Colombo, Featured Articles, Features

‘මේක සිංහලයන්ගෙ රට, ඒක පිළිගෙන ඉන්න පුලුවන්, බැරි කෙනෙකුට යන්න පුළුවන්’ [අවිහිංසාවාදය සහ මෛත්‍රිය ගල්ගැසීමෙන් අවසන් වූ හැටි]

‘මගේ ශාස්තෘන් වහන්සේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඉගැන්වීම අවිහිංසාවාදයයි. අපි කටයුතු කරන්නෙත් ඒ අවිහිංසාවාදී පදනම උඩ ඉඳගෙනයි. සාමයට ලැදි, මිනිස්සු ජීවත් වෙන රටක් හැටියට අපි ලේ වලට කැමති නැහැ. අපි ආයුධ වලින් කරන ගනුදෙනු වලට කැමති නැහැ.’

බංගලාදේශයේ බෞද්ධ සිද්ධස්ථානවලට මෙන්ම එහි ඇතැම් ජනයාට සිදු කළ මිලේච්ඡ මර්ධනයන්ට එරෙහිව ඊයේ(04) කොළඹ නගර ශාලා භූමියේදී ‘බොදු බල සේනා’ නැමැති සංවිධානය විසින් පැවති රැළියේ දී ගලබොඩඅත්තේ ඥානේස්වර භික්ෂූන් වහන්සේ විසින් සිය විරෝධය ආරම්භ කළේ මෙබඳු ප‍්‍රකාශයක් කරමිනි. අවිහිංසාවාදයට එහා ගිය කිසිදු අවියක් නොමැති බව පුල පුලා පැවසූ ඥානේස්වර භික්ෂූන් වහන්සේ තම අවිහිංසාවාදී විරෝධය පෙන්වීමට සත්‍ය ග‍්‍රහයක් සහ මෛත‍්‍රී භාවනාවක් සිදු කරනු ලැබුවේ රැස්ව සිටි තවත් භික්ෂූන් වහන්සේලා රාශියක් සමගිනි. අනතුරුව මෙම භික්ෂූන් පිරිස පා ගමනින් බංගලාදේශ තානාපති කාර්යාලයට ගියේ බංගලාදේශ තානාපතිතුමාට, සංදේශයක් භාරදීමටය. නමුත් ‘බොදු බල සේනා’ සංවිධානයේ සැබෑ අවිහිංසාවාදය මතු වූයේ බංගලාදේශ තානාපති කාර්යාලය අසලදීය.

‘කොයි ආගමකට අයිති, කොයි ජාතියකට අයිති කවුරුත් තේරුම් ගන්න ඕනෙ මේක සිංහලයන්ගෙ රට කියලා. ඒ නිසා ඒ සංස්කෘතිය පිළිගෙන සාමකාමීව මේ රටේ ඉන්න පුළුවන්. බැරි කෙනෙකුට යන්න පුළුවන්.’

බංගලාදේශ තානාපති කාර්යාලය අසලදී මෙසේ ගලබොඩඅත්තේ ඥානේස්වර භික්ෂුවගේ, අවිහිංසාවාදය, මෛත‍්‍රී භාවනාව දිය වී යද්දී රැස්ව සිටි බොදු බල සේනාව ඇතුළු සෙසු භික්ෂූන්, මුස්ලිම් අන්තවාදයට එරෙහි සිය ජාතිවාදී වියරුව මතු කරමින්, අවිහිංසාවාදයේ සැබෑ නිරුවත පෙන්වූයේය. එමෙන්ම මුස්ලිම් අන්තවාදයේ මෙන්ම වෝඩ් පෙදේසට රැස්වූ බෙෘද්ධයින්ගේ අන්තවාදයත් එකම මගක ගමන් කරන බව වෝඩ් පෙදෙසේ දී දිස්විය. කෙසේ නමුත් එම වියරුව අවසන් වූයේ බංගලාදේශ තානපති කාර්යාලයට එල්ල කළ ගඩොල් සහ බෝතල් ප‍්‍රහාරයකිනි. අවසානයේ බංගලාදේශ තානාපති කාර්යාලයේ ඉදිරිපස ජනේලය බිඳුනු අතර, තානාපති කාර්යාලයේ පුවරුව කඩා, බිම තිබෙනු දක්නට ලැබිණි.

නමුත් අවසානයේ ගලබොඩඅත්තේ ඥානේස්වර භික්ෂුව පැවසුවේ මෙම ප‍්‍රහාරය පිටස්තරයෙකුගේ සූක්ෂම කුමන්ත‍්‍රණයක් බවය. ‘මේක සිංහලයන්ගෙ රට, ඉන්න බැරි අයට යන්න පුළුවන්’ යනුවෙන් ප‍්‍රහාරයකට මිනිත්තු කිහිපයකට පෙර තමන් විසින් පැවසූ වදන් ඒ වන විට ඥානේස්වර භික්ෂුවට අමතකව තිබිණ. අපට අනුව මෙලෙස ගල්, බෝතල් ප‍්‍රහාරයට පාර කැපුවේ පිටස්තරයෙක් නොව, ගලබොඩඅත්තේ ඥානේස්වර භික්ෂුවගේ මෙම ප‍්‍රකාශයන්ය. ‘බොදු බල සේනා’ හි අවිහිංසාවාදය මෙසේ ජාතිවාදය අබිමුව දිය වූයේ, ලංකාව පසුවන්නේ තවමත් මිලේච්ඡ යුගයේ බව ජාත්‍යන්තරයට පෙන්වමිනි.

මෙම සිදුවීමට අදාල ඡායාරූප සහ වීඩියෝව පහත බලන්න.

[youtube]http://www.youtube.com/watch?v=w9bc5_dx76M&feature=plcp[/youtube]