Anuradhapura, Featured Articles, Features

අලි – ඇතුන් ගේ නිජබිම වන කලාවැවත් වනසයි

අලි – ඇතුන් ගේ නිජබිම වන කලාවැවත් වනසයි – බලධාරීන් නිහඬයි | ඒ අතර බර්ටිගේ සහ ඇමතිවරයෙකු හිතවෙතෙකුට අයත් අනවසර හෝටල් දෙකක්

කහල්ල – පල්ලෙකැලේ අභය භූමියට අයත් කලාවැවේ වැලි කැනීම, පස් කපා ඉවත් කිරීම, ගස් කැපීම හා හෝටල් ඉදි කිරීම ඇතුළු හානිකර හා නීති විරෝධී ක‍්‍රියා රැසක් මේ වන විට සිදු කෙරෙමින් පවතී. වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පසුගිය දිනවල වැවේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කර බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් රොන්මඩ ඉවත් කිරීම ආරම්භ කෙරින. මීට අමතර ව වැව ඉහත්තාවේ බැකෝ යන්ත‍්‍ර ආධාරයෙන් වැලි කැනීම් කටයුතු ද සිදු කෙරෙමින් පවතී. වැව් ඉහත්තාවේ සහ වැව් පිටියේ තැනින් තැන විශාල වල වල් සැකසෙන පරිදි වැලි කැනීම් සිදු කර තිබේ. මීට අමතර ව වැවෙහි කුඹුක් ශාක ඉවත් කිරීම ද රොන්මඩ ඉවත් කිරීමත් සමඟ ම සිදු කෙරෙමින් පවතී.

මේ හානිකර තත්ත්වයන් සියල්ලටම හේතු සාධක වී ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැරැදි දේශපාලන තීන්දුවක් මත පදනම් ව වැවේ රොන්මඩ ඉවත් කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීම ය. රොන්මඩ ඉවත් කිරීම සඳහා යොදා ගන්නා බැකෝ යන්ත‍්‍ර අධාරයෙන් ම වැලි කැනීම් කටයුතු ද මේ වන විට ඉතාම හානිකර ලෙස සිදු කෙරෙමින් පවතී. නමුත් කිසිදු අධීක්ෂණ ක‍්‍රියාවලියක් හෝ නිසි සැලසුමක් නොමැති ව රොන්මඩ ඉවත් කිරීමේ කාර්යය සිදු කරන නිසා මේ කිසිදු හානිකර තත්ත්වයක් පාලනය කිරීමට අදාළ නිලධාරීන්ට නොහැකි වී ඇත.

මේ හානිකර තත්ත්වයන් හේතුවෙන් අලි – ඇතුන් බහුලව ජීවත් වන මේ ප‍්‍රදේශයේ එම සතුන් ගේ පැවැත්මට හානිකර තත්ත්වයන් රැසක් ඉදිරියේ දී උද්ගත වනු ඇත. වැව ඉහත්තාවේ තැනින් තැන විශාල වලවල් සැකසෙන පරිදි අක‍්‍රමවත්ව වැලි කැනීම් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස වර්ෂා කාලයේ දී කලා වැව ජලයෙන් පිරුණු විට ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පැමිණෙන අලි – ඇතුන් මේ වලවල් තුළට වැටීමෙන් මරණයට පත් වීමේ හැකියාව පවතී. දැනට රොන්මඩ ඉවත් කිරීම සඳහා වැවේ ජලය ඉවත් කිරීම හේතුවෙන් හා කැනීම් කටයුතු සඳහා බැකෝ යන්ත‍්‍ර භාවිත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජලය අහිමි වී බියට පත් වී ඇති මේ සතුන් අවට ප‍්‍රදේශ පුරාම විසිරීම සිදු වී ඇත.

විශේෂයෙන් ම ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල පවතින නියං කාලගුණික තත්ත්වය තුළ දී කහල්ල – පල්ලෙකැලේ අභය භූමිය හා ඒ අවට විශාල ප‍්‍රදේශයක සිටින අලි – ඇතුන් 150 ත් 200 ත් අතර ප‍්‍රමාණයක් කලා වැව වැව් පිටියට එක් රැස් වේ. එසේ එක්රැස් වන අලි – ඇතුන් ගේ බෝ වීමේ ක‍්‍රියාවලිය සිදු වන්නේ මේ ප‍්‍රදේශය තුළ දී ය. එම ප‍්‍රදේශය අලි – ඇතුන් ගේ බෝ වීම සිදුවන ජීව විද්‍යාත්මකව ඉතාම වැදගත් ප‍්‍රදේශයකි. එම කාල පරාසය තුළ දී ම වැවේ ජලය ඉවත් කර යන්ත‍්‍ර සූත‍්‍ර ආධාරයෙන් වැවේ කැනීම් කටයුතු සිදු කිරීමෙන් අලි – ඇතුන් ගේ බෝවීමේ ක‍්‍රියාවලියට හා ගහනයේ පැවැත්මට දැඩි අහිතකර බලපෑම් එල්ල වී තිබේ. මේ තත්ත්වය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අවබෝධ කර ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි.

මීට අමතර ව මේ කැනීම් කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස ගල්කිරියාගම, කලාගම, උදුරව, කිරලව, කිරිඳිවත්ත හා පලාගල යන ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම සිදු ව තිබේ. වාසස්ථාන අහිමි වීමෙන් ගම්වදින අලි – ඇතුන් ගෙන් වගා හානි හා ජීවිත හානි සිදු වීමේ දැඩි අවධානමක් මේ වන විට උද්ගතව තිබේ.

කලාවැවේ රොන්මඩ ඉවත් කිරීමත් සමඟ ම කුඹුක් ශාක ඉවත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පක්ෂීන් ලැඟුම් ගන්නා ස්ථාන අහිමි වෙමින් පවතී. මෙය අභය භූමියේ පක්ෂි ගහනයේ පැවැත්මට අහිතකර ලෙස බලපෑ හැකි ය.

මේ තත්ත්වයන් මෙසේ පවතිද්දී කහල්ල – පල්ලෙකැලේ අභය භූමිය තුළ කලාවැව ආසන්නයේ අනවසරින් හා නීති විරෝධී ලෙස හෝටල් දෙකක් ඉදි කෙරෙමින් තිබේ. කලාවැවේ ධීවර ගම්මානය ආශ‍්‍රිතව වනාන්තර ප‍්‍රදේශය තුළ බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට අයත් මේ හෝටලය ඉදි කරමින් පවතී. ඊට පිවිසීම සඳහා මාර්ගය සකස් කිරීම ද මේ වන විට සිදු වේ.

මීට අමතර ව එස්. එම්. චන්ද්‍රෙස්න අමාත්‍යවරයාගේ හිතවතෙකු වන ගල්නෑව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් පලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්සභාගල්මිල්ලෑව ප‍්‍රදේශයේ තවත් හෝටලයක් ඉදි කෙරෙමින් පවතී. අලි ගැවසුම් ප‍්‍රදේශයක් තුළ හා කලාවැවේ ජල ගැලූම් ප‍්‍රදේශ ආශ‍්‍රිත ව මේ හෝටල් ඉදි කිරීම හේතුවෙන් හානිකර තත්ත්වයන් බොහොමයක් උද්ගත විය හැකි ය. මේ හෝටල්වල අපද්‍රව්‍ය ඍජුව ම වැවට එක්වීමේ අවධානමක් ද පවතී.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 7 වන වගන්තියට අනුව අභය භූමියක් තුළ වන සතුන් ගේ වාසස්ථාන විනාශ කිරීම, වන සතුන් බෝවන ස්ථාන විනාශ කිරීම, පස් හා වැලි කැනීම් කටයුතු සිදු කිරීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර ඉදිකිරීම් සිදු කිරීම හා මාර්ග සකස් කිරීම තහනම් වේ. නමුත් මේ නීති විරෝධී ක‍්‍රියා සියල්ලම කහල්ල – පල්ලෙකැලේ අභය භූමිය තුළ පිහිටි කලාවැව ආශ‍්‍රිත ව අද වන විට සිදු වෙමින් පවතී. නමුත් එම නීති විරෝධී ක‍්‍රියාවලට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී තිබේ.

ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වැවක උපරිම පිටාර මට්ටමේ සිට මීටර 100 ක් ඇතුළත හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය.

නමුත් මේ නීතිමය තත්ත්වයන් සියල්ල උල්ලංඝනය කරමින් කහල්ල – පල්ලෙකැලේ අභය භූමිය තුළ කලාවැව ආශ‍්‍රිත ව හෝටල් ඉදිකිරීම, කැනීම් කටයුතු සිදු කිරීම ආදී හානිකර ක‍්‍රියා රැසක් සිදු වේ. කහල්ල – පල්ලෙකැලේ අභය භූමිය 1989 ජූලි මස 01 වන දින හෙක්ටයාර 21,690 ක භූමි ප‍්‍රමාණයකින් යුක්ත අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. මේ අභය භූමියේ අලි – ඇතුන් ඇතුළුව ජෛව ප‍්‍රජාව ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා මේ ආශ‍්‍රිත ව සිදුවන සියලූම හානි කර ක‍්‍රියා මැඩපැවැත්වීම සඳහා කඩිනමින් ක‍්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත යුතුව ඇත. තව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිසි සම්බන්ධීකරණයකින් යුතුව නිවැරැදි පරිසර බලපෑම් ඇගයීමකින් පසු ව කලාවැවේ රොන්මඩ ඉවත් කිරීම පියවරෙන් පියවර සිදු කළ යුතු ව ඇත. එසේ නොමැතිව ඉතාම හානිකර ලෙස අද වන විට සිදු කරන මේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් එහි ජෛව ප‍්‍රජාවට සිදුවන හානිකර තත්ත්වය පාලනයට කඩිනමින් ක‍්‍රියාමාර්ග ගත යුතු ව ඇති අතර අනෙක් නීති විරෝධී කි‍්‍රයා මැඩ පැවැත්වීමට වහාම කි‍්‍රයාමාර්ග ගත යුතු ව තිබේ. ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය කඩිනමින් ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

සජීව චාමිකර[Sajeewa Chamikara]
පරිසර සංරක්ෂණ භාරය

ඡායාරූප – කුෂාන් ජයවර්ධන

කහල්ල – පල්ලෙකැලේ අභය භූමිය තුළ පිහිටි කලා වැව ඉහත්තාවේ හානිකර ලෙස වැලි කැනීම් සිදු කර ඇති ආකාරය

බර්ටි පේ‍්‍රමාල් දිසානායක මහතාට අයත් ඉදි කෙරෙමින් පවතින හෝටලය

එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා ගේ හිතවතෙකු විසින් ඉදිකරන හෝටලය