Colombo, Democracy, Features, Governance, Media, Politics and Governance

කලූ ජනවාරිය ඝනාන්ධකාරයට

Black January Poster Campaign 2012 | for Media Organisation
Black January Poster Campaign 2012 | for Media Organisation

ජනමාධ්‍ය නිදහස අන් සියළු නිදහස්හි අත්තිවාරම යැයි කියනු ලැබේ. එම කියමන සකේතවත් කරමින් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ කලූ ජනවාරිය බවට පත් වූ මෙම මාසය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගනාන්ධකාරය වීමට ඉරණම් ලබා තිබේ.

ජනවාරි 01 දින මෙයට වසර පහකට පෙර එදින උදෑසන පාර්ලිමේන්තු මංත‍්‍රී ත්‍යගරාජා මහේස්වරන් කොළඹ කෙටහේන සිවම් කෝවිලෙහි දී වෙඩි තබා ඝාතනය කිරීම අනුස්මරණය යෙදෙයි. ජනවාරි 31 දින මාසය අවසන් වන්නේ ඉන් වසර තුනකට පසු කොළඹ රාජගිරියෙහි පිහිටි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවි කාර්යාලය ගිනි තබා විනාශ කිරීම සළකුණු කරමිනි. ඒ අතරතුරෙහි ජනවාරි 06 දින සිරස මාධ්‍ය ජාලයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය, ජනවාරි 08 දින මන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ජනවාරි 24 දින ජනමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම, ජනවාරි 25 දින ජනමාධ්‍යවේදී එස්. සුගීර්ධරාජන් ඝාතනය යනාදී අපරාධ දාමයක්ම එකිනෙක හා බැදී සටහන් වෙයි.

එමෙන්ම ජනවාරි 31වන දා 1996 වසරෙහි සිදු වූ කොළඹ කොටුවේ මහා බැංකු බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය සිවිල් වැසියන් 91 දෙනෙකු අනුස්මරණය ද යෙදෙයි. මහේශ්වරන් ඝාතන ප‍්‍රයත්නයේ දී 14 දෙනෙකු තුවාල ලද අතර මහා බැංකු ප‍්‍රහාරයෙන් 1,400ක් තුවාල ලැබුවෝය. 2006 ජනවාරි 02 දින ත‍්‍රිකුණාමලයේ දී සිසුන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ද ජනවාරියේ වැදගත් සන්ධිස්ථානයකි. යුද්ධ කාලයෙහි ජනවාරි මාසයන්හි අප නොදන්නා තවත් බොහෝ සිවිල් ජනයා රජයේ හමුදාවන්හි මෙන්ම එල්ටීටීඊ ය ප‍්‍රමුඛ දෙමළ සන්නද්ධ කණ්ඩායම් ප‍්‍රහාරයන් හේතු කොට මිය යන්නට ඇති බවට සැකයක් නැත.

කලූ ජනවාරිය යන යෙදුම බිහි වූයේ පසුගිය වසරයන්හි ජනවාරි මාසයන්හිදී ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ ප‍්‍රහාරයන්හි අතිශය බිහිසුණූකම සළකා ය. එම බියඟුලූ සහ මාරක මතකයට නංවමින් එම ප‍්‍රහාරයන් හෙළා දකිමින් සහ එම ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන සේ ඉල්ලා ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන විසින් මූලිකත්වය ගත් උද්ඝෝෂනයට රාජපක්ෂ ආණ්ඩුව බිය විය. ඒ වනාහි තමන් විසින්ම කරන ලද අපරාධයන්හි අවතාරයන්ට බිය වන සාමන්‍ය හැසීරීමකි. එසේ නමුත් එළෙස බියට පත්වන්නේ සන්නද්ධ බලයෙන් අගතැන්පත් සහ ඒ මතම රදාපවත්නා රාජ්‍යයක් වූ කළ එම බිය බිය ජනනය කරන ත‍්‍රස්තයක් බවට පත් වෙයි. උසාවි නියෝග මගින් උද්ඝෝෂනය සහමුලින්ම නතර කළ නොහැකි වූ තැන ගල් සහ පොලූ රුගත් දාමරික පිරිස් යොදවා එය කඩාකප්පල් කළහ. වන්දිභට්ට කුලියට ලියන්නන් යොදවා ගඳ ගැස්සවූහ.

2012 වර්ශයේ ආරම්භක මාසයෙහි මුදා හල මෙම භීෂනය දෛවෝපගත ඉරණමක් මෙන් වසර පුරා රට පුරා අදුරු වළාවක් බවට වැඩි ආවේ ය. දැන් මෙම 2013 ජනවාරියේ දී එම අඳුරු වළාකුළු ශ‍්‍රී ලංකාව නීතියක් නැති අත්තනෝමතිකත්වයේ ගනාන්ධකාරය කරා ගෙන යමින් තිබේ.
2013 ජනවාරිය ආරම්භ වූයේම උතුරුකරයේ ජිවත්වන දෙමළ ජනයා මත පවත්වා ගැනෙන මිලිටරි පාලනය අධ්‍යපන ක්ෂේත‍්‍රයෙහි ආයතන ගත කිරීමට පියවර ගැනීම මගිනි. දැන් යාපනයේ විශ්ව විද්‍යාලයේ පාලනයට යාපන යුද හමුදා නිලධාරින් නිල වශයෙන්ම මැදිහත් වෙයි. ඊට අමතරව වන්නියේ පාසැල්හි සිංහල ඉගැන්වීම අනීවාර්්‍ය කර ඒ සඳහා නිල ඇදුම් ලාගත් යුද හමුදා සෙබළුන් අනුයුක්ත කර තිබේ. අධ්‍යාපන කලාව සහ යුද්ධ විනය වනාහී සහමුලින්ම එකිනෙකට වෙනස් ශිල්පයන් දෙකකි.

අද ශ‍්‍රී ලංකාවේ සිදු කැරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කෙළෙසීමේ උෂ්නත්ව මාපකය මෙන්ම පෙර මිනිත්ත ද වන්නේ උතුරු නැගෙනහිරයි. ඒ අතරින් උතුර විශේෂය. එහි ඊයේ සිදු වූ දේ අද දකුණේ සිදු වන අතර එහි අද සිදුවන දේ හෙට දකුණේ දී සිදු වීමට නියමිත ය. එහි දී රාජපක්ෂ විවේචකයින්ගේ් නිවෙස් කරා භූතයෝ පැමිණ කලූ තෙල් වත් කරති.(යාපනය) අයිතීන් ඉල්ලා පාරට බසින ජනයාට විරුද්ධව රාජ්‍ය අනුග‍්‍රහයෙන් ත‍්‍රස්තවාදය යෙදෙවෙති. (යාපනය, මුලතිව්) විනිසුරන්ට එරෙහිව පෙළපාලි යති. හූ කියති. (මන්නාරම)

දැන් දකු‍ණේ රාජපක්ෂ විවේචක නීතිඥයින්ට මර බිය ඇති කරමින් භූතයෝ පැමිණ වෙඩි බිඳ අතුරුදහන් වෙති. කොපමණ දර දිය ඇද තිබුණද කවර හෝ විවේචනයක් කරන දේශපාලනඥයින් වුව ගිනි බිඳ පරලොව යවති. විනිසුරන්ට මරණ තර්ජන කැරෙන අතර ඒවා සැබෑ තර්ජන බව පෙන්වීමට පිස්තෝල පහරින් ඔලූ පළති. මේ සියල්ල උතුරෙහි දී මෙන් කැරෙන්නේ රාජ්‍ය බලයේ අවතාර විසිනි. අවතාර බැවින්ම කිසිවකු අත් අඩංඟුවට ගැනෙන්නේ ද නැත. ගැනුන ද කලකට පසු අපට නොපෙනීම ලිස්සා යති.

මේ සියළු කලූ වළා මැදින් ඝනාන්ධකාරය පතිත වෙමින් තිබෙන්නේ මෙම ජනවාරියේ දී මෙරට අධිකරණයේ ස්වාධිනත්වය කණකොකා හැඞීමත් සමඟ ය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පද්දතියෙහි කවර හෝ විශවසනීයත්වයක් සහ ස්වාධීනත්වයක් භුක්ති විදි අධිකරණය රාජපක්ෂකරණය 2013 කලූ ජනවාරියේ දී සම්පූර්ණ කිරීමට දැන් නියමිත ය. දෙස් විදෙස් දේශපාලන විචාරකයින් විසින් යළි යළිත් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පෙන්වා දෙමින් සිටින පරිදි මෙම පියවර විසින් සංකේතවත් කැරෙනු ඇත්තේ රාජපක්ෂවාදී ඒකාධිපතිත්වයේ නිල ආරම්භය යි.

මහජන විරෝධතාවයන්ට කන් නොදීම, වෘත්තීය සමිති ව්‍යාපාරය මැඩලීම, ආර්ථික බර මහා ජනයා පිට පටවා සුර සැප පාලක කල්ලියට ලියා ගැනීම, විපක්ෂ නායකයා හීලෑ කර ගැනීම, රාජ්‍ය පාලනය රාජපක්ෂ පවුල අත තවදුරටත් සංකේන්ද්‍රණය කර ගැනීම, සුළුතර ප‍්‍රජාවන්ට එරෙහි අන්තවාදී බලවේග මත රඳා පැවැතීම, උගත් පාලන කොමිසමේ මානව හිමිකම් නිර්දේශ කුණු කූඩයට යැවීම, ජනමාධ්‍ය පාලනය තීව්ර කිරීම, මැතිවරණ ක‍්‍රමය දූෂය කිරීම, අධිකරණය නොසළකා ක‍්‍රියා කිරීම, ගැත්තකු අගවිනිසුරු ධුරයට පත් කිරීම, පොලීසිය සහමුලින්ම සිය දේශපාලනයේ බළල් අතක් කර ගැනීම, උතුරු නැගෙනහිර හමුදාකරණය ඉහළ නැංවීම සහ දෙමළ ජනයා යටපත් කිරීම, අන්තර් ජාතික මානව හිමිකම් බැදීම් නොසළකා හැරීම යනාදිය මගින් 2013 ජනවාරියෙන් ආරම්භ වන ඝනාන්ධකාරය බිය ජනක වනු ඇත.

අගවිනිසුරුවරිය පළවා හැරෙනු ඇති අතර දේශපාලකයින්ට රිසි පරිදි අධිකරණයට අපහාස කිරීමත් එමගින් අධිකරණයේ ගෞරවය බාල්දු කිරීමත් මෙම ජනවාරි ඝනාන්ධකාරයේ නීතිය සහ රීතිය බවට පත්වනු ඇත. අධිකරණ තීන්දු නොසළකා ක‍්‍රියා කිරීම පිළිබද රාජපක්ෂ ආණ්ඩුව විසින් තබා තිබූ වාර්තාව මෙම ජනවාරියේ දී කිරුළු දරනවා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරනයේ සහ අභියාචනා අධිකරණයේ තීන්දු පාර්ලිමේන්තුවේ බහුතර බලයේ ගල් රෝලට යට කිරීම මගිනි.

2013 ජනවාරිය වෙනත් වචනයකින් කියන්නේ නම් බහුතරයේ ඒකාධිපතිත්වය ශ‍්‍රී ලංකාවේ නීතිය බවට පත් කැරෙන මාසය යි. දැනටමත් පාර්ලිමේන්තු බහුතරයේ බලය විසින් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය රාජපක්ෂ පවුල වෙත කේන්ද්‍රගත කර ගැනීමේ භයානක පියවරක් වන දිවි නැගුම පනත සම්මත කරගෙන අවසානය.

අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව යෙදෙවෙනු ඇත්තේ ද මෙම බහුතරයේ ගල් රෝල ය. මෙම පියවර ගැනෙන්නේ 10,000ක් නීතිවේදීන් සහ නීතිවේදිනියන්ද නියෝජනය කරන නීතිඥ සංගමය සහ 300ක් විනිසුරු විනිසුරුවරියන් නියෝජනය කරන විනිසුරු සංගමය ද සමාජයේ බොහෝ ප‍්‍රබුද්ධ පිරිස් ද විසින් එකහෙළා දක්වා ඇති විරෝධය නොසළකා ය. අන්තර් ජාතික නීතිවේදී සංගමයන් ද සිය හඬ එම විරෝධයට එක් කර තිබේ.

බහුතර බලය විසින් සියල්ල සාධාරණ කරනු ලබන්නේ නම් 1975 අගමැති සිරිමා බණ්ඩාරනායකගේ පාර්ලිමේන්තු කාලය දීර්ඝ කර ගැනීම, ජනාධිපති ජයවර්ධනගේ 1978 ඒකාධිපති ව්‍යවස්ථාව, 1982 ජනමත මංකොල්ලය සහ ජනාධිපති පේ‍්‍රමදස විසින් ලලිත් – ගාමිනී දෝශාභියෝගය යටපත් කිරීම ද සාධාරණ ය. එම පියවරයන් ගනු ලැබුණු අවස්ථාවන්හිදී ඒවා සාධාරණ යැයි වන්දිබට්ට ස්ත්‍රෝත ගායනා ඝෝෂා නැගුණූ නමුත් දැනටමත් ඉතිහාසය විසින් එකී පියවරයන් සම්බන්ධ නිවැරදි තීන්දු දී තිබේ. තවත් වසර දහයක් රාජපක්ෂ පාලනය පැවැතුන ද අධිකරණ නිදහස යකඩ සපත්තුවට පාගා ශ‍්‍රී ලංකාව මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙළෙසන ඝනාන්ධකාරයකට ගෙන යෑම සම්බන්ධයෙන් ඉතිහාසයේ නිවැරදි විනිශ්චය ලැබෙනු ඇති බව සක් සුදක් සේ සහතික ය.

මේ අවස්ථාවහි අප දක්වන සියළු විරෝධයන් සහ හෙළන සුසුම් සියල්ල ඒ ඉතිහාසීය විනිශචයෙහි සටහන්වනු ඇත. ඉතිහාසය අයත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ය. මානව හිමිකම්වලට ය. අත්තනෝමතිකත්වයට හෝ ඒකාධිපතිත්වයට හෝ නොවේ. ඉතිහාසය ඇත්තේ අපේ පැත්තේ ය. අතනැර කැරෙන අරගලය ඊට අවශ්‍ය කොන්දේසිය යි. යමු, එලඹෙන ඝනාන්ධකාරය අවසන් කොට හිරු උදාව එලඹෙනු ඇත.

Sunandaසුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya