Colombo, Democracy, Economic issues, Features, Governance, Life quips, Peace and reconciliation

බඩගිනි නොදැනෙන ගානට ඇන්දවීමේ කලාව

Vikalpa-JDS
සංවේදීකම යනු යමක් අන් අය අභිබවා දැනීමය. ආඩම්බරකාරකම යනු ස්වීයත්වය පිළිබද සොම්නසයි. මේ ද්වී ගුණයෙන් හෙබි පියෙකුට නිසැකවම සිය දරුවන් කුස ගින්නේ මිය යනවා දකින්නට නොහැකිය. ඔහු තම දරුවන් දූෂණ අඩන්තේට්ටම් වලට හසුවනවා දකින්නට අකමැතිය. ඔහු කෙසේ හෝ තම දරුවන්ට සුව පහසුව සළසමින් ඔවුන්ගේ දුක සැප අවබෝධකර ගනිමින් ඔවුන්ට ලෝකයක් නිර්මාණය කිරිමෙහිලා කැප වන්නේය.

එවැනි පියෙකු රජව සිටින රටක ජනතාව වනාහී වාසනාවේ උරුම කරුවන්මය. නමුත් තමන් එලෙස යැයි කියා ගන්නා පියෙක් ට තම යුතුකම් අමතක වූ කළ ඔහුගේ දරුවන් අන්ත අසරණයින්ය. අවාසනාවන්තයින්ය.

රටේ වැඩිවන බඩු මිලත්, වැඩිවන දූෂණ වංචාත් දේශපාලකයින්ගේ නොමනාකමුත් ඉවසා දරා ගන්නා ජනතාවක් සිටින වත්මන් ලංකාවේ පියවරු බොහොමයක් කරන්නටම දෙයක් නොතිබෙතොත් තම දරු මල්ලන් මරා තමන්ද දිවි තොර කර ගත් අවස්ථා අද අපේ ර‍ටේ බොහෝමයක් අවස්ථා වලදී වාර්ථා විය. ඒ අතරේ පියවරුන්ගේ මැති අමැති කම්වල සැර දරා ගන්නට බැරිව නොසන්ඩාල වැඩ කරන පුතුන් ගැනද කිහිප විටකදීම වාර්ථා විය . ඇමැති තාත්තලාගේ වචන වලට අනුවනම් එකී නොසන්ඩාලකම් කොල්ලන්ගේ කොලුකම්ය,(ඔවුන්ට අනුව බලුකම් කරන්නේ තම අධ්‍යාපන අයිතීන් ඉල්ලා හඩන දුප්පත් දෙමාපියන්ගේ දරුවන් ය). සියල්ලෙන් එකසේ පීඩා විදතත් කිසිදු වෙනසක්, විකල්පයක් නොඉල්ලා ජනතාව බලා ගත් අත බලා ඉන්නා වගක් පෙනෙන්නට තිබීම අරුමය.. පුදුමය…

ඉතිහාසය විසින් දරණ සාක්ෂි පරිදි ලෝකයේ බොහෝ රටවල ජනතාව තම රටේ පාලකයන් එවැනි අයුරින් ජනතාවගේ කුස ගින්න නොසලකා හැර ඇත්නම් ජනතාවට කථා කිරිමේ නිදහස ද, ජීවත් වීමේ නිදහස ද, අහිමි කර ඇත්නම් ඔවුහු ඊට එරෙහි වුහ. බඩු මිල අඩුකර තමන් පමණක් සැප නොවිද ජීවත් වෙන්නට අයිතිය දෙන්නැයි ඔවුහු සටන් කළහ.

නමුත් ඊට වැඩි,.. දුක් දොම්නස් විද මේ මොහොතේත් අපේ රටේ ජනතාව ලොකයේ වැඩිම ඇමති මණ්ඩලයක් සිටින රටේ අසරණයන් ලෙස පාලකයන්ට හිතුමතේ නටන්නට ඉඩ දී බලා සිටිති.. එසේ වී ඇත්තේ ඇයි?

ඒ… අපේ පාලකයින්.. ජනතාව ඇන්දවීමේ කලාව හොදින් හදාරා ඇති හෙයිනුත් කාලයක් තිස්සේ වූ පුරුදු පුහුණු විම් මත අද රටේ ජනතාව හොදින් ඇද ගන්නා හෙයිනුත්ය. මතවාදී ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට ඉදිරිපත් වූවෝ ද තනතුරු, නිළ, බල නිසා අද ජනතාවගේ ඔළු සෝදා දමන්නට ඉදිරිපත් නොවන්නාහුය. රටේ මාධ්‍යය ද අද එවැන්නක් ගැන නොසිතති. සියල්ලේ බර ජනතාවගේ කර මතය.

කෙසේ හෝ මේ හෙයින් සැබෑ ප්‍රශ්න වැලලි ඇති අතර තමන් විසින් තමන්ව නැති කරගන්නා මුලා වූ පිරිසක් බවට අද රටේ ජනතාව පත්වෙමින් සිටිති. අද ජනතාව..පාලකයන් විසින් මැදිහත් වී විසදිය යුතු අර්බුධ තමන්ගේ කරගෙන සිටිති. තෙල් මිල ඉහළ යද්දී, ද ගෑස් මිල ඉහළ යද්දී ද, ආණ්ඩුවේ වරදින් විවිධ අර්බුධ මතු වෙද්දී ද, ඒ ගැන කථා නොකරන අපේ ජනතාව ආණ්ඩුවේ වරදින් උද්ගත වූ ජිනීවා, හලාල්..තම අර්බුධ බවට පත් කර ගනිති. විසදුම් සොයති.. එකිනෙකා කුලල් කා ගනිති. ඒවායින් හිරි වැටී සිටින ඔවුන්ට නොදැනෙන්නට රජය ඒ අතර තුර ජනතාව මත බදු ද, ණය ද, දූෂණය ද පටවති. ඇමති මණ්ඩලය ද වැඩි කර ගනිති. සොරුන් දූෂකයින් වංචාකරුවන් නීතියේ රැහැනින් මුදා හරිති.

ආණ්ඩුව එසේ කරළියට විටින් විට ගෙන එන වෛවර්ණ ඇදුම්, දුටු පමණින් ඇග ලා ගන්නා ජනතාව, තම බඩගිනි අමතක කොට, නර්තනයේ යෙදෙන පුරුද්ද නතර වන තාක්,,,හලාල් වැනි අර්බුධ අපේ රටේ නිමා නොවනු ඇත. ඔවුහු සිංහලයා, දෙමළා, මුසල්මානුවා කියා ගනිමින් කුලල් කා ගනු ඇත.

ඒ තාක් බල ලෝභි පාලකයන් ද කිසිදු ගැටළුවකට සැබෑ විසිදුමක් නොදී ඇවැසි පරිදි රිසි සේ ජනතාව අන්දවනු ඇත. අවසන ඔවුන්ට ආඩම්බරකාර තාත්තලාගේ පුතුන් වීදි බැස රිසිසේ ජනතාවගේ වේදිකාවේ ජනතාව ට නැටුම් පෙන්වන අයුරු බලා අත්පොළොසන් දෙන්නට පමණක් සිදුවනු ඇත.

හංසිනි සම්පත් | Hansini Sampath

@ Image Credit:JDSSRILANKA