Colombo, Democracy, Features, Life quips, Politics and Governance

නිදහස බහිරවීකරණය වීම

534692_163316473811621_1530651114_n

අත්විඳ නැති දෙයක් ගැන තේරුම් කිරීමත් නොදන්නා හොඳ දෙයක් ගැන අවබෝධ කරදීමත් අතිශය බැරෑරුම් කාර්යකි. අපි සියල්ලටම වැදගත් වීමට ඕනෑය. අනෙකා අතර කැපී පෙනීමටද; අවධානය දිනා ගැනීමටද බුද්ධිමත් බව පෙන්වීමටද අවශ්‍යය. ඊට විවිධාකාරයේ ස්වරූපයන් සහ ස්වභාවයන් අපි විසින් ලබා දෙනු ලබයි. එය පවත්වා ගැනීම සඳහා අපි විවිධ වෙස්වලා ගැනීම් ගනිමින් අපි අනෙකාව රැවටීමට උත්සහ ගනිමු. නමුත් ඇත්ත හමුවේ රැවටීමට පත්වන්නේ කවුරුන්ද යන්න කාටත් තේරන පොදු මුලධර්මයකි.

අපි දේශපාලනික මෙන්ම සමාජීය පමණක් නොව සංස්කෘතික වශයෙන් තනා ගෙන ඇති දැඩි රාමුන් බිඳී යනවිට ඇතිවෙන ව්‍යාකූලත්වය දේශපාලනික වශයෙන් තබා පුද්ගලික වශයෙන්වත් තේරුම් ගැනීමට පෙර එය දුෂිත දේශපාලනය විසින් බහිරවීගත කරනු ලබනේ මන්ද? දේශපාලනඥයා අපේ අයිතියේ බහිරවයා වන්නේ මන්ද? අපි අපේ සීමා මායිම් මෙන්ම ජීවිතයට ඇති ස්වාධීන වටිනාකම් බද්ධට දී ඉන් අනෙකා අපිව ණයකාරයෙකු කරන තෙක් ඇසී නැසුණු ලෙස සිටිමින් ගැලවීමට මඟක් පරලොව ජීවිතයේදී සොයන්නේ මන්ද? ජීවත් වෙන විට ජීවත් වේ; මැරුණු විට මැරේ. ඔබට වඩා ඔබ වන කෙනෙක් මේ ලෝකයේ කිසිම තැනක නැත. ඔබේ ස්වාමියා ඔබ වන අතර ඔබ විසින් සමාජයට සිදුකර කැපකිරීම සහ ඔබෙන් සමාජයට වන සුගතිය හෝ දුගතිය ඔබේ ජීවිතයේ අනන්‍යතාවය වේ. මෙය පෙරදිග මෙන්ම බටහිර දර්ශනය විසින් වඩාත් ගැඹුරින් පැහැදිලි කරනු ලැබූ සත්තාවක් වුවද අපි යලි යලින් පවතින රමුන් සහ බලය විසින් තනා දෙනු ලබන රාමුන් තුළ සිර වී, වර්තමාන ජීවිතය අස්ථානගත කරනු ලබන්නේ මන්ද? ඉන් පසු මානසික අසහනයට පත් වී ගූඪ උපක්‍රම මත පදනම් වෙමින් අසාධාරණ බලයට එරෙහිව සටන් වදිති. අපේ බොහොමයක් උපක්‍රම කේන්තිය, වෛරය වැනි මානසික ව්‍යාකූලතාවයන් මත පදනම් වන අතර එය ඉතා කෙටි කාලයක් ඇතුලතදී මර්ධනය කිරීමට බලයේ සිටින්නාට හැකිය. තම අනුගාමිකයෙකු සතුරු බලවේග වලින් මරා දමන විට එම අනුගමිකයාට අවසන් බුහුමන් දක්වා ඔහුගේ අවංක කැපකිරීමට අවංක වටිනාකමක් දීමේ “කස්ත්‍රෝ” න්‍යාය ලාංකීය දේශපාලනයේ මෙන්ම කල්ලිවාදයේ කිසිඳු ලෙසකින් දැකීමට තිබු දෙයක් නොවේ. ආයුධ ගෙන “රාජ්‍ය ත්‍රස්තවාදයට” එරෙහිව සටන් කළ බොහොමයක් කණ්ඩායම් වල දැක ගත හැකි වූයේ නිශ්චිත සීමාවකින් ඔබ්බට ගිය පසු පෙර කී මානසික ව්‍යාකූලතාවයන් මත පදනම් වෙමින් කටයුතු කිරීම මිස වෙනකක් නොවේ. මෙවැනි තත්වයකට පත්වීම සඳහා පොළඹවන මුලික අඬහැරය කුමක්ද?

පිළිතුර අතිශය සරලය. එනම් මෝඩකමය. නමුත් මෙය ලෞඛික මෙන්ම අලෞඛික වශයෙන් තේරුම් ගැනීම සංකීර්ණ කටයුත්තක් පමණක් නොව තේරුම් ගත්තද එය අනුගමනය කිරීම අතිශය බැරෑරුම් කටයුත්තකි. ජනාධිපති රාජපක්ෂ තම ලෞඛික ජීවිතය රටේ සියලුම ජනතාව ණයකාරයින් කොට ඔහුට රිසිසේ අත්විඳින විට ඔහුට සහ ඔහුගේ ගැලට රිසි දේ කිරීමට ඉඩ දී අප මෝඩ කරුමයක් දෙස බලා අපේ සීමාව තතාගනිමින් සිටින්නේ එම සංස්කෘතික නිර්මාණය හේතුවෙනි. ඊට රාජපක්ෂ නිශ්චිතවම වැරදිකරයෙකු වුවද සමස්ථ ක්‍රියාවලීය හමුවේ ඔහු වූ කලී නිෂ්පාදනයක් පමණි. වෙනත් ආකාරයකින් කිවහොත්, මෙය ක්‍රමානුකූලව ලංකා ඉතිහාසය පුරාම සිදු වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන අතර රාජපක්ෂ වැනි අයෙකු මේ වන විට බලයේ සිටින්නේද කාලාන්තරයක් තිස්සේ සිදුවුණු ක්‍රමික බිඳවැටීමක ප්‍රතිඵලයක් ලෙසිනි. ලංකා ඉතිහාසයේ බොරුවට මවා පෑමේ උග්‍රම නිෂ්පාදනය රාජපක්ෂය. ඇලෙක්සැන්ඩර් සොල්ස්තිනේස්ටින් මෙය විස්තර කරුණු ලබන්නේ; “නිදහසේ සීමාවන් නොදන්නා අයවලුන්ට නිදහස ගැන කියාදීම පහසු කටයුත්තක් නොවන බවයි.” තාගෝර්ගේ බොහොමයක් නිර්මාණ තුළ ජාතිකත්වය ප්‍රශ්න කරමින් සැබෑ මානව නිදහසක් ගැන කියන්නේද එය තේරුම් කරදීමටය. ඇතැමෙකුට තමන්ගේ නිදහස පාගා දමන අයෙක් ” නිදහසේ පිතෘ වරයෙකු” ලෙස දැනීමේ අරුමයක් නැත. මන්ද ඔබ ඔබව දකින්නේ ජීවිතයෙන් ඉතාම සුළු වේලාවකදී වන අතර ඔබ වෙනත් අයෙකුගේ වෙස් ගැනීමට බොහෝ විට යන්ත දරනු ලබන්නේ ඔබට වඩා ඔබ වන කෙනෙක් පිටතින් සොයන නිසාය.

ටොබා බේටාගේ ” මාස්ටර් ඔෆ් ස්ටුපිඩිටි” මෙම මුලික කාරණය වඩාත් ආකර්ශනීය ලෙස ප්‍රශ්න කරමින් මෙම තත්වය හඳුන්වනු ලබන්නේ; “දුර්ගන්ද ව්‍යාජ ජීවිතයක” ආරම්භය ලෙසයි. ඉන් පසු මුළු ජීවිත කාලයම කිසිඳු විමුක්තියකින් මෙන්ම නිදහසකින් තොරවන අතර අනෙකාගේ නිදහස මෙන්ම අනෙකාගේ ජීවිතයට ඇති වටිනාකමද අමතක කරමින්, නිගරුකරමින් මෙන්ම අනෙකාව අවැසි තැනදී භාවිත කරණ අනවැසි තැනදී විසිකරන විෂයන් බවට පමණක් පත්කර ගනී. ඔබේ කුහකකම මගේ දැනුමට අපහස කළේය යන නිගමනයට බොහොමයක් අව්‍යාජ ශාස්තෘවරුන්ට එළඹීමට සිදුවන්නේ මෙතනදීය. අපි දේශපාලනික වශයෙන් තේරුම් ගත යුතු මුලික සිද්ධීන් අමතක කරමින් සහ තේරුම් ගෙන ඊට එරෙහිවන අයවලුන්ට තනිව සටන් කොට තනිව මැරීමට ඉඩ දී ඇත්තේද පවතින බලය විසින් අප අබද්ධ ( ඩිටෑච්මෙන්ට්) කර තැබීමට ඇති හැකියාව නිසාය. මේ නිසා අප නිරායාසයෙන්ම මෙම අධිපතිකාරී බලයට එරෙහිව සටන් කළ කිසිවෙකුට නිශ්චිත පොදු වටිනාකමක් දීමට නොයන අතර විවිධමාදිලියේ කේලම් කරුණු ලෙස ගනිමින් චරිත සහතික ඉදිරිපත් කිරීමට පුරුදු වී සිටිමු.

බොහොමයක් අප අතර නොනිමි මෝඩකම ඇතිබව හඳුනා ගැනීමට කාරණා තුනක් ටොබා පේනවා දෙනු ලබයි. පළමුවැන්න වූ කලී ඔබ ඔබේ ජීවිතයෙන්ම පාඩම් ඉගෙන ගැනීමට පුළුවන් වන තරමට ඔබ මෝඩයෙක් බව අවංකව පිළිගැනීම. දෙවැන්න වූ කලී, අනෙකා අතර බුද්ධිමත් සහ කඩිසර බව පෙන්වීමට කිසිවෙකුගේ සම්ප්‍රප්පලාප ( බුල්ශිට්ස්) අනුගමනය කිරීමෙන් වැළකීම සහ තමන්ගේ මෝඩකම පියවරෙන් පියවර අඩුකරගැනීම. තෙවැන්න වූ කලී; ඔබ කිසිම දවසක බුද්ධිමත් බව සහ හැදිච්ච බව බොරුවට මවා පාන්නෙක්නම් කිසිම දිනක කිසිම හොඳ සහ ශුද්ධ දෙයක් ඉගෙන නොගනී. ඔබ ඔබ විසින් නොසලකා හැර ඇති දෑ සහ මෝඩකම් ලයිස්තුගත කිරීමෙන් එම මුලාවෙන් මිදීමට ඔබට හැකිය. මෙවැනි මුලික කාරනා තේරුම් ගැනීමෙන් සමස්ථ සමාජයක් ලෙස අප වෙලී සිටින අඳුරට වඩා අපි පෞද්ගලිකව අත්විඳින ව්‍යාකූලත්වය තේරුම් ගැනීම අපහසු නොවේ. එය නොවන තාක් දුරට එක රාජපක්ෂ කෙනෙක් නොව රාජපක්ෂලා සීයක් ආවද අපි ඔහුන් තබන අඩිපාරවල් ඉඹිමින් ඔවුන්ගේ දුෂ්ඨත්වය දේශප්‍රේමියත්වයක් ලෙස ගනිමින් ඊට එරෙහිවන්නන්ට ගරහමින් කාලය නාස්ති කරන්නෙමු.

Nilanthailangamuvaනිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa