Colombo, Democracy, Features, Governance, Politics and Governance

පළිගැනීම සහ පාදඩකරණය රාජපක්ෂ පාලනයේ ළකුණ ලෙස

දොෂාභියෝගයව විරැද්ධ සාමකාමී විරෝධයන් මර්ධනය කිරීමට කැදවූ ආණ්ඩුවේ කුලීකාර පොලු හමුදාව - අධිකරණ සංකිර්ණය අසලදී
දොෂාභියෝගයව විරැද්ධ සාමකාමී විරෝධයන් මර්ධනය කිරීමට කැදවූ ආණ්ඩුවේ කුලීකාර පොලු හමුදාව – අධිකරණ සංකිර්ණය අසලදී

‘අපි අධිකරණය අපායට යවනවා’ යැයි වාසුදේව නානායන්කාර පාර්ලිමේන්තුවෙහි දී ගොරනාඩු කලේ එහි දෝංකාරය පාර්ලිමේන්තුවෙහි පමණක් නොව මහපාර ද ඇවිස්සෙන පරිදි ය. එම දෝංකාරය මැද ඒ වන විටත් මෙරට අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක ලෙස විකට ඇදුමකින් සරසා අපහාසාත්මක දැන්වීමක් අතෙහි එල්ලූ කුලිකාර පිරිමියකු පෙරටු කරගත් පාදඩ බලවේග පොලිස් රැකවරණ ඇතිව නගරය දෙවනත් කරමින් තිබුණි. තවත් රාජපාක්ෂිකයෝ පිරිසක් අගවිනිසුරුවරියගේ නිල නිවෙස ඉදිරිපිට රාජ්‍ය අනුග‍්‍රහයෙන් කඳවුරු බැඳ කන් බහිරිකරවන රතිංඥා පත්තුකරමින් කිරිබත් පිසමින් ජෝගියක් නැටූහ. මේ අතර ශ‍්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ සංකේතයවන් අලූත්කඬේ අධිකරණ භූමිය අරක්ගත් පොලූ මුගුරුවලින් සන්නද්ද වූ තවත් පාදඩ සේනාවක් පොලිස් රැකවරණ මැද නීතිවේදීන්ගේ සාමකාමී පාගමනට පහර දෙමින් සිටි අතර ‘දිවි නැගුම’ වාහන ද ඒ අසළ නවතා තිබුණි.

අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මැරබලයට අතවනා අචාර කිරීමට අගමැතිවරයා එහි පැමිණෙමින් සිටියේ ය. අගවිනිසුරුවරියගේ නිල නිවෙස ජෝගියට එක්වී ඔවුන් සමඟ මුහුවී ජයපැන් බීමට තේරීම් කාරක සභා සභාපතිවරයා වූ අනුර පි‍්‍රයදර්ශන යාපා පැමිණ සිටියහ. අගවිනිසුරුවරියට ‘‘නෝනා බාබා ..කුම් එපා’’ යැයි ඒ සභාපතිගේ තේරීම් කාරක සභාව ගඳ ගැස්සූ තවත් දේශපාලනඥයකු දෝශාභියෝග විවාදයේ විපක්ෂ කථිකයින්ට නොනැවත බාධා කරමින් සිටියේ ය. එවැනිම තවත් දේශපාලනඥයකු විසින් පවත්වා ගෙන යන වෙබ් අඩවියක ලියා තිබුණේ අගවනිසුරුවරිය ගෙදර යවන්නේ ඇයගේ යට ඇඳුම් ද ගලවා බවයි (එහි සඳහන් කර තිබූ වදන් මෙහි ලියන්නට බැරිය).

රටක අගවිනිසුරුවරියකට මෙවැනි අශෝබන අශිෂ්ඨ සහ පාදඩ නිගරුකිරීම් කරන වෙනත් රටත් ඇතැයි ඔබ සිතනවා ද? මෙවැනි හැසිරීමක් අනුමත කරන, අනුබල දෙන සහ සංවිධානය කරන රාජ්‍ය පාලකයකු සිය බලය රැක ගැනීම පිණිස නොකරන වෙනත් දෙයක් තිබිය හැකි ද? අගවිනිසුරුවරියට සැලකෙන්නේ මෙසේ නම් රාජපක්ෂ පාලනයේ අනිසි නියෝගයන්ට යටත් නොවන අවශේෂ ජනයාට මොනවා නොකරනු ඇති ද?

තමන් විසින්ම ලෝකයේ දක්ෂතම සේනාධිනායකයා යැයි වර්ණනා කරන ලද සිය යුද්ධය මෙහෙයවූ ජෙනරල් සරත් ෆොන්සේකා හුදෙක් තමන් සමඟ ජනාධිපතිධුරයට තරඟවැදීම නිසා යුද්ධාධිකරනය හමුවට පමුණුවන ලද්දේ ද රාජපක්ෂ පාලනය විසිනි. එම අවස්ථාවේ දී යුද්ධාධිකරණය නිසි අධිකරණයක් යැයි විවාද සහගත තීන්දුවක් දී ඔහු සිරගත කොට ඔහුගේ තරුපටි ගලවා විශ‍්‍රාම වැටුප පවා අහිමි කිරීමට අවස්ථාව සැලසීමට ශිරානි බණ්ඩාරනායක විනිසුරුවරිය ද අනියමින් හවුල් විය. ජෙනරල් සරත් ෆොන්සේකාට එරෙහිව එල්ල කළ චෝදනා විභාග කැරුණේ ස්වභාවික යුක්ති ධර්මයට අනුකූලව නොවේ. එම අවස්ථාවෙහි දී ජෙනරල් ෆොන්සේකාට රාජපක්ෂ පාලනය අත්කර දුන් ඉරණම තමන්ටත් අත්වනු ඇතැයි ශිරානි බණ්ඩාරනායක විනිසුරුවරිය මොහොතකටවත් නොසිතන්නට ඇත.

එක් දෙයක් ඕනැවටත් වඩා පැහැදිලි ය. එනම් තමන්ගේ සිතැඟි අනුව කටයුතු නොකරන සහ ඊට විරුද්ධව යන්නේ කවරකු වුවද ඔහු හෝ ඇයගේ තරාතිරම නොබලා විනාශ කර දැමීම රාජපක්ෂ පාලනයේ මූලෝපාය බවයි. එමෙන්ම ඊළඟ ප‍්‍රහාරය එල්ල වන්නේ කවරකුටද යන්න කීමට බැරි තරමට සතර අතටම වෙඩි මානා ඇති බවයි. එවැනි වට පිටාවක භයංකාරත්වය රුදී ඇත්තේ එකී දේශපාලන පාදඩකරණයට වඩා එමගින් සමාජය මත පටවන බියඟුලූ මානසිකත්වයෙහි ය.

අගවිනිසුරුවරියට සහ දෝශාභියෝග විරෝධී මහජන බලවේගයන්ට එරෙහිව ප‍්‍රචන්ඩත්වය මුදා හැරියා පමණක් නොව එය අපේ වන්ඩින්ගේ වැඩ බව පෙන්වීමට රාජපක්ෂ පාලනය පියවර ගත්තේ අන්න ඒ බිය වැපිරීම පිනිස ය. කිසිදු මැර බලයක් උසි ගන්වන්නේ නැතිව තමන්ට පාර්ලිමේන්තුවෙහි ඇති බහුතර ජන්ද බලය මගින් සිය සිතැගි පරිදි දෝශාභියෝග යෝජනාව සම්මත කර ගැනීමටත් සිය විධායක බලය මගින් අගවිනිසුරුවරිය ඉවත් කිරීමටත් රාජපක්ෂ පාලනයට හැකියාව තිබුණි. එසේ තිබියදීත් ඇයට එරෙහිව අවලාද ව්‍යාපාරයක් මුදා හැරියේත් පාදඩ බලය පාරට මුදා හැරියේ සමාජය බියෙන් මුසපත් කිරීම රාජපක්ෂ පාලනයේ මූලික විධික‍්‍රමය නිසා ය.

මෙළෙස කළ එළියේම පාදඩ බලවේග උසිගන්වන ලද්දේ අගවිනිසුරු දෝශාභියෝගය සම්බන්ධයෙන් මැදහත්ව කල්පනා කර එක්කෝ එය ඉවත් කර ගන්නා ලෙස නැතහොත් නිසි අධිකරණමය ක‍්‍රියා පාරිපාටියකට එය යොමු කරන ලෙස දෙස් විදෙස් බොහෝ පාර්ශවයන් ජනාධිපති රාජපක්ෂගෙන් යළි යළිත් ඉල්ලා තිබිය දී ය. 13,000ක් නිතිවේදීන් නියෝජනය කරන නීතිඥ සංගමය, 200ක් විනිසුරවරුන් නියෝජනය කරන විනිසුරු සංගමය, පුවත්පත් කතුවරු, වෘත්තීය සමිති, මල්වතු අස්ගිරි නාහිමිවරු ඇතුළු පූජ්‍ය පක්ෂය, සිකුරාදා සංසදය වැනි මානව හිමිකම් බුද්ධිමතුන්, කලාකරුවෝ, ශ‍්‍රාස්ත‍්‍රඥයෝ, ව්‍යාපාරික ප‍්‍රජාව, ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය, පොදු රාජය මණ්ඩලීය නීතිවේදින්ගේ සහ විනිසුරන්ගේ සංගමය, අධිකරන ස්වාධිනත්වය පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිතවරිය, බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් එම පාර්ශවයන් අතර කැපී පෙනුනි.

එසේ නමුත් රාජපක්ෂ ආණ්ඩුව අගවිනිසුරු දෝශාභියෝගය සම්බන්ධයෙන් ක‍්‍රියා කළ ආකාරයෙන් දැන් රටටත් ලෝකයාටත් පෙන්වා ඇත්තේ එයට පළිගැනීම සහ පාදඩකරණය හැර අන් දේශපාලන ප‍්‍රතිචාරයක් නැති බවයි. තමන්ගේම උගත් පාලන කොමිසමෙහි යහ පාලන නිර්දේශවත ක‍්‍රියාත්මක කිරීමට බැරිවන තරමට දැන් රාජපක්ෂ පාලනය සහ දේශපාලන පාදඩකරණය එකක් බවට පත්ව තිබේ.

යුක්තිය ඉෂ්ඨ කිරීම පමණක් නොව ඒ බව පෙනෙන්නට තිබීම අවශ්‍ය යැයි යන ආදර්ශ පාඨය වෙනුවට සසිරිබර සිරි ලංකාවේ දී දැන් ලියැවෙන්නේ ප‍්‍රචන්ඩත්වය මුදා හැරියාට මදිය, ඒ පිටුපස රාජ්‍ය සිටින බව ඒත්තු ගැන්විය යුතුය කියා ය. දෝශාභියෝග ගෙන ඒමේ සිට අගවිනිසුරුවරිය ඉවත් කිරිම දක්වා රාජපක්ෂ පාලනයේ සමස්ත ක‍්‍රියා දාමය විසින් යළිත් වරක් පෙන්නුම් කරන්නේ දේශපාලන පාදඩකරණය රාජපක්ෂ පාලනයේ අත්‍යවශ්‍ය මූලෝපායක් බවට පත්ව ඇති සැටිත් එය දැනුවත්වම ක‍්‍රියාවට නගන හැටිත් ය.

අප නොදන්නා මෙවැනි අභ්‍යාගයන්ට මුහුණ දුන් රාජ්‍ය නිලධාරීන් කොතෙතුක් සිටිනවා ඇත. එසේ වෙතත් ප‍්‍රසිද්ධියට පැමිණි එවැනි සංකේතනීය අපරාධයන් නැතුවා ද නොවේ. පාලනයට සම්බන්ධ බව පෙනෙන ජාවාරම්කරුවන්ටග් මගඩි අල්ලා ගැනීමේ හේතුවෙන් දිගින් දිගටම පහර කමින් සිටින රේගු නිලධාරීන් එවැනි එක් කොට්ඨාශයකි. මධ්‍යසාර නිපදවන ස්ප‍්‍රීතූ නමින් කෝටි ප‍්‍රකෝටි ගණනාවක ෆෝමලීන් ගෙන්වා තිබිය දී එය අත් අඩංඟුවට ගත් රේගු ප‍්‍රධානියකු අද සිටින්නේ දඩුවම් මාරුවක් විදිමිනි. එම මධ්‍යසාර නිශ්පාදනාගාරයේ අධ්‍යක්ෂිකාවක ඉහළම පෙළේ කැකුලියකි. තවත් එවැනි ඉහළ පෙළට සම්බන්ධ දූෂණයක් ඇල්ලූ රේගු නිලධාරියකුට දැන් පොලීසිය මිලියන 10ක අල්ලසක් ගත්තැයි බොරු නඩුවක් පවරා තිබේ.

මසුන් මැරීම පිණිස ඩයිනමයිට් ග‍්‍රෑම් තුන් සියයක් ගෙන්වමින් සිටි දෙමළ තරුණයකු අත් අඩංඟුවට ගෙන ඊට සම්බන්ධයැයි පසුගිය දා දෙමළ සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මංත‍්‍රිවරයකු වන ශ‍්‍රීධරන්ගේ කාර්්‍යාලයට කඩා පැන එහි තිබී පුපුරණ ද්‍රව්‍ය සහ කාම චිත‍්‍රපට අත් අඩංගුවට ගත්තේ ද එවැනි මෙහෙයුමකිනි. පා.ම. ශ‍්‍රීධරන් කිළිනොච්චියෙහි ජනයා සමඟ එක්ව ප‍්‍රතිවිරුද්ධකම් පෑමේ දේශපාලනයේ යෙදෙන දේශපාලනඥයෙකි. ඔහු මට්ටු කිරීමට පසුගිය කාලය පුරා දරන ලද ප‍්‍රයත්න වැළක අලූත්ම නිර්මාණය එයයි.

විපක්ෂයේ සහභාගිත්වය ද ඇතිව පසුගිය මැයි 01දා යාපනයේ පැවැති මැයි පෙළපාලියට එල්ටීටීඊ කොඩිකරුවන් ඇතුල්වනු රාජ්‍ය මාධ්‍ය වාර්තා කලා මතකද? ඒ කොඩිකරුවන් පිළිබඳ පරික්ෂනයට සිදු වූයේ කුමක් ද? එම කොඩිකරුවන්ද රාජපක්ෂ පාලනය විසින්ම නිර්මාණය කරන ලද දේශපාලන පාදඩකරණ මූලෝපායට අයත් දැතිය. යුද්ධාවසානයේ දී තුන් ලක්ෂයක් දෙමළ ජනයා කම්බි වැටෙන් සහ බයිනෙත්තුවෙන් මුරකාවල් ලූ කඳවුරු කරා ගාල් කිරීමත් තෙවසරක් ගත වී තිබියදීත් ඒ ජනයා මත යුද්ධ පාලනයක් පවත්වා ගෙන යෑමත් මෙම බිය ගැන්වීමේ දේශපාලනයේ රෝද ය.

අප තේරුම් ගත යුතු වැදගත්ම කරුන නම් දෝශාභියෝගය සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය දැක් වූ නිරනුකම්පිත ප‍්‍රචන්ඩ අශිෂ්ඨ ප‍්‍රතිචාරය අහම්බයක් හෝ තනි සිදුවීමක් හෝ නොවන බවයි. මේ වනාහී රාජපක්ෂ පාලනයේ දේශපාලනය යි. එහි පදනම සම්මුතිකාමී සාමකාමී සංහිදියාව නොවේ. යුද්ධ මනෝබාවය යි. ප‍්‍රහාරයයි. කුඩු පට්ටම් කිරීමයි. මානවවාදය වෙනුවට යුද බිමෙහි යටත්වූවන් පවා අතුරුදහන් කරවන ලද සහ ඊටත් වඩා දස දහසින් ජනයා මිය ගිය යුද්ධයක මනෝභාවය පදනම කරගත් දේශපාලනයකින් යහ පාලනයක් අපේක්ෂා කල හැකි ද?

සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය වටින්නේ ඇයි ද යන්න දැන් අපේ ඇස් පනා පිට පෙනෙයි. යුද්ධ ජය මානව හිතවාදයක් බවට පෙරළිය හැකි ධර්මාශෝක මනෝභාවය රාජපක්ෂවරුන්ට නොතිබුණි. එබැවින් අප අද අත්දකින්නේ රණකාමී සන්නද්ධ සංවිධානයක් සමඟ කැරුණූ යුද සටනකින් එපිටට ගොස් අහිංසක ජනයා මත මුදා හරින ලද භිෂනයක ගතිතක්වයේ අනීවාර්්‍ය විපාකය යි. මේ දේශපාලනයේ පදනම වනාහී බලය පවත්වා ගැනීම සඳහා නීතියක් රීතියක් නැත, අවශය වන්නේ බලයම පමණි යන යුද්ධ භාවිතය යි. ඊට අනුව සත්‍යය යනු රජය යි. නැතහොත් රාජපක්ෂ පාලනය යි. එබැවින් යුද්ධ කාලයේ දී මෙන් සදාකාලයේදීම නිදහස් අදහස් ද ඝාතනය කළ යුතු ය.

ඒ අනුව ගොඩ නැගුණු රාජ්‍ය යන්ත‍්‍රයෙහි හිටපු අගවිනිසුරු අසෝක සිල්වා ජනාධිපති නීති උපදේශකය. හිටපු ජනාධිපති නීති උපදේශක මොහාන් පිරිස් දැන් අගවිනිසුරු ය. හිටපු පොලිස්පතිවරු පාලක පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් මෙහෙයවති. උතුරෙහි ද නැගෙනහිරෙහි ද ආණ්ඩුකාර පදවි හිටපු යුද නිලධාරීන් සතු ය. බන්ධනාගාර පාලනය ද යුද නිලධාරියකු විසිනි. ස්වාධීන ජනමාධ්‍ය ආයතනයක් විය යුතු රාජ්‍ය රූපවාහිනී සංස්ථාවේ සභාපති ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ලෙස ගොබල්ස් භූමිකාව රඟපායි. ජනාධිපති සහෝදරයින් ද පුතුන් ද ඥාතීන් ද විසින් ප‍්‍රශ්ණ කල නොහැකි එක මිටකට බැදුණු දේශපාලන අධිකාරයක් පවත්වා ගෙන යයි.

මෙවැනි පාලනයකට දිය යුතු නිර්වචනය කුමක්ද?

Sunandaසුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya