පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය
බාලවර්නම් සිවකුමාර් දැන් අප අතර නැත. වාර්ගික ධ්‍රුවීකරණයෙන් සහ අගතීන් ගෙන් දූෂිත වූ අප සමාජයේ බොහෝ දෙනෙකුට එම නමින් හැගී යනු ඇත්තේ තවත් දෙමළෙකි. නමුත් ඔහුගේ පවුලේ සාමාජිකයිනට සහ දෙමළ ප්‍රජාවට ඔහු අහේතුකව මරා දමන ලද තවත් දෙමළ ජාතිකයෙක් බවට සැකයක් නැත.
බාලවර්නම් සිවකුමාර් ජීවත්වුයේ කොළඹ රත්මලානේ ය. ඉපදුනේ ඌව පළාතේ ය. ඔහු කිසිවිටෙක එල්ටීටීඊයට සම්බන්ධ වූ අයකු ලෙස රාජ්‍ය ආරක්ෂ අංශ සැක කරනු ලැබුවේ නැත. කොළඹ ජීවත්වන දෙමළ ජාතිකයින් සියළු දෙනා තීක්ෂණ සුපරීක්ෂාකාරිත්වක් යටතේ තබන ලද යුද්ධ කාලයෙහි දී නිරන්තර සොදිසි කිරීම් වලට වැඩිමනත් කරදරයකින් තොරව ඔහු කොළඹ ජීවත් විය.
බාලවර්නම් සිවකුමාර් මානසික අසමබරතාවයකින් පෙලුණි. ඒ නිසා ඔහුට නැවත නැවත මානසික රෝහලින් ප්‍රතිකාර ගැනීමට සිදුවිය. ඔහුගේ සහෝදරයාට අනුව මෙම මානසික අසමබරතාවයට හේතු වූයේ 2006 වසරේ දී ප්‍රේම සම්බන්ධයන් බිදී යෑම ය. ආදරය බිදී යෑම හෝ නැතිව යාම නිසා අප බොහෝ දෙනෙකු යම් පමණකට හෝ මෙවැනි අසමබරතාවයන්ට මුහුණ දී ඇත්තෙමු. එවැනි තත්ත්වයකින් සම්පූර්ණ සුවය ලැබීමට යෝග්‍ය පරිසරයක් බාලවර්නම් සිවකුමාර්ට නොතිබෙන්නට වෙනත් හේතූන් අතර පසුගිය දෙවසර තුළ මෙරට දෙමළ ජනයා මුහුණ දුන් සුවිශේෂ සමාජ ආතතීන් ද තිබෙන්නට ඇත. එසේ නමුත් සුවය ලැබූ සෑම අවස්ථාකවකදීම ඔහු විවිධ රැකියාවන්හි නියුතු විය.
පසුගිය ඔක්තෝබර් 26 වනදා ඔහුගේ අසනීපගතිය යළි උත්සන්න වී කළහකාරී ලක්ෂන පෙන්වන්නට විය. 27 දින සිය හැදුනුම්පත රැගෙන ඔහු යන්නට ගියේ ය. ඉන් පසු අප දන්නේ ඔහුගේ මළ සිරුර කොළඹ කොල්ලුපිටිය වෙරළට 28වන දින ගොඩ ගැසූ බව යි.
ඔහු මරා දමනු ටීඑන්එල් සහ සිරස රූපවාහිනයට ස්තූතිවන්නට මුලු රටම දැක බලා ගත්තේ ය. දෑත් එක් කොට වැඳ වැඳ ජීවිත දානය අයැදිත් දී ඔහුට පොලු පහර දී බම්බලප්ිටිය මුහුදෙහි ගිල්වා මරා දමන ලද්දේ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රීය ජනරජයේ පොලීසිය විසිනි.
ඩේලිමිරර් පුවත්පත වාර්තාකළ අන්දමට බාලවර්නම් සිවකුමාර් එදින උදැසන සිටම බම්බලප්ිටිය දුම්රිය මාර්ගය අසළට වී යනෙන වාහනවලට ගලුමුල් වලින් පහර දීමට පටන් ගෙන තිබේ. මෙම පහර දීම් නිසා දුම්රිය රියදුරකු සහ සොලුදාදුවකු තුවාල ලැබූහ. පුවත්පත කියන්නේ මේ වන විට ඔහු මහා ජනයාට තර්ජනයක් වී තිබූ බවයි. ඔහු මෙල්ල කිරීම පිණිස පොලීසිය කැදවා ඇත්තේ අඩුම ගනනේ පැය ගණනාවනට පසු ය. එතෙක් මෙම හැසිරීම භයානක හැසිරීමක් ලෙස කිසිවකු සළකා නැත. ඔහු මානසික රෝගියකු සහ දෙමළ තරුණයකු බව මේ වන විට අවට පිරිස් දැන සිටින්නට ඇති බවට සැකයක් නැත. පොලීසිය පැමිණිවිට ඔහු මුහුදට පැන්නේ ය. එවිට පොලිස් නිලධාරින් දෙනෛකු ද මුහදට පැන්නෝය. රුස්ව සිටි ජනයා දිග පොලු දෙකක් එම නිලධාරීන්ට දුන්නෝ ය. වෙඩි තියන ලෙස ද කෑ ගසා කීවෝ ය. (පෙරහැරකදී වියරු වැටෙන අලියකුට වත් වෙඩි තබනු යැයි ජනයා කෑ ගසන්නේ නැත.)
බාලවර්නම් සිවකුමාර් වැඳ වැඳ තමන්ට පහර නොදෙන ලෙස අයදිත් දී මහා ජනයා දුන් පොලු වලින් පොලිස් නිළධාරීහු දිගටම පහර දුන්හ. රුස්ව සිටි ජනයා සටන් සිනමා පටයක් බලන සෙයින් නොසෙල්ව මේ වීර වික්‍රමය භූක්ති වින්දෝ ය. බාලවර්නම් සිවකුමාර් දිය යට ගිලී අවසන් හුස්ම සමඟ නොපෙනී ගියේ ය. කාරුණික රළ පහර පවුලේ ඥාතීන්ට අවසන් කටයුතු කරනු හැකි වනු පිණිස බාලවර්නම් සිවකුමාර් නම් දෙමළාගේ මළ සිරුර පසුදා වෙරළට ගෙනැවිත් තැබූයේ ය.
26 හැවිරිදි බාලවර්නම් සිවකුමාර් උපදින්නට ඇත්තේ 1983 හෝ 1984 වසරෙහි ය. ඔහු උපදින්නට ඇත්තේ 1983 නම් මේ වනාහී දෛවෝපගත සිදුවීමකි. මන්ද යත් මෙළෙස දෙමළ ජාතිකයින් අමු අමුවේ පහර දී මරා දැමුනු වර්ශය 1983 නිසා ය. කලු සිකුරාදා ලෙස පසු කළෙක හැදින්වුනු 1983 ජූලි 29 දා අප දෙදෙනෙකු පා ගමනින්ම පිට කොටුවේ සිට බොරුල්ල කරා යමින් සිටියේ කොළඹ කොටි පැමිණ ඇතියි යන කටකතාවට බියෙන් සියූළු වාහන එක පිම්මේ බැහැර ගිය නිසා ය. කතාකතාවෙහි විපාකය වූයේ සිය ගනනාවක් දෙමළ ජනයා අමු අමුවේ කපා කොටා මරා දමනු ලැබීම ය. පුංචි බොරුල්ල හංදියෙහි දෙමළ තරුණයකු පණ පිටින්ම පුලුස්සමින් තිබූ අතර පිරිසක් අත්පුඩි ගසත් දී පිරිසක් අත්ල මුහුණෙහි හොවා දුක නොපෙන්වා හැගීම් සඟවාගෙන සිටිය හ. ජීවිත දානය ඉල්ලා වැඳ වැටෙත් දී බාලවර්නම් සිවකුමාර්ට පොලු පහර දී මරා දමනු දුටු මා මතකය එක වරම දිව ගියේ එදා පුංචි බොරුල්ල හංදියට ය.
පසුගිය 28වනදා බම්බලපිටියේ මුහුදු වෙරළෙහි ලද අවසානාවන්ත ඉරණම බාලවර්නම් සිවකුමාර් සිංහලයකු වී නම් එලෙසම වන්නට තිබුණි ද? එසේ වන්නටත් නොවන්නටත් තිබුණි. පොලීසයට ඝාතනයේ දී වාර්ගිකත්වය එතරම් ප්‍රශ්ණයක් නොවේ. එමෙන්ම එල්ටීටීඊ ය සිය ප්‍රජාව මත මුදා හළ සමූහ ඝාතනයන්ගෙන් විසින් ජනිත කළ බිය තවමත් මතකයේ ඇති සිංහල පොදු ජනයා දෙමළ තරුණයකුගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරියට ඒමට වඩා ඉඩ ඇත්තේ වෙඩි තියනු යැයි කෑගසා කීමට ය. එසේ නමුත් මෙම තරුණයා සිංහලයකු වී ජීචිත දානය ඉල්ලා සිංහලම බසින් අයැද්දේ නම් මෙම තිර්ශ්චීන ඝාතනයට එරෙහිහ එදා මුහුදු වෙරළ අබියසදී ම හඬ නැගෙන්නට හොදටම ඉඩ තිබුණි.
පසුගිය අගොස්තු 12වන දා මහ රුයෙහි රත්මලාන අඟලාන පොලීසියෙහි දී දිනේශ් තරංග සහ දනුෂ්ක උදය නම් සිංහල තරුණයින් දෙදෙනෙකුට දස වධ දී පසුව වෙඩි තබා මරා දමන ලදැයි යන පුවත ද මේ හා සමාන මනුෂ්‍ය ඝාතනයක් විය. එම තරුණයින් අත්අඩංඟුවට ගැනුනේ නමන්ට හිරිහැර කළැයි වෙරළබඩ කාන්තාවක් කළ පැමිණිල්ලට අනුව ය. එදින සවස් භාගයේ වෙරළබඩ පන්දු කෙළෙමින් සිටි තරුණ පිරිසකගේ පන්දුව මෙම කාන්තාවගේ නිවසට ගිය බවත් ආරවුලට මුල එය බවත් කියනු ලැබේ. ඇයගේ පැමිණිල්ල අනුව මෙම තරුණයින් සෙවීමට සිවිල් ඇදුමින් සැරසී යතුරු පැදියකින් පැමිණි පොලිස් නිලධාරීන්ට මෙම තරුණ පිරිස තරමක් දරදඩු ලෙස සැළකූ බවත් කියනු ලැබේ. පසුව එම පිරිසෙන් තරුණයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන රුයක් පුරා චධ දී මරා දැමුණි.
ඉන් පසු සිදු වූ දේ ඔබට මතක ද? කෝපයට පත් අගුලාන වැසි පිරිස් පොලීසිය වටලා පහර දුන්හ. එම අවස්ථාව ජායාරූප මාර්ගයෙන් ප්‍රචාරය කෙරුණි. දැවැන්ත අවමඟුල් උළෙලක් පැවැත්වුනි. කතුවැකි ලියැවුනි. අත් අඩංගුවට ගැනීමට අමතරව මුළු පොලීසියම බැහැරට මාරු කර යවන ලදී. යට කී කාන්තාව වෙනත් වරදක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුනි. මේ තරුණයින් දෙදෙනාගේ මරණයෙන් කම්පිත වූ අතිගරු ජනාධිපතිතුමාණෝ ඔවුන්ගේ මාපියන් සනසාලනු පිණිස ඔවුහු ජනාධිපති මාලිගයට කැඳවා රටටම ඒ බව පෙන්වූහ. මියගිය දරුවන් වෙනුවෙන් රැපියල් ලක්ෂ පහ බැගින් ඒ දෙමාපියනට පරිත්‍යාග කළෝ ය. මා පියෝ ඉන් නොනැවතී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි සිය දරුවන් මරා දැමීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කළහ.
බාලවර්නම් සිවකුමාර් වෙනුවෙන් ඒ කිසිදු කරුණාවක් නොතිබුණි. කොපයක් ද ජනිත නොකළේ ය. ඔහුගේ මරණය නිහඩ මරණයකි. දෙමළ වීම තවමත් ශ්‍රී ලංකාවෙහි පාපයට කරුණක් නොවන්නේ ද?