සිංහල, Colombo, Democracy, Governance, Media

තවත් යුද්ධයක් ඇරඹෙයි.

ශ්‍රී ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ජනාධිපතිවරණ යුද්ධය අද ආරම්භ වී තිබේ. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණය පිළිබද ප්‍රචාරක කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබේ. ‛රට රකින වීරත්වය, රට හදන නායකත්වය’, ‛මහරජුනි නැවතත් රට ඔබට භාරයි’ යනුවෙන් විශාල පොස්ටර් ව්‍යාපාරයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නියෝජනය කරන එක්සත් නිදහස් සන්ධානය විසින් රට පුරා අලවා තිබෙනු දක්නට ලැබේ. කෙසේ වෙතත් ලංකාවේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බොහොමයකට ආරම්භයක් සේ සැලකෙන මේ පෝස්ටර් යුද්ධය අද ආරම්භ කර ඇත්තේ ‛මහරජු’ යන සංකල්පය පෙරදැරිව වීම විශේෂත්වයකි. එය එසේවන්නේ පසුගිය දා ශ්‍රේෂඨාධිකරන තීන්දුවකිනුත් ප්‍රකාශ කර ඇති පරිදි ‛ලංකාවේ රජෙක් නොමැති බව’ කියා තිබියදී පාලක පක්ෂය විසින්ම එම අධිකරණ තීන්දුව පවා අභියෝගයට ලක් කිරිමක්ද යන්න, ඇතැම් දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

එසේම විපක්ෂ දේශපාලනයේ නිරත පක්ෂ සහ කණ්ඩායම්වලට මේ වන විට විවිධ තර්ජන එල්ලවන බව පසුගිය දා වාර්තා විය. එහි ආසන්නම සිදුවීම පසුගිය දා කැළනිය, ජනතා විමුක්ති පෙරමුණේ ආසන බලමණ්ඩලය පිහිටුවීමේ රැස්වීමට මුහුණු ආවරණය කර ගත් මැරයන් දෙවරක්ම එම රැස්වීමට ප්‍රහාර එල්ල කර බාධා සිදු කිරිමයි.

කෙසේවෙතත් මෙම සියලු සිදුවිම් වලින් ආරම්බ වන්නේ ලංකාවේ බොහෝ මැතිවරණ මෙන්ම මෙම මැතිවරණයත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය බලයෙන් ලබා ගැනිමට දරණ උත්සහයන්වල ආරම්භයක් සේම නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඇති අවම ඉඩ පවා මැඩපැවැත්වීමට දරණ උත්සහයන් බවයි.