Ampara, සිංහල, Democracy, Human Rights, Stories from the silent

ජනාධිපති සම්බන්ධීකරණ නිළධාරියා තිරුක්කෝවිල් හී භීෂණය පතුරුවයි

2-suresh kumar edited
පහර කෑමට ලක් වූ සුරෙස් කුමාර්

1-driver (2)
පහර කෑමට ලක්වු රියදුරා

member of vavnathiv pradesia saba1 (2)
පහර කෑමට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා

අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිටින ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරිවරයෙකුගේ අත්තනෝමතික ඒකාධිපති ක්‍රියාකලාපය නිසා අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ද්‍රවිඩ ජනතාව වෙසෙන ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාගේ පුද්ගලික ලේකම් වී සත්‍යසීලන් මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඉකුත්දා (14දා) අක්කරෛයිපත්තුව නැගෙනහිර පලාත් මහඇමති සම්බන්ධීකරණ කාර්යාලයේදි පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සත්‍යසීලන් මහතා මෙසේද ප්‍රකාශ කලේය.‛‛අම්පාර ජනතාවට යම් ප්‍රශ්නයක් විසඳා ගැනිමට මහ ඇමතිවරයා හමුවිම සඳහා ත්‍රිකුණාමලයට යෑමට සිදුවෙනවා. එය හරිම දුෂ්කරයි. ඒ නිසා මහඇමති සම්බන්ධීකරන කාර්යාලයක් අක්කරපත්තුවේ ආරම්භ කලා. නමුත් අපේම පක්ෂයේ ඉඳල ජනාධිපති සම්බන්ධීකරණ නිළධාරි තනතුර ගත්තු ‛‛ඉනය භාරතී’’ සහ ඔහුගේ ගෝලයෝ කණ්ඩායම මේ කාර්යාලය දානවට විරුද්ධ වුනා. බලහත්කාරයෙන් තර්ජනය කරල මිනිස්සු ගෙනල්ල උද්ඝෝෂන කලා. මේ කාර්යාලයේ කෙටසකට ගිනි තිව්ව.ගල්ගහල වීදුරු කැඩුවා. නැගෙනහිර පලාතේ වසර ගණනක් තිබුනු යුද්ධය නිසා සංවර්ධනය අඩාල වෙලා. මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න උග්‍රවෙලා.රැකියා හිඟය උග්‍රවෙලා. මහින්ද චින්තනය තුළින් නැගෙනහිර නවෝදය හරහා සංවර්ධනයට විශාල ලෙස මුදල් වෙන්කරල තියෙනවා. එයින් මුදල් ලබාගෙන මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සැලසුම්කරල මුදල් වෙන්කරාම මේ පුද්ගලයා ඒවා කරන්න එපා කියල ප්‍රාදේශීය ලේකම්වරුන්ට කියනව. අපි ජලසම්පාදන ඇමතිවරයා හමුවෙලා සාකච්ඡා කරල කම්කරු රැකියා දොලහක් ලබාගෙන මේ ප්‍රදේශයේ දුප්පත් දෙමළ ලමයින්ට දුන්නා. මොහු ඒ රැකියා ගත්ත අයගේ ගෙවල්වලට ගිහින් තර්ජනය කරල රැකියාවලට යන්න එපා කියනව. ඒ රැකියා ගන්න මූලික වෙලා කටයුතු කරපු සුරේෂ කුමාර් නැමැති අයගේ ගෙදරට ගිහිල්ල ඔහුට පහරදීල වෙඩි තියල අතක් හා කකුලක් කඩල තියෙනව. අපට හිතාගන්න බැහැ මොහු මේවා කරන්නේ ඇයි කියල. අපි සටන් කරල ආයුධ බාරදිල දේශපාලනයට ආවේ මහජනතාවට, අපේ ප්‍රදේශවලට සේවය කරන්නයි. නමුත් මේ පුද්ගලයා එදා වගේම අදත් ආයුධ තියාගෙන කරන්නේ නායකයා වෙලා ත්‍රස්තවාදි ක්‍රියායි. මේ ගැන පොලිසියට පැම්ණිළි කලා. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීතුමා පොරොන්දු වුනා මේ තත්ත්වය වෙනස් කරනවා කියල. ඒ විශ්වාසය විතරයි අපට තියෙන්නේ.’’
මේ පිලිබඳව අදහස් දැක්වූ කන්දසාමි නේසනාදන් මහතා පැවසූවේ ‛‛ මම තිරුක්කෝවිල් වල සමෘද්ධි සංවර්ධන සහකාර, ගමේ ග්‍රමා සංවර්ධන සමිතියේ ලේකම් තිරුක්කෝවිලේ භාරකාර මණ්ඩලයේ ලේකම්.අපි තමයි ගම්වල පොදු වැඩ කරන මිනිස්සු. මේ ඉනය භාරතී කියන පුද්ගලයා හිතන්නේ ඉස්සර වගේම දැනුත් ඔහුගෙන් තොරව කිසි කෙනෙකුට කිසි දෙයකට ඉඩ නොදෙන්නයි. අපි බලන්නේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව එකම දේශයක් එකම ජාතියක් විදිහට සාමයෙන් සමගියෙන් කටයුතු කරන්න. නමුත් මොහු තාමත් එදා හිටපු ඒකාධිපති මානසිකත්වයෙන් තමයි ඉන්නේ. මගේ බිරිඳට දුරකථනයෙන් කතා කරල තව දවස් හතකින් මාව මරනවා කියල තර්ජනය කරළ තියෙනව. මෙවැනි පුද්ගලයෙක් අතිගරු ජනාධිපතිතුමා තියාගෙන ඉන්නේ ඇයි. මේක අපිට ප්‍රශ්නයක්. අපි ඉල්ලා සිටින්නේ මේ පුද්ගලයා මේ තනතුරෙන් ඉවත් කරල මේ ප්‍රදේශයේ නිදහසේ ජීවත්වෙන්න මිනිස්සුන්ට අවස්ථාව සලසා දෙන්න කියලයි. මේ පුද්ගලයා අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ද්‍රවිඩ ප්‍රදේශවල තියෙන ග්‍රාම සංවර්ධන සමිතිවල මුදල් ලබාගෙන ඔහුගේ පුද්ගලික වැඩ කරනවා. රැස්විම් පවත්වනවා. ඔවුන් භයට කියන්නේ නැහැ. ඊයේ රාත්‍රියේ අපිත් එක්ක දීර්ඝ කාලයක් කටයුතු කරන වවුනතිව් ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී මෙහේට ආවා අපේ කෝවිලට රුපියල් ලක්ෂ පහක මුදල් අධාරයක් කරන්න. ඔහු කේවිල ලඟට එනවත් සමග මොවුන් වහනයට ගහල කුඩු කරල, මන්ත්‍රීවරයාට වෙඩි තියල ඔහු ලග තිබුනු රුපියල් ලක්ෂ පහත් ඔහුගේ ජංගම දුරකථන සියල්ලත් පැහැර ගත්ත. ඔහුගේ මුස්ලිම් ජාතික රියදුරාටත් පහරදීල තුවාල කලා. ඔවුන් දැන් රෝහලේ.
කේ.සතිස්සේකරන් මහතා ‛‛ මම ගුරුවරයෙක් ලෙස සේවය කලේ. පසුව මහ ඇමතිතුමාගේ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ පිරිපාලන නිලධාරී ලෙස මුදාහැරල සේවය කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ත්‍රිකුණාමලයට ගිහින් වැඩක් කරගන්න බැරි නිසයි අක්කරපත්තුව කාර්යාලය ආරම්භ කලේ. ජනාධිපතිතුමා එක දේශයක්, එක ජාතියක් කියනව නමුත් මේ තිරුක්කෝවිල් වල එවන් තත්ත්වයක් නැහැ. මුලින් ඊලාම් සටන පවත්වාගෙන ගිය ආකාරයට තවමත් ඔහු පවත්වාගෙන යන්නේ. ජනතාව තුල සැකයක් මතුවී තිබෙනව ජනාධිපතතුමා මොහුව සම්බන්ධීකරණ නිලධාරී ලෙස පත්කලේ මෙලෙස මැර බලය පතුරුවන්නද? කියල. ඉනය භාරතී තිරුක්කෝවිල් වල පුද්ගලයෙක් නොවේ ඔහු මඩකළපුවේ සිට ආයුධ සන්නද්ධව ඇවිත් මේ ප්‍රදේශයේ නායකයා ලෙස කටයුතු කල අයෙක් අදත් ඔහු ඉන්න හදන්නේ ඒ තත්ත්වයෙන් මයි.
එම්. ජීවාකරන් මහතා – තිරුක්කෝවිල් ත්‍රී විල් රථ සංගමයේ ලේකම්
මම එදිනෙදා රක්ෂාව කරගෙන ඉන්නේ. දවසක් ‛භාරතී’ මට කෝල් එකක් දුන්නා එයාව හමුවන්න එන්න කියල.මම බැහැ කිව්ව එහෙම නම් උඹව මරණවා, ගේ ගිනි තියනවා කිව්වා. ඔහු ප්‍රධාන පාරක් හරස් කරල තමයි කාර්යාලය දාල තියෙන්නේ මේ නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වෙලා ඉන්නේ යන්න එන්න පහසුවක් නැතිව. අපි කාලයක් අවිආයුධ තියාගෙන හිටිය. අපි ආයුධ භාරදීලා ඇවිත් ඉන්නේ අපේ අයට සේවයක් කරන්න මේ ප්‍රදේශයේ දියුණුවට කටයුතු කරන්න ඒ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට අනුව. අපි භාරතීට කිසිම වරදක් කරල නැතුවයි ඔහු මේ අපිට වදදෙන්නේ.
ලෝගනාදන් සුරේෂ් කුමාර් (31) මහ ඇමතිතුමාගේ ඉල්ලිමක් අනුව ජලසම්පාදන ඇමතිතුමා විසින් කම්කරු පත්විම් 12 ක් දුන්නා.මම තමයි ඒවා ලබාගන්න මුල්වෙලා කටයුතු කලේ. මටත් රැකියාවක් ලැබුණා. ඔවුන් අපේ ගෙදර ඇවිත් රැකියාවට යන්න එපා කිව්ව. නමුත් මටත් ජීවීතයක් ඕන. මගේ අනාගතය ගොඩ නඟා ගන්න ඕන ඒ නිසා මට රැකියාවට යන්න ඕන කිව්ව. ඊට පස්සේ මට ගහල වෙඩි තියල මරණීය තුවාල සිදුකලා. පොලීසියට පැමිණිලිකලත් වැඩක් වුනේ නැහැ.
මෙම පුවත් පත් සාකච්ඡාව සඳහා මහ ඇමතිවරයාගේ නියෝජිතයින් තවත් තිහිප දෙනෙකුම අදහස් දැක් වූ අතර මේ සඳහා සිංහල හා දෙමළ මාධ්‍යවේදීන් විසි දෙනෙකු පමණ සහභාගීවී සිටියහ.
මේ සියලු දෙනා චෝදනා කලේ ඉනය භාරතී නැමැති ජනාධිපති සම්බන්ධීකරන නිලධාරීවරයා ගැනය. ඒ නිසා අප ඒ මහතා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට උත්සහ ගතිමු. ඔහු අවස්ථා පහකදී පැයකින් කථාකරන්න, පැය දෙකකදී කථා කරන්න, මම ඔයාට කථාකරන්නම් ආදී වශයෙන් සඳහන් කරමින් මග හැරියේය. පසුව සම්බන්ධකර ගත්තද ඔහුගේ දුරකථනය විසන්දි කෙරිනි. පසුව ජාතික ඒකාබද්ධතා අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතාව සම්බන්ධකර ගැනිමට උත්සාහ කළද නෙහැකි විය. අවසානයේ අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ගිනිගේ මහතාට කථා කලෙමු. මේ ඒම හතා දැක්වූ අදහස්ය.
‛‛ඔය කියන කරම් භීෂනයක් මේ ප්‍රදේශයේ නැහැ. මහ ඇමති සම්බන්ධීකරණ කාර්යාලයට පහර දෙන්න ආ වෙලාවේ අපි නීතිය හරියට ක්‍රියාත්මක කරමින් පැමිණි පිරිස විසුරුවා හැරියා. කෝවිල අසල ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. එත් ඒ පිළිබඳව සාක්ෂි නැහැ. සාක්ෂ දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් සමහරු පැමිණිළි කලත් ඒවාට සාක්ෂි දෙන්නේ නැහැ. කෙහොම වුනත් අපි මේ ප්‍රදේශයේ යලි භීෂණයක් ඇතිවෙන්න ඉඩ දෙන්නේ නැහැ.