකි. කොළඹට වේලාසනින් පැමිණියත් රතු ඉර ගසන තුරුත් තම කාර්යාලයට යාගත නොහැකිවන පිරිස් ද නැතුවා නොවේ. සේවකයින්ට පමණක් නොවේ විවිධ රාජකාරී ඉටුකර ගැනීම සඳහා කොළඹට පැමිණෙන පුද්ගලයින්ට ද පාරවල් වසන අවස්ථාවන්හිදී බොහෝ අකටයුතුකම් වලට මුහුණ දීමට සිදු වේ.

ඊයේ යන්න තිබූ ගමනක් අද යන්නාක් මෙන් මැති ඇමතිවරු රැගත් රථවාහන පෙළ ගමන් කරන්නේ තවත් සිය ගනනක් රථ වාහන හා එහි රැඳී මිනිසුන් බොහෝසෙයින් රස්තියාදු කරමිණි. මගී ප්‍රවාහන බස්රථතුළ දාඩිය දමමින් රස්තියාදුවන මගී ජනයා මේ රථ පෙළපාලි දෙස බලා වේගයෙන් ඇදෙන ප්‍රභූන්ගේ අසරණ දෙමාපියන් මතක් කරන්නේ නිරායාසයෙනි. එය පුදුමයට කරුණක් නොවේ. මේ පාරවල් වැසීම මූලික කරගෙන ගැටළු කීයක් නම් උද්ගත වී ඇද්ද? කාලවේලාව හා ඉන්ධන නාස්තියට අමතරව තම රැකියා ස්ථානයෙන්හී මතුවන ගැටළුකාරී තත්වයන් සමනය කරන්නේ කවුද? රට සංවර්ධනයට අවශ්‍ය මිනිස් ශ්‍රම පැය කීයක් නිකරුනේ ගෙවී යයිද? මැති ඇමතිවරුන්ට මෙය නොතේරෙන්නේ මන්ද?

බොහෝවිට පාර්ලිමේන්තු දිනයන් වලදී මේ රස්තියාදුව වැඩිය. ඇතැම් පාර්ලිමේන්තු දිනයන්හිදී සභාවට පැමිණෙන මැති ඇමතිවරු සංඛ්‍යාව අතේ ඇඟිලිවලටත් වඩා අඩුය. පසුගිය දිනක පාර්ලිමේන්තුවේ ඝනපූර්ණයවත් නොතිබූ බව ද අපට මාධ්‍ය තුළින් දැනගන්නට ලැබිණි. (ඝනපූර්ණය 20කි) නමුත් පාර්ලිමේන්තු දිනයන්හි පාරවසන විට කී දෙනෙක් අපහසුතාවයට පත් වේද? පාර්ලිමේන්තු නියෝජිතයින් ආරාක්‍ෂාකාරීව යා යුතු බව පිළිගත යුතු අතරම මගීන් රස්තියාදු නොකර මේ ගමන් බිමන් යාමට ඉඩහසර සොයා ගැනීමට මේ පිරිස් හා ආරක්‍ෂක අංශ කටයුතු කළ යුතු බව ද පෙන්වා දිය යුතුය. මේ පිරිස් කාර්යාලීය වේලාවන් මග හරවා ගැනීමට කටයුතු කරන්නේ නම් ජනයා බොහෝ සෙයින් සතුටට පත් වෙයි.

මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් ලෙස පාර්ලිමේන්තු දිනයක් නම් සියළු පාර්ලිමේන්තු නියෝජිතයින් පාන්දරින්ම ඒ සඳහා පිටත් වී වේලාසනින් පාර්ලිමේන්තු කටයුතු ආරම්බ කරන්නේ නම් මැනවි. ආහාර ගැනීම හො තම සුඛ විහරණය සඳහා එහෙ මෙහේ යන පිරිස් තම වාසස්තානයේ සිටම ඒ දේවල් ඉටුකර ගන්නේ නම් මැනවි. ගෝලීය අර්ථ ක්‍රමයත් සමග සීග්‍රයෙන් දියුණුවෙමින් පවතින අධි තාක්‍ෂණික උපක්‍රම සන්නිවේදන ක්‍රම භාවිතා කරන්නේ නම් මැනවි. උදාහරණ ලෙස එක ස්ථානයක සිට සමුළු ඇමතීම සඳහා කොන්ෆරන්ස් කෝල් භාවිතයට ගැනීම පෙන්වාදිය හැක. දැනට පවතින අනාරක්‍ෂිත වටපිටාව සමහන් වනතුරු ජනතාවට බරක් නොවී එහා මෙහා සැරිසැරීමට පියවර ගන්නවා නම් හෝ ගමන් බිමන් අඩුකර ගන්නවානම් ඉතාමත්ම අගනේය.

ජනතා නියෝජිතයින් යනු ජනතාවට සේවය කිරීම සඳහා ජනතාව විසින්ම තෝරා පත් කරගන්නා නියෝජිතවරුන් ය. ඔවුහු ජනතාවගේ සේවකයෝ වෙති. මේ නිසා ඔවුන් නිතැතින්ම ජනතාව සමග සිටිය යුතු බව අප දනී. ජනතා සුභද්ධිය උදෙසා ඔහු කටයුතු කළ යුතුය. පාලම් බෝක්කු පාරවල් ඇතුළු සියළු යටිතල පහසුකම් ඔහු විසින් දියුණු කළ යුතු බව අවිවාදිතය. සියළු මූලික අවශ්‍යතාවයන් අපහාසුවකින් තොරව මහජනායා ලඟා කරගත යුතුය. ඒ සඳහා ඔහු වැඩ කළ යුතුය.

නමුත් තම දූවරුන්ගේ උපන්දින සාද පිටරටවලදී පවත්වා එහි බරපැන ද රජයේ වියදමින් පියවා ගැනීමට උත්සහා කරණ ඇමතිවරුන් මේ රටේ තවමත් නිරුපද්‍රිතවම ජීවත් වෙද්දී ඉහත රාජකාරී සඳහාම මේ ප්‍රභූ පිරිස් පාරවල් වසාගෙන එහේ මෙහෙ සැරි සරයිද යන්න පිළිබඳව සිතද්දී කාගේ සිතටත් එන්නේ කුකුසකි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ඇමතිවරු දක්වා පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් දූෂණය භීෂණය, අල්ලස නාස්තිය රජ කරවන සමාජයක පාරවල් වසා දමා එහේ මෙහේ යාමත් මොන කජ්ජක්ද යනුවෙන් කෙනෙකුට සිතිමටද පිළිවන.

අවසන් වශයෙන් මහජනායා සතු නිදහසේ එහා මෙහා යාමේ මූලික අයිතිය පූර්ණ වශයෙන් ලබාදෙන්නේ කවදා ද? නැතහොත් මැති ඇමතිවරුන් කොළඹ පාරවල් තම බද්දෙන් නිදහස් කරන්නේ කවදා ද? යනුවෙන් ප්‍රශ්න කිරීමට සිදුව තිබේ.

එච්. ජේ. සම්පත්