Colombo, Featured Articles, Features

ව්‍යවස්ථාමය හිරවිල්ල දේශපාලනික පොල්ලෙන් ගසා කුඩුපට්ටම් කිරීම?

Sri Lankan President Mahinda Rajapaksa in Colombo on July 10, 2009[
Sri Lankan President Mahinda Rajapaksa in Colombo on July 10, 2009[

ජනවාරි 5 වැනි දා රෑ හසිත මඩවල, ඔහුගේ නිවෙස අසළ දී වෙඩි තබා ඝාතනය කෙරිණ. හිස්වැසුම්වලින් මුහුණු ආවරණය කරගෙන මෝටර් සයිකලයක ආ මිනීමරුවෝ ඔහුව ඝාතනය කර පළා ගියහ.

මඩවල, විරුද්ධ පක්ෂ සාමාජිකයෙකුවත්, රාජපක්ෂ විරෝධියෙකුවත් නොවේ. භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මෙන් ඔහු ද, පක්ෂපාත ශ‍්‍රී ලංකාකාරයෙකි. එසේම, කැළණිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකි. ඔහුගේ රුදුරු ඉරණම මගින් පෙන්නුම් කරන්නේ, රාජපක්ෂ පාලනය යටතේ, රාජපක්ෂවරුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ මිස වෙනත් ඕනෑම කෙනෙකුගේ ජීවිතය ඉතා කෙටි විය හැකි බවත්, මරණය ඉතා කෲර විය හැකි බවත් ය.

මීට වසරකට කලින්, 2012 ජනවාරි 7 වැනි දා රෑ, මඩවල මැරීමට තවත් ප‍්‍රයත්නයක් ගැනුණි. ‘ඔහුවත්, ඔහුගේ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාව, උප සභාපතිවරයාව සහ ප‍්‍රාදේශීය සභාවේ තවත් සාමාජිකයෙකුව ඝාතනය කිරීමට අමාත්‍ය මර්වින් සිල්වා නියෝග දී ඇති බව ඔහු ප‍්‍රකාශ කෙළේය. කුප‍්‍රකට පාතාල අපරාධකරුවන් වන හික්කඩුවේ රොෂාන්තට සහ මාලිගාවත්තේ මජීඞ්ට තමන් මැරීමට කොන්ත‍්‍රාත් දී ඇති බවට මඩවල චෝදනා කෙළේය. ශ‍්‍රී ලංකා මිරර්, 8.1.2012)

ඝාතනය වීමට කලින්, නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මුලසුනේ සිටි රැස්වීමක දී ‘නොහික්මුණු අයුරින් හැසිරුණේ’ ය යන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. එහි දී ඇප දීමට පවා පොලීසිය විරුද්ධ විය. බලවතුන්ගේ අනුග‍්‍රාහක වළල්ලෙන් මඩවල වීසි වී සිටි බවත්, ආරක්ෂිත සත්ව කොට්ඨාශයේ සාමාජිකත්වයෙන් ඉවත් කොට තිබුණු බවත්, ඒ හේතුවෙන්, ලංකාවේ වෙසෙන සෙස්සන් සේ ඕනෑම මොහොතක දේශපාලනික අපහරණයට ලක්විය හැකි කෙනෙකු බවට පත්ව සිටි බවත්, එම සිද්ධියෙන් පෙන්නුම් කෙරේ. අනිත් අතට, මේ මාසයේ විශ‍්‍රාම යාමට නියමිතව සිටි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට තව වසරක සේවා දිගුවක් ලැබුණේ ද මේ සතියේ ය.

ජීවිතේ සතුට, ආරක්ෂාව සහ ධනය සපිරි පාරාදීසයක් පාලක දූදරුවන්ට සහ නෑයින්ට පමණක් සහතික කෙරෙන, වෙන කිසි රටකට සම කළ නොහැකි රාජපක්ෂ ශ‍්‍රී ලංකාව සැරදේවා. අනිත් සෑම කෙනෙකුටම, රාජකීය පරිවාරකයන්ට පවා, එය වනාන්තරයක් වන්නේය. නැතහොත් එසේ විය හැක්කේය.

දෝෂාභියෝග රංගනයත්, රාජපක්ෂවරුන් විසින් එය පවත්වාගෙන යන අතාර්කිකත්වය සහ පළිගැනීමේ ආශක්තයත්, මේ සන්දර්භය තුළ හොඳින්ම පැහැදිළි වන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වශයෙනුත්, අගවිනිසුරුවරිය වශයෙනුත් ශිරානි බණ්ඩාරනායක, රාජපක්ෂගේ දේශපාලන ඉල්ලීම සපුරාලීමට පෙළඹුණාය. ජෙනරාල් ෆොන්සේකාට ඇප ඉල්ලා සිටී පෙත්සම ප‍්‍රතික්ෂේප කළ, පැය විසිහතරෙන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ව්‍යාපාර පවරා ගැනීමේ පනත අනුමත කළ, නායකත්ව පුහුණුව සහ ආණ්ඩු විරෝධී වෙබ් අඩවි අවහිර කිරීමට විරුද්ධව පවරා තිබූ පෙත්සම් නිෂ්ප‍්‍රභා කළ විනිසුරු මඩුලූවල ඇය මූලාසනය දැරුවාය. ඇමරිකානු තානාපතිවරයා යැවූ රහස් කේබල් පණිවිඩයක(විකිලීක්ස් මගින් හෙළි කළ) සඳහන් පරිදි, ආචාර්ය ශිරානී බණ්ඩාරනායක, ‘රාජපක්ෂ හිතවාදිනියක්’ විය.

එහෙත් ඒ සියළු පක්ෂපාතීකම් අවසානයේ දී බිංදුවට වැටුණි. රාජපක්ෂගේ අවශ්‍යතාවට පටහැනිව ඇය එක වරක් තීන්දුවක් දුන්නාය. ඉන් පසු, පාලක සහෝදරයෝ ඈට හිටු කියා තඩිබාන්නට වූහ. නගර හා ග‍්‍රාම සැලසුම් (සංශෝධිත) පනත සහ ‘දිවි නැගුම’ පනත ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කෙළේ නම් එසේ කරන්නට වන්නේ, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මහදවල් උල්ලංඝණය කරමිනි. එහෙත් එවැනි තර්ක රාජපක්ෂවරුන්ට වැඩක් නැත. ඔවුන් විශ්වාස කරන පරිදි උත්තරීතර වන්නේ ව්‍යවස්ථාව නොව, ඔවුන්ගේ අභිමතය යි.

සෑම උසස් නිලධාරියෙකුම, විශේෂයෙන් විනිශ්චයකාරවරු මේ පාඩම මතකයේ තබාගත යුතුය. රාජපක්ෂවරුන්ට අවශ්‍ය කරන්නේ පක්ෂපාතී ආධාරකරුවන් නොව, අඥානයන් ය. කියන දෙයක් කරන, යටහත් ප‍්‍රවේණිදාසයන් ය. ජීවිත කාලයක පක්ෂපාතීත්වයක් වුව, එක ‘අපක්ෂපාතීත්වයක්’ නිසා බිංදුවට වැටෙන්නේය. ඊළඟ අගවිනිසුරුවරයාට රාජපක්ෂගේ සෑම ඉල්ලීමකටම= ඒවා මොන තරම් නීති විරෝධී වුවත්= එකඟත්වය පෑමට සිදුවේවි. අගවිනිසුරු ධුරය භාරගෙන මාස කිහිපයකින් පසු දෝෂාභියෝගයකට මුහුණනොදී ඉන්නට හැකි වන්නේ, පුද්ගල නම්බුව, ගරුත්වය සහ හෘද සාක්ෂිය අතහැර දැමූ ගැහැනියකට හෝ පිරිමියෙකුට පමණි. අගවිනිසුරුවරිය වෙනුවෙන් කරන අරගලය, යුක්තිය වෙනුවෙන් කරන අරගලයකි.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය කිසි දවසක නීතිමයක් කාරණයක් වශයෙන් සැළකීමේ අරමුණක් පාලකයන්ට නොතිබුණි. එය අරමුණු කෙළේත්, සැලසුම් කළේත්, ක‍්‍රියාවට නැංවූයේත්, දේශපාලනික අභ්‍යාසයක් වශයෙනි. එහි ඉලක්කය, සත්‍යය නිරාවරණය කරගැනීමවත්, යුක්තිය ඉෂ්ට කිරීමවත් නොවුණි. ශ‍්‍රී ලංකාවේ රාජකීය ආදේශකයන්ගේ අභිමතයට අකීකරු වූ තැනැත්තියක්ව දණ්ඩනීය ආකාරයකින් පන්නා දැමීම පමණකි. අකීකරු මෙවලම් රාජපක්ෂවරුන්ට පෙන්නන්නට බැරි ය. ශිරානී බණ්ඩාරනායකව පැන්නිය යුත්තේ, ඉදිරියේ දී ඇගේ අඩි පාරේ ගමන් කළ හැකි ඕනෑම කෙනෙකු අධෛර්යමත් කෙරෙන ආකාරයෙනි. දෝෂාභියෝග ක‍්‍රියාපරිපාටිය මුල සිටම මේ තරම් අසාධාරණ සහ අයුක්ති සහගත ආකාරයෙන් ගෙන ගියේ එබැවිනි. එහි තිබුණේ කිසිවෙකු තුළ සාධාරණත්වය මේ යැයි ඒත්තු ගැන්වීමේ උවමනාවක් නොව, තර්ජනයෙන් සහ ගර්ජනයෙන් බියගන්වා, අනතුරු ඇඟවීම ය.

දෝෂාභියෝග නාඩගම පටන්ගත් විට ලොකුම ප‍්‍රශ්නය වුණේ, රාජපක්ෂ දඩුඅඩුවට මුහුණදීමට හයියක් අධිකරණයට සහ අගවිනිසුරුවරියට තිබේ ද යන්නයි. රාජපක්ෂවරු සිතුවේ සහ අප වැනි රාජපක්ෂවරුන්ට හරස්ව සිටියවුන් එදා අනුමාන කෙළේ, අගවිනිසුරුවරියව බියගන්වා පළවා හැර, තර්ජනයේ සහ අනුග‍්‍රහයේ සුසංයෝගයක් හරහා අධිකරණය මිටියම් කිරීමට රාජපක්ෂවරු සමත් විය හැකි බවයි. කෙසේ වෙතත්, ඒ නරකම අංකය රඟදැක්වුණේ නැත. අගවිනිසුරුවරිය නොසැලී කෙලින් සිටින අතර, අධිකරණය නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට වික‍්‍රමාන්විත සටනක් දෙයි. ඒ ධෛර්ය සම්පන්න විරෝධය, මේ දෝෂාභියෝගයටත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ මූලික අයිතීන් ආරක්ෂා කරගැනීමටත් ගෙන යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගලට පරමාදර්ශී වේදිකාව සපයා දී ඇත.

ව්‍යවස්ථාමය හිරවිල්ල, නීතියේ පදනම මත නිරාකරණය නොකෙරෙනු ඇත. දේශපාලන බලයෙන් එය කුඩුපට්ටම් කෙරෙනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයට අවනත වීම වනාහී ස්වකීය බල ව්‍යාපෘතිය ඇතුළෙන් ඛාදනය කිරීමේ පූර්වාදර්ශයක් විය හැකි බැවින් රාජපක්ෂ සහෝදරවරු ඒ විනිශ්චයට කන් නොදෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ මහා ආණ්ඩු විශාරදයා බවට පත්ව ඇති කතානායකවරයාත්, ඊට නොදෙවැනි නියෝජ්‍ය කතානායකවරයාත්, ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව උත්තරීතර බවට නිගමනය කරනු ඇත. අනතුරුව දෝෂාභියෝගය ගැන ‘විවාද’ කරන පාර්ලිමේන්තුව, ආණ්ඩු පක්ෂ ඡුන්දය ගෙඩිය පිටින්ම ගෙන, අගවිනිසුරුවරියට එරෙහි අවසානයකට පැමිණෙනු ඇත. එම තීන්දුව ජනාධිපතිවරයා වෙත යවන ලදුව, ඔහු විසින් වහාම අගවිනිසුරුවරියව නෙරපා හැර එම තනතුරට තමාට අවනත අළුත් හෙංචයියෙකු පත්කරනු ඇත.

නව අගවිනිසුරුවරයා/වරිය පත්කළ වහාම, ඒ නීති විරෝධී සහ අවජාතක පත්වීම නොපිළිගන්නා ක‍්‍රියාකාරීකයන්, නීතිඥයන් සහ විනිසුරන් පාලනය කිරීම සඳහා පාවිච්චි කරනු ඇත්තේ නිරුවත් බලය යි. ඕනෑම විරෝධයක්, නීතියේ කුමන්ත‍්‍රණයකට සමාන කොට, පොලීසිය, හමුදාව සහ ත‍්‍රස්ත විරෝධී පනත උපයෝගී කරගනිමින් ඒ සියලූ බලවේග යටපත් කෙරෙනු ඇත.

අගවිනිසුරුවරියත්, අධිකරණයත් ඔවුන්ට යා හැකි උපරිම දුර ගොස් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව උල්ලංඝනය කිරීමෙන් මේ පාලකයන්ව වැලැක්වීමේ කාර්යය පැවරෙන්නේ අපට යි. එනම්, රාජපක්ෂලාට යට නොවුණු දේශපාලනික සහ සිවිල් සමාජයේ කොටස්වලට යි. මෙහි දී විරුද්ධ පක්ෂය දෝෂාභියෝග විවාදය වර්ජනය කළ යුතුව තිබේ. මන්ද යත්, ඊට සහභාගී වීම මේ අනීතික ක‍්‍රියාවට ගෞරවනීයත්වයක් සපයන බැවිනි. අරගලයේ ඉතිරි අදියර අධිකරණමය කාරණයකට වඩා දේශපාලනික කාරණයකි.

එම නිසා එම අරගලය දියත් කළ යුත්තේ, මාධ්‍ය තුළ, පාර්ලිමේන්තුව තුළ, පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා තුළ සහ ආණ්ඩු පක්ෂය තුළ සහ වීදිවල ය. ඊට අමතරව, ජාත්‍යන්තර තලයේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදුරාජ්‍ය මණ්ඩලය වෙතට මේ සටන රැුගෙන යා යුතුව තිබේ. ව්‍යවස්ථාමය සිරවීමක් දේශපාලනික පොල්ලෙන් ගසා මෙල්ල කිරීමේ අනතුර රාජපක්ෂවරු තේරුම්ගනු ඇත්තේ, එය හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට බලපාන ආකාරයෙන් පමණි. එම සමුළුව මහා මංගල්‍යයක් කර ගැනීම රාජපක්ෂගේ ලොකුම ලාලසාවයි. දෝෂාභියෝග නාටකය අනීතික සහ සාහසික ලෙසින් නිමා කිරීම, හම්බන්තොට සමුළුවේ ප‍්‍රාර්ථනාවලටවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය ලබා ගැනීමට ඇති අවකාශයටවත් රුකුලක් නම් නොවනු ඇත.

තිසරණී ගුණසේකර[Tisaranee Gunasekara]

[Photo Credit:www.time.com]