සිංහල, Colombo, Democracy, Human Rights, Human Security

යුද්ධය, පාතාලය සහ නීතිය (1)

පසුගිය දිනෙක මාලඹේ පිහිටි පරිඝනක විදුහලෙහි සිසුවකු වූ නිපුණ රාමනායක පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම සිංහළ සමාජය මහත් ආන්දෝලනයකට ලක් කළේ ය. එහිලා දැනට හෙළිදරව් වී ඇති කරුණු කිහිපයක් මෙසේ ය:
මෙම පැහැර ගැනීමට හේතුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ පුත්‍රයකුගේ පුද්ගලික අවශ්‍යතාවයකි. පැහැර ගැනීම කරනු ලැබූයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසිනි. පැහැර ගත් නිපුණ රාමනායකගේ රැවුල සහ කොන්ඩය කැපූ දාමරික පිරිස් ඒ කෙස් (පෝද්දල ජයන්තට කළ පරිදි) ඔහුට කැවූහ. පැහැර ගත් ඔහු පහර දීමට රැගෙන ගියේ පොලිස් අධිකාරීවරයාගේ ගෙදරට ය. නිපුණ රාමනායක පැහැර ගනු ලැබූයේ පාතාලයට සම්බන්ධ නිසා යැයි පෙන්වීම පිණිස 50 දෙනෙකු පමණ සහභාගි වූ විරෝධතාවයක් පොලීසියේ ද සහයෝගය ඇතිව පැහැර ගැනීමෙන් දෙදිනකට පසු මාලඹේ පරිගණක විදුහල ඉදිරිපිට පවත්වන ලදී.
මෙම සිදුවීමෙන් සතියක් ගතවීමට පෙර අගොස්තු 13 දා මොරටුව අගුලානේ දී දිනේශ් තරංග සහ දනුෂ්ක උදය නම් තරුණයන් දෙදෙනෙකු අගුලාන පොලීසිය විසින් වධ හිංසා පමුණුවා වෙඩිතබා මරා දමා තිබී මාපියන් ඇතුළු ප්‍රදේශවාසීන් විසින් සොයා ගන්නා ලදී. ආණ්ඩුවේ දිණමින පුවත්පත මෙම ඝාතනයන් ද වාර්තා කළේ පාතාලයන් මරා දැමීමක් ලෙස ය:
“මියගිය තරුණයන් දෙදෙනා පාතාල කණ්ඩායමක සාමාජිකයින් බවත් මේ සැකකරුවන් දෙදෙනා වෙනත් කණ්ඩායමක් විසින් ඝාතනය කර ඇති බව සැක කරන බව ද ගල්කිස්ස පොලිස් නිලධාරියෙක් කීය. ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරියකු සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රංජිත් ගුණසේකර ප්‍රකාශ කළේ මේ අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසියේ සටහන් නැති බව යි.”

ශ්‍රී ලාංකික සමාජය ශුද්ධ කිරීම

මෙම අපරාධයන් දෙකම ශ්‍රී ලංකීය සමාජය ශුද්ධ කිරීම පිණිස යැයි දියත් කොට ඇති පාතාල මර්දන වැඩසටහනෙහි කොටසක් ලෙස පෙන්වා යටපත් කර දැමීමට පොලීසිය සහ රාජ්‍ය ජනමාධ්‍ය උත්සාහ දැරු බවට පැහැදිළිය.

පසුගිය මාසයෙහි හදිසි නීති දීර්ඝ කිරීමේ විවාදයේ දී අගමැති රත්නසිරි වික්‍රමනායක කීවේ පතාල මර්ධනය කිරිම සඳහා හදිසි නීතිය අවශ්‍ය වී ඇති බව යි. හදිසි නීතිය මගින් පාතාලය මර්ධනය කළ හැක්කේ කෙසේ දැයි ඔහු කියා සිටියේ නැත. මේ අතර පාතාලය මර්ධනය කිරීම කෙළෙස කළත් කමක් නැතැයි පොලිස් ප්‍රධානියකු ජනමාධ්‍යට කියා සිටියේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වැදගත්ම ලක්ෂනයක් වනුයේ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් මගින් පමණක් වරදකරුවන්ට දඩුවම් පැමිණ වීමේ යාන්ත්‍රණයන් පැවැතීම යි. එවැනි අධිකරණ තීන්දු පවා අභියාචනා අධිකරණයෙහි සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි දි උරගා බැලිමේ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලබා දී ඇත්තේ නිර්දෝශී බව ඔප්පු කිරීමට ඕනෑම පුරවැසියකුට ඇති අයිතිය තහවුරු කරනු පිණිස ය. නමුත් ශ්‍රී ලංකා සමාජය ශුද්ධ කිරීමේ මෙම පාතාල මර්දන ක්‍රියාවලිය තුළ නීතියේ ආධිපත්‍ය යවා ඇත්තේ වළපල්ලට ය.

පසුගිය දෙමස තුළ පාතාල මර්දන වැඩ සටහන යටතේ කිසිදු නීතිමය ක්‍රියාවලියකින් තොරව සියයකට ආසන්න පිරිසක් මරා දමා ඇතැයි හිටපු විදේශ ඇමැති මංගල සමරවීර කළ ප්‍රකාශයට ආණ්ඩුව හෝ පොලීසිය පිළිතුරක් දුන්නේ නැත. දාමරික ක්‍රියාවන්ට සම්බන්ධ යැයි සැක කරන ලද තරුණ පිරිස් රටෙහි විවිධ පෙදෙස්හි සුදුවෑන්වලින් පැහැර ගෙන යන ලදුව වෙඩිතබා මරා දමන ලද බවට බොහෝ වාර්තා තිබේ. මෙම ඝාතනයන් ගැන කිසිදු පරීක්ෂනයක් සිදු වන්නේ නැත.

අප නොඅසන ප්‍රශ්න
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියන් මෙම ඝාතන පිළවෙත ගැන ඇසිය යුතු ප්‍රශ්න ගණනාවක් තිබේ. ඉන් සමහරක් මෙසේ ය: මෙසේ පාතාලයේ බවට තීරණය කොට රට පුරා මරා දැමීමට පුද්ගලයින් තොරාගනු ලබන යාන්ත්‍රණය කුමක්ද? එම අයිතිය සෑම පොලීසියකට ම පවරා තිබේ ද? නැත්නම් කොළඹ කේන්ද්‍ර කරගත් විශේෂ ඒකකයක් විසින් පතාල මර්දනය සඳහා මරා දැමිය යුතු පුද්ගලයින් තීරණය කරනු ලැබේ ද? මෙසේ ඝාතනය කරන පුද්ගලයින්ගේ ලැයිස්තුවක් රාජ්‍යයේ කවර හෝ ආයතනයක් සතුව තිබෙන්නේ ද? මෙසේ ඝාතනය කරනු ලබන සියළු දෙනා මරණ දඩුවම ලැබීමට තරම් වැරදිකර ඇතැයි නිශ්චිතව තීරණය කරනු ලබන්නේ කවර ආයතනයක් හෝ පුද්ගලයකු විසින් කුමණ මිණුම්දඬු උපයෝගී කරගෙන ද?

ප්‍රයෝගික තලයෙහි පෙනෙන විදියට මෙම මිනිමැරිමේ බලතල දැන් ඕනෑම පොලිස් නිලධාරියකුට පාවිච්චි කළ හැකි ය. මාංචු දමා තිබියදී සැකකරුවන් පොලිස් වෙඩි පහරින් මියයෑම දැන් සාමන්‍ය දෙයකි. අවශ්‍ය කරන්නේ එම පුද්ගලයා පාතාලයකු හෝ ත්‍රස්තවාදියකු බවට ජනමාධ්‍ය ලවා ප්‍රචාරය කරවීම පමණ ය. එම ප්‍රචාරයන් ප්‍රවෘත්ති ගවේෂණයකින් තොරව ප්‍රවෘත්ති බවට පත් කිරීමට සැදි පැහැදී ගත් ජනමාධ්‍ය ඇති තරම් මෙරට තිබේ. ශ්‍රී ලාංකික සිංහල සමාජය අද එවැනි ඝාතනයන් සම්බන්දයෙන් අනේ අපොයි කියන්නේ හෝ නැත්තේ එළෙස ගොඩනඟන ලද සාධාරණ කිරීම් නිසා ය.

පාරදෘශ්‍ය අධිකරණ ක්‍රියාවලියකින් සහ තුළන සහ සංවරණයන්ගෙන් තොරව මෙලෙස මිනිසුන් මරා දැමීමට සමාජයක් කවර හෝ ආණ්ඩුවකට (හෝ සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයකට හෝ) බලය පැවරූ කළ එම සමාජය කරන්නේ සියතින්ම ගෙලවැළ ලා ගැනීමකි. අපි දැන් අත් දකිමින් සිටින්නේ රාජ්‍යයේ අත්තනෝමතික බලය සීමා නොකරන සමාජයකට ඒ සඳහා ගෙවන්නට වන වන්දිය මිල අධික බව ය.

නීතියට දුන් විරාමය

එල්ටීටීඊය පැරදවීමේ යුද්ධ කරගෙන යාම පිණිස නීතියේ පාලනයට විරාමයක් දිය යුතු යැයි යන රාජ්‍ය ප්‍රචාරය සිංහල සමාජයේ බොහෝ පිරිස් පිළිගත්හ. එල්ටීටීඊ විරෝධී යුද්ධයේ දී දෙමළ සමාජය මත පතිත වූ මර්දනය සිංහල සමාජය තමන්ට සාධාරණ කර ගත්තේ එල්ටීටීඊ ය පරාජය කිරීම පිණිස එවැනි ඝාතන අවශ්‍ය යැයි රාජ්‍ය ප්‍රචාරය පිළිගැනීම මගිනි. එල්ටීටීඊ ය සන්නද්ධ වශයෙන් පරාජය කිරීමෙන් පසු දැන් ආණ්ඩුව කියන්නේ ප්‍රායෝගික වශයෙන් පාතාලය මර්දනය කිරීම පිණිස ද කැලෑ නීතිය අවශ්‍ය බව යි.

අද ආණ්ඩුව ගෙන යන මර්දනය මගින් පාතාලය මර්දනය කිරීම එල්ටීටීඊයේ මෙන්ම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ද පිළිවෙත විය. නමුත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ පරාජයෙන් පසු දකුණේ පළාත් හි පාතාලය යළි නැගී ආ පරිදිම එල්ටීටීඊයේ පරාජයෙන් පසු උතුරු නැගෙනහිර ද පාතාල දාමරික ක්‍රියා වර්ධනය වී තිබේ. මෙම අවස්ථා තුනෙහිදීම නීතියට පිටින් කෙරුණූ මර්දනයන් සාධාරණ කරන ලද්දේ අපරාධකරුවන්ගෙන් සමාජය ශුද්ධ කිරීමේ උතුම් අරමුණ තමන් සතු බව කීම මගිනි. අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙම පාතාල මර්දනය මගින් සමාජයට කියන පණිවිඩය වන්නේ ද එල්ටීටිඊ ය සහ දේශප්‍රේමී ජනතා පෙරමුණ කී සදාචාරාත්මක සමාජයක් ගොඩ නගන්නේ ය යන්න යි.

එනමුත් දාමරික සාහසික කණ්ඩායම් මර්දනයේ බලයෙන් සදාකාලිකව යටපත් කළ නොහැක. සමාජයක අපරාධ පැන නගින්නේ සමාජ ආර්ථික හේතූන් නිසා ය. මර්දනය නතර කළ තැන යළි අපරාධ කල්ලි ඉස්මතු වන බැවින් මර්දනයෙන් අපරාධ මැඩලීමට නම් සදාකාලික මර්දන පාලනයක් ගෙන යා යුතු ය. මේ ඊනියා හදිසි නීති පාතාල පාලන ඝෝෂාව වනාහී ප්‍රායෝගික වශයෙන් සමාජය බිය ගැන්වීමක් සහ මර්දන උපාංගයන්ට උල්දත් සවි කිරීමක් මිස වෙනෙකක් නොවන්නේ එනිසා ය.

නිපුණ රාමනායක, දනුෂ්ක උදය සහ දිනේෂ් තරංග මෙන්ම අප නමින් දන්නා වුත් නොදන්නා වූත් තරුණ පිරිස් ත්‍රස්තවාදයේ හෝ පාතාලයේ හෝ ලේබලය අලවා නීතියට පිටින් පැහැර ගෙන යාමත් ඝාතනය කිරීම පසුගිය කාලය පුරාම සිදුවුණි. දැන් මෙම එම ක්‍රියාදාමය අපේ දොරකඩම පැමිණ තිබේ. අප නොදන්නා අහිංසකයින් කොපමණ දෙනෙකු මෙම කැලෑ නීතියට බිලි වන්නට ඇත් ද? බිලිවීමට නියමිතව සිටිනු ඇත් ද? නීතියේ පාලනයක් නැති රටක කිසිම ජීවිතයක් ආරක්ෂාකාරී නැත.

සුනන්ද දේශප්‍රිය